Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපේ ආණ්ඩු සල්ලි අච්චු ගහනවා කියන්නේ මොකක්ද?

සල්ලි අච්චු ගැසීම ආර්ථිකයට ප්‍රශ්නයක් වුවත්, ආයෙත් සල්ලි අච්චු ගහන්නට සිදු වන බව අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය දවසක  ප්‍රකාශ කළා. ඔහු පැවසුවේ රුපියල් ට්‍රිලියනයක සල්ලි අච්චු ගසන්නේ නැතු ව රජයේ සේවක වැටුප් ගෙවීමට පවා මුදල් නැති බව යි.

අගමැතිවරයෙක් සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රකාශයක් කරන්නේ නැහැ. එය රුපියල කෙරෙහි ඇති විශ්වාසයට ප්‍රශ්නයක් වෙනවා. ආණ්ඩුව ඇත්තට ම සල්ලි, මුද්‍රණාලයකින් අච්චු ගසා ලබා ගන්නවාද කියල දැන් හුඟ දෙනකුට ප්‍රශ්නයක් ඇති වෙලා.

 අනවශ්‍ය ලෙස මුදල් සංසරණයට ආවොත් ප්‍රශ්න ගොඩයි- Keralakaumudi.com

 

සල්ලි අච්චු ගැසීම

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය මාර්තු මාසයේ දී රු. කෝටි 2,227 ක මුදල් අච්චු ගහලා යනුවෙන් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද පුවතක් පළ වුණා.  මුදල් අච්චු ගැසීම යනුවෙන් මේ අවස්ථාවේ දී සඳහන් වී ඇත්තේ, මුදල් මුද්‍රණය කිරීමක් නොව භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමේ දී  මහ බැංකුව මුද්‍රණය කර ගබඩාවල පවත්වාගෙන යන රුපියල් සංචිතවලින් , රු. බිලියන 22.27 ක් රටේ සංසරණයට මුදා හැරීම යි.

මුදල් අච්චු ගැසීම කියන්නේ සල්ලි අච්චු ගැසීමේ මැෂිමක් ආධාරයෙන් මුදල් නෝට්ටු මුදල් මුද්‍රණය කිරීමක් නොවෙ යි.  මුදල් මුද්‍රණය කිරීම තීරණය කරන්නේ, මහ බැංකුවේ ව්‍යවහාරික මුදල් කළමනාකරණ අංශය මඟින්.  රට තුළ සංසරණය වන මුදල් ප්‍රමාණය ගැන අවධානයෙන් සි‍ටිමින්, රටට ගනුදෙනු කිරීමට අවශ්‍ය වන  මුදල් ප්‍රමාණය  සංසරණයට එකතු කිරීම මහබැංකුවෙන් සිදු වෙනවා.

එහිදී උද්ධමනය ඇති නොවන අයුරින් ගනුදෙනු සඳහා අවශ්‍ය මුදල් පිළිබඳ සැලකිල්ලට ගනිමින් තමයි අලුතින් මුදල් සංසරණයට එකතු කරන්නේ.  ඒ වගේම වලංගු නෝට්ටු, නිතර පාවිච්චිය නිසා ඉරී යාම, අපිරිසුදුවීම, දිරාපත්වීම ආදිය හේතුවෙන්  භාවිතයට නුසුදුසු තත්ත්වයට පත්  වෙනවා. ඒ නෝට්ටු මහ බැංකුව ලබාගෙන ඒ වෙනුවට අලුත් නෝට්ටු ලබා දෙනවා. අබලි නෝට්ටු යන්ත්‍රානුසාරයෙන් විනාශ කර දමනවා. 

 සල්ලි අච්චු ගහන්න නිල බලය ඇත්තේ මහ බැංකුවට පමණයි-dailynews.lk

අප රටේ ආණ්ඩුව වෙනුවෙන් මුදල් අච්චු ගැසීමේ බලය තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට යි. මෙම බලය මහ බැංකුවට ලැබී ඇත්තේ 1949 අංක 58 දරන මුදල් නීති පනත මඟින්. රටක මහජනයා අතර මුදල් සඳහා පිළිගැනීමක් පැවතිය යුතු යි. එය ඇතිවන්නේ  ඔවුන් තුළ රුපියල ගැන පවතින විශ්වාසය මත යි. එය රැඳෙන්නේ මුදල් සඳහා පවත්නා නීතිමය වලංගුභාවය මත යි. යම්කිසි රටක භාණ්ඩ හා සේවා වල මිල අඛණ්ඩ ව ශීඝ්‍රයෙන් ඉහළ යන්න පටන් ගත්තොත් මුදල කෙරෙහි ජනතාව තුළ විශ්වාසය නැතිව යනවා.

එවැනි කාලයක  භාණ්ඩ මිල දී ගැනීමට අනවශ්‍ය විදිහට විශාල රුපියල්  ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. එවිට මහ බැංකුවට වැඩි රුපියල් ප්‍රමාණයක්  නිකුත් කිරීමට සිදු වෙනවා. දැන් අපේ රටේ තරමක් දුරට සිදුව ඇත්තේ එය යි. පාන් රාත්තලක් මිලට ගැනීමට රු. 180ක් ද, පරිප්පු කිලෝවකට රු. 630ක් පමණ ද මේ වනවිට අවශ්‍ය වෙනවා. සාලයා මාළු කිලෝව රු. 700 දක්වා ඉහළ ගිහින්. මේ නිසා රුපියලේ අගය බාල්දු වෙලා. මුදල් නැති අයට මේ භාණ්ඩ ලබාගැනීමට අපහසු නිසා බොහෝ භාණ්ඩ පරිභෝජනය කිරීමේ අවස්ථාව ඔවුන්ට අහිමි වෙනවා.

 කාසි අච්චු ගසන Mincovna Kremnica සමාගම- commons.wikimedia.org

මුදල් අච්චු ගසන තැන්

අපට අවශ්‍ය මුදල් නෝට්ටු කලකට පෙර මුද්‍රණය කළේ එංගලන්තයේ බ්‍රැඩ්බරි විල්කින්සන් සමාගම යි. මෑතක සිට නෝට්ටු මුද්‍රණය කරන්නේ  බියගම වෙළෙද කලාපයේ පිහිටි ඩි ලා රූ ලංකා කරන්සි ඇන්ඩ් සිකියුරිටි ප්‍රින්ට් පුද්ගලික සමාගම මඟින්.  නව කාසි මුද්‍රණය  කරන්නේ ස්ලෝවැකියාවේ, “Mincovna Kremnica” යන ටංකන සමාගම මඟිනු යි.

භාණ්ඩාගාර බිල්පත් නිකුතුව ගැන නිවේදනයක් – www.cbsl.gov.lk

සල්ලි අච්චු ගැසීම කියන්නේ… 

සල්ලි අච්චු ගැසීම කියා පොදු ව්‍යවහාරයේ පැවසෙන වචනයෙන්  අදහස් වෙන්නේ රජය මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් විකිණීම යි. රජයකට මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් විකුණන්නට සිදු වෙන්නේ වෙන කවුරුත් රුපියල් බිල්පත් මිල දී ගන්නේ නැති වුණාම යි. ආයෝජකයන් බිල්පත්  බිල්පත් මිල දී ගැනීමට ඉල්ලන පොලිය ගෙවීමට රජය සූදානම් නැති විට යි.

සාමාන්‍යයෙන් හැම බදාදා දවසක ම මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙනවා. එහිදි දින 91ට‍, දින 182කට සහ දින 364කට වරක් කල්පිරෙන භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා. මෙම බිල්පත් ආයෝජකයන් මිලදී ගැනීමයි සාමාන්‍යයෙන් සිදුවන්නේ. කල්පිරුණු විට ඒවාට පොලියත් සමඟ මුදල් ලැබෙනවා.  ආයෝජකයන් භාණ්ඩාගාර බිල්පත් මිලදී නොගතහොත් එම බිල්පත් මහ බැංකුවට ම තමයි මිලදී ගන්න සිදුවන්නේ.

එවිට මහ බැංකුව කරන්නේ තමන්ගේ සංචිතවල ඇති රුපියල් නෝට්ටු තොග සංසරණයට නිකුත් කිරීම යි. එවිට යි අප කියන්නේ සල්ලි අච්චු ගසනවා කියලා. එය සිදුවන්නේ නිෂ්පාදනයකින් නොවේ. එවිට තමයි රටේ භාණ්ඩ මිල ඉහළ ගිහින් උද්ධමනය ඇති වන්නේ.

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය

පසුගිය මැයි 18 දිනයේ පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රජය දින-91 බිල්පත් රුපියල් මිලියන 50,000ක්, දින-182 බිල්පත් රුපියල් මිලියන 20,000ක් හා දින-364 බිල්පත් රුපියල් මිලියන 20,000ක් වෙන්දේසියට ඉදිරිපත් කළා.  එහෙත් ආයෝජකයන් මිල දී ගත්තේ දින-91 බිල්පත් රුපියල් මිලියන 6,416ක්, දින-182 බිල්පත් රුපියල් මිලියන 3,433 ක් හා දින-364 බිල්පත් රුපියල් මිලියන 6,626 ක් පමණ යි.

ඒ කියන්නේ රජයට ඒ සතියේ රුපියල් මිලියන 90,000ක් අවශ්‍ය වුවත් බිල්පත් විකුණා හොයා ගන්න පුළුවන් වෙන්නේ රුපියල් මිලියන 16,475ක් පමණයි. දැන් මිලදී නොගෙන ඉතිරි වූ බිල්පත් ආපසු මිල දී ගැනීමට මහ බැකුවට ම සිදු වෙනවා. එසේ මැයි 19වැනි දා රජය මහ බැංකුවට රුපියල් බිලියන 85ක පමණ භාණ්ඩාගාර බිල්පත් විකුණනවා.

 රුපියලේ අගය පහළට – dailymirror.lk

 

මෑත අතීතත සලකා බැලුවොත්  2015 වසරේදී උද්ධමනය අඩුයි යැයි පවසමින් මුදල් අච්චු ගැසීමක් සිදුවුණා. එහි ප්‍රතිඵලය වූයේ රු. 131ට තිබූ ඩොලරය 151 දක්වා අවප්‍රමාණය වීම යි. 2018දි ත් එම ක්‍රමය ම අනුගමනය කළා.  එහිදී ඩොලරයක් මිලදී ගැනීමට අවශ්‍ය රුපියල් ප්‍රමාණය 181ට ඉහළ ගියා. හිටපු මහ බංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කර තිබු‍ණේ 2021 වසරේ දී රුපියල් බිලියන 1400ක මුදලක් මුද්‍රණය කළ බව යි.  

එම මහ බැංකු අධිපතිවරයා ඩොලරය රුපියල් 200 සීමාවේ කෘත්‍රිමව තබාගෙන සිටි අතර එම සීමාව ඉවත් කළ විගස ඩෙලරය රු. 360කටත් අධික ගණනකට ඉහළ ගියා.  ඒ වගේම මහ බැංකුවේ ඩොලර් සංචිත දැන් ඉතා පහළ බැහැලා. මේ නිසා  ව්‍යාපාරික කාර්යයන්වලට වාණීජ බැංකු ඩොලර් නිකුත් කරන්නේ මහ බැංකුවේ නිර්දේශ මත පමණ යි.

 උද්ධමනය ඉහළ යාමෙන් බඩුමිල අහස උසට-bbc.com

රටේ නිෂ්පාදනයට වැඩිය සල්ලි නිකුත් කළොත්

රටක නිෂ්පාදනය වන භාණ්ඩ හා සේවා ප්‍රමාණය ගැන නොසලකා මුදල් අධික ලෙස සංසරණය එක් කිරීම මිල උද්ධමනයට හේතුවක් වෙනවා. ඒ කියන්නේ බඩුවල මිල ගණන් ඉහළ යනවා.

ඒ වගේම එය මුළු වෙළෙඳපොළේ ම තියෙන මිල විකෘති කරනවා. දැන් අපේ රටෙත් තිබෙන්නේ ඒ වගේ තත්ත්වයක්. භාණ්ඩවල තිබෙන්නේ ඒවායේ නියම අගය නොවෙ යි විකෘති මිලක්. එය දිනපතා ලොකු ගණන්වලින් ඉහළ යන්නේ ජනතාව ලොකු අමාරුවක දමමින්.

 දුකට පත් ජනතා විරෝධතා – bbc.com

 

අපි අධික ලෙස මුදල් මුද්‍රණය කළොත් ඒ මුදල්වලින් භාණ්ඩ මිලදී ගැනීම වැඩි වෙනවා. භාණ්ඩ නිෂ්පාදනය වැඩි නොවී මිලදි ගැනීම වැඩිවුණා ම ඒවායේ මිල ඉහළ යනවා. වැඩිපුර බඩු ගෙන්වන්නේ පිටරටින් නිසා ඒවා ගෙන්වීමට ඩොලර් වැඩිපුර වැයවෙනවා. ඒක නවත්වන්න තමයි මහ බැංකුව පසුගිය කාලයේ ආනයන තහනම් සීමා දමා තිබෙන්නේ.

අතීතය පැවති රජයන් මුදල් මුද්‍රණය කිරීමෙන් අපේ රටේ අයවැය හිඟය පුරවාගන්න පුරුදු වෙලා හිටියා. නිදහසින් පසු පහුගිය වසර 70 තුළ ශ්‍රී ලංකාවට වතාවන් 16ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ලබා ගැනීමට සිදුව තිබෙනවා ඒකට හේතුවක් වෙන්නේ  අධික ලෙස මුදල් මුද්‍රණය කිරීම නිසා රටේ ආර්ථිකය අවුලට පත්වීමයි.  

1950 වසරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහන් 16කට සම්බන්ධ වී ඇත.  ඉන්ෆොග්‍රැෆික්: publicfinance.lk

 

අනවශ්‍ය ලෙස සල්ලි අච්චු ගැසුවොත්

 ඕනැවට වඩා සල්ලි අච්චු ගහල හොඳ පාඩමක් ඉගෙන ගත්තු රටක් විදිහට සිම්බාබ්වේ ප්‍රකට යි. ඒ රට අධික ව ෆියට් මුදල්  නිකුත් කළ නිසා වසරකට උද්ධමනය 1000% දක්වා වඩා වැඩි වුණා.  මුදලේ අගය පහළ යාම හින්දා සිම්බාබ්වේ රටට ඩොලර් මිලියනයේ මුදල් නෝට්ටු පවා මුද්‍රණය කරන්න සිදු වුණා. පස්සේ සිම්බාබ්වේ මිනිස්සු සිම්බාබ්වේ ඩොලර් වෙනුවට පසුව අමෙරිකානු ඩොලර් වෙත මාරු වුණා. එතකොට උද්ධමනය පාලනය වුණු බව පැවසෙනවා. නමුත් දුප්පතුන්ට යනඑන මං නැති වුණා.

වෙනිසියුලාවත් එහෙම මුදලේ අගය සිඳ ගත් රටක්. අධික ලෙස මුදල් මුද්‍රණය කිරීමෙන් ඒ රට ඉතාමත් ම නරක ප්‍රතිවිපාකවලට මුහුණ දුන් බව පසුගිය කාලයේ අප පළ කළ ලිපියකින් ඔබ කියවන්න ඇති.  වෙනිසියුලාවට වුණේ මිනිසුන්ගේ අතේ මුදල් තිබ්බත් ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගන්න ඒ මුදල්  ප්‍රමාණවත්  නැති වීම සහ   අතේ මුදල් තිබුණට මිල දී ගැනීමට අවශ්‍ය මූලික අවශ්‍යතා ගන්නවත් ප්‍රමාණවත් තරම් භාණ්ඩ හා සේවා වෙළෙඳපොළේ නැතිවීමත්යි ගැටලුවක් වුණා.  දැන් අපිත් ඒ වගේ තත්ත්වවලට මුහුණ පානවා. ගෑස් සහ ඉන්ධන මිල දී ගැනීමට මුදල් අරන් දින ගණන් පෝලිම්වල ඉන්න මිනිසුන්ට සිදු වෙලා. ගොවියාට වගාවට අවශ්‍ය පොහොර මිලදී ගැනීමටත් නැහැ.

කවරයේ ඡායාරූපය - මහ බැංකුව රුපියල් අච්චු ගසනවාද? -cbsl.gov.lk/dailynews.lk

මූලාශ්‍ර :

aithiya.lk

cbsl.gov.lk

srilanka.factcrescendo.com

aruna.lk

Related Articles