දෙමළ බෞද්ධයන් පුදපූජා කළ වෙහෙරක සැඟවුණු තොරතුරු

ත්‍රිකුණාමලයට යන කවුරුත් නැරඹිය යුතු සුවිශේෂ පුරාවිද්‍යා ස්මාරකයක් තමයි වෙල්ගම් වෙහෙර කියන්නේ.  මහාවංශයේ නොලියූ ඉතිහාසයේ සුවිශේෂී අතීත සටහන් ඉන් හෙළිදරව් වුණා. මෙය ත්‍රිකුණාමලය නගරයේ සිට වයඹින් කි. මී. 12ක් පමණ දූරින් පිහිටනවා. පසුගිය කොටි ත්‍රස්තවාදී කාලයේ විහාර භූමිය අවට පදිංචි සිංහල ගම්වාසීන් මෙන්ම විහාරාධිපති  අම්පිටියේ සීලවංශ තිස්ස නායක හිමිපාණන් වහන්සේට ද ත්‍රස්තවාදීන් බරපතළ තුවාල සිදුකළා. අවට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් කපාකොටා ඝාතනයට ලක් කළා.

යන්නේ කොහොම ද?

විහාරයේ පිහිටීම – Thevelgamviharaya.wordpress.com

ත්‍රිකුණාමලයට යන බොහෝ සංචාරකයෝ  කින්නියා උණුදිය ළිං කරා යාමට අමතක කරන්නේ නැහැ. හොරොව්පතාන පාරේ ගොස්  උණුදිය ළිං කරා යාමට හැරෙන හන්දියේ සිට තවත් කි. මී. එකහමාරක් යන විට වෙල්ගම් වෙහෙරට යන මංසන්දිය හමු වෙනවා. එතැන සිට විහාරය වෙත දුර කි. මී. තුනක් පමණ වෙනවා.

වෙල්ගම් වෙහෙර සොයාගැනීම

විහාර බිමට ඇතුළුවන ප්‍රවේශය-  more හතරවටේ fb  පිටුව

කට්ටුකුලම් කොට්ඨාසයේ පෙරියකුලම් වැවට ආසන්නව තමයි මේ විහාරය තිබෙන්නේ. පෙරියකුලම් වැවට නුදුරින් පිහිටි මිටි කඳුවැටියක් ඇසුරුකොට මහ වනයෙන් වැසී තිබුණු නටබුන් ප්‍රදේශය, අවට ගම්වැසි දෙමළ ජනයා හඳුන්වා තිබුණේ නාතනාර් කෝවිල කියලයි. ඔවුන් සිතා ඇත්තේ මෙය ඊශ්වර දේවාලයක නටබුන් කියලයි. ත්‍රිකුණාමල ප්‍රදේශයේ සිංහල බෞද්ධ ජනතාව මෙය බෞද්ධ විහාරයක් ලෙස සැලකුවා. 

මේ නටබුන් පිළිබඳව සැලවුණු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එය ගවේශනය කිරීමට තිරණය කළා. මහාචාර්ය සෙනරත් පරණවිතාන 1929 දී එය පිරික්සීමට ගිය අවස්ථාවේ දී සෙල්ලිපි කිහිපයක් සොයාගනු ලැබූවා. ඒවාට අනුව මෙම ස්ථානය බෞද්ධ විහාරයක් බවට හඳුනාගත්තා. මෙම ස්ථානය 1934 දී පුරාවිද්‍යා රක‍්ෂිත භූමියක් බවට ප්‍රකාශ කළා. ඒත් එහි කැණීම් සඳහා ප්‍රතිපාදන නොලැබුණු නිසාත් දෙවන ලෝක යුද්ධය ඇරඹීමත් නිසා කැණීම් කටයුතු සිදු වුණේ නැහැ.

පරණවිතාන කැණීම්

වෙල්ගම් වෙහෙර නටබුන් සංරක්ෂණය කළ පසු – more හතරවටේ fb  පිටුව

1952 දී පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය පරණවිතානගේ අධීක්ෂණය යටතේ මෙහි කැණීම් කටයුතු ආරම්භ වුණා. 1952 දී මාදූවේ රතනවංස තිස්ස ස්ථවිරයන්වහන්සේ මෙහි පදිංචි වී, නැවත විහාරයක් අරම්භ කිරීමට ද මුල්ව තිබුණා. ත්‍රිකුණාමලයේ බෞද්ධයන් සංඝාවාසයක් ඉදිකර දී උන්වහන්සේට දානමානාදිය සපයා තිබෙනවා.

විහාරය වටා පිහිටි ප්‍රාකාරය – more හතරවටේ fb  පිටුව

මහාචාර්ය පරණවිතාන 1953 පුරාවිද්‍යා පාලන වාර්තාවේ මෙසේ සඳහන් කරනවා:

වෙල්ගම් වෙහෙර පිළිබඳව මහාවංශයේ හෝ වෙනත් ඓතිහාසික මූලාශ්‍රයක සඳහන් නොවේ. එසේ වුවත් දෙමළ ජාතිකයන්ගේ බෞද්ධ විහාරයක දුලබ නිදසුනක් ලෙස හෝ සමහරවිට එකම නිදර්ශනය ලෙස මෙම පුදබිම ආරක්ෂා කිරීම වැදගත් බව හැඟී ගියේය. මෙය ආරක්ෂෘ කිරීම කළ යුතු වූයේ එයින් අයුතු ප්‍රයෝජන ගැනීමට මාන බලන පුද්ගලයන්ගෙන් සහ අසීමිත භක්තිවන්තයන්ගෙන් ය. නිධන් හොරු මෙහි නටබුන් හාරා වස්තු සොයා තිබුණි. එමෙන්ම මේ බිම වගාකිරීමට ද යොදාගෙන තිබුණි. මෙහි තිබූ ගල් පුවරු සමහරක් පෙරියකුලම් වැව ප්‍රතිසංස්කරණයට ගෙනගොස් තිබුණි.

අප රටේ පුරාවිද්‍යා ස්ථාන පිළිබඳව ගවේශනයක යෙදුණු සී. ඩබ්ලිව්. නිලකස් සඳහන් කරන්නේ ලංකාවේ පිහිටි එකම දෙමළ විහාරය මෙය බව යි.

නම කිව්ව සෙල්ලිපි

නටබුන් ගොඩනැගිලි- ymaps.com

1953 දී සොයාගත් සෙල්ලිපියක මෙහි පැරණි නාමය වෙලගම අබගර වෙහෙර ලෙස දක්වා තිබනවා. එම සෙල්ලිපිය දෙවැනි බාතිකතිස්ස (ක්‍රි. ව. 140-164) රජ කාලයට අයත්. ඒ අනුව පැහැදිලි වුණේ වෙලගම නාමය දෙවැනි සියවස වනවිටත් භාවිත කළ බවයි. මෙම විහාරයෙන් සහ ඒ ආශ්‍රිත කඳුගැටයෙන් සිංහල සෙල්ලිපි 6ක් ද දෙමළ සෙල්ලිපි 18ක් ද හමුවී තිබෙනවා. පළමුවන විජයබාහු රජ කාලයට අයත් සිංහල සෙල්ලිපියක දෙමළ දායකයකුගේ ප්‍රදානයක් පිළිබඳව සඳහන් වෙනවා. අලගිය රාජගෝෂ්ටි නම් පුද්ගලයා විහාරයේ බුදු පිළිමයට දොළොස්මහේ පහනක් සහ එයට තෙල් සඳහා මීදෙනුන් දස දෙනෙක් ද පූජ කර තිබෙනවා.

නිශ්ශංකමල්ල රජුගේ (1187-1196) පොළොන්නරුව ප්‍රීතිදානක මණ්ඩප ගිරි ලිපියේ ද මෙයට වෙල්ගමයැ යි භාවිත කර තිබෙනවා. මේ අනුව 2 වන සියවසේ සිට 12 වන සියවස දක්වා ඇති සියලුම සිංහල සහ දෙමළ සෙල්ලිපිවල වෙල්ගමෙ යන්නම ව්‍යවහාර කොට තිබෙනු පැහැදිලිව පෙනෙනවා.

චෝල ආක්‍රමණය

6 පුන්කලස් මුරගලක් – – ymaps.com

11 වැනි සියවසේ දී පොළොන්නරුව රාජධානිය චෝල ආක්‍රමණයකට ගොදුරු වුණා. මෙම ප්‍රදේශයත් රාජේන්ද්‍ර චෝල රජුගේ පාලනයට නතුවුණා. නමුත් අනුරාධපුර යුගයේ ආරම්භව පැරවති වෙල්ගම් විහාරයට කිසිදු හානියක් නොකර එය තම පාලකයාගේ නමින් රාජරාජ පෙරුම්පල්ලි ලෙස නම්කර පුද පුජා පැවැත්වීමට ආක්‍රමණික චෝලයන් කටයුතු කර තිබෙනවා. චෝල බලය පරාජය කර පළමුවැනි විජයබාහු රජු බලයට පත්වූ පසුව මේ විහාරය අලුත්වැඩියා කර බෞද්ධ වතාවත්වලට ලබාදුන් බව සඳහන් වෙනවා.

විහාර නටබුන්  

හිටි බුදු පිළිමය – Wikipedia.org

වනගත සුන්දර වටපිටාවක තමයි විහාරය පිහිටා තිබෙන්නේ. අවට කුඹුරු සහ වැව් ද දකින්න පුළුවන්. විහාර බිමේ මුලින්ම හමුවන්නේ විශ්‍රාම ශාලාව, සංඝාවාසය, සහ නව පිළිමගෙය ඇතුළු නූතන ගොඩනැගිලියි. එයට නුදුරින් පුරාවිද්‍යා නටබුන් බිම පැතිර යනවා.

නටබුන් අනුව පෙනෙන්නේ මෙය පබ්බත විහාරයක් බව යි. විහාරය වටාම යන සේ තැනූ කළුගල් සහ ගඩොල් ප්‍රාකාරය මැදිකරගන පූජනීය ගොඩනැගිලි රාශියක් දැකගත හැකියි. අඩි තුනක් උසට සංරක්ෂණය කළ ප්‍රාකාරය සිව් දිසාවෙන් දොරටු පහක් තබා තිබෙනවා. ඒ චතුරස්‍රයේ උතුරු පවුර මැද ප්‍රධාන දොරටුව තබා තිබෙනවා. ඒ  මැද මහ ප්‍රතිමා මන්දිරය, ඔත් පිළිම ගෙය, බෝධිඝරය දැකගත හැකියි.

පිළිමගෙවල්

පිළිම ගෙය -exploresrilanka.com

මහ පිළිමගෙය 1953 දී කැණීම් කර 1954 දී ද පාදා තහවුරුකොට තිබෙනවා. මහ පිළිමගෙය දිගින් අඩි 56 ක් ද පළලින් අඩි 28 අඟල් 7 ක් ද වෙනවා. මහ පිළිමගෙයට නුදුරින් චතුරශ්‍රයේ බටහිර පවුරට නුදුරුව සැතපෙන පිළිමගෙය පිහිටා තිබෙනවා. එහි ගඩොලින් කළ සැතපෙන පිළිමය විනාශ වී ගොසින්.

නටබුන් දාගැබ්

නටබුන් දාගැබක්- Wikipedia.org

වෙල්ගම් වෙහෙරින් නටබුන් දාගැබ් තුනක් දැනට සොයාගෙන තිබෙනවා. ඉන් විශාලම දාගැබ විහාර චතුරශ්‍රයේ නැගෙනහිර පවුරට නුදුරුව පිහිටා තිබෙනවා. දාගැබ තනා ඇත්තේ අඩි 4 අඟල් 6ක් උස, අඩි 69ක් දිග, සහ අඩි 64ක් පළල වේදිකාවක් මත යි.  මෙම දාගැබ කැණීම් කිරීමේ දි ක්‍රිස්තු වර්ෂ 1 වන සියවසට අයත් අකුරු සහිත ගඩොලක් ලැබීමෙන් එය එම කාලයට අයත් බව පැහැදිලි වුණා. මුලින් කළ දාගැබ පසු කලෙක විශාල කරන ලද බවට සාධක තිබෙනවා. දාගැබේ විෂ්කම්භය අඩි 36 අඟල් 6ක් වෙනවා.

මෙහි පියගැට පෙළ සහිත වේදිකාව වටා නොයෙක් අන්දමේ නැටුම් ගැයුම් දක්වන නාට්‍යකරුවන්ගෙ රූප සහිත කොරල් ගල් පුවරු සවිකොට තිබෙනවා. 

නොයෙක් කඩිසර ඉරියව්වලින් සිටින මිනිසුන් කණ්ඩායම් දැක්වෙන කැටයමක් ද වේ. එහි සමහර මිනිසුන් පොරබදන ආකාරයක් ද තවත් සමහරක් සංගීත භාණ්ඩ වාදනය කරන ආකාරයක් ද දක්නට ඇත.

(පුරාවිදු පරියේසන- පරණවිතාන)

කළුගලින් කළ ජල ටැංකිය- more හතරවටේ fb  පිටුව

මහ පිළිමගෙයට නුදුරුව ගල් ටැංකියට නැගෙනහිරින් කළුගලින් ගොඩනැගූ පොකුණක් පිහිටා තිබෙනවා. එය පාදන විට ඇතුළත තිබී අඩි 6 අඟල් 9ක් උස හුණු ගල් හිටි පිළිමයක් හමුවුණා. මේ පිළිමය තමයි දැන් පිළිමගෙයි තැන්පත් කොට තිබෙන්නේ.

කඳුවැටියේ නටබුන්

කුඩා පොකුණක්-  more හතරවටේ fb  පිටුව

විහාර චතුරශ්‍රයේ නැගෙනහිර පවුරට සමාන්තරව උතුරේ සිට දකුණට විහිදෙන කුඩා කඳු වැටියක් පිහිටා තිබෙනවා. මෙහි බොහෝතැන මතු වී සිටිනා ගල් තලා සහ ගල් පර්වත සහිත යි. තැනින් තැන ගල් කෙම් ද තිබෙනවා. ස්වාභාවික ගල් ලෙන් ඇතත් ඒවායේ කටාරම් කොටා නැහැ. මෙම කඳු පෙදෙසට ගමන් කිරීමට පියගැට සහිතව ගඩොලින් කළ දොරටු දෙකක් ද දක්නට ලැබෙනවා.

නිධන් සොරුන්ගේ පහරට ලක් වූ නටබුන් දාගැබක් එහි පිහිටා තිබෙනවා. එය තවම තහවුරු කොට නැහැ. දාගැබ් මළුවේ  දාගැබ් යූපස්ථම්භය වැටී ඇති ආකාරය දක්නට පුළුවන්. මෙහි සිට කැලය තුළින් අඩි පාරක් ඔස්සේ කඳු වැටියේ උතුර දෙසට ගිය විට තවත් නටබුන් කුඩා දාගැබක් හමුවෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ දාගැබ් කැණ තහවුරු කිරීමේ දී එහි ධාතු ගර්භය හමුව තිබෙනවා. දාගැබ නිදන් හොරු හෑරුවත් එහි ධාතු ගර්භය ඔවුන්ට හමුවී නැහැ. මේ දාගැබේ මංගල වස්තු තැන්පත් කළ යන්ත්‍ර ගල කොටු නවයකින් යුක්ත වන සේ ගඩොලින් තනා තිබුණා. එය වසා ඒ මත මහාමේරු ගල නම් සතරැස් ගල පිහිටුවා තිබුණා. මහාමේරු ගල ඇතුළත කුටියක් සකස් කර නිධන් වස්තු තැන්පත් කර තිබෙනවා.

මහාමේරු ගල ගඩොලින් බැඳ මුදුන හතරැස් ගල් පුවරුවකින් වසා තිබුණා. මේ අයුරින් රහසිගතව ධාතු නිධානයක් තැන්පත් කළ වෙනත් දාගැබක් ලංකාවේ මෙතෙක් හමු වී නැහැ.

කඳු වැටියට නැගෙනහිර පැත්තෙන් ඇත්තේ පෙරියකුලම් වැව යි. මේ පෙරියකුලම් වැව පුරාණ මානාමතු වැව ලෙස හඳුනාගැනීමට සාධක තිබෙනවා. මානාමතු වැව අසල ඉතා පුරාණයේ සිට යුධ කඳවුරක් පැවතුණා. 11 වන සියවසේ සොළී පාලන සමයේ මේ කඳවුරේ සිටි භටයෝ වෙල්ගම් වෙහෙර දියුණු කළ බව පේනවා. වැව පැත්තේ සිට කඳු වැටියේ සිද්ධස්ථාන කරා පැමිණීමට පුරාණ මඟක් තිබිණැ යි සමහරු විශ්වාස කරනවා.

විහාර චතුරශ්‍රයට බටහිරින් ලොකු පොකුණක නටබුන් ද දක්නට ලැබෙනවා. දකුණු දෙසින් ඊටත් විශාල පොකුණු දෙකක නටබුන් පිහිටා තිබෙනවා. තැනින් තැන ගල්වැටිත් ගල් කණුත් කැලයේ තැන තැන හමුවෙනවා. 

ආශ්‍රිත මූලාශ්‍ර:

ශ්‍රි ලංකාවේ රජමහා විහාර- කුසුම්සිරි විජයවර්ධන

පුරාතන හා මධ්‍යතන ලංකාවේ ඓතිහාසික ස්ථාන විස්තරය- සී. ඩබ්. නිලකස් (පරි. සෝමපාල ජයවර්ධන)

පුරාවිදු පරියේසන- සෙනරත් පරණවිතාන

කවරය- සංරක්ෂණය කළ  වේදිකාවක් මත තැනූ දාගැබ- thesrilankatrveller.blogspot.com

Related Articles

Exit mobile version