වතුරාන වගුරු වනාන්තර කියන්නේ තෙත් බිමකට සමාන පරිසර කලාපයක්. අප රටේ තෙත්බිම් බහුල ව පැවතියත් වගුරු වනාන්තර නම් ඉතිරි ව තිබෙන්නේ එකක් පමණයි. ඉහළ ම පාරිසරික වටිනාකමකින් යුක්ත මේ වගුරු වනය කළුතර දිස්ත්‍රික්කයේ කුඩා බිම්කඩක තමයි තිබෙන්නේ.
නිරතුරුව වතුරට යටවී වතුරට ඔරොත්තු දෙන ශාක සහිත මේ බිම ගැන දැනුම්වත් වීමටයි මේ ඇරියුම.
වතුරාන
නිතර ගංවතුර ගලන බිම්වලට අපේ පැරැන්නන් කිව්වෙ වතුරාන කියල යි. අධික වර්ෂාපතනයකින් යුක් වතුරාන කැලෑ බිම් රත්නපුර, කළුතර දිස්ත්‍රික්කවල අතීතයේ බහුලට පැවතියා. අවුරුද්දකට 10 -12 වරකට වැඩිය ගංගා ජලයට යටවීම නිසා නිතර බෙරිවුණු ස්වභාවයකින් යුක්ත පස්වලින් යුත් මේ වගුරු පසුව ගොඩකිරීම නිසා අද වනවිට දැකගත හැක්කේ කලාතුරකින්. නිතර වතුර ගලන නිසා විශාල ගස්වැල් මේවායේ වැවෙන්නේ නැහැ.
අඩි 20 – 30 තරමේ උසින් යුතු ව වතුරාන වනය ගං වතුරින් වැසී පවතිනවා. ගංවතුරට හැඩ ගැසුණු ශාක ප්‍රජාවක් තමයි මේවායේ තිබෙන්නේ. ඒවා වතුරට ඉහළින් වියනක් සේ වර්ධනය වී පැවැතීම දැකගත හැකි යි. මේ නිසා අඳුරු පරිසරයක් දැකගත හැකි යි. වලව්වත්ත වතුරාන බිම අවුරුදු මිලියන ගණනාවක් තිස්සේ කුකුළේ ගඟ, යටගම්පිටිය ගඟ, මගුරු ගඟ හා පැලෑද යන ගංගා පිටාර ගැලීමෙන් රොන්මඩ විශාල වශයෙන් තැන්පත් ව ශාක හා සත්ව කොටස් ද එයට මිශ්‍ර වී මෙම සංවේදී පරිසර පද්ධතිය නිර්මාණය වී තිබෙනවා.
පිහිටා තිබෙන්නේ කොතැනද?
බුලත්සිංහල ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයේ දම්පරාදුගොඩ ග්‍රාම නිලධාරි වසමේ විජේසේකර වතු සමාගමට අයත් පෞද්ගලික ඉඩමේ තමයි මේ වගුරු වතුරාන පිහිටා තිබෙන්නේ විජේසේකර වලව්ව මේ වතුයායේ පැවති නිසා මේ ඉඩමට කියන්නේ වලව්වෙ වත්ත කියලයි. දැන් නම් මේ වලව්ව පාළුවට ගිහින්. අක්කර 100ක් වූ රබර් වතුයාය විජේසේකර වතු සමාගම මගින් පාලනය වෙනවා. ඒ අතරම වතුරාන වගුරුබිම සංරක්ෂන වනයක් ලෙස පවත්වා ගෙන යාමටත් ඔවුන් කටයුතු කර තිබෙනවා.
හොරණ- කලවැල්ලාව පාරේ පැමිණ බුලත්සිංහල නගරයෙන් හැරී හිග්ගහ පාරේ ගොස් ගල්කැටිය කන්ද අසලින් මේ වනපියසට පැමිණිය හැකි යි. කළු ගගේ ශාඛාවක් වන කුඩා ගඟේ අතු ගංගාවක් වන බටපොත ඇළ තමයි මේ වගුරුබිමට මායිම්ව ගලා යන්නේ. මෙම වගුරු වනපෙත විශාලත්වයෙන් හෙක්ටයාර් 6.204ක් ( අක්කර 12ක්) වෙනවා. තෙත් කලාපයට අයත් ශාක බහුල ව එහි දකින්න පුළුවන්. වලව්වත්ත තුළ පටු තීරයක් ලෙස තියෙන මේ වගුරු වනය පිහිටලා තියෙන්නෙ කුකුළු ඇළ සහ බටපොත ඇළ යන ඇළ මාර්ග දෙකට මැදිව. කිලෝමීටර් 1.3 පමණ දිග වගුරු වනාන්තර පෙදෙසක් බටපොත ඇළ සමඟ තිබෙනවා. එහි පළල මිටර් 100 – 120 පමණ වෙනවා.
අපූරු සොයා ගැනීමක්
පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂ ව සිටි (1820 දී – 1825 කාලයේදී) ඇලෙක්සැන්ඩර් මුන් තමයි ශාක පර්යේෂණ අතරතුර මුලින් ම හොරවැල් (Stemanoporus mooni) කියන ශාකය හඳුනා ගෙන වාර්තා කර තිබෙන්නේ. ඒ කළුතරට නුදුරු මගුරු ගංගාව ආශ්‍රිත වගුරු වනාන්තර තුළින්. 1826 න් පසුව මෙම ශාකය ගැන කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ. හෙන්රි ට්‍රයිමන් ලියු Flora Of Ceylon පොතේ ද මෙම ශාකය ගැන සඳහන් කර තිබුණා. මේ නිසා හොරවැල් වඳවී ගිය බවයි සැලකුණේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා මහාචාර්ය නිමල් ගුණතිලක සහ ඕලන්ද ජාතික ආරාධිත මහාචාර්ය ඒ. ජේ. කොස්ටර්මන්ස් 1979 ඔක්තෝබර් මස දී වලව්ව්ත්ත වතුරානේ කළ ශාක පර්යේෂණයක දී හොරවැල් නම් ශ්‍රී ලංකාවට ආවේණික ශාක විශේෂය එම පරිසර පද්ධතියෙන් නැවත හඳුනා ගත්තා. ඒ එහි මුල්ම නිදර්ශකය එකතු කිරීමෙන් වසර 159කට පසුව යි.
මහාචාර්ය ගුණතිලකගේ නිවස පිහිටා තිබෙන්නෙත් වලව්වත්ත අසල යි. එතෙක් ස්වභාවික වනාන්තරවලින් වඳ වී ගියා යැයි සැලකුණු නා කුලයට අයත් සුවඳ (Mesua stylosa) නම් ශාකය ද 1985 දී නැවත මෙම සුවිශේෂී පරිසර පද්ධතියෙන් වාර්තා කිරීමට මෙම මහාචාර්යවරුන් දෙපළට හැකියාව ලැබුණා.
ඒ සමඟ ම මේ කුඩා බිම්කඩට ජාත්‍යන්තර උද්භිද විද්‍යා අවධානය යොමුවුණා. 1993 දී වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂික ආඥා පනත යටතේ වඳවී යන ආරක්ෂිත ශාක ලැයිස්තුවට සුවඳ සහ හොරවැල් යන ශාක විශේෂ දෙක ඇතුළු වුණා.
පරිසර ආරක්ෂිත ප්‍රදේශයක්
ඉහත ශාක විශේෂ දෙක ම මුළු ලෝකයෙන් ම ස්වභාවික ව හමුවන්නේ මෙම පරිසර පද්ධතියෙන් පමණ යි. මෙම සොයාගැනීමත් සමඟ පර්යේෂකයන්ගේ සහ විවිධ සංවිධාන, ආයතනවල අවධානය මෙම පරිසර පද්ධතිය කෙරෙහි යොමු වූ අතර මෙම ශාකවල පැවැත්ම සඳහා හම වනපෙතට නීතිමය ආරක්ෂාව ලබාදිය යුතු බවට උද්භිද විද්‍යා පර්යේෂකයන්ගේ ඉල්ලීමක් පැන නැඟුණා. එහි ප්‍රතිඵලයක් ලෙස සංශෝධිත 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ විධිවිධාන යටතේ වලව්වේවත්ත වතුරාන වගුරු වනාන්තරය 2009 අප්‍රේල් 24 වන දින අංක 1598/21 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් පාරිසරික ආරක්ෂක ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් වුණා.
ඒ අනුව මෙම ආරක්‍ෂිත ප්‍රදේශය තුළ බලතල ක්‍රියාත්මක කිරීම මධ්‍යම පරිසර අධිකාරිය හැර වෙනත් කිසිදු තැනැත්තකු නොකළ යුතු වෙනවා. පසුගිය කාලයේ මෙහි තවත් හෙක්ටයාර් 8 භූමි ප්‍රමාණයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගැනීමටත් මූලික කටයුතු සිදුවුණත් එය ඉටු වූ බව නම් වාර්තා වුණේ නැහැ.
පරිසරවේදීන් සඳහන් කරන්නේ මෙය සංරක්ෂණය කිරීමට බලධාරීන් ගත් ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බව යි. පාසල් සිසුන් සහ සොබාදමට ළැදි පිරිස් පසුගිය කාලයේ මෙය නැරඹීමට පැමිණිම සිරිතක් කොටගෙන තිබුණත් කොවිඩ් වසංගතයත් සමඟ ඒ කටයුතු අඩාල වී පවතිනවා.
ආවේණිකතාව ඉහළ බිම්කඩක්
වගුරු වනාන්තරයේ කළ පර්යේෂණවල දී ශාක විශේෂ 141 පවතින බව හෙළි ව තිබෙනවා. එයින් 51% ක් ඒකදේශික ශාක වීමෙන් එහි ජෛව විවිධත්වය කෙතරම් ඉහළ දැයි හෙළි වුණා.
හොරවැල් ශාක සුවඳ ශාකවලට අමතර ව මේ කුඩා වනයේ මෙරටට ආවේණික ශාක විස්සකට වැඩි ප්‍රමාණයක් දැකගන්න පුළුවන්. ඒවා අතරින් කැකිරි වරා (Schumacheria castaneifolia), ලේන්තැරි (Areca concinna), අති උඩයන් (Cryptocoryne), කටුබොඳ Cullenia rosayroana,වේ වැල් (Calamus species), බිම් පොල්, සෙවල කුරුඳු (Cinnamomum dubium),වෙසක් මල් (Dendrobium maccarthiae) වැනි ශාක ප්‍රමුඛ ව හඳුනා ගත හැකි යි. වනය පුරා විසිරි ඇති විශාල පුස්වැල් ද දැකගත හැකි යි.
ආවේණික මත්ස්‍ය විශේෂ 09 ක් සහිතව මත්ස්‍ය විශේෂ 29ක් මෙහි ජල මාර්ගවල දිවි ගෙවනවා. පුල්ලි අහිරාවා සහ පෙතියන් විශේෂ හතරක් ආවේණික මසුන් අතර සිටිනවා. උරග විශේෂ 06ක් ද සිටින අතර ඒ අතරින් විශේෂ විශේෂ 04ක් ආවේණිකයි. ක්‍ෂිරපායි විශේෂ 09ක් ද කුරුලු විශේෂ 57ක් ද මෙම වනාන්තරයේ වෙසෙනවා. පක්ෂීන් අතරින් විශේෂ 12ක්ම ඒක දේශික යි. වල් ඌරා, ඕලු මුවා, මී මින්නා, කොළ වඳුරා වැනි සතුන් මෙන් ම සමනලුන් වර්ග විශාල ප්‍රමාණයක් ද මෙහිදී දැක ගන්නට පුළුවන්.
හොරවැල් සහ සුවඳ
හොර වැල් ශාක මීටර් 4 – 5ක් පමණ උසට වැඩෙනවා. ගසේ පත්‍ර පිහිටන්නේ කිරුළක ආකාරයෙන්. ශාකවල පත්‍ර අරලිය පත්‍රවල හැඩයට සමාන යි. මෘදු දලු ළා රතු පැහැ වන අතර කඳ පහළට විහිදී තියෙනවා. මේ ගසේ අතු බෙදීමක් දක්නට ලැබෙන්නේ නැහැ. සෘජු කඳක් දකින්න පුළුවන්. පුෂ්ප සුදු පැහැයෙන් යුක්ත යි. ඉතා සෙමෙන් වැඩෙන නිසා අද වන විට ඉතිරි ව පවතින්නේ මේ ශාක ඉතා සුළු ප්‍රමාණයක් පමණ යි.
සුවඳ ශාකය උසට වැඩෙන සිහින් දිගැටි පත්‍ර සහිත නා කුලයේ ශාක විශේෂයක්. මේ ගස අඩි 75ක් දක්වා උසට වැඩෙන මල් පිපෙන විශාල ශාකයක්. අද වන විට මෙහි ඉතිරිව පවතින්නේ මේ ශාක වලින් ඉතා සුළු ප්‍රමාණයක් පමණ යි. ඒවාත් ප්‍රමාණයෙන් කුඩා ඒවා. මෙහි හටගන්නේ නාමල්වලට සමාන වූ සුදුපාට සුවඳවත් පුෂ්ප යි.
වනපෙතට තර්ජන
මේ වනය මේ තරම්වත් ආරක්ෂා වෙලා තියෙන්නේ පෞද්ගලික ඉඩමක කොටසක් නිසා බවයි පේන්නේ. එය රැක ගැනීම වෙනුවෙන් විජේසේකර පවුල විශාල දායකත්වයක් ලබා දී තියෙනවා. නමුත් වනයට යාබද ඇළ මාර්ගවල අනවසර වැලි ගොඩ දැමීම, වනයේ සතුන් දඩයම හා ගස් කැපීම මෙහි පරිසරයට විශාල තර්ජනයක් වෙලා. හොරවැල් ගස් කෙළින් වැඩෙන සිහින් ශාක නිසා ඉදල් හා කොසුවල මිට සකස් කිරීමට බොහෝ අය මේ ශාක කපා ගෙන යාම පසුගිය කාලයේ සිදුවුණා. වේවැල්, උණගස් වැනි ශාකත් විශාල ලෙස කපා ගැනීම නිසා වනයේ පැවැත්මට තර්ජනයක් වී තිබෙනවා.