ගියවර අපි “සංචාරකයින්ගේ ඇස නොගැටුණු කවුඩුල්ල ජාතික වන උද්‍යානය” යන ලිපිය තුළින් කවුඩුල්ලේ ඇති ස්භාවික සෞන්දර්යය හා ජාතික වන උද්‍යානයක් ලෙස ඇති වැදගත්කම ඔබ වෙත ගෙන ආවා.
අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කවුඩුල්ලට ආසන්නයෙන්ම පිහිටා ඇති තවත් එක් වන උද්‍යානයක් පිළිබඳවයි. ඒ මින්නේරිය ජාතික වන උද්‍යානයයි. වල් අලින්ට ඉතාමත් ප්‍රසිද්ධ තෝතැන්නක් ලෙස මින්නේරිය හදුන්වන්න පුළුවන්. මින්නේරිය වැව හා එහි ජල පෝෂක ප්‍රදේශය මුල් කරගෙන නිර්මාණය වූ මින්නේරිය ජාතික වන උද්‍යානයේ අසිරිය නරඹන්නට යන්නට ප්‍රථමයෙන් මෙම ලිපිය කියවීම ඔබට වඩාත් ප්‍රයෝජනවත් වේවි.
මින්නේරිය අභය භූමියක් ලෙස නම් කිරීම
වැව් බැඳි පුරවරය ලෙස විරුද්ධාවලි ලත් රජරට ප්‍රදේශය පාලනය කළ මහසෙන් රජතුමා ශ්‍රී ලංකාව බත බුලතින් ස්වයංපෝෂිත කිරීම සඳහා මහඟු මෙහෙවරක් කළ රජෙක් ලෙස නම් කරන්නට පුළුවන්. එතුමන්ගේ අද්විතීය නිර්මාණයක් වන මින්නේරිය වැවෙන් පුරාණයේ මෙන්ම වත්මනේදීත් විශාල ගොවි බිම් ප්‍රමාණයක් පෝෂණය වෙනවා.
මින්නේරිය වැව වර්ග කිලෝමීටර් 249ක් පුරාවටම පැතිරී තිබෙනවා. ඒ ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශය තමයි අද වන විට උද්‍යානය ලෙස නම් කර තිබෙන්නේ. අතීතයේදී ඉතාමත් ආරක්ෂාකාරීව පැවති මෙම ප්‍රදේශය 20 වන සියවස උදාවත් සමඟ මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් හේතු කරගෙන විනාශ වන්නට පටන් ගත්තා.
එයට පිළියමක් වශයෙන් එවකට පැවති බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් 1938 ජූලි 29 වන දා විශාලත්වය හෙක්ටයාර් 6,693.5කින් යුතු මෙම ප්‍රදේශය ලංකාවේ 13 වන අභය භූමිය ලෙස නම් කරනු ලබනවා. ඒ වන විට නම් කර තිබූ සියළුම අභය භූමි වලින් විශාලත්වයෙන් දෙවන ස්ථානය හිමි අභය භූමිය ලෙස මින්නේරිය හදුන්වන්නට පුළුවන්.
එම කාල වකවානුවේදී හෙක්ටයාර් 11,149.1ක විශාලත්වයෙන් යුතු ශ්‍රී ලංකාවේ පළමු අභය භූමිය වූ චුන්ඩිකුලම් අභය භූමියට විශාලත්වය අතින්ද හිමිවන්නේ පළමු ස්ථානයයි. වන ජීවින් හා ඔවුන්ගේ ස්භාවික පරිසරය ආරක්ෂා කරන අතර තුර මිනිස් ක්‍රියාකාරම් සඳහා ඉඩ ලැබෙන ලිහිල් නීති පද්ධතියක් අභය භූමිය තුළ පැවති නිසා වන සතුන්ට හා ශාක පද්ධතියට කිසියම් ආරක්ෂාවක් සැලසුණි.
අභය භූමිය වන උද්‍යානයක් දක්වා
කල් යාමේදී වැඩි වන ජනගහනයත් සමඟ වනාන්තර එළි කිරීමේ සිග්‍රතාවය ඉහළ යන්නට විය. මේ හේතුවෙන් මින්නේරිය අභය භූමියටද විශාල තර්ජනයක් ඇතිවුනු අතර එම තර්ජනයට පිලියමක් වශයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ 1997 අගෝස්තු 12 වනදා විශාලත්වය හෙක්ටයාර 8 889.4ක් වූ මින්නේරිය ජලාශය ආශ්‍රිත භූමිය ශ්‍රී ලංකාවේ 14 වන වන උද්‍යානය ලෙස නම් කරනු ලබනවා. එය වන උද්‍යාන වල විශාලත්වය අතින් 11 වන ස්ථානයේ පසු වෙනවා. මින්නේරිය වන උද්‍යානය මහජනයාට විවෘත වන්නේ 1998 වර්ෂයේදීයි.
ආසියානු තෙත් බිම් නාමාවලියේ ප්‍රමුඛ ස්ථානයක්
උතුරු මැද පළාතේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ පිහිටි මින්නේරිය ජාතික වන උද්‍යානය මුහුදු මට්ටමේ සිට මීටර් 60ත් මීටර් 500ත් අතර උසට විහිදෙන කඳු ගැට, ඝන කැලෑ හා තණ බිම් වලින් යුක්ත වෙනවා.
වන උද්‍යානයනය වඩාත් ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ තෙත් බිමක් ලෙසයි. තෙත් බිම් කඩක් ලෙස පරිසරයට සිදු කරන මෙහෙය හේතුවෙන් ආසියානු තෙත් බිම් නාමාවලියේ ජාත්‍යන්තර වශයෙන් වැදගත්කමක් ඇති වන උද්‍යානයක් ලෙසද නම් කර තිබෙනවා. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 15000-2000ක් අතර අගයක් ගන්නවා. භූමි ප්‍රදේශයේ උෂ්ණත්ව පරාසය සෙල්සියස් අංශක 20.6-34.5 අගයක් ලෙස වාර්තා වන අතර වන උද්‍යානයේ පස සලකන විට එය රතු දුඹුරු පැහැති රොන් මඩ සහිත පස් විශේෂයක් ලෙස හඳුනා ගන්නට පුළුවන්.
මින්නේරිය ප්‍රධාන වශයෙන් ජලය ලැබෙන්නේ මහවැලි ගඟෙන් ජලය රැගෙන ගලා එන යෝධ ඇළ මාර්ගය තුළින්. මීට අමතරව බටු ඔය, ඊරිගේ ඔය, තල් කොටේ ඔය, කිරි ඔය සහ වඩම්පල ඔය වැනි ජල මාර්ග වලින් සුළු වශයෙන් මින්නේරිය ජලාශය පෝෂණය කරනු ලබනවා.
කොහොමද ළඟා වෙන්නේ?
වන උද්‍යානය උතුරින් හබරණ – පොලොන්නරුව මාර්ගයෙන්ද, දකුණින් පොලොන්නරුව දිස්ත්‍රික් මායිමෙන්ද, නැගෙනහිරෙන් කටුකැලියාව – දිය බෙදුම මාර්ගයෙන් හා බටහිරෙන් සීගිරිය- මොරගස්වැව මාර්ගයෙන්ද මායිම් වී තිබෙනවා.
කොලඹ සිට එන සංචාරකයකුට කොලඹ- පොලොන්නරුව මාර්ගයේ(A 011) 182 වැනි කිලෝමීටර් කණුව අසලින් වන උද්‍යානය වෙත ඇතුළු වීමේ කාර්යාලයට ළඟා වෙන්නට පුළුවන්. පොලොන්නරුව සිට ලගා වෙන්නෙකුට A011 මාර්ගය ඔස්සේ ළඟා වෙන්නට පුළුවන්.
වියළි කාලයේදී 300කට අධික වල් අලි රංචුව
මින්නේරිය වන උද්‍යානයේ ජිවත් වන ක්ෂීරපායින් අතර වල් අලින්ට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයක්. වනජීවී දෙපාර්තුමේන්තුවේ දත්ත සටහන් වලට අනුව සාමාන්‍යයෙන් වල් අලි 150ත් 200ත් අතර සංඛ්‍යාවක් මෙහි වාසය කරනවා. නමුත් මෙම කලාපයට නියං දේශගුණික තත්වයක් ඇති වන අප්‍රේල් – ඔක්තෝම්බර් කාල වලදී 300කට අධික අලි රංචුවක් මින්නේරිය වැව් පිටියට සේන්දු වන ආකාරය පොලොන්නරුව කොලඹ මාර්ගයේ සිටද ඔබට නරඹන්නට පුළුවන්.
එම කාලයේදී A11 මාර්ගය හරස් කරමින් එහි ගමන් කරන වාහන වලට බාධා කරන අලි රංචුද දැක ගැනීමට පුළුවන්. ඊට හේතුව වන්නේ පැවතෙන අධික නියං දේශගුණික තත්වය හේතුවෙන් ත්‍රිකුණාමලය, පොලොන්නරුව හා මාතලේ දිස්ත්‍රික්කවලට අයත් වන රක්ෂිත වල ජීවත් වන වල් අලි ජලය හා ආහාර සොයා මින්නේරිය වන උද්‍යානය වෙත පැමිණීමයි.
එසේ පැමිණෙන වල් අලින් මින්නේරිය දේවාල භූමිය අසළ රැදී සිටිමින් ඒ අසලින් ගමන් කරන වාහන වලට ආහාර ඉල්ලා හොඩවැල දිගු කිරීම සාමාන්‍ය පුරුද්දක් කරගෙන තිබෙනවා. එසේ ඔවුන් වෙත ආහාර දීමේදී ඔවුන් වෙත පොලිතීන් ලබා නොදීමටත් තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමත් අනිවාර්යයෙන් කළ යුතුයි.
වන උද්‍යානයේ ශාක පද්ධතිය
මෙහිදී ශාක පද්ධති කිහිපයක් හදුනා ගන්නට පුළුවන් පහත් වියනක් සහිත මිටි වෘක්ෂලතාවන්ගෙන් යුත් කදු වැටි වනාන්තර, මධ්‍යස්ථ වියනක් සහිත ද්විතික වනාන්තර, කටු පදුරු වනාන්තර, තණ බිම් හා තෙත් බිම් වශයෙන් ප්‍රධාන ලෙස ශාක පද්ධතිය වර්ග කර දක්වන්නට පුළුවන්. මීට අමතරව වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව මඟින් අඹගස්වැව හා කහටිවෙමුල්ල ප්‍රදේශ වල වගා කරන ලද තේක්ක හා යුකැලිප්ටස් වගාවන්ද දකින්නට පුළුවන්.
ඉහත සදහන් කරන ලද පරිසර පද්ධති තුළ පලු, බුරුත, මිල්ල, කටුමැදිරිය, හල්මිල්ල හා වීර වැනි ශාක මෙන්ම වියළි කලාපයට අනන්‍ය ශාක වූ කටුඋණ හා වල් ඉදි ශාකයන් මගින් උද්‍යානයේ ශාක විවිධත්වය ඉහළ නන්වනු ලබනවා.
ක්ෂිරපායින්ගෙන්, පක්ෂින්ගෙන්, මත්සයින්ගෙන් හා උරගයින්ගෙන් පොහොසත් වූ මින්නේරිය
උද්‍යානය තුළ වල් අලි හැරුණු කොට තවත් ක්ෂීරපායින් විශේෂ 23ක් දකින්නට පුළුවන්. කදු වැටි සහිත ප්‍රදේශ වල ජිවත් වන ගෝන්නුන්, තෘණ භූමි ආශ්‍රිතව තිත් මුවන්ද, දුර්ලභ දිවියන් හා වලසුන් මින්නේරිය ජාතික වන උද්‍යානයට ඉහළ වටිනාකමක් ගෙන එනු ලබනවා. උස් තුරු මුදුන් වල ශ්‍රී ලංකාවට ආවේණික වදුරන් හා රිලවුන් දැක ගන්නට පුළුවන්.
අපේ රටේ ජාතික පක්ෂියා වන වලි කුකුළා ඇතුළුව ගිරා මලිත්තා, ලංකා මුදුන්බොර දෙමලිච්චා, අළු කෑදැත්තා, ඔළුව රතු කොට්ටෝරුවා හා හිස කළු කොන්ඩයා වැනි පක්ෂීන් නිතරම දැක ගන්නට පුළුවන්. මෙම ප්‍රදේශය තෙත් බිම් කඩක් හේතුවෙන් සංක්‍රමණික පක්ෂින්ද විශාල ලෙස ගැවසෙනවා. පැස්තුඩුවන් හා ලතුවැකියන් ඒ අතරින් ප්‍රධානයි.
මත්ස්‍ය විශේෂ ගණනාවකට මින්නේරිය වැව වාසස්ථානයක් බවට පත් වෙලා තිබෙනවා. මෙම විශේෂ අතරින් හතරක් ශ්‍රී ලංකාවට ආවේණික විශේෂයන් වෙනවා. මීට අමතරව ශ්‍රී ලංකාවට හදුන්වා දුන් “තිලාපියා” මත්ස්‍ය විශේෂය ද දැක ගන්නට පුළුවන්. හමු වන උභය ජීවින් අතර මෙරටට ආවේණික වූ බැඳීමැඩියා මෙන්ම සුලභ පහිබු ගස් මැඩියා ප්‍රධාන තැනක් ගන්නවා. උද්‍යානයට ඉහළ වටිනාකමක් ගෙන එන උරගයින් අතර හැලකිඹුලා, තිත් පොළඟා, පිඹුරා, තලගොයා හා කබරගොයා සත්ව විවිධත්වය වැඩි කිරීමට සමත් වෙනවා.
පොලිතින් ප්‍රශ්ණය හා ඔබේ වගකීම
වන අලින්ගෙන් ප්‍රවේශම් වීම සඳහා ගමන් කරන වාහනයෙන් නොබැසීමට වග බලාගත යුතුයි. වෙනත් ජාතික උද්‍යාන නරඹන විට සංචාරකයින්ට අදාළ නීති රීතීන් මෙම වන උද්‍යානයට අදාළ වූවත් මෙහි පැමිණෙන සංචාරකයන් බැහැර කරන පොලිතීන් පිළිබඳව උග්‍ර ගැටළුවක් මේ වන විට පැන නැඟී තිබෙනවා.
පොලිතීන් ආහාරයට ගෙන වනජීවින් මරණයට පත් වීම, ජලාශය අපවිත්‍ර වීම හා බිම් කඩ දුෂණය වීම ප්‍රධාන ගැටළු ලෙස නම් කරන්න පුළුවන්. ඉතින් ඔබත් සුන්දර මින්නේරිය නැරඹීමට යන්නට අදහස් කරනවානම් පොලිතීන් බැහැර කිරීම පිළිබඳව දෙවරක් සිතීම අවශ්‍ය වෙනවා. කෙටියෙන් පැවසුවහොත් පිය සටහන් හැර කිසිවක් නොතබා ජායාරූප හැර කිසිවක් රැගෙන නොඑන්නට පරිසර හිතකාමී සංචාරකයෙක් ලෙස ඔබ කටයුතු කළ යුතු වෙනවා.