![](https://assets.roar.media/assets/1UI6W59Zab8T64AD_dangerous-destinations.png?w=1200)
ඔබත් විවිධ තැන්වල සංචාරය කරන ගමන් ත්‍රාසජනක අත්දැකීම් ලබාගැනීමට කැමැති කෙනෙක් ද? ලෝකයේ වඩාත් අනතුරුදායක ම, ඉහළ ම සංචාරක ආකර්ෂණය දිනා ගත්, ගමනාන්ත අටක් පිළිබඳ මේ ලිපිය එසේනම් ඔබට වැදගත් වනු ඇති.
01. ස්වර්ගයට යන පිය ගැට පෙළ
ස්වර්ගයට යන පියගැටපෙළ ලෙස අන්වර්ත නාම දිය හැකි Stairway to Heaven ස්ථාපනය කොට ඇත්තේ හවායි දූපතේ ඕආහු ප්‍රදේශයේ කුලායී කඳුකරයේ ය. වර්ෂ 1987 සිට තහනම් ප්‍රදේශයක් බවට පත් වූ මෙම පඩිපෙළ කාලයක් ගත වෙත් ම ශාකවලින් වැසීගොස් අබලන් තත්ත්වයට පත්ව ඇත. ඒ හේතුවෙන් මෙම පඩිපෙළ තරණය කිරීම සංචාරකයන් අතර ත්‍රාසජනක ක්‍රියාවක් බවට ද පත්ව ඇත. උස අඩි 2100 ක් වන මෙම පඩිපෙලේ පඩි 3922 තිබේ.
![](https://assets.roar.media/assets/Jh3KJ1BD5r27SPHB_TZ0VhZ0GkS1re9hm_stairway-to-heaven-haiku-hawaii-featured-image.jpg)
මෙහි විශේෂත්වය වන්නේ මෙය සිරස් ආනතියකින් පැවතීමයි. වර්තමානය වන විට මෙය තරණය කිරීම නීති විරෝධී වන අතර, යම් හෙයකින් ඔබ අනෛතික මාර්ගයකින් මෙය තරණය කර හසුවුවහොත් දඬය වශයෙන් ඩොලර් 1000ක් ගෙවීමට සිදුවනු ඇත. සාමන්‍ය පුද්ගලයකුට මෙය තරණය කිරීම සඳහා පැය 3-5 පමණ කාලයක් ගත වේ. මෙම පඩි පෙළ ඉදි කොට තිබෙන්නේ දෙවන ලෝක සංග්‍රාමයේ දී රහසිගත නාවික ගුවන් විදුලි මධ්‍යස්ථානයක් තැනීම සඳහා වන අතර, අවට කඳුවල භූ විෂමතාව හේතුවෙන් රහසිගතව හයිකු මිටියාවතේ මෙම මධ්‍යස්ථානය පිහිටුවන්නට හැකියාව ලැබී ඇත.
02. කඳුකර මුහුණතක එල්ලෙන කූඩාරම
![Cliff camping in California](https://assets.roar.media/assets/nGhd7dk7UrXl6RPA_6023237475406973972_IMG_3279.jpg)
ක්ලිෆ් කඳවුරු බැඳීම (Cliff camping in California) යනු කඳුකර මුහුණතක එල්ලෙන කූඩාරමක කඳවුරු බැඳ රාත්‍රිය ගත කිරීම ය. මෙහි දී සිදුවනුයේ කන්ද ආශ්‍රිත ප්‍රපාතාකාර බැවුමේ කඳවුරු බැඳීම ය. කැලිෆෝනියාවේ යෝස්මයිට් ජාතික වන උද්‍යානය කඳු බෑවුම් සඳහා වඩාත් ප්‍රසිද්ධ ස්ථානයකි. මීට අමතරව, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, කොලරාඩෝ සහ පේරු වැනි රටවල ද කඳුකර ව්‍යුහ ඉතා සෘජු බැවින් මෙවැනි Cliff Camping සඳහා යොදා ගනී. කැලිෆෝනියාවේ Cliff Camping සඳහා වඩාත් ප්‍රසිද්ධ ම ස්ථානය වන යෝස්මයිට් ජාතික වනෝද්‍යානයේ මීටර් දස දහස් ගණනක් උස කඳු බෑවුම්වල කඳවුරු බැඳ ගනිමින්, රාත්‍රිය ගත කිරීමට සංචාරකයන් ප්‍රියතාවක් දක්වයි. මෙවැනි කඳවුරු බැඳීම් හේතුවෙන්, වසරකට සංචාරකයන් සැලකිය යුතු පිරිසක් මිය යයි.
03. කොලරාඩෝ ගඟේ රාෆ්ටිං කිරීම
![Rafting the Colorado river in the United Status](https://assets.roar.media/assets/oazJoernS62zGdOP_canoandes_colca_river_10-2.jpg)
කොළරාඩෝ ගංගාව යනු ලෝකයේ පවතින බිහිසුණු ම ගංගාවක් වේ. එයට හේතුව වන්නේ මෙම ගංඟාවේ සුලබ ව පවතින ප්‍රචණ්ඩකාරී ස්වභාවය සහ දිය පහරේ පවතින අසීමාන්තික වේගයයි. Rafting ක්‍රීඩාවේ යෙදෙන්නන්ට නම් කොළරාඩෝ ගංගාව යනු නිධානයකි. එයට හේතුව නම්, Rafting සඳහා වඩාත් සුදුසු ම පරිසරය වන ප්‍රවේගකාරී බව, මෙම ගංගාව ආශ්‍රිතව නිරන්තරයෙන් දක්නට ලැබීමයි. කෙසේ නමුත්, ගංගාව ආශ්‍රිතව Rafting සිදුකළ 35 දෙනකු මේ වන විටත් මිය ගොස් ඇති අතර, බොහෝ පිරිසක් තුවාල ලබා ද ඇත.
04. එවරස්ට් කඳු තරණය
![Mount Everest in Nepal](https://assets.roar.media/assets/yAAo4kQWBLEr9bFI_AP_20343322653667.jpg)
නේපාලයේ පිහිටා ඇති එවරස්ට් කන්ද යනු ලෝකෙ උසම කන්ද බැව් පාඨක ඔබ දන්නා කාරුණකි. සෑම වර්ෂයක ම අවදානම් දැරීමට කැමති සංචාරකයන් දස දහස් ගණනක් එවරස්ට් තරණය කිරීමට පැමිණෙති. කොතරම් පිරිසක් උත්සාහ කළත්, සාර්ථක ලෙස එවරස්ට් තරණය කිරීමට හැකියාව ලැබී ඇත්තේ ඉතාමත් සුළු පිරිසකට පමණි. දැඩි සීතල, තද සුළඟ, වෙනස් වන කාලගුණය, නායයාම් සහ භූමිකම්පා වැනි ස්වභාවික ආපදා මධ්‍යයේ වුව ද, එවරස්ට් තරණය කිරීම කඳු නැගීම විනෝදාංශය කරගත් සංචාරකයන් අතර උමතුවක් බවට පත් ව ඇත. එවරස්ට් තරණය එතරම් අපහසු ක්‍රියාවක් නොවන බව එවරස්ට් තරණය කිරීමට හැකියාව ලැබූ සංචාරකයන් ගේ මතයයි. මේ වන විටත්, එවරස්ට් තරණය කිරීමට උත්සාහ කළ පුද්ගලයන් තුන්සියයකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත.
05. වැලේරිකා ගිනිකන්ද මැදට බන්ජො පැනීම
![banjo jumping into Valerica Volcano in Chile](https://assets.roar.media/assets/VUIKC6EowwfNXCwK_487947.jpg)
එක් අයකු හෝ දෙදෙනකු කඹයක් ආධාර කොට ගනිමින් උස ස්ථානයක සිට පහළට පනින බන්ජො පැනීම පිළිබඳ ඔබට මේ වන විටත් යම්කිසි අවබෝධයක් ඇත. මෙවැනි ආකාරයේ බන්ජො පැනීම් සිදුවන ලොව භයානක ම ස්ථානය වන්නේ චිලී රාජ්‍යයේ වැලේරිකා ගිනි කන්ද වේ. මෙහි දී බන්ජෝ පැනීමට කැමති පිරිස් වැලේරිකා ගිනිකන්ද මුදුනට රැගෙන යාමට චිලී රාජ්‍යය මගින් විශේෂ හෙලිකොප්ටර් සේවාවක් සපයා ඇත. මෙසේ රැගෙන යන පිරිස් ඉණෙහි ගැට ගැසූ කඹයක් ආධාරයෙන් ගිනි කන්දේ මැද්දට බන්ජො පැනීම සිදු කරයි.
06. ට්‍රොල්ටුංගා කඳු නෙරුවට නැඟීම
![Troll hangs in Norway](https://assets.roar.media/assets/Wqq6dq8HNaopOEoU_DSCF7918.jpg)
ට්‍රොල්ටුංගා කඳු නෙරුව පිහිටා ඇත්තේ නොර්වේ රාජ්‍යයේ ය. උසින් මීටර් 800 ක් පමණ වන පර්වතයක මෙය ස්වාභාවික ව පිහිටා ඇත. සාමාන්‍ය පුද්ගලයකුට පහළ සිට කඳු මුදුනට පැමිණීම සඳහා පැය 12 ක පමණ කාලයක් ගතවේ. මෙම කඳු නෙරුවේ සුවිශේෂීත්වය වන්නේ සංචාරක ආකර්ෂණය දිනා ගත් කඳු මුදුනේ එල්ලී පවතින ස්වභාවය සහිත කඳු ගැට්ට ය. මේ මත හිඳ ගනිමින් අවට සුන්දරත්වය නැරඹීමේ අපේක්ෂාවෙන් බොහෝ සංචාරකයන් පිරිසක් මෙම ස්ථානයට පැමිණීමට යුහුසුළු වේ.
මෙම ස්ථානයේ කිසිදු ආරක්ෂිත පියවරයක් දැකගැනීමට නොහැකි වේ. මේ හේතුව නිසාම වයස 24 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතික තරුණියක් 2012 සැප්තැම්බර් පස්වන දින මෙම කඳු ගැට්ටෙන් වැටී මිය ගොස් ඇත.
![Trolltunga safety wheel](https://assets.simpleviewcms.com/simpleview/image/fetch/c_fill,h_959,q_75,w_1200/https://assets.simpleviewcms.com/simpleview/image/upload/v1/clients/norway/trolltunga_safety_wheel_2020_e013853d-ecce-4ccf-a450-403569afcea6.jpg)
07. ලිස්සනසුලු කන්දක පාපැදි පැදවීම
අපි සැවොම ජීවිතයේ එක් අවස්ථාවකදී හෝ පාපැදියක් පැද ඇත. එසේත් නොමැති නම් පදින්නට උත්සාහකොට හෝ ඇත. පාපැදියක් පැදීම යනු අපහසු දෙයක් නම් නොවේ. නමුත් පැතලි මතුපිටක් හා අතිශය භයානක ලිස්සනසුලු කන්දක් මත පාපැදියක් පැදවීමට යමකු ඔබට ආරාධනා කළහොත් ඔබ එකඟ වනවා ද?
![White line Sedona cycling in Arizona](https://assets.roar.media/assets/S7Off0kR7JEJs9Ts_best-no-hassle-mountain-biking-trips-sedona-arizona.jpg)
එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ සුදු ඉර ලෙස හැඳින්වෙන සෙඩෝනා කන්ද මත පාපැදියක් පැදවීමට (White line Sedona cycling) ලෝකය පුරා සිටින ත්‍රාසජනක පාපැදි පදින්නන් පැමිණේ.
එයට හේතුව වන්නේ මෙම භයානක කන්ද මත තම මරණය පෙනි පෙනී, පාපැදියක් ධාවනය කිරීම යනු මෙම සංචාරකයන්ගේ විනෝදාංශය වීමයි. මෙම කන්දෙහි සුදු ඉර මත ඔබ සිදු කරන සුළු හෝ අතපසුවීමක් හේතුවෙන් ඔබේ මරණය පවා සිදු වන්නට ඉඩ ඇත.
08. චීනයේ මරණයේ පාලම
![Gap Bridge of China](https://assets.roar.media/assets/TzGfTPMz80HGQ3eM_77109cebd780200bdf272f7f758de4ca.jpg)
මෙය චීනයේ මරණයේ පාලම ලෙස හඳුන්වනු ලැබේ. මේ වන විටත් ඔබ චීනයේ වීදුරු පාලම දැක ඇති බවට නොඅනුමානය. නමුත් මෙම Gap Bridge, ඊට සාපේක්ෂව වඩාත් භයානක ස්වභාවයක් උසුලයි. එහි පිය ගැට දෙකක් අතර ඇත්තේ අසාමාන්‍ය දුරකි. ආරක්ෂාවට ඇත්තේ ඉණෙහි ගැට ගැසූ කඹයක් පමණි. මෙම පාලම ස්ථාපනය කොට ඇති කුලුනේ උස මීටර් 300ක් පමණ වේ. මේ මතින් ගමන් කිරීමෙන් පුද්ගලයන් තමන්ගේ බිය දුරු කරගන්නා බවට චීන ජාතිකයන් අතර මතයක් පවතී. මෙම පාලම තරණයේදී ඔබ හෘද රෝගයක් හෝ වෙනත් හදිසි තිගැස්මක් හේතුවෙන් රෝගී වීමට ඉඩ ඇති නම් ජීවිත රක්ෂණයක් ද ලබා ගනිමින් මෙම පාලම තරණය කිරීමට අවකාශය ලබා දීමට චීන රජය කටයුතු කොට තිබේ. ඔබේ ජංගම දුරකථනයේ හෝ මුදල් පසුම්බිය මෙම පාලම මතින් බිමට වැටුණහොත්, එවැනි දෑ මෙම ජීවිත රක්ෂණයට අයත් නොවන බව ද චීන රජය ප්‍රකාශ කොට ඇත.