මාතලේ ටවුම වටේට දැකගත යුතුම තැන්

කොළඹ සිට කි. මී. 155ක් දුරින් (කුරුණෑගල හරහා) පිහිටි මාතලේ නගරය, මාතලේ දිසාවේ අගනුවර යි. පුරාණයේ “මාතුල දනව්ව” නමින් හැඳින්වූ මේ ප්‍රදේශය උඩරට රාජධානි සමයේ  රාජධානියේ කැපීපෙනෙන ප්‍රදේශයක් වුණා. අද මාතලේට යන වැඩිදෙනෙක් නොදකින ස්ථාන කිහිපයක් ගැන ඔබ දැනුවත් කිරීමට යි මේ උත්සාහය.  

මැක්ඩොවල් බලකොටුව

බලකොටුවේ ප්‍රාකාර – mihithuru.lk

මෙය බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ මතක සටහන් අපට ගෙන එන තැනක්. මාතලේ නගරයේ දකුණු දෙසින් පිහිටි උස්බිම පුරාණයේ හඳුන්වා තිබෙන්නේ “හික්ගහ කොටුව” නමින්. පසුව බ්‍රිතාන්‍යයන් උඩරට ආක්‍රමණය කළ 1803 දී, කපිතාන් මැක්ඩොවල් මෙහි බලකොටුවක් ඉදිකළා. බ්‍රිතාන්‍යයන් ලංකාවේ රටේ මැද නගරවල හදපු සීමිත බලකොටු අතරින් එකක් ලෙස මැක්ඩොවල් බලකොටුව හඳුන්වන්න පුළුවන්. 1848 ඇතිවුණු සුප්‍රසිද්ධ මාතලේ කැරැල්ලෙ දී මේ බලකොටුව කැරලිකරුවන්ගේ පාලනයට යටත් වුණා. ගොන්ගාලේගොඩ බණ්ඩා සහ වීර පුරන් අප්පු තමයි ඒ සටන්වල මූලිකත්වය ගත්තේ. කාලයත් සමග බලකොටුව විනාශ වෙලා ගිහින්.

සොහොන් බිමක් වූ කොටුව- mihithuru.lk

බලකොටුවට ඇතුල්වෙන ගේට්ටුව සහ එය වටා යන කළුගල් ප්‍රාකාර කොටස් කිහිපයක් හැරුණාම, අද මැක්ඩොවල් බලකොටුවේ ඉතුරුවුණු දෙයක් නැහැ. එහි හුණුගලින් වටකළ ප්‍රාකාරය අඩි 5ක් පමණ උසට තිබෙනවා. මේ බිම දැන් පාවිච්චි වෙන්නේ නගර සභාවට අයත් සොහොන්බිමක් විදියට.

1848 මාතලේ කැරැල්ලේ වරදකරුවන් 9 දෙනෙකු ඉංග්‍රීසින් වෙඩි තබා මරණයට පත්කර මෙහි වළලා තිබෙනවා. ඔවුන් මිහිදන් කළ ස්ථානයේ ගල්කණු සිටුවා ඒ බව සලකුණු කර තිබෙනවා. කොටුවට යොදා ඇති ගේට්ටු උතුරු අන්තයෙන් හා දකුණු අන්තයෙන් දිස්වන අතර මේ සඳහා යොදා ඇති යකඩ ඉංග්‍රීසි යුගය තෙක් ඈතට දිවෙන බව පේනවා. ගේට්ටු කුලුන මුදුන් සිව් පල සහිත වහලක් සිහිගන්වන හැඩයෙන් නිමකර තිබෙනවා. මේ කඳු මුදුනට පැමිණි ඕනෑම අයෙකුට මාතලේ නගරය හා ඒ අවට රිසි සේ දැක බලා ගත හැකියි.

අලු විහාරය

සැතපෙන පිළිමය- Wikipedia.org

මෙම සුප්‍රකට විහාරය මාතලේ නගරයේ සිට කි. මී. 3ක් දුරින් දඹුලු පාර අද්දර පිහිටා තිබෙනවා. ආලෝක විහාරය නමින් වංශකතාවේ හඳුන්වන මෙම ස්ථානය නිශ්චිතවම ආලෝක විහාරයදැ යි හඳුනාගැනීමට පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍ය නැහැ. කෑගල්ල අලු විහාරය සම්බන්ධයෙන් ද ඒ මතය පැවතුණත් වැඩි පිළිගැනීමක් ඇත්තේ මාතලේ අලු විහාරය සම්බන්ධයෙනුයි.

ක්‍රිස්තු පූර්ව 1 වෙනි සියවසේ වළගම්බා රාජ්‍ය සමය තෙක් මතකයෙන් රැකගෙන ආ ත්‍රිපිටක බුද්ධ ධර්මය තල්පත්වල ග්‍රන්ථාරූඩ කළ බව සඳහන් වන්නේ මේ විහාරයේ යි. සිව්වැනි ධර්ම සංගායනාව පැවැත්වූයේ ද ආලෝක විහාරයේ දීම යි. ලෙන් විහාරයක් පිහිටි මෙය වන්දනා කිරීමට විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙනවා. පුරාණයේ භික්ෂූන්වහන්සේ බවුන්වැඩූ විහාරයක් බව පැහැදිලි කරන ක්‍රි. පූ. යුගයට අයත් සෙල්ලිපි 8ක් මින් හමුවී තිබෙනවා. ක්‍රි.ව. 5 වැනි සියවසේ දී සිංහල අටුවා පාලියට පරිවර්තනය කිරීමට බුද්ධඝෝෂ හිමි මේ විහාරය තෝරාගත් බව ද පැවසෙනවා. 

බ්‍රිතාන්‍ය පාලන සමයේ දී මෙහි පැවති ලෙන් විහාරය විනාශ කර දමනු ලැබුවා. ඒ නිසා දැන් දකින්න ලැබෙන්නේ ඊට පසු කාලයේ තැනූ පිළිම සහ බිතුසිතුවම් ආදියයි. 1971 දී අලු විහාරය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කෙරුණා.

මෑතක දී කඳු මත තැනූ පිළිමය-  weepingredorgel.blogspot.com

මෙහි ලෙන් විහාරය තුළ සැතපෙන බුදු පිළිමයක් ද ශ්‍රාවක රූප රාශියක් ද දරකගත හැකියි. මෑතක දී විහාර කන්ද මුදුනට ආසන්නව විශාල හිඳි බුදු රුවක් තනා තිබෙනවා. ත්‍රිපිටකය ද බොදු පඬිවරුන් කිහිපදෙනෙකුගේ මුලිකත්වයෙන් යලිත් පාලි භාෂාවෙන් තල්පත්වල ලිවීම පුරා වසර 10ක් තුළ සිදුවුණේ අලු විහාරයේ දීම යි. ඒ  1981-1991 දක්වා කාලයේ දී යි. මෙහි පිහිටි ජාත්‍යන්තර බෞද්ධ පුස්තකාලයේ එසේ නැවතත් පුස්කොළෙවල ලියූ ත්‍රිපිටක කෘති තැන්පත් කර තිබෙනවා.

පඩිවිට අම්බලම

වෙල මැද අලංකාර අම්බලම- amazing lanka.com

මාතලේ සිට මහනුවර වෙත යන  කූඹියන්ගොඩ පාරේ පඩිවිට වෙල්යාය පිහිටා තිබෙනවා. මාතලේ සිට දුර කි. මී. එකහමාරක්. මේ වෙල්යාය මහනුවර රාජධානි සමයේ සිට පැවතෙන්නක් බව පැවසෙනවා. පුරාණ මාතලේ මහනුවර මාර්ගය වැටී තිබුණේ මේ වෙල්වයාය මැදින්. මාතලේ කඩයිම් පොතට අනුව මේ කෙත්යායේ තිබූ දිව්රුම් බෝධිය අසල දී එකල රාජකීය නියෝග නිකුත් කළ බව පැවසෙනවා. 

අම්බලමේ දැව කැටයම් – මාතලේ අපි fb page

උඩරට සම්ප්‍රදායට අයත් කැටයම් පිරි අම්මබලම වෙල් යාය මැද අදත් දැකගත හැකියි. මෙහි වහලයට යොදා ඇති ආධාරක කණුවල හතර පැත්තෙහිම ඇති පේකඩවල ඉතා අලංකාර කැටයම් නෙලා තිබෙනවා. නමුත් වර්තමානය වන විට එම කැටයම් විනාශ වෙමින් පවතිනවා. හිඳගැනීම සඳහා දැවයෙන් තැනූ අසුනක් ද තිබෙනවා. පුරාණයේ මෙයට පෙති උළු සෙවිලිකර තිබෙන්නට ඇති වුවත් පසුකාලීන ප්‍රතිසංස්කරණවල දී එයට රටඋළු සෙවිලි කර තිබෙනවා.  

ශ්‍රී මුත්තුමාරිඅම්මාන් කෝවිල

කෝවිලේ අලංකරණ- timeout.com 

මාතලේ නගරය මැද පිහිටා ඇති මෙම කෝවිල කන්ද උඩරට ප්‍රධාන පෙළේ හින්දු සිද්ධස්ථානයක් ලෙස සැලකෙනවා. කෝවිලේ ආරම්භකයා ලෙස විශ්වාස කරන්නේ කරුප්පන් නමැති හින්දු පූජකයෙක්. 1852 දී සුප්පාපිල්ලෙයි නමැති හින්දු පූජකයෙක් මෙහි සිටි බවත්, ඔහු කෝවිලට ඉඩම් පූජාකළ බවත් කෝවිලේ ලේඛනවල සඳහන් වෙනවා. 

සෑම වර්ෂයකම පෙබරවාරි මාසයේ මෙහි තේරු උත්සය අත්‍යාලංකාරයෙන් පවත්වනවා. එයට විශාල පිරිසක් එක්රොක් වෙනවා. එහිදී මුත්තුමාරි අම්මාන් පිළිරුව විශේෂිත තේරු රථයේ තබාගෙන වීදි සංචාරය කරනවා. හින්දු මෙන්ම බෞද්ධ බැතිමතුන් ද මෙම කෝවිලේ  පිහිට පතා පැමිණෙනවා.  

දරේගේ සුවිසැරිය fb page

අඩි 108ක් උස මෙහි ඇති ගෝපුරය ලංකාවේ උසම ගෝපුරවලින් එකක්. ඉන්දියානු නිර්මාණ ශිල්පීන් නිමවා ඇති මෙය අලංකාර පිළිම 1008කින්  යුක්ත යි.  මෙම කෝවිල සතුව අලංකාර අශ්වරථ පහක් තිබෙන අතර ඒවා තේරු උත්සවය සදහා භාවිත කෙරෙනවා.

මාතලේ කැරැල්ල සිහිවටනය

සිහිවටන කුලුන -wikipedia.org

මෙම සිහිවටන කුලුන ඉදිකර තිබෙන්නේ දිසාපති මන්දිරයට යාබද වී. ටී. නානායක්කාර උද්‍යානය අසල යි. 1848 මාතලේ විමුක්ති අරගලය හෙවත් කැරැල්ල බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ආණ්ඩුකාර ටොරින්ටන් සාමිගේ කාලයේ දී හටගත්තා. 1848 ජුලි 26 දින කැරලි නායකයන් සහ සහයෝගය දැක්වූවන් පෙරවරු 11.30 වන විට ඓතිහාසික දඹුල්ල රාජමහා විහාරයට රැස්වුණා. විහාරයේ නායක ස්වාමීන්වහන්සේ වූ ගිරණාගම තෙරුන්වහන්සේ ගොන්ගාලේගොඩ බණ්ඩා රජු ලෙස අභිෂේක කරනු ලැබුවා. මෙදිනම ඔහුගේ සහෝදරයා වූ දිනෙස් උප රජු ලෙස ද, ඩිංගිරාල සත්කෝරළේ නිල නොලත් රජු ලෙස ද ප්‍රකාශයට පත්කිරීම සිදුවුණා. වීර පුරන් අප්පු, අග්‍රාමාත්‍යවරයා නොහොත් ගොන්ගාලේගොඩ බණ්ඩාගේ කඩු දරන්නා ලෙස ද “වලිසිංහ” යන නමින් අභිෂේක කළා.  

යුධ නීතිය ප්‍රකාශයට පත් කළ ඉංග්‍රීසින් කැරැල්ල මර්දනය කළා. පුරන් අප්පු සිරකරුවෙකු ලෙස අත්අඩංගුවට ගෙන අගෝස්තු 8 වෙනිදා මරණ දණ්ඩනය නියම කළා. ගොංගාලේගොඩ බණ්ඩා සහ ඔහුගේ සොහොයුරු දිනෙස් පලාගොස් සැඟවුණා. ගොංගාලේගොඩ බණ්ඩා ඉන්පසු මාතලේ සිට කි.මී. 13ක් ඈත ඇල්කඩුව ප්‍රදේශයේ ගල් ගුහාවක ජීවත් වෙමින්  සිටියත් සැප්තැම්බර් 21 දින මැලේ භට හමුදාවක් ඔහු අත්අඩංගුවට ගත්තා. පසුව මාතලේ සිට නුවරට ගෙනවුත් සිරගත කළා.

ගොංගාලේගොඩ බණ්ඩා සම්බන්ධ නඩුව නොවැම්බර් 27 දින මහනුවර ශ්‍රේෂ්ඨාධිකරණයේ දී විභාග කෙරුනා. මහනුවර රාජ්‍ය ලබාගැනීම සඳහා යුද්ධ කොට රජුට ද්‍රෝහීවීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා නගා තිබුණි. සියලු චෝදනාවන්ට තමන් වැරදිකරු බව ඔහු ප්‍රකාශ කළා. ශ්‍රේෂ්ඨාධිකරණය 1849 ජනවාරි 1 වැනි දින ඔහු එල්ලා මරණ ලෙස තීන්දු කළා.

මෑත අතීතයේ දී මෙම සිහිවටනය කළුගලින් ඉදිකර ඇති අතර, ඒ සඳහා මාතලේ නගර සභාපති වශයෙන් සිටි තම්බිරාජා නම් අය මූලිකත්වය ගත් බව පැවසෙනවා. ඉතා අලංකාර මෙම කුලුන මුදුනේ සිංහ රූපයක් ද තිබෙනවා. 

මාතලේ කැරලිකරුවන් විසුරුවා හැරි ස්ථානය

සිහිවටන කුලුන – trisinhala.blogspot.com 

මාතලේ නනගරයේ තිබෙන මෙම කළුගල් සිහිවටනය ඉංග්‍රීසින් විසින් මාතලේ නගරය අත්පත් කරගෙන සිටි කැරලිකරුවන් විසුරුවා හැරි ස්ථානය බව සඳහන් වෙනවා. ගොංගාලේගොඩ බණ්ඩා, පුරන් අප්පු සහ හඟුරන්කෙත ඩිංගිරාළ යන අය මාතලේ කැරැල්ලට නායකත්වය දුන්නා. මෙම සිහිවටනය තිබෙන ස්ථානය ඒ කාලයේ වාරියපොල වත්ත නම් කොකෝවා වත්ත තිබූ ස්ථානය යි. 200කට ආසන්න කැරලිකරුවන් එහි රැස්ව සිටි බවත්, මහනුවර සිට යවන ලද කපිතාන් ලිලී සහ කපිතාන් ලාල් හෙන්ඩර්ස් යන දෙදෙනා කැරලිකරුවන් මැඩපැවැත්වීම සඳහා වෙඩි තබා බොහෝදෙනෙකු මරා දැමූ බවත් සඳහන් වෙනවා. සුද්දන්ගේ එම ජය සිහිවීම සඳහා ඉංග්‍රීසි පාලන කාලයේ දී අඩි 2ක් උස ස්මාරකයක් පිහිටුවා තිබෙනවා.

මෑතක දී කුලුන සවිකළ ස්ථානය- trisinhala.blogspot.com     

කලක් අත්හැර දමා තිබූ එම පුවරුව  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් වර්ෂ 2015 වනවිට විශේෂ පීඨිකාවක් මත ආරක්ෂාකාරි ලෙස නැවත පිහිටුවා තිබෙනවා. වාරියපොල කැරලිකරුවන් 1848 ජූලි 29 දා මෙහිදී විසුරුවා හැරියේ කැප්ටන් ලිලීගේ හමුදා විසින්යැ යි එහි කොටා තිබෙනවා. එය 1909 දී පිහිටුවා ඇත්තේ වාරියපොල වතුයායේ වැඩබලන වතු අධිකාරිවරයා වූ තෝමස් මැක්ලක්ලන් විසින්. නමුත් මෑතක් වන තෙක් වැඩිදෙනෙක් එය පුරන් අප්පු සිහිවීමට තැනූ ස්මාරකයක් ලෙස වැරදියට  වටහාගෙන තිබුණා.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

කඳුරට ප්‍රවේණිය- එච්. ඒ. පී. අභයවර්ධන

මාතලේ විහාර වංශය- රම්‍ය සිරිවංශ

http://mihithuru.lk

trisinhala.blogspot.com

කවරය -අළුවිහාරයේ ලෙන්- weepingredorgel.blogspot.com

Related Articles

Exit mobile version