“නුවරඑළිය” කිව්වාම වැඩි දෙනෙක්ට ඒ ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. ලංකාවේ වැඩිම උෂ්ණත්වය කොහේ වාර්තා වුණත් මොන කාලගුණ වාර්තාවෙත් අඩුම උෂ්ණත්වය තියෙන්නේ නුවරඑළියේ තමයි. ඉස්සර ඉඳලාම පුංචි එංගලන්තය විදිහට නුවරඑළිය ප්‍රසිද්ධ වුණෙත් මේ සීතල දේශගුණය නිසාමයි. දැන් දැන් රට පුරාම සාමාන්‍ය උෂ්ණත්වය එන්න එන්නම ඉහළ යන නිසා ඇඟට සිසිලක් ගන්න නුවරඑළියට එන දේශීය සංචාරක පිරිසෙත් සැලකිය යුතු වැඩි වීමක් තියෙනවා.
නුවරඑළියේ ගිහින් කරන්නේ මොනවද කියලා ඇහුවොත් බොහෝ දෙනාට ජනප්‍රිය පිළිතුරක් තියෙනවා, ඒ තමයි කෝට්, ජර්සි, ස්වෙටර්ස් එහෙම ඇඳගෙන, මන්කි තොප්පි දාගෙන, මෆ්ලර් බැඳගෙන ඇවිදින්න යන එක. ඒ යන ගමන් අවට වතු වල සාරෙට හැදෙන ස්ට්‍රෝබෙරි ගෙඩි කන්නත් පුළුවන්. වැඩි දෙනා නුවරඑළියට එන අප්‍රේල් මාසයේ සීතල ටිකක් අඩු නිසා දවල්ට නම් කවුරු අතේ බැලුවත් අයිස් ක්‍රීම් කෝන් එකක් තියෙනවා. ග්‍රෙගරි වැව වටේ ඇවිදින්නම හදලා තියෙන පාක් එකේ රවුමක් යන එකත් මේ පැත්තට එන කාගේ වුණත් දින චර්යාවට ඇතුලත් වෙන දෙයක්. කැමති නම් වැවේ ස්පීඩ් බෝට්ටුවක් හරි වෝටර් ස්කූටර් එකක් හරි පදින්නත් පුළුවන්.
හතර වටේම ගස් කොළන් පිරුණු සුන්දර පරිසරය නිසා ෆොටෝ ගන්නත්, සෙල්ෆි ගහ ගන්නත් කියාපු තැනක් තමයි නුවරඑළිය. අප්‍රේල් මාසේ එනවා නම් කානිවල් එකට ගිහින් විනෝද වෙන්නත් ඔබට අවස්ථාව තියෙනවා. නුවරඑළියේ නවාතැන් ගන්න එන වැඩි දෙනා කුළියට ගත්ත ගෙවල් වල තමයි නවතින්නේ, ඉතින් රෑ වුණාම ගාඩ්න් එකේ ග්‍රිල් එකක් එහෙම එළියට අරගෙන පාටියක් දාන්නත් වැඩි දෙනා අමතක කරන්නේ නැහැ.
අපි මේ කිව්ව දේවල් වැඩි දෙනෙක්ට අලුත් දේවල් නොවෙන්න ඇති. නමුත් අපි මේ කතා කරන්න යන්නේ නුවරඑළියට එන වැඩි දෙනෙක් ඒ තරම් උනන්දුවක් නොදක්වන තැන් දෙකක් ගැන කතා කරන්නයි. විශේෂයෙන්ම සීසන් දවස් වලට සද්දෙයි, ට්‍රැෆික් එකයි නිසා නිස්කලංක බව අඩුයි වගේ දැනෙනවා නම් සෙනග ගැවසෙන තැන් වලින් මිදිලා සුන්දර නිස්කලංක පරිසරයකට මාරු වෙන්න මේවා කියාපු තැන්. හැම අවුරුද්දෙම වගේ නුවරඑළියේ එන අයටත් අලුත් අත්දැකීමක් ගන්න මේක හොඳ අවස්ථාවක්. නගරයේ ඉඳන් වැඩි දුරක් නැති නිසා පහසුවෙන්ම ලඟා වෙන්නත් පුළුවන් තැන් දෙකක්. අපි මේ කියන්න යන්නේ ගැල්වේස් ලෑන්ඩ් ජාතික වනෝද්‍යානය සහ සඳ තැන්න ගැනයි.
ගැල්වේස් ලෑන්ඩ් ජාතික වනෝද්‍යානය – නගරයට යාබද වනාන්තරයක්
ගැල්වේස් ලෑන්ඩ් (Galway’s Land) ජාතික වනෝද්‍යානය කියන්නේ ග්‍රෙගරි වැව ඉස්මත්තේ ටිකක් උතුරු පැත්තට වෙන්න පිහිටලා තියෙන පුංචි වනාන්තරයක්. ජාතික වනෝද්‍යානයක් කිව්වම වැඩි දෙනෙක් දන්නෙවත් නැහැ නුවරඑළියේ එහෙම එකක් තියනවා කියලා. වැඩිපුර ප්‍රසිද්ධ නැති වුණත් ලංකාවේ කොයි වනෝද්‍යානයත් පරදන තරම් සුන්දර බවක් මේ පුංචි වනාන්තරයේ තියෙනවා. මෙතනට ටවුමේ ඉඳන් එන්න පාරවල් දෙකක් තියෙනවා; එකක් හැව්ලොක් පාර, අනික ඉහළ වැව පාර. (අපර් ලේක් රෝඩ් – Upper Lake Road කිව්වම තමයි වැඩි දෙනෙක් දන්නේ) මේ දෙකෙන් හැව්ලොක් පාර දිගේ එන එක තමයි වඩාත් පහසු. වාහනයකින් එන්නත් පුළුවන්, හැබැයි වෙලාව තියෙනවා නම් හොඳම වැඩේ පයින් ඇවිදගෙන එන එක. වාහනයක එනවට වඩා ඉතා හොඳට පරිසරය විඳින්න පුළුවන් වෙන්නේ එතකොටයි.
කලිනුත් කිව්වානේ මේක පුංචි වනාන්තරයක් කියලා. ප්‍රධාන වන වැස්ම තියෙන්නේ අක්කර 22ක් වගේ පොඩි ප්‍රමාණයක විතරයි. උඩු රෝපණය වගේම යටි රෝපණයත් ඝනව පැතිරිලා තියෙනවා. වැහි කාලෙට ඉර එළිය නොවැටෙන තරමටම උඩු වන වැස්ම ඝනව වැවෙනවා. ඒ නිසාම යන්තම් හවස් වේගෙන එන වෙලාවේදී වුණත් මේ වනෝද්‍යානය ඇතුලේ තියෙන්නේ මද අඳුර පිරුණු නිස්කලංක පරිසරයක්. කිලෝ මීටර් දෙකක විතර සකස් කරපු අඩි පාරක් මේ වනාන්තරය හරහා වැටිලා තියෙනවා. වටපිට බලන්න නැවතිලා යන්නේ නැතිනම් පැය භාගයක් යන්නත් කලින් ඒ පැත්තේ ඉඳන් මේ පැත්තට එන්න පුළුවන්. කිසිම බාහිර සද්දයක් නැති, කලබලකාරී කමෙන් මිදුණු මේ අඩිපාරේ ඇවිදින එක ස්වභාව ධර්මයට ප්‍රිය කරන කාටත් ඉමිහිරි අත්දැකීමක්.
මේ අඩි පාර හරහා ඇවිදගෙන යන අතර මගදී ඔබට හමු වෙන සතුන් ගැන තොරතුරු අඩංගු පුවරු ගණනාවක් දකින්න පුළුවන්. ගැල්වේස් ලෑන්ඩ් අභය භුමියේ ලංකාවට ආවේණික සතුන් කිහිප දෙනෙක්ම දකින්න ලැබෙනවා.
කුරුල්ලන් නම් නිතර දකින්න ලැබුණත් වෙනත් සතුන් දකින්න ලැබෙන්නේ ටිකක් කලාතුරකින් තමයි. අපේ මග පෙන්වන්නා කිව්වෙත් ලොකුවට බලාපොරොත්තු තියා ගන්න එපා කියලයි. මේ උද්‍යානයට එන වැඩි දෙනා නගන මැසිවිල්ලක් තමයි කිසිම සතෙක් දකින්න ලැබුණේ නැහැ කියන එක. ඔබට වාසනාව තියෙනවා නම් මේ උද්‍යානය ඇතුලේ ඉන්න නා නා ප්‍රකාර සතුන් ගණනාවක් දැක ගන්න පුළුවන් වේවි, හැබැයි අපි නම් දැක්කේ වළි කුකුල්ලු, කටුසු කුලයේ සත්තු සහ බිම්මල් විතරයි. මේ උද්‍යානයට එන සමහරුන්ට නම් ගෝන්නු, මුවෝ, මී හරක් වගේ විශාල සතුන් එහෙමත් දකින්න ලැබිලා තියෙනවාලු. හාවෝ, ඉත්තෑවෝ වගේ ප්‍රමාණයෙන් පොඩි සතුනුත් ඉන්නවා. නිතරම තියෙන වැසි සහිත කාලගුණයයි, අඳුරයි නිසා ඇතුලේ ඉන්න සත්තු දකින්න තරමක් අපහසුයි. කණ්ඩායමක් විදිහට යනවා නම් වැඩිය සද්ද නොකර යන්න බලන්න. කොහොම වුණත් කුරුල්ලන් එහෙම නම් ඕන තරම් දකින්න පුළුවන්.
ගැල්වේස් ලෑන්ඩ් කියන්නේ බොහොම පුංචි වන රක්ෂිතයක්, මේක නුවරඑළිය ප්‍රදේශයේ තියෙන ලොකුම වනාන්තරයවත් නෙවෙයි. හැබැයි මේ නිස්කලංක පරිසරය තුලින් වැටිලා තියෙන අඩිපාර දිගේ ඇවිදගෙන යන එක ඉතාම සුන්දර අත්දැකීමක්. නගරයට ඇවිදින දුරක තිබුණත් වැඩි දෙනෙක් එන්නේ නැති නිසා කිසිම වෙලාවක නගරේ තියෙන ඝෝෂාකාරී ගතිය මේ පැත්තට දැනෙන්නේ නැහැ.
මේකට වැඩි දෙනා නොඑන්න හේතු වෙන තවත් කරුණක් තමයි අය කරන මුදල. ශ්‍රී ලංකාවේ කෙනෙකුට රුපියල් 40ක් වගේ පුංචි මුදලක් අය කෙරුණත් නුවරඑළියට වැඩිපුරම එන විදේශික අයට මේ පාරේ ඇවිදගෙන යන්න ඩොලර් 10ක් ගෙවන්න සිද්ධ වෙනවා. නමුත් විදේශිකයන්ගෙන් මේ වගේ ලොකු අය කිරීමක් කරන එක ලංකාවේ කොයි සංචාරක ආකර්ෂණයේත් දකින්න තියෙන දෙයක් නිසා ඒ ගැන කතා කරලා තේරුමක් නැහැ. (පිටරට යාලුවෙක් එක්ක තැනකට යනවා නම් ඒ ගැන කියන්න දෙයක් එහෙමත් සුදානම් කරගෙන යන එක වැඩිය හොඳයි.)
කොහොම වුණත් ලංකාවේ කෙනෙක්ට නම් තමන්ගේ නුවරඑළිය ගමනට අලුත් අත්දැකීමක් එකතු කරගන්න මේ ගැල්වේස් ලෑන්ඩ් ජාතික වනෝද්‍යානය හොඳම තැනක්.
සඳ තැන්න, සුරංගනා ලෝකයෙන් බිඳක්
සඳ තැන්න, එහෙමත් නැතිනම් මූන් ප්ලේන්ස් (Moon Plains) කියන්නේ නුවරඑළියට එන වැඩි දෙනා නොදන්න තවත් සුන්දර ඉසව්වක්. නුවරඑළිය කිව්වාම වැඩි දෙනාගේ මතකයට එන්නේ එක්කෝ සීතල, නැතිනම් උස කඳු, තේ වතු, ස්ට්‍රෝබෙරි වගේ දේවල් නේ. නමුත් නුවරඑළිය අපිට වැදගත් වෙන තවත් කාරණයක් තමයි අර්තාපල් අල. කිව්වාම කට්ටියට හිනා යන්නත් ඇති, හැබැයි ලංකාවේ දේශීය අල නිෂ්පාදනයෙන් වැඩි හරියක් සිද්ධ වෙන්නේ නුවරඑළිය ප්‍රදේශයේ. එයිනුත් වැඩිම හරියක් සඳ තැන්න ආශ්‍රිතව තියෙන වගා භූමි වලින් තමයි ලැබෙන්නේ.
අවුරුදු දෙකකට කලින්, ඒ කියන්නේ 2014 අවුරුද්දේ සඳ තැන්න ප්‍රදේශය සංචාරකයන් සඳහා විවෘත කෙරුණා. මේකට සඳ තැන්න කියන්න හේතුව නම් අපි හරියටම දන්නේ නැහැ. (මේ ලිපිය කියවන කෙනෙක් ඒ ගැන හරි තොරතුරක් දන්නවා නම් කාගේත් දැනගැනීම සඳහා අපේ ෆේස්බුක් පොස්ට් එකේ කමෙන්ට් එකක් දාන්න කියලත් ඉල්ලීමක් කරනවා) තැනිතලා බිමකට වඩා මේ ප්‍රදේශය තණකොළ වලින් වැසුණු පැතලි කඳු මුහුණතක් කිව්වොත් වඩාත් නිවැරදියි. මේක සංචාරකයන් සඳහා විවෘත කරන්න කලින් කුණු බැහැර කරන ප්‍රදේශයක් විදිහටයි පාවිච්චි කරලා තියෙන්නේ. පසුව ගොඩ කරපු භූමියක් විදිහට සකස් කරලා “කෘෂිකාර්මික සහ පාරිසරික කලාපයක්” විදිහට නුවරඑළිය මහනගර සභාව මගින් වර්ගීකරණය කරා. ඇත්තටම මෙතනට ගිහින් බලද්දී හිතෙනවා මීට කලින් මේ ප්‍රදේශය ප්‍රයෝජනයකට ගත්තේ නැත්තේ අපරාදේ කියලා. සඳ තැන්න ඇත්තටම හරිම සුන්දර දර්ශන පිරුණු ප්‍රදේශයක්.
සඳ තැන්න තියෙන්නේ නුවරඑළිය නගරයේ ඉඳලා කිලෝමීටර් කිහිපයක් දුරින්. මෙතනට එන්න වැව පහු කරගෙන මාගස්තොට පාරේ ඉදිරියට එන්න අවශ්‍යයි. මාගස්තොටින් උතුරට හැරිලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය අර්තාපල් බීජ ගොවිපොළ තියෙන පැත්තට එන්න. නුපුරුදු කෙනෙක්ට මේ පැත්ත ටිකක් හොයා ගන්න අපහසු වෙන්න පුළුවන්, ඒ නිසා පාරෙන් පිට ගිහින් වගේ දැනුණොත් හමු වෙන කෙනෙකුගෙන් පාර අහ ගන්න. පොඩි පාරවල් වලට හැරුණාට පස්සේ සඳ තැන්න පැත්තට ඊතල දාපු පුවරු කිහිපයක් දකින්න ලැබේවි.
මේ පාරේ ගියාම ඔබට හමු වෙනවා ගොඩනැගිලි කිහිපයක් තියෙන ප්‍රදේශයක්. ඒ අවට ජීප් කිහිපයකුත් නවත්වලා තියෙනවා. අපි මුලින් හිතුවේ සඳ තැන්න පැත්තේ ඇවිදින්න යන්න. හැබැයි ජීප් එකෙන් යන්න විතරයි අවසර තියෙන්නේ. ටිකට් එකක් ගන්නත් ඕනේ. මේකත් ලංකාවේ කෙනෙක්ට රුපියල් 50ක් වගේ වෙද්දී විදේශිකයන්ට රුපියල් 250ක් ගෙවන්න සිද්ධ වෙනවා. නමුත් ගැල්වේස් ලෑන්ඩ් එකට වඩා නම් මිල සාධාරණයි කියලා හිතන්න පුළුවන්. ලොකුම ප්‍රශ්නය තමයි ජීප් එකක් හයර් කර ගන්න වෙන එක. කිලෝමීටර් කිහිපයක ගමනට රුපියල් 2000ක් වගේ ගෙවන්න සිද්ධ වෙන එක ගැන නම් අපිට ටිකක් දුකයි.
කොහොම වුණත් මේ විදිහට ජීප් එකක් හයර් කර ගත්තාට පස්සේ වටපිටාව බලන්න පුළුවන් ලස්සන පාරක් දිගේ තමයි ගමන තියෙන්නේ. මේකත් ටිකක් සෆාරි ගමනක් වගේ. මග දිගටම තැනිතලා නිසා බොහොම ඈතට ලස්සන දර්ශනයක් දැක ගන්න පුළුවන්. පාර නම් හොඳටම සවුත්තුයි, කාර් එකකින් යන්නම බැහැ. ජීප් එකේ ගියත් ගමන යන්නේ හිමින් හිමින් තමයි. ඇත්තටම අපිට ඇවිදගෙන යන්න තිබුණා නම් හොඳයි කියලා අනන්ත වාරයක් හිතුණා. ජීප් එකේ යන්න බල කරන එක මොන තරම් අසාධාරණද? කොහොම නමුත් ලංකාවේ සංචාරක ව්‍යාපාරය ගැන අපි වැඩි දෙයක් නොදන්න නිසා ඒ ගැන වැඩිය කතාවට ගියේ නැහැ.
මේ කොයි ප්‍රශ්නේ තිබුණත් සඳ තැන්න හරහා ගමන නම් හරිම චිත්තාකර්ෂණීයයි. තණකොළ වල තිබුණේ අමුතුම ලස්සනක්, සනීප සීතල සුළඟෙත් අමුතුම මිහිරි ගතියක් තිබුණා. මුළු වටපිටාවම හොඳින් පෙනෙන තරම් වාතය හරිම පැහැදිලියි. පාර දිගේ යනකොට වතු වල වැඩ කරන ගොවීන් එහෙම දැක ගන්න පුළුවන්. අපි යද්දී කිහිප දෙනෙක් පාරට වෙලා කෑම කමින් ඉන්නවාත් දැක්කා. සාරෙට හැදුණු තණකොළ කකා ඉන්න එළදෙන්නු තැනිතලාව පුරාම විසිරිලා ඉන්නවා දකින්න ලැබෙනවා. අහස දිහා බැලුවොත් ගොදුරක් දකින තුරු කැරකි කැරකි ඉන්න උකුස්සන් කිහිප දෙනෙක්ම දකින්න ලැබේවි. ටිකක් උවමනාවෙන් බැලුවොත් ඈත තියෙන මඩ ගොඩැලි උඩ ඉඳගෙන ගොදුරු හොයන වෙනත් මාංශ භක්ෂක කුරුල්ලන් වුණත් දැක ගන්න පුළුවන්. (අපේ උඩ රූපයේ ඉන්නෙත් ඒ වගේ කුරුල්ලෙක්) සඳ තැන්න පුරාවට තියෙන තැනිතලා භූමිය මීයන් වගේ ගුල් හාරන සත්තු බහුල ප්‍රදේශයක් නිසා මේ මේ ප්‍රදේශය උකුස්සන්ගේ, රාජාලියන්ගේ රජදහනක්.
අපි කලිනුත් කිව්වා වගේ සඳ තැන්න කියන්නේ කඳු මුහුණතක්. මේ නිසා ගමනේ මැදක් හරියේදී ප්‍රදේශයේ උස් බිමකට ලඟා වෙනවා. මේ හරිය අපි ලංකාවේදී දැකපු ලස්සනම දර්ශන පිරුණු තැනක් කිව්වොත් වැරැද්දක් නෑ. බලන බලන හැම පැත්තකටම කිලෝමීටර් ගණනාවක් ඈතට කිසිම බාධාවක් නැතිව දැකගන්න පුළුවන්. හරියට මුහුද මැද්දේ තියෙන පුංචි දූපතක ඉඳන් වටපිට බලනවා වගේ. අහස මේ තරම් ලොකුයිද කියලා අපිට මුලින්ම හිතුණේ එදා. මෙතන ඉඳන් වටපිට බලද්දී අවට තියෙන හැම උස් කඳු මුදුනක්ම ඈත ක්ෂිතිජයේ දැක ගන්න පුළුවන්. කිරිගල්පොත්ත, තොටුපළ, හක්ගල කියන තුන එක පැත්තකින් පෙනෙන්ද්දී අනිත් පැත්තේ පිදුරුතලාගල, කිකිළියාමාන, නමුණුකුල කඳු දැක ගන්න පුළුවන්. හතර වටේටම හැරිලා බලන්න කදිම තැනක්. අලුත් ට්‍රෙන්ඩ් එකේ 360˚ ෆොටෝස් ටිකක් අරගන්න මීට වඩා හොඳ තැනක් නැතිව ඇති.
වටපිටාව බලන්න හොඳම තැන පොඩි උස් මිටියාවතක් උඩ හදපු නැරඹුම් වේදිකාවක්, ජීප් එකේ ඩ්‍රයිවර් එතන ඔබට පෙන්නාවි. ෆොටෝ, සෙල්ෆි, පානෝරාමා ගන්න පුළුවන් හිතේ හැටියට.
මේ වේදිකාව යට ඈතින් පෙනෙන කඳු මොනවද කියලා ඒ දිශා වලට ඊතල වලින් පෙන්නුම් කරන පුවරු ඔබට දැකගන්න පුළුවන්. මෙතන තියෙන හෙවණේ වාඩි වෙලා තමයි අපි අපේ උදේ කෑම ගත්තේ. වටපිටාව බලන ගමන් මෙතනට වෙලා කෑම කන එක හරිම මිහිරි අත්දැකීමක්. සමහර වෙලාවට මේ ප්‍රදේශයේ මී මැස්සන් රංචු පිටින් ගැවසෙනවා, අපි ඉන්න පැත්තටත් ලොකු රංචුවක් ආවා. උන්ගේ පාඩුවේ කැරකි කැරකි ඉඳලා ඈතට ගියා මිසක් කරදරයක් නම් කළේ නැහැ. කෝකටත් ටිකක් ඒ ගැන විමසිල්ලෙන් ඉන්න එක වැඩිය හොඳ වෙයි.
මුලින් අපිට ලොකු ගාණක් ගෙවන්න වුණු එක ගැන නෝක්කාඩුවෙන් හිටියත් මෙතනට ඇවිත් වටපිටාව බැලුවාම නම් අපිට ලොකු සතුටක් දැනුණා. වැඩි කාලයක් සංචාරකයන්ට විවෘත කරලා නොතිබුණු නිසා වැඩි දෙනෙක් ගැවසෙන්නේ එහෙමත් නැහැ. (ඉතින් ෆොටෝ එකක් ගන්න අනිත් අය අයින් වෙනකල් ඉන්න සිද්ධ වෙන්නේ නැහැ) අපි යද්දී එතැන හිටියේ ලෝගු ඇඳ ගත්තු අරාබි සංචාරකයෝ දෙන්නෙක් විතරයි. ඇඳුම ඇතුලෙන් ඒ බව නොපෙනුණත් වටපිටාවේ දර්ශනය ගැන එයාලත් ගොඩක් සතුටෙන් ඉන්න ඇති.
මේ වගේ තැනක් ඉර නගිද්දී හරි ඉර බහිද්දී හරි තවත් ලස්සන වෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මෙතනට හඳ පායලා තියෙන පැහැදිලි රෑක ආවොත් ඒ ලස්සන තවත් හොඳට දැක ගන්න පුළුවන් වේවි. හැබැයි අවාසනාවකට සඳ තැන්න සංචාරක කලාපය විවෘත කරලා තියෙන්නේ උදේ 7 ඉඳන් හවස 5 වෙනකල් විතරයි. මොනවා කරන්නද ඉතින්.
සමස්තයක් විදිහට සඳ තැන්නට ආපු ගමන ගැන නම් අපි කවුරුත් හරිම තෘප්තිමත්. කිහිප දෙනෙක් ඉන්න කණ්ඩායමක් නම් රුපියල් 2000ක ජීප් වියදමත් බෙදා හදා ගත්තම ලොකු දෙයක් නෙවෙයි. අපි සමහර වෙලාවට කෑම වේලකට රුපියල් 400-500 වියදම් කරනවානේ. විශේෂයෙන් කියන්න තියන්නේ නිතරම හැඳුනුම්පත තමන් ළඟ තියා ගන්න කියලා. මේක ඕනෑම තැනක සංචාරය කරද්දී මතක තියා ගන්න ඕන කාරණාවක්. සමහර විට පරික්ෂා කරන්න අවශ්‍ය වුණොත් අනවශ්‍ය කරදර වලින් බේරෙන්න ඔබට එය උදව්වක් වේවි.
ඉතින් ඊළඟ පාර නුවරඑළියේ ගිහින් කවුරුත් කරන දේවල් කරලා කම්මැලි හිතුණොත් ගැල්වේස් ලෑන්ඩ් වනෝද්‍යානයේ ටිකක් ඇවිදලා බලන්නයි, සඳ තැන්නට ඇවිත් වටපිටාවේ සිරි නරඹන්නයි අමතක කරන්න එපා. සීසන් කාලෙට නුවරඑළිය නගරය ආශ්‍රිතව තියෙන ඝෝෂාකාරී බවෙන් මිදෙන්න ඒක ඔබට මහඟු අවස්ථාවක් වේවි. ට්‍රැෆික් එකේ පැය ගණන් රස්තියාදු වෙන එකයි, මිල අධික කෑම වර්ග කන එකයි අඩු කරලා කුරුල්ලන්, සතා සිව්පාවා සහ ගස් කොළන් සපිරි නුවරඑළියේ ස්වභාවික පරිසර කලාප වලට ගිහින් නිස්කලංක බව විඳින එක කාට වුණත් මතක හිටින දෙයක් වේවි. බල බලා සතුටු වෙන්න පුළුවන් හොඳම ෆොටෝස් ගන්නත් මේවා මොන තරම් ප්‍රයෝජනවත් තැන්ද කියලත් ඔබටම වැටහේවි.
වැඩි දෙනා නොදන්න තවත් සුන්දර තැන් නුවරඑළිය ආශ්‍රිතව තියෙන්න පුළුවන්. මේ ලිපිය කියවන ඔබ ඒ ගැන තොරතුරු දන්නවා නම් අපේ පාඨක පිරිසේ ප්‍රයෝජනය සඳහා ඒ ගැන අපේ ෆේස්බුක් පොස්ට් එකේ කමෙන්ට් කරන්නත් ආරාධනා කරනවා.