ශ්‍රී පාද හෙවත් සමනළ වන්දනා වාරය පසුගිය උඳුවප් පෝදා ආරම්භ වූවා. දැන් ටිකෙන් ටික රට වටෙන්ම වන්දනාකරුවන් ශ්‍රිපාදයට එන්න පටන් ගන්නවා. ශ්‍රී පාදය පිහිටි සමනළ රක්‍ෂිතය කෑගල්ල, රත්නපුර හා නුවරඑළිය දිස්‌ත්‍රික්‌කවලට අයත් වෙනවා. රත්නපුර, කුරුවිට, දැරණියගල, නුවරඑළිය හා නුවරඑළිය, මස්‌කෙළිය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස රක්‍ෂිතය අයත්වන බල ප්‍රදේශයන් වශයෙන් සැලකෙනවා. නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයට හෙක්‌ටයාර් 4897 (අක්‌කර 12243) ක් ද, රත්නපුර දිස්‌ත්‍රික්‌කයට හෙක්‌ටයාර් 17483 (අක්‌කර 43707)ක් ද රක්‍ෂිතයෙන් අයත්වන අතර, කෑගල්ල දිස්‌ත්‍රික් මායිම් දක්‌වා (දැරණියගල උඩමාලිබොඩ දික්අඇල්කන්ද ප්‍රදේශය) රක්‍ෂිතය පැතිරෙනවා.
සබරගමු කඳුකරයට අයත් කඳු පන්තීන් රැසක්‌ම සමනළ අඩවියට අයත්. බෑන සමනළ, කුණුදිය පර්වතය, ගොන්මොල්ලිය, දෙතනගල, දෝතළුගල, සප්තකන්‍යා එම ප්‍රධාන කඳුවැටියි. මේ කඳු බෑවුම් ඔස්‌සේ උපත ලබන දියකඳුරු රැසක් ගල්පර්වත අතරින් කඩා හැලෙමින් ගලා බසින්නේ අලංකාර දියඇලි නිර්මාණය කරමින්. කළු, කැළණි ගංගා සෘජුවම හටගන්නේ සිරිපා අඩවියේ සමනළ කඳු වැටියෙන්. ජල පෝෂිත අගය අතින් ශ්‍රී ලංකාවේ පවතින ඉහළම වනාන්තර 246 න් ප්‍රමුඛ තැන සමනළ රක්ෂිතයට හිමිවන බව පර්යේෂකයන් පවසනවා.
සමනල අඩවියට ඉහළ වර්ෂාපතනයක් ලැබෙනවා. එහි වාර්ෂික වර්ෂාපතන සාමාන්‍යය මිලිමීටර් 5000ක්. වැඩිම වර්ෂාපතනයක් ලැබෙන්නේ නිරිතදිග මෝසම පවතින මැයි – ජුනි – ජුලි මාසවල දීයි. දෙසැම්බර් – ජනවාරි – පෙබරවාරි දක්‌වා ලැබෙන ඊසාන දිග මෝසමේදී ලැබෙන වර්ෂාපතනය අඩු යි.
මේ වැස්සෙන් පණ ලබන සොඳුරු දියඇලි රාශියක් ශ්‍රීපාද වන්දනාවට යන මාර්ගවලට නුදුරින් තිබුණත් හුගදෙනෙක් ඒවා නරඹන්නට යන්නේ නැහැ. වැඩිදෙනෙක් කරන්නේ කිතුල්ගලින් කැලණි ගඟේ නාලා විනෝදවීම පමණයි.
මෙවර ශ්‍රීපාද වන්දනාවේ යන ඔබට නැරඹීමට වැදගත් දියඇලි කිහිපයක් මෙන්න.
ලක්ෂපාන දියඇල්ල
කෙහෙල්ගමු ඔයෙන් නිර්මාණය වන මෙම දියඇල්ලෙන් ලක්ෂපාන බලාගාරයේ විදුලිය ද නිපදවනවා. කොළඹ – ගිනිගත්හේන මාර්ගයේ කලුගල හන්දියෙන් හැරී කෙහෙල්ගමුව, හඟරාපිටිය හරහා කොත්තැල්ලෙන ගමට ගොස් කිලෝමීටරයක පමණ දුරක් අඩි පාරක් දිගේ ගොස් ලක්ෂපාන දියඇල්ල නැරඹිය හැකිය. හැටන්, මස්කෙළිය හරහා කිරිවන්එළියට පැමිණීමෙන් ද දිය ඇල්ලට සමීප විය හැකිය. අඹගමුව කෝරලයේ උස් කඳුකර ප්‍රදේශ පසුබිම් කරගෙන දිය ඇල්ල පිහිටා තිබෙනවා.
කෙහෙල්ගමු ඔය, ලක්ෂපාන තේ වතුයායේ කිරිවන්එළිය ග්‍රාමයට නුදුරින් වූ උස් හා ප්‍රපාතාකාරව පිහිටි ගල් පව්වකින් ඇද හැලීමෙන් ලක්ෂපාන දියඇල්ල නිර්මාණය වෙනවා. එහි උස මීටර් 126ක්. දියඇලි වල උස අනුපිළිවෙළ විමසන විට හත්වන ස්ථානයේ සිටින්නේ මෙම දිය ඇල්ලයි. දියඇල්ල අසලටම ගමන් කිරීමට අඹගමුව ප්‍රාදේශීය සභාව මගින් පියගැට පෙළ සහිත මාර්ගයක් සකසා තිබෙනවා.
ඇබර්ඩීන් දියඇල්ල
නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේම තමයි ඇබර්ඩීන් දියඇල්ලත් පිහිටා තිබෙන්නේ. කැලණි ගඟේ අතු ගංගාවක් වන කෙහෙල්ගමු ඔයෙන් ඇබර්ඩීන් දියඇල්ල නිර්මාණය වෙලා තියෙනවා.
මේ දියඇල්ලට ඇබර්ඩීන් යන නම යොදා ඇත්තේ ඉංග්‍රීසි ජාතිකයන්. මහා බ්‍රිතාන්‍යයට අයත් ස්කොට්ලන්තයේ තෙවැනි විශාලම නගරයේ නම ද ඇබර්ඩීන්. ඇබර්ඩීන් දියඇල්ලට ඒ නම තියා ඇත්තේ ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් නගරය සිහිවීමටයි.
කොළඹ සිට අවිස්‌සාවේල්ල, කරවනැල්ල, කිතුල්ගල හරහා ගිනිගත්හේන නගරය පසුකළ විට කළුගල හංදිය හරහා නෝටන්බ්‍රිජ් පසු කරමින් ගමන් කරන සිරිපා මාර්ගය හමුවෙනවා. එහි දකුණු පසට දිවෙන මාර්ගයක් අසළ “ඇබර්ඩීන් ඇල්ල”ට යන මාවත ලෙස නාම පුවරුවක් සවිකර තිබෙනවා. ඇබර්ඩීන් වතුයායේ කෙළවරක පිහිටි මෙම දිය ඇල්ලේ උස මීටර් 98 ක්. දියඇල්ල කඩා හැලෙන්නේ අලංකාර ස්වභාවික තටාකයටයි.
ගාට්මෝර් දියඇල්ල සහ මරේ ඇල්ල
නල්ලතන්නියේ සිට කි. මී. 5ක් පමණ දුරින් මරේ වතුයායට යාබදව (පිෂිං හට් පාර) පිහිටා තිබෙනවා. එයට එම නම ලැබී ඇත්තේ ගාට්මොර් වතුයාය අසලින් ඇදහැලෙන නිසායි. සමනළ කඳුකරයේ සිට මාවුස්සාකැලේ ජලාශයට කඩා හැලෙන දියඇල්ල ඉතා සුන්දර දසුනක් මවා පානවා. මරේ වතුයායේ තේ කම්හල අසලට මෙහි අලංකාර දර්ශනයක් දැකගත හැකියි. ඒ ස්ථානයට මෝටර් රථයකින් වුවත් ගමන් කළ හැකියි. මීටර් 25ක් උසින් යුත් මේ දියඇල්ල නිතර ජලයෙන් පිරී පැවතීම විශේෂත්වයක්. එය සිරිපා දියඇල්ල නමින් ද හඳුන්වනවා.
මේ දියඇල්ලට කි. මී. 1ක් පමණ දුරින් මාවුස්සාකැලේ ජලාශයට ඇදහැලෙන අනෙක් දියඇල්ල හඳුන්වන්නේ මරේ ඇල්ල නමින්. එය පිහිටා තිබෙන්නේ මරේ වතුයායට ආසන්නව නිසා ඒ නම ලැබී තිබෙනවා. පිෂිං හට් සංචාරක නිවහන අවට ද තවත් අප්‍රකට දියඇලි කිහිපයක් වනගතව තිබෙනවා. ඒත් ඒවාට ගමන් කිරීමට නම් ඔබ මස්කෙළිය වතු සමාගමෙන් අවසර ලබාගත යුතු යි. එහෙම නැත්නම් මේ අවට සිට රාජමලේ මාර්ගයේ සමනල කන්දට නැගීමටත් පුළුවන්. ඒ සඳහා මගපෙන්වන්නෙකුගේ සහාය ලබාගත යුතු වෙනවා.
මෝහිනී ඇල්ල
මේ දියඇල්ල නල්ලතන්නියේ සිට කිලෝමීටරයක් පමණ මෙපිටින් පිහිටා තිබෙනවා. එය සමනළ මාර්ගය අද්දරම පිහිටා තිබෙන නිසා නැරඹීමට පහසුයි.
මාපලාන ඇල්ල
රත්නපුර පලාබද්දල පාරෙන් ශ්‍රීපාදය නගින කාටත් පහසුවෙන් නැරඹිය හැකි මේ දියඇල්ල ශ්‍රී ලංකාවේ උසින් හතරවැනි ස්ථානයේ ඇති ඇල්ලයි. එහි උස මීටර් 148ක්. පලාබද්දල සිට කි. මී. 2ක් පමණ දුරින් මාපලාන ගම්මානයට නුදුරින් මේ දියඇල්ල කඩා හැලෙනවා. එය කොටස් තුනකට කඩා හැලෙන්නේ අලංකාර දසුනක් මවාපාමින්. හාල්මැහි ඇල්ල නම් තවත් කුඩා දියඇල්ලක් ද මාපලාන ගමේ පිහිටා තිබෙනවා.
මාපලාන ඇල්ල පටන් ගන්නේ සිරිපා කඳු මුදුනේ දකුණට පිහිටි මීටර් 1868ක් උසින් පිහිටි බෑන සමනල ගලට ආසන්න කොණ්ඩගල නම් ස්ථානයෙන්. පේරිය කන්දෙන් එන මාපලාන ඇල්ල තට්ටු තුනකට කඩා වැටිලා සමන් වත්ත ප්‍රදේශයේ දී කළු නදියට එක්වෙනවා.
මාපලාන කියන නම මෙයට ලැබුණේ බණ්ඩාරගේවත්ත මාපා නැමැති ප්‍රාදේශීය නායකයා දිය කෙළියට යොදා ගත් ඇල්ල නිසා බවයි ජනකතාවල කියවෙන්නේ. “මාපා නාන ඇල්ල” ක්‍රමයෙන් කටවහරෙන් “මාපලාන ඇල්ල” බවට පත්වෙලා.
Cover: (Nataliya Airport Reach Hotel)