Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මුලතිව් : අසාමාන්‍ය සංචාරක ආකර්ෂණයක්

ශ්‍රී ලංකාවේ උතුරුකරේ අලුතෙන් හදපු පාරවල් දිගේ අපි ගමන් කළේ හරිම සැහැල්ලුවෙන්. ටික දුරක් මෙහෙම යනකොට අපි යන පාරට සමාන්තරව දිවෙන නන්දිකඩාල් කලපුව දකින්න ලැබුණා. අපි ආපු ත්‍රීවිල් එකේ රියදුරු ශිවා අපිට එල්.ටී.ටී.ඊ හිටපු නායක ප්‍රභාකරන්ගේ මිනිය හොයා ගත්ත තැන පෙන්නුවා. එතන ත්‍රීවිල් එක ටිකක් නතර කරලා බලන්න යමු කියලා මම කිහිප සැරයක්ම ඉල්ලා හිටියත් ඔහු නැවැත්තුවේ නැහැ. තමන්ව දැක්කොත් හමුදාවෙන් ප්‍රශ්න කරයි කියලා එයා බයෙන් හිටියේ. එක පාරටම මෙවෙලේ ශිවා කියපු දේනම් මම කොහොමවත් බලාපොරොත්තු නොවුණු දෙයක්.

“ප්‍රභාකරන් මැරිලා නැහැ. සමහර මිනිස්සු කියනවා ඔහු ආපහු එනවා කියලා. කවදා හරි….” ශිවා එහෙම කියලා පාර දිහා බලාගෙන අපේ ඇස් මග හැරියා.

මම මේ ඔබට කිව්වේ මම මුලතිව් වල ගත කළ පළමු විනාඩි තිහ ගැනයි. මුලතිව් කියන්නේ ගොඩක් සංචාරක මාර්ගෝපදේශක පොත්වල දක්වලා නැති තැනක්. නමුත් තවමත් මුලතිව් ප්‍රදේශය යම් ප්‍රසිද්ධියක් දරනවා දීර්ඝ කාලයක් තිස්සේ තිබුණු ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අවසන් වුණු ප්‍රදේශය විදිහට. නැගෙනහිර පළාතට යාබදව නැගෙනහිර වෙරළාසන්නයේ තියන මේ නගරය බලන්න යන්න මට හිතුණේ මේ හේතුව නිසයි.

 ය පහර දීලා හානියට පත් වුණු යුධ නැවක් පුදුකුඩිඉරිප්පු යුධ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති ආකාරය.

එල්.ටී.ටී.ඊ.යට පහර දීම නිසා විනාශයට පත් ඔවුන්ගේ සබ්මැරීනයක් පුදුකුඩිඉරිප්පු යුධ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති ආකාරය.

ශිවා කියන්නේ මට මගේ යාලුවෙක් මාර්ගයෙන් හඳුනා ගන්න ලැබුණු ශ්‍රී ලංකික දෙමළ තරුණයෙක්. ඔහුගේ ඇත්ත නම කියන්න අකමැති වුණු නිසායි මම ඔහුව ශිවා කියලා හඳුන්වන්නේ. බොහොම මිත්‍රශීලී, සමාජශීලී බවක් පෙනුණු ඔහු උතුරු පළාතේ ඉපදුණු කෙනෙක්. කොහොම වුණත් දීර්ඝ කාලයක් අනුරාධපුර පැත්තේ ජීවත් වුණු නිසා ශිවාට දෙමළ වගේම හොඳට සිංහලත් කතා කරන්න පුළුවන්. ඒ වගේම ඔහුගේ ඉංග්‍රීසි දැනුමත් ඉතාම හොඳ මට්ටමක තිබුණා.

මම යාපනේ ඉඳලා ආවේ බස් එකක. මුලතිව් වලට එද්දී ගත වුණු පැය තුනක විතර කාලයක් පුරාවටම එක දිගටම දාල තිබුණේ දෙමළ සින්දු.

බස් එකේ මහා සද්දෙට සින්දු අහගෙන ඉඳලා එපා වෙලා හිටපු මම බස් එක නැවතුමට ආපු ගමන් ඉක්මනට එළියට බැස්සා. වාසනාවකට වගේ ශිවා මම එනතුරු බස් නැවතුම්පොළේ බලාගෙන හිටියා. ඔහු ඇවිත් තිබුණේ ත්‍රීවිල් එකකින්. ශිවාගේ අදහස වෙලා තිබුණේ මාවත් ත්‍රීවීල් එකේ දාගෙන මුලතිව් ප්‍රදේශය පුරාම රවුම් ගහන්නයි. මටත් මේක අහලා උනන්දුවක් ඇති වුණා ත්‍රීවීල් එකක ගිහින් අවට වටපිටාව ටිකක් දැක බලා ගන්න.

මුලින්ම අපි ගියේ පුදුකුඩුඉරිප්පු වල තියන යුධ කෞතුකාගාරය බලන්න. ශ්‍රී ලංකාවේ තියන වෙනස්කම් ජන වර්ගවලට, සංස්කෘතියට, එහෙම නැත්නම් භාෂාවට විතරක් සීමා වෙලා නෑ කියලා හිතුණේ අවට වටපිටාව දිහා බලද්දී. දකුණේ නිතරම ගස්වැල් බහුල හරිත බවක් දකින්න ලැබුණත් උතුරේ තිබුණේ හරිම වියළි බවක්.

මේ යුධ කෞතුකාගාරය ශ්‍රී ලංකාව පුරා අලුතෙන් ඇති වෙමින් තියෙන අමුතු සංචාරක කලාවක කොටසක්. මුලින් මම වගේ කුතුහලයක් තියෙන අය විතරක් එන තැනක් කියලා හිතාගෙන හිටියට බලාගෙන යද්දී මේ යුධ කෞතුකාගාරයත් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක්. දකුණෙන් ආව බොහෝ දෙනෙක් කෞතුකාගාරයේ ඉන්නවා දකින්න ලැබුණා. ශ්‍රී ලංකා හමුදාවේ පිරිස් තමයි කෞතුකාගාරය තුලදී මාර්ගෝපදේශකත්වය සැපයුවේ.

එල්.ටී.ටී.ඊ ය හදන්න උත්සාහ කරපු බවට සැලකෙන සබ්මැරීනයක සැකිල්ලක්

එල්.ටී.ටී.ඊ ය හදන්න උත්සාහ කරපු බවට සැලකෙන සබ්මැරීනයක සැකිල්ලක්

වන්නි මානුෂීය මෙහෙයුමේදී ගත්ත ෆොටෝ රැසක්ම මේ යුධ කෞතුකාගාරයේදී දකින්න ලැබෙනවා. යුධ හමුදාව හා එල්.ටී.ටී.ඊයේ යුධ ගැටුම් වලට හිර වෙලා හිටිය අහිංසක සිවිල් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා යුධ හමුදාව “යුධ මුක්ත කලාප”කිහිපයක් ඇති කරලා තිබුණා. කොහොම නමුත් මෙම කලාප වල හිටපු සිවිල් ජනතාවට ආරක්ෂාව හිමි වුණේ නැහැ කියලා දෙපැත්තටම චෝදනා තිබුණා. වර්තමානයේ රජයට ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න සිදු වුණත් එල්.ටී.ටී.ඊයේ වාසනාවට වගේ මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න එල්.ටී.ටී.ඊය දැන් නෑ.

“ශ්‍රී ලංකා යුධ හමුදාව හිතා මතාම සිවිල් ජනතාව මැරුවා කියලා ඔයා හිතනවද?” කියලා මම ශිවාගෙන් ඇහුවා.

රටේ ජීවත් වෙන ද්‍රවිඩ ජනතාවට හොඳ තැනක් බලාපොරොත්තු වුණ කෙනෙක් වුණු ශිවා යුධ හමුදාව සැලසුම් සහගතව කෘර ක්‍රියා කරා කියන එක එකහෙලා ප්‍රතික්ෂේප කරන කෙනෙක්.

“නෑ, එයාලා යුද්ධය ඉවර කරන්න තමන්ගේ රාජකාරිය කළා විතරයි” කියලා ශිවා මට නොපැකිල උත්තර දුන්නා.

යුධ හමුදාව එල්.ටී.ටී.ඊයෙන් අල්ලා ගත්තු නාවික ප්‍රහාරක යාත්‍රා, තුවක්කු වගේම වෙනත් යුධ උපකරණ මේ එළිමහන් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කරලා තිබුණා. මෙහි පැමිණි සංචාරකයන්ට එල්.ටී.ටී.ඊයට වෛර කරනවාට වඩා ඔවුන්ගේ නිර්මාණශීලී අදහස් ගැන පුදුම වෙන්නයි සිදු වෙන්නේ. එක අතකට බැලුවාම මේ යුධ කෞතුකාගාරය එල්.ටී.ටී.ඊ ය කරපු කෲර අපරාධ මතක් කරලා දෙන තැනකට වඩා ඔවුන්ට සරල දේවල් අති සාර්ථක යුධ උපකරණ බවට පත් කරගන්න තිබුණු හැකියාව ප්‍රදර්ශනය කරන තැනක් කියන්න පුළුවන්.

ශ්‍රී ලංකා රජයේ හමුදාවන් වල විජයග්‍රහණය වෙනුවෙන් පුදුකුඩුඉරිප්පුවේ ඉදි කර ඇති විජයග්‍රහණයේ ස්මාරකය.

ශ්‍රී ලංකා රජයේ හමුදාවන් වල විජයග්‍රහණය වෙනුවෙන් පුදුකුඩුඉරිප්පුවේ ඉදි කර ඇති විජයග්‍රහණයේ ස්මාරකය.

යුධ කෞතුකාගාරයට ටිකක් ඈතින් දකින්න තිබුණේ විජයග්‍රාහී ස්මාරකය. මේ ස්මාරකය ශ්‍රී ලංකා යුධ හමුදාව ලංකාවේ සිවිල් යුද්ධය ජය ගැනීම සිහිපත් කරන්න තියන අනර්ඝ සිහිවටනයක්. කොහොම උණත් යුධ ජයග්‍රහණය සමරන තරම්ම ඉහළින් යුද්ධයේදී මිය ගිය සිවිල් ජනතාව ගැන සැලකිලිමත් වෙන්නේ නැති එක ගැන අන්තර්ජාතිකව විශාල වශයෙන් (සහ යම් ප්‍රමාණයකට දේශීය වශයෙනුත්) චෝදනා එල්ල වෙලා තියෙනවා. මීට පෙර යුද්ධයෙන් අතුරුදහන් වුවන් කියලා සලකපු සියලුම පුද්ගලයින් මිය ගිය අය ලෙස පිළිගන්න වර්තමාන රජය තීරණය කරලා තියනවා. යුද්ධය නිසා ජීවිතයෙන් වන්දි ගෙවපු සිවිල් ජනතාව සිහි කරන්න මේක යම් ආකාරයක සිහිවටනයක් වේවි.

මම එතන ඉඳගෙන ක්‍රීම් සෝඩා උගුරක් තොලගාමින් සිටිනවිට හික්කඩුවේ ඉඳලා ආපු එක කාන්තාවක් මම ඉන්දියාවෙන් ආව කෙනෙක් කියලා අඳුර ගත්තා. ඇය මගෙන් ඇහුවා “ඇයි ඔයා මේ දෙමළ පිරිමි ළමයි ටිකක් එක්ක ඉන්නේ?” කියලා.

එයාලා මගේ හොඳ යාළුවො වගේම අපූරු මිනිස්සු කට්ටියක් කියලා මම ඇයට පැහැදිලි කළා. ඇය ඒ බව පිළිගත්තු බවක් පෙනුණේ නැති වුණාට දෙපැත්ත කැපෙන ප්‍රශංසාවක් කරන්නත් අමතක කළේ නැහැ. “මේ වගේ ත්‍රස්තවාදී පැතිවල වුණත් බලන්න වටින දේවල් ගොඩක් තියනවා.” කියාගෙන ඇය එතනින් යන්න ගියා. මේ වගේ පොඩි කියමන්වලින් එල්.ටී.ටී.ඊය ගැන මතකයන් ඉක්මණට වැලළෙන්නේ නැති බව ඕනෑම කෙනෙකුට පැහැදිලිව දකින්න පුළුවන්.

එල්.ටී.ටී.ඊයේ නාවික බල ඇණිය වුණු මුහුදු කොටින් පුහුණු කරන්න යොදා ගත් පිහිනුම් තටාකයක්.

එල්.ටී.ටී.ඊයේ නාවික බල ඇණිය වුණු මුහුදු කොටින් පුහුණු කරන්න යොදා ගත් පිහිනුම් තටාකයක්.

මුලතිව් අසළ තියන කැලෑබද ප්‍රදේශ ඇතුලේ සංචාරකයන්ට බලන්න වටින තවත් අමුතුම තැනක් දකින්න පුළුවන්. ඒ තමයි මුහුදු කොටි බලකායේ සාමාජිකයන් පුහුණු කරපු පිහිනුම් තටාකය. නොදියුණු පැත්තක තිබුණත් මේක ඔලිම්පික් පිහිනුම් තටාකයක් තරම්ම විශාලයි. අඩි 83ක් දිග, අඩි 22ක් ගැඹුරු මේ පිහිනුම් තටාකය ශ්‍රී ලංකාවේ තියෙන මේ ප්‍රමාණයේ පිහිනුම් තටාක කිහිපයෙන් එකක් වෙන්න ඇති.

මේ පිහිනුම් තටාකය තියෙන තැනට ටිකක් දුරින් (ත්‍රීවිල් එකේ විනාඩි කිහිපයක ගමනක්) එල්.ටී.ටී.ඊ සංවිධානයේ තවත් නාවික උත්සාහයක නටඹුන් දැක ගන්න පුළුවන් ස්ථානයක් තියෙනවා. මේ ස්ථානයේ ත්‍රස්තවාදී කණ්ඩායම සබ්මැරීන අත්හදා බලලා තියෙනවා. මේ අත්හදා බැලීම් සාර්ථක වුණා නම් ශ්‍රී ලංකා හමුදාවන්ට එරෙහිව ප්‍රහාර එල්ල කරන්න ඔවුන්ට තියෙන හැකියාව සැලකිය යුතු විදිහට වර්ධනය කර ගන්න පුළුවන් වෙන්න ඉඩ තිබුණා.

අපි එතැනට යන වෙලාවේ හිටියේ එක හමුදා සොල්දාදුවෙක් විතරයි. ඔහුත් විමසිල්ලෙන් ඉන්නවා වෙනුවට ළඟ තිබුණු රේඩියෝ එකකින් සින්දු අහමින් විනෝදයෙන් හිටියා. ඉස්සර වගේ එල්.ටී.ටී.ඊ යෙන් ප්‍රහාර එල්ල වෙන අවදානමක් දැන් නැති නිසා ඔහුට නිදහසේ සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්.

දවල් කෑම වෙලාවට කලින් අපි එල්.ටී.ටී.ය ඒ කාලයේ ජෝර්දානයට අයත් නෞකාවක් පැහැර ගත්තු තැනට ළඟා වුණා. සහල් සහ වෙනත් භාණ්ඩ ගණනාවක් අරගෙන ඉන්දියාවේ ඉඳන් දකුණු අප්‍රිකාවට යාත්‍රා කරමින් තිබුණු මේ නැවේ නම Farah III. අවාසනාවකට වගේ අතරමගදී ඇති වුන එන්ජින් දෝෂයක් නිසා මේ නැවට කොටින්ට අයත් වෙලා තිබුණු මුහුදු සීමාවක නැංගුරම් දාන්න සිද්ධ වුණා. කොටි ත්‍රස්තවාදීන් තමන්ගේ කෲර බව ප්‍රකට කරමින් නැව සිරභාරයට අරගෙන ඒ තුල තිබුණු හැම උපකරණයක්ම පැහැර ගත්තා. තිබුණු භාණ්ඩ සේරම තමන් සතු කරගෙන එය ඔවුන්ගේ මුහුදු මෙහෙයුම් වල අණ දෙන මධ්‍යස්ථානය බවට පත් කර ගත්තා. දැනට අවුරුදු දෙකකට කලින් රජයෙන් Farah III නැව එතනින් ඉවත් කරන තුරුම එය තිබුණු තැනම නැංගුරම දාලයි තිබුණේ.

එල්.ටී.ටී.ඊ පැහැරගෙන විනාශ කරපු Farah III නම් ජෝර්දානු නැවේ වර්තමාන තත්වය.

එල්.ටී.ටී.ඊ පැහැරගෙන විනාශ කරපු Farah III නම් ජෝර්දානු නැවේ වර්තමාන තත්වය.

එක අතකින් බැලුවාම එක තැන තියෙන මේ Farah III නැව ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වයේ හොඳ නිරූපණයක් කියලත් හිතෙනවා. මේ භූමිය මොන තරම් සුන්දරද කියනවා නම් ඒ සුන්දරත්වයට වන්දි ගෙවන්න සිද්ධ වුණේ කුරිරු යුද්ධයකට මුහුණ දීලයි.

මුලතිව් ප්‍රදේශය අවට තියෙන කඩ වල සහ ගෙවල් වල බිත්ති මත තවමත් යුද්ධයේ මතක සටහන් විදිහට වෙඩි වැදිලා සිදුරු වුණු තැන් දැක ගන්න ලැබෙනවා. නමුත් රජය සහ අනෙකුත් සහනාධාර ලබා දෙන ආයතන වලින් ලැබුණු උදව් උපකාර මත යටිතල පහසුකම් දියුණුව විශාල වශයෙන් මේ ප්‍රදේශයට ලැබිලා තියෙන බව දකින්න පුළුවන්. හැම පාරක්ම වගේ අලුත් පාටින් දිළිසෙනවා. මුලතිව් නගරයට අලුත් පණක් ලැබිලා පිබිදෙන බවකුත්  පෙනෙනවා.

පොංගල් උත්සවය නිමිත්තෙන් මුලතිව් අවට තැන් කීපයකදීම නොමිලේ කෑම බීම බෙදා හැරියා.

පොංගල් උත්සවය නිමිත්තෙන් මුලතිව් අවට තැන් කීපයකදීම නොමිලේ කෑම බීම බෙදා හැරියා.

මම මුලතිව් වලට ආව දවසේම තමයි කියන වට්ටප්පලෙයි කෝවිලේ වාර්ෂික උත්සවය තිබුණේ. මේක හඳුන්වන්නේ වට්ටප්පලෙයි [කෝවිලේ] කන්නකි අම්මාන් [දේවතාවිය වෙනුවෙන් පිදෙන] පොංගල් [උත්සවය] නැතිනම් වට්ටප්පලෙයි කන්නකි අම්මාන් පොංගල් කියලා. (Vattappalai Kannaki Amman Pongal) අවුරුද්දෙන් වැඩි කාලයක් පාළුවටම ගිහින් තියෙන මේ ප්‍රදේශය උත්සවය දවසට බැතිමතුන්ගෙන් පිරිලා ඉතිරිලා යනවා. හින්දු බැතිමතුන් වගේම බෞද්ධයන් පවා මේ උත්සවයට සහභාගී වෙනවා තමන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ඨ කර ගන්න. මේ කන්නකි අම්මාන් දේවතාවිය පතන දේ ඉටු කර දෙන දේවතාවියක් විදිහට ලොකු ප්‍රසිද්ධියක් උසුලන කෙනෙක්.

මම ආයෙත් ශිවාගෙන් කලින් ප්‍රශ්නයම ඇහුවා. “ඔයා ඇත්තටම හිතනවාද ප්‍රභාකරන් ආයෙත් එයි කියලා?..”

මේ වෙලාවේදී ඔහු ටිකක් ප්‍රයෝගික වුණා.

“ප්‍රභාකරන් මැරිලා කියලා මම දන්නවා මචං. අපි යුද්ධය සම්පුර්ණයෙන්ම අමතක කරලා ශ්‍රී ලංකාවේ හැමෝටම එකට ජීවත් වෙන්න පුළුවන් සාමකාමී විසඳුමක් හොයා ගන්න ඕනේ….”

කාවරියෙක් (kawariya) හෙවත් දේව බැතිමතෙක් කන්නකි අම්මාන් කෝවිල අසල.

කාවරියෙක් (kawariya) හෙවත් දේව බැතිමතෙක් කන්නකි අම්මාන් කෝවිල අසල.

හිරු රත් පැහැයෙන් බැසගෙන යද්දී අපිත් අපේ මුලතිව් ගමනට සමුදෙන්න සුදානම් වුණා. එන්න පිටත් වෙද්දී ශිවා අපිට මෙහෙම කිව්වා. “ඒ දවස් වල එල්.ටී.ටී.ඊ ය අම්මාන් කෝවිලට මල් වැසි වැස්සෙව්වා. දැන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඒ වැඩේ කරනවා.”

මුලතිව් වලට ඇති අනාගත අවස්ථා වලට මේක හොඳ පෙර දසුනක්…

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසාන වුණු නගරය කියලා ප්‍රසිද්ධ වෙනවා වෙනුවට කවදා හරි මුලතිව් ප්‍රදේශය අලුත්, එක්සත් ශ්‍රී ලංකාවක් බිහි වෙන්න මුල් වුණු නගරය විදිහට ප්‍රසිද්ධ වෙන්න වුණත් ඉඩ තියෙනවා. ඒ තත්වයට පත් වෙන්න මීට වඩා මහන්සි වෙන්න සිද්ධ වේවි, හැබැයි ඒක උත්සාහ කරලා බලන්න වටින දෙයක්, මචංලා…

සියලුම ඡායාරූප සඳහා අනුග්‍රහය සචින් භන්දාරි

මේ ලිපියේ මුල් කර්තෘ ඉන්දියාවේ මුම්බායි නුවර හිටපු මහජන සම්බන්ධතා නිලධාරීවරයෙක්. පසුව ඔහු ලොව පුරා සංචාරය කරන්න වගේම විවිධ අභියෝග වලට මුහුණ දෙන්න හිතාගෙන තමන්ගේ රැකියාවෙන් ඉවත් වෙලා. ඔහු ලෝකය පුරා ගිහින් ලබපු අත්දැකීම් ගැන දැන ගන්න කැමති නම් ඔහුගේ ඉන්ස්ටාග්‍රෑම්, ෆේස්බුක්, ට්විටර් ගිණුම් සහ ඔහුගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න ඔබට පුළුවන්.

පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ 

Related Articles