Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පොළොවේ කුහරයකින් ඇසුණු නිරයේ හඬ!

” පොළොවේ කුහරයකින් ඇසුණු නිරයේ හඬ” පිළිබඳ පසුබිම් කතාවට ප්‍රවිශ්ට වීමට කළින්, “අ(ර්)බන් ලෙජන්ඩ්” එකක් යනු කුමක්ද යන්න වග පැහැදිලි කළ යුතු වෙනවා. එම පැහැදිලි කිරීම මත පිහිටා ඔබ ලිපිය කියවීම ඉතා වැදගත්.

අප විවිධාකාරයේ දෙස් විදෙස් ජනප්‍රවාද අසා තිබෙනවා. එම ජනප්‍රවාද මත පදනම් වූ කලා නිර්මාණත් ඕනෑ තරම් තිබෙනවා. මේ බොහෝමයක් ජනප්‍රවාදවල අන්තර්ගත සිදුවීම් ඈත අතීතයේ සිදුවූ දේ විදිහට තමයි පැවසෙන්නේ. එම සිදුවීම් ඔප්පු කරගන්න හැකියාවක් පවතින භෞතික සාධකත් බොහෝ දුරට ඉතුරු වෙලා නැහැ. මේ හේතුව නිසා ජනප්‍රවාද, කලක පටන් ජනතාවගේ සිත් තුළ පවතින කතන්දර හෝ පුරාවෘත්ත බවට පත් වෙනවා. “අ(ර්)බන් ලෙජන්ඩ්”, මෙවැනිම ජනප්‍රවාද හෝ පුරාවෘත්තවල නූතන ස්වරූපයක් ලෙස හැඳින්විය හැකි යි.
“අ(ර්)බන් ලෙජන්ඩ්” එකක තිබෙන විශේෂත්වය වන්නේ එයින් පවසන කතාව බොහොම මෑත කාලයේදී සිදුවූ දෙයක් ලෙස විස්තර වීම යි. ඒවායේ අන්තර්ගතය බැලූ බැල්මටම සත්‍යයට ඉතා සමීප වුවත්, සැබැවින්ම ඒවා අසත්‍ය, විකෘති කිරීම් සහ අතිශයෝක්තියට නැංවූ කතායි. ඇතැම් විට යම්තාක් දුරකට සත්‍ය වූ කතාවක්, සිදුවීමක්, පදනම් කරගෙන විකෘති කිරීම් සහ අතිශයෝක්ති සහිතව අ(ර්)බන් ලෙජන්ඩ් එකක් ඉදිරිපත් විය හැකි යි. සත්‍යයට ඉතා සමීප ලෙස ඉදිරිපත් වෙන නිසා ඒවා පිළිගැනීමටත් ඇතැම් අය පෙලඹෙන්න පුළුවන්.
ඉතින්, අපි රුසියාවේ, සයිබීරියාවේ කණින ලද කුහරයකින් ඇසුණු “නිරයේ හඬ” පිටුපස තිබෙන පුරාවෘත්තය මුලින්ම සලකා බලමු.

රුසියානු විද්‍යාඥයන් සලිත කළ හඬ

පුරාවෘත්තයට අනුව 1989 දී එක්තරා රුසියානු භූ විද්‍යාඥයන් කණ්ඩායමක් සයිබීරියාවේ බොහොම දුර බැහැර ස්ථානයක කිසියම් ව්‍යාපෘතියක් සිදු කරමින් සිටියා. ව්‍යාපෘතිය සඳහා ඔවුන්ට පොළොවේ ගැඹුරු කුහරයක් කැණීමට සිදුවූ බවත්, කුහරයේ ගැඹුර කිලෝ මීටර් 14.5ක් පමණ වූ බවත් කියවෙනවා. කෙසේ හෝ ඔවුන් තම උපකරණවලින් පොළොව කණින අතරතුර හදිසියේම උපකරණයේ විදුම් සිදුකරන කොටස වේගයෙන් කරකැවෙන්නට පටන් ගත්තා. උපකරණය නිසා කුහරයේ පතුළෙන් විශාල කොටසක් කැඩී ඇති බව විද්‍යාඥයින්ට එයින් ඒත්තු ගියා. එවිට ව්‍යාපෘතියේ කළමනාකරු ලෙස සේවය කළ පුද්ගලයා කුහරය තුළට තාප ප්‍රතිරෝධී මයික්‍රොෆෝන කිහිපයක් සහ වෙනත් මිනුම් උපකරණ කිහිපයක් යැවීමට තීරණය කළ බව සඳහන්.

 අදාළ හඬ පටය තැනුවේ “Baron Blood” චිත්‍රපටයෙන් බව සාධාරණ සැකයක් පවතිනවා.-rottentomatoes.com

භූ විද්‍යාඥයන් පුදුමයට පත් කරමින් කුහර පතුළේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 2000 ක් තරම් ඇදහිය නොහැකි ඉහළ මට්ටමක තිබෙන බව සොයා ගත්තා. මයික්‍රොෆෝනයෙන් ඊටත් වඩා විස්මයජනක ශබ්දයක් ඇසෙන්න පටන් ගත්තා. ඉතා දරුණු වේදනාවකින් මිරිකෙන මිනිස් විලාප හා සමාන ශබ්දයක් මයික්‍රොෆෝනය හරහා කණ්ඩායමට අසන්න ලැබුණා. මේ ශබ්දය තත්පර 17ක් වැනි කෙටි කාලයක් පටිගත වූ අතර, අධික උෂ්ණත්වය හමුවේ මයික්‍රොෆෝන පසුව උණුවී විනාශයට පත් වුණා.

කෙසේ හෝ මෙම අද්භූත ශබ්දය නිසා විද්‍යාඥයන් පිරිස අපහසු උපකල්පනයකට පැමිණි බව කියවෙනවා. ඔවුන්ගේ උපකරණ නිරය සිදුරු කළ බවත්, මයික්‍රොෆෝන හරහා ඇසුණු ශබ්දය නිරයේ පැහෙන මිනිසුන්ගේ විලාපය බවත්, ඔවුන් විශ්වාස කළා. තර්කනය තම වෘත්තියේම කොටසක් බවට පත්කර ගත් විද්‍යාඥයන් ලෙස ඔවුන් එකවරම මෙවැනි උපකල්පනයකට පැමිණීම ගැටලු සහගත යි. පුරාවෘත්තය අනුව ඔවුන් එය විශ්වාස කළ බවත්, වහාම තම රැකියා ස්ථානයෙන් ඉවත් වීමට ඔවුන් කටයුතු කළ බවත් සඳහන් වෙනවා. ව්‍යාපෘති බිමේ සේවය කළ වෛද්‍යවරුන් මෙම සිදුවීම හමුවේ කම්පනයට පත්වූ අයට ප්‍රතිකාරයක් ලෙස ඔවුන්ගේ කෙටි කාලීන මතක මකා දැමූ බව සඳහන්. වෛද්‍යවරුන්ගේ එම ක්‍රියාකලාපය නිසා මෙම සිදුවීම ප්‍රවෘත්තියක් ලෙස ලෝකය පුරා පැතිරුණේ නැති බව ඇතැම් අය විශ්වාස කරනවා.
තවත් අතුරු කතාවකට අනුව, එදින රාත්‍රියේ ව්‍යාපෘති බිමේ නැවතී සිටි සාමාජිකයන් තවදුරටත් කම්පනයට පත් වූ බව කියවෙනවා. කණින ලද කුහරයෙන් පිටවූ දීප්තිමත් වායුවකින් පියාපත් සහිත විශාල යක්ෂයෙකු සටහන් වී රුසියානු බසින් “මම ජය ගත්තෙමි” යන වචන ගිනිදැල්වලින් සටහන් වූ බවත්, වෛද්‍යවරුන් ඉන්පසු කම්පනයට පත්වූ අයගේ කෙටි කාලීන මතක මකා දැමීමට ක්‍රියා කළ බවත්, එම කතාවෙන් කියවෙනවා.

අපායේ හඬට ආගමික මුහුණුවරක්

1989 සිට මෙම කතාව කුඩා ක්‍රිස්තියානි ප්‍රකාශන සහ ප්‍රවෘත්ති පත්‍රවල පළ වුණා. නමුත්, ප්‍රධාන ධාරාවේ කිසිදු මාධ්‍යයක් සයිබීරියාවේ මෙවැනි අද්භූත සිදුවීමක් ඇතිවූ බවට වාර්තා කළේ නැහැ. සමහර ඉවැන්ජලිකවරුන් සහ බයිබලයේ සඳහන් කරුණු විග්‍රහ කරන පුද්ගලයන් නිරයේ භෞතික පැවැත්ම ඔප්පු වූ අනගි අවස්ථාවක් ලෙස මෙම කතාව හුවා දැක්වූවා.

එම වසරේදීම “Trinity Broadcasting Network” නමැති ක්‍රිස්තියානි ආගමික නාළිකාව මෙම සිදුවීමට විශාල පරිමාණයේ ප්‍රචාරයක් ලබා දුන්නා. “විද්‍යාඥයන් එළිද‍රව් කරගත් නිරය” නමින් ඔවුන් එයට ප්‍රසිද්ධිය ලබා දුන්නා. පසුව අනෙකුත් ක්‍රිස්තියානි මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය කරා මේ පුවත පැතිරුණා. නමුත්, මේ සියලු ප්‍රචාරණ පදනම් වුණේ ශක්තිමත් මූලාශ්‍ර මත පදනම්ව නෙවෙයි. සැබැවින්ම සයිබීරියානු පොළොවේ මෙතරම් ගැඹුරට කුහරයක් කැණූ බවට හෝ ඒ ආශ්‍රිත ව්‍යාපෘතියක් ගැන කිසිදු සාක්ෂියක් නැහැ. නිරයේ ශබ්දය යැ යි සැලකූ තත්පර 17ක් දිග හඬ පටයවත් මොවුන් ඉදිරිපත් නොකළ බව සඳහන්. එම හඬ පටය ඉන් බොහෝ කලකට පසු කරළියට පැමිණි අතර, හඬ පටය ගැනත් පසුකලෙක ගැටලු ඇතිවී එය සාවද්‍ය එකක් බවට පත්වුණා.

ආන්දෝලනාත්මක හඬ පටය “Coast to Coast AM” නම් ගුවන්විදුලි වැඩසටහන හරහා මූලිකවම ජනප්‍රිය වුණා.-.audacy.com

හඬ පටය ප්‍රචලිත වූ හැටි

සයිබීරියාවේ විද්‍යාඥයන් පිරිසක් සොයාගත් නිරය ගැන විවිධ ආගමික නිකාය ලබා දුන් ප්‍රචාරය කාලයත් සමඟ යටපත් වුණා. නැවත මේ සිදුවීම 2002 වර්ෂයේ ප්‍රචලිත වීමට පටන් ගත්තා.අද්භූත සිද්ධි ගැන සාකච්ඡා කරන ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහනක් වූ “Coast to Coast AM” හි නිර්මාණකරු වූ ආට් බෙල්, එක දවසක් නිරයෙන් ඇසුණු ශබ්ද පිළිබඳ වැඩසටහනක් කිරීමට සූදානම්ව සිටියා. එම අහම්බය ගැන පුදුමයට පත්වූ එක්තරා ශ්‍රාවකයෙකු පණිවිඩයක් සමඟ එදා තත්පර 17ක කාලයක් විද්‍යාඥයින්ට ඇසුණා යැ යි කියූ නිරයේ ශබ්දය සටහන් හඬ පටය එවා තිබුණා. ශ්‍රාවකයාගේ පණිවිඩයට අනුව එම හඬ පටය අද්භූත සිදුවීම් සම්බන්ධ විස්තර එකතු කළ තම මාමා ගෙන් ලැබුණ එකක් බවත්, මාමාට එම හඬ පටය BBC ආයතනයේ සේවය කළ මිතුරෙකුගෙන් ලැබුණ එකක් බවත් සඳහන් කොට තිබුණා.
මුල සිටම මෙම සිදුවීමේ කිසිදු කරුණක් සත්‍යාපනය කළ නොහැකි වුණා. එසේ නම් හඬ පටයක් පැමිණියේ කෙසේ ද? මේ සඳහා ඇති එක් ජනප්‍රියම පැහැදිලි කිරීමක් වන්නේ, 1972 වසරේ නිකුත් වූ “Baron Blood” නම් බිහිසුණු සහ ත්‍රාසජනක කතා මාතෘකාවක් රැගත් චිත්‍රපටය යි. එම චිත්‍රපටයේ යොදාගත් ශබ්ද ප්‍රයෝග භාවිත කරමින් සංස්කරණය කරන ලද අනුවාදයක් සයිබීරියාවේ සිදුවීමට අදාළ හඬ පටය ලෙස ඉදිරිපත් කළ බව කියවෙනවා. අන්තර්ජාල භාවිතය ජනප්‍රිය වීමත් සමඟ මෙම හඬ පටයේ පිටපත් ඕනෑ තරම් යූ ටියුබ් වැනි මාධ්‍යවල සැරිසැරීම ඇරඹුණා. “Well to Hell” හෝ “Well to Hell Hoax” නමින් අද මෙය අන්තර්ජාලයේ ජනප්‍රිය වී තිබෙනවා.

රුසියාව කෝලා අර්ධද්වීපය තුළ භූ ගර්භය අධ්‍යනය කිරීමේ ව්‍යාපෘතියක් සිදු කළා.-store.mapsofworld.com

කෝලා අර්ධද්වීපයේ පරීක්ෂණය

පොළොව සිදුරු කරමින් සයිබීරියාවේ සිදුකළ භූ ගර්භ අධ්‍යනය ගැන කිසිදු සත්‍ය මූලාශ්‍රයක් නොමැති වුවත්, රුසියාව එබඳු පරීක්ෂණයක් කිසිවිටෙක නොකළ බව එයින් කියවෙන්නේ නැහැ. සීතල යුද සමයේදී එක්සත් ජනපදය සහ සෝවියට් රුසියාව විවිධ ක්ෂේත්‍රවලින් එකිනෙකා හා තරග කරමින් සිටියා. අභ්‍යවකාශය මෙන්ම පෘථිවි භූ ගර්භය පවා ජය ගැනීමට එම දෙපාර්ශවය උත්සහ කළා. එක්සත් ජනපදය “Project Mohole” නමින් පෘථිවි භූ ගර්භය ගවේෂණය කිරීමේ ව්‍යාපෘතියක් 1950 දශකයේ අග භාගයේදී ඇරඹූ අතර, සෝවියට් රුසියාව එවැනිම ව්‍යාපෘතියක් 1970 දශකයේදී “Kola Superdeep Borehole” නමින් නෝර්වේ රාජ්‍යයට ආසන්න කෝලා අර්ධද්වීපයේ ආරම්භ කළා. එම ව්‍යාපෘතිය අතරතුර කිසිදු අද්භූත යමක් වාර්තා වුණේ නැහැ. නවීන තාක්ෂණය යොදාගෙන නිපදවූ විදුම් උපකරණවල තත්ත්වය පරික්ෂා කරමින් ඛනිජ සම්පත් පිළිබඳ විස්තර ලබා ගැනීම එම ව්‍යාපෘතියේ අරමුණ වුණා.

මුලදී රුසියානු විද්‍යාඥයන් සැතපුම් 9ක් තරම් ගැඹුරට මෙම කුහරය කණින්නට අදහස් කළා. අනපේක්ෂිත අධික උෂ්ණත්වය හමුවේ ඔවුන්ගේ විදුම් උපකරණ වලට සැතපුම් 7.5ක ගැඹුරින් නතර වීමට සිදුවුණා. එම උෂ්ණත්වය සෙල්සියස් අංශක 180ක් පමණ වූ අතර, ඔවුන් පුරෝකථනය කළ උෂ්ණත්වයට වඩා එය දෙගුණයකින් වැඩි අගයක්.

“Kola Superdeep Borehole” ව්‍යාපෘතියේ අතහැර දැමුණු ගොඩනැඟිලි-bbc.com

විද්‍යාඥයන් එළිදරව් කරගත් නිරය

1992 වර්ෂයේදී කෝලා අර්ධද්වීපයේ කළ ව්‍යාපෘතිය අතහැර දැමුණු අතර, එම කාල වකවානුව තුළ සයිබීරියාවේ පොළෝ කුහරයකින් ඇසුණු නිරයේ හඬ ගැන පුවතත් සංසරණය වෙමින් පැවතුණා. කෝලා අර්ධද්වීපයේ විද්‍යාත්මක ව්‍යාපෘතියත් සමඟ සයිබීරියාවේ සිදුවීම කිසියම් පිරිසක් ඈඳන්නට උත්සහ කළ නිසා ඇතැම් පුද්ගලයන් සැබෑ ලෙසම නිරයෙන් හඬක් ඇසුණු බව විශ්වාස කිරීමට පෙලඹුණා. කෙසේ නමුත්, සයිබීරියාව සහ කෝලා අර්ධද්වීපය යනු රුසියාව තුළ එකිනෙකට බොහෝ ඈතින් පිහිටි ප්‍රදේශ දෙකක්. ඒ අතර විවිධ ආගමික ප්‍රචාරක මාධ්‍ය “විද්‍යාඥයින් එළිදරව් කරගත් නිරය” වැනි මාතෘකා යටතේ කිසිදු තර්කානුකූල හෝ පැහැදිලි සාක්ෂියක් නැති සිදුවීමකට අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දුන්නා.

අනෙක් අතට, සරලවම, කිසිදු කැණීම් උපකරණයක් හෝ සන්නිවේදන උපකරණයක් ෆැරන්හයිට් අංශක 2000 (සෙල්සියස් අංශක 1100ක් පමණ) තරම් ඉහළ උෂ්ණත්වය හමුවේ සාර්ථකව ක්‍රියා කළායැ යි සිතීම උගහට යි.

කෝලා අර්ධද්වීපය තුළ කණින ලද කුහරයේ විවරය මුද්‍රා තබා ඇති අයුරු-bbc.com

සයිබීරියාවේ පොළෝ කුහරයෙන් ඇසුණු නිරයේ හඬ, එහෙමත් නැත්නම් “Well to Hell” කතන්දරය, “අ(ර්)බන් ලෙජන්ඩ්” එකක් පරිණාමය වන ආකාරය පිළිබඳ ඇති විශිෂ්ට උදාහරණයක් ලෙස දැක්විය හැකි යි. කුඩා පරිමාණයේ සත්‍යයක් හෝ ප්‍රායෝගිකව සත්‍යයැ යි සිතිය හැකි සිදුවීම්වලට කාලයත් සමඟ තව තවත් අතිශයෝක්ති එක්වී මහා බොරුවක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. කොහොමත් මිනිසුන් පුරාවෘත්තවලට කැමති යි. ඇතැම් අය පදනමකින් තොරව තම තමන්ගේ ආගමික හෝ වෙනත් විශ්වාස මත පදනම්ව ඒවා පිළිගැනීමට පෙලඹෙනවා. කොහොම නමුත්, නිරයේ පැහෙන මිනිසුන් විලාප දෙනවායැ යි කියමින් සංසරණය වූ ව්‍යාජ හඬ පටය නම් ටිකක් විතර බියකරු යි. අන්තර්ජාලයෙන් ඔබට එය සොයා ගන්නට අපහසු වෙන එකක් නැහැ.

cover photo: Drag Me To Hell චිත්‍රපටයේ ප්‍රචාරක දැන්වීමක නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක් (the-lighted.blogspot.com)

මූලාශ්‍ර: trendmicro.com

urbo.com

bbc.com/

scientificamerican.com

 

Related Articles