යුක්රේනයේ දෙවැනි විශාලත ම නගරය වන කාර්කිව්, රුසියානු ආක්‍රමණය හමුවේ විනාශ වෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. රුසියානු දේශ සීමාවේ සිට සැතපුම් 25 ක් පමණ ඈතින් පිහිටි කාර්කිව් නගරය” ගුවන් ප්‍රහාර හේතුවෙන් සුන්බුන් ගොඩක් බවට පත් වී ඇති අතර, පාසල් සහ සාප්පුවල සිට ආසන දෙව්මැදුරු දක්වා වූ සියල්ල ඉලක්ක කොට පහර දීමට රුසියානු හමුදාව පසුබට වන්නේ නැහැ.
ප්‍රධාන නගර මෙලෙස විනාශ වන විට යුක්රේනයේ ජන ජීවිතය සම්පූර්ණයෙන් ම පාහේ බිඳ වැටීම වැලැක්විය නොහැකි යි.
විවිධ හේතු අරබයා සිය මවු බිමෙන් ඈතට ගිය යුක්රේන ජාතිකයන් භෞතික ව මෙම සංහාරයෙන් ආරක්ෂිත ව සිටියත්, ඔවුන් සිටින්නේ බලවත් චිත්ත පීඩාවකින්. ඒ අනුව ඇන්ටාක්ටිකාවට පවා මේ යුද්ධයේ බලපෑම දැනී තිබෙනවා. ඒ ඇන්ටාක්ටිකාවේ නැවතී පර්යේෂණවල නිරත වන යුක්රේන විද්‍යාඥයන් නිසා යි. යැන් බක්මට් කියන්නේත් එවැනි යුක්රේන ජාතික විද්‍යාඥයෙක්. යුක්රේනයට අයත් ඇන්ටාක්ටිකාවේ එක ම පර්යේෂණ මධ්‍යස්ථානය වන “වර්නාඩ්ස්කි” හි සේවය කරන යැන් බක්මට්, කාර්කිව් හි විනාශය දෙස කිලෝ මීටර් 15,500 ක් පමණ ඈතට වී බලා සිටින්නේ ඉමහත් වේදනාවකින්.
ආපසු හැරීමක් නැත!
ප්‍රධාන මිනිස් වාසස්ථානවලින් සම්පූර්ණයෙන්ම පාහේ ඈත් වූ ආන්තික දේශගුණයක් සහිත පරිසරයක කුඩා කණ්ඩායමක් සමඟ හුදෙකලා වෙමින් සිය මවු බිම දිනෙන් දින විනාශ වන සැටි කෙනකුට අසන්නට දකින්නට ලැබීම කුමානාකාරයේ අත්දැකීමක් ද යන්න අපට සිතා ගන්නටවත් බැහැ. යැන් බක්මට් ඇතුළු පිරිස යුද්ධයෙන් සදහට ම වෙනස් වූ රටකට නැවත පැමිණීමේ කටුක යථාර්ථයට දැන් මුහුණ දෙමින් සිටිනවා.
යුද්ධය හමුවේ යැන්ගේ මව සහ පෙම්වතිය පෝලන්තය බලා පිටත් ව ගොස් ඇති අතර, ඔහුගේ පියා සහ මිත්තණිය බටහිර යුක්රේනයට පලා ගොස් තිබෙනවා. උද්ගතව ඇති තත්ත්වය ගැන දුරකථනය හරහා එක්තරා පුවත්පතකට යැන් බක්මත් මෙසේ අදහස් දක්වා තිබුණා.
“ඔබ දන්නා ආදරය කරන අයගෙන් කිලෝමීටර් දහස් ගණනක් ඈත්ව සිටිමින් ඔබට කිසිම දෙයකට බලපෑම් කළ නොහැකි තැනක කෙසේ හෝ ජීවත් වීමට සිදුවන අවස්ථාවක් ගැන සිතන්න. මට මේ දේවල් විස්තර කිරීමටවත් නොහැකි තරම්! ඔබට වැටහෙනවා ඔබට ආපසු යාමට තැනක් නොමැති බව. ඔබට කළ හැකි එකම දෙය වන්නේ අලුත් ම යතාර්ථයක් දෙසට හැරීම පමණ යි. ඔබගේ ජීවිතය “පෙර” හා “පසු” ලෙස බෙදී ගොස් අවසන්.”
තත්ත්වය කොතරම් දරුණුද කිවහොත්, ඇන්ටාක්ටිකාවේ තනතුර භාර ගැනීමට පෙර යැන් බක්මට් සේවය කළ ආයතනයේ මහාචාර්යවරුන් භෞමික ආරක්ෂණ ඒකකවලට සම්බන්ධ වී සේවය කිරීමට තීරණය කර තිබෙනවා.
අනාගතය අවිනිශ්චිත යි
ආරම්භයේ දී වර්නාඩ්ස්කි පර්යේෂණ මධ්‍යස්ථානය අයත් ව තිබුණේ මහා බ්‍රිතාන්‍යයට යි. 1996 දී එය යුක්රේනය වෙත භාර දුන් අතර, යුක්රේන විද්‍යාඥයින් සහ ඔවුන්ගේ උපකාරක කාර්ය මණ්ඩලය දේශගුණික අධ්‍යනයන් සඳහා මධ්‍යස්ථානය වෙත සෑම වසරක ම පැමිණෙනවා. යැන් බක්මට් යනු එලෙස පැමිණි භූ-භෞතික විද්‍යාඥයෙක්. යැන්ට පැවරුණු කාර්යයන් අතර පෘථිවියේ චුම්භක ක්ෂේත්රය ආශ්රිත අධ්‍යයන ප්රමුඛ වුණා. ඔවුන් එම කාර්යයන්වල නිරත වන අතරතුර තම මව්බිමේ සිදුවන විපර්යාසය දෙස බලා සිටියේ දැඩි අවිනිශ්චිතතාවකින්. පැමිණි කාර්යය ඔවුන් කෙසේ හෝ නිම කළ යුතු යි. යුක්රේනයේ යුද ගිනිදැල් මැද සිටින සිය සහෝදර පුරවැසියන් වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කිරීමටත් ඔවුන් අමතක කළේ නැහැ.
“මව්බිමේ සිදු වෙමින් පවතින දේවල් නිසා අපගේ හදවත් වේදනාවෙන් පිරී ගොසින්. අවාසනාවකට මෙන් අපිට සොල්දාදුවන් ලෙස හෝ භෞමික ආරක්ෂණ ඒකකයට හෝ ස්වෙච්ඡා සේවකයන් ලෙස සම්බන්ධ වෙන්න හැකියාවක් නැහැ. ඒත් මවුබිමට උදව් විය හැකි සෑම දෙයක් ම අප කරනවා.”
යැන් බක්මට් ඇතුළු පිරිසට තවත් සති තුනක කාලයක් කඳවුරේ රැඳී සිටිය හැකි යි. ඉන්පසු ඔවුන් චිලී දේශය හරහා ඇන්ටාක්ටිකාවට පැමිණෙන ඊළඟ පර්යේෂණ කණ්ඩායම සඳහා කඳවුර භාර දීමට සූදානමින් පසු වෙනවා. ඔවුන් මෙම තීරණයට පැමිණ තිබෙන්නේ යුක්රේනයේ පවතින යුදමය වාතාවරණය පවා නොතකා හරිමින්.
බක්මාට්ගේ එකම අරමුණ වන්නේ මේ වනවිට විසිරී ගොස් සිටින ඔහුගේ පවුලේ සාමාජිකයන් සොයා ගැනීම යි. ඒ සඳහා ඔහු පෝලන්තය බලා පියාසර කිරීමට සැලසුම් කරගෙන සිටිනවා. ඉන්පසු අනාගතය කෙබඳු වේවිදැ යි ඔහුට විශ්වාස නැහැ. පවතින තත්ත්වය අනුව යුක්රේනයේ ආරක්ෂක හමුදාවට එක්වීම හෝ පෝලන්තයේ රැඳී සිට දිගින් දිගට ම පර්යේෂණ කටයුතුවල නියැළීමට බක්මාට් අදහස් කරගෙන සිටිනවා.
“දැනට සිදු කර ගෙන යන විද්‍යාත්මක ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම අතපසු නොකිරීමට මට අවස්ථාවක් තිබෙනවා. නැතහොත්, ඒවා නැවත ආරම්භ කිරීම ඉතා දුෂ්කර කටයුත්තක් වේවි.”
යුක්රේනයේ අභිවෘද්ධිය වෙනුවෙන් පවත්වා ගෙන ගිය පර්යේෂණ නැවැත්වීමට බක්මට් කැමැත්තක් දක්වන්නේ නැහැ. යුද්ධය අතරතුර පවා ඒවා අඛණ්ඩව පවත්වා ගැනීමයි ඔහුගේ අරමුණ.
බක්මට් ගෙන් රුසියාවට පණිවිඩයක්
යුක්රේන-රුසියානු යුද්ධය ආරම්භ වීමට මත්තෙන් බක්මට් පවත්වා ගෙන ගිය “ටික්ටොක්” ගිණුමේ අනුගාමිකයන් 75,000 ක් පමණ සිටි අතර, වර්නාඩ්ස්කි පර්යේෂණ මධ්‍යස්ථානයේ ඔහු ගත කරන ජීවිතය පිළිබඳ වීඩියෝ පළ කරමින් අනුගාමිකයන්ට යම් වින්දනයක් ලබා දීමට බක්මට් උත්සහ කළා. දක්ෂිණ සාගරයේ චිත්තාකර්ෂණීය ග්ලැසියර, පෙන්ගුයින් සතුන්ගේ ජීවන රටාව ගැන තොරතුරුත් ඔහු වීඩියෝ හරහා බෙදා හැරියා.
ඔහුගේ බොහෝ අනුගාමිකයන් රුසියානු ජාතිකයන් වීම විශේෂත්වයක්. රුසියානු දේශසීමාවට ආසන්න නගරයක් ලෙස කාර්කිව් හි රුසියානු බස භාවිත කරන්නන් බොහෝමයක් සිටිනවා. කාර්කිව් වැසියන් සිය අසල්වැසි දේශය සමඟ සංස්කෘතික සබඳතා පවා පැවැත්වූවා. ඒ නිසා ම බක්මට්ට රුසියාව කෙරෙහි වෛරයක් තිබුණේ නැහැ. රුසියානු හමුදාවේ ගුවන් ප්‍රහාර කාර්කිව් මත පතිත වනවිට සිය රුසියානු ප්‍රේක්ෂකයන් වෙනුවෙන් වීඩියෝවක් නිර්මාණය කිරීමට ඔහු පියවර ගත්තේ ඒ නිසා යි.
“මට මතකයි ඒ දවස. මගේ අම්මයි පෙම්වතියයි නගරය අතහැර දැමුවත්, මගේ මිත්තණියයි තාත්තයි එතන සිටියා. මගේ පියා මට සමුගැනීමේ පණිවිඩයක් එවලා තිබුණා.”
රුසියානු අනුගාමිකයන්ගේ දෝෂ දර්ශනය
කෙසේ නමුත්, කලකට පෙර ඔහුගේ රූගත කිරීම් රසවිඳි රුසියානුවන් ගෙන් පසුව යහපත් ප්‍රතිචාර ලැබුණේ නැහැ. “අදහස් දැක්වීම් (comments)” හරහා රුසියානු අනුගාමිකයන්ගේ දෝෂ දර්ශනයට ඔහු ලක් වූ අතර, ඔහුගේ වීඩියෝව අවහිර කිරීමටත් ක්‍රියා කර තිබුණා.
“ක්‍රෙම්ලිනයේ ප්‍රචාරණයෙන් දුරස්ථ වූ කොටසක් තවමත් සිටින බව මං සිතුවා. ඒත් දැන් මට තේරෙනවා සුළු කොටසක් හැර ඒ මුළු රට ම අඥාන බව! රුසියාව කියන්නේ සුදු තැන කළු වූත්, කළු තැන සුදු වූත්, සමාන්තර යථාර්තයක සිටින රටක්.”
රුසියානුවන්ගේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් බක්මට් දරන්නේ එවන් අදහසක්.
සරණාගතයන් මිලියන ගණනක්
යැන් බක්මාට් ඇතුළු පර්යේෂකයන්ගේ කතාව හුදෙකලා සිදුවීමක් වුණත්, යුක්රේන අර්බුදයේ බලපෑම එහි වැසියන්ට දැනී ඇති අන්දමේ විවිධත්වය ගැන යම් අදහසක් ලබා දෙනවා. යුක්රේනය තුළ යුද්ධයට මුහුණ දෙමින් සිටින ජනතාව “සටන් කිරීම” හෝ “පලා යෑම” යන තෝරා ගැනීම්වලින් එකකට නතු වන විට මව්බිමෙන් බැහැර ව සිටින යුක්රේන ජාතිකයන් තෝරා ගැනීමක්වත් නොමැති ව අතරමං වී සිටිනවා.
යුද්ධය හේතුවෙන් සිවිල් වැසියන් මිලියන 2.8 ක් පමණ පිරිසක් යුක්රේනය මේ වනවිට හැර ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කරනවා. කාර්කිව්, මරියුපෝල් ඇතුළු බොහෝ නගරවල ආහාර ඉන්ධන සහ විදුලිය අවසන් වෙමින් පවතින අතර, මිලියන ගණනක් පිරිස් අනතුරට පත් වී සිටිනවා. විශේෂයෙන්ම යුක්රේනයේ කුඩා ළමයින් ජීවිතයට මුහුණ දීමටත් පෙර වෙනත් රටක සරණාගතයන් බවට පත් වීමේ ඉරණමට මුහුණ දී අවසන්.
හසන්ගේ කතාව
එකොළොස් හැවිරිදි හසන්ට සැපොරිෂීයා හි පිහිටි ඔහුගේ නිවස යුද්ධය හේතුවෙන් හැර යාමට සිදු වුණේ තනි ව ම යි. ඔවුගේ වයෝවෘද්ධ මිත්තණියට පලා යෑමේ හැකියාවක් නොතිබූ නිසා හසන්ගේ මව ඇයත් සමඟ රැඳෙන්නට තීරණය කළා. කුඩා හසන් ප්ලාස්ටික් බෑගයක්, කුඩා රතු පැහැති උර බෑගයක් සහ විදේශ ගමන් බලපත්‍රය පමණක් රැගෙන යුක්රේන-ස්ලොවැකියා දේශ සීමාව අසලට පැමිණි අතර, ස්ලොවැකියානු බලධාරීන් ඔහු සාදරයෙන් පිළිගැනීමට කටයුතු කළා.
සිනහවෙන් සියල්ලන්ගේම සිත් දිනා ගත් හසන්ට ස්වෙච්ඡා නිලධාරීන් අවශ්‍ය ආහාරපාන සපයා දුන් අතර, බලධාරීන් ස්ලොවැක් අගනුවර වන බ්‍රැටිස්ලාවා හි වෙසෙන හසන්ගේ ඥාතීන් සම්බන්ධ කර ගැනීමටත් කටයුතු කළා.
“මගේ නගරයට යාබදව තිබෙන බලාගාරයට රුසියානු හමුදාව ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. මට මගේ මව හැර යාමට හැකියාව නැහැ. ඇයට තනිව ම චලනය වන්නට බැහැ. එබැවින් මාගේ පුතාට පමණක් ස්ලොවැකියාවට පලා යෑමට ඉඩ හැරියා.”
හසන්ගේ මව වීඩියෝ පටයක් හරහා එසේ පවසා තිබුණා.
සැපොරීෂියා ප්‍රදේශයේ පිහිටා තිබෙන න්‍යෂ්ඨික බලාගාරය යුරෝපයේ විශාලත ම බලාගාරයක් ලෙස සැලකෙනවා. දැන් එය රුසියානු ග්‍රහණයේ පවතින අතර, ප්‍රහාර හමුවේ 1986 සිදු වූ චර්නොබිල් ව්‍යසනයට වඩා විශාල හානියක්, බලාගාරය හරහා සිදු විය හැකි බව යුක්රේන ජනපති අනතුරු හඟවා තිබුණා. ළඟ එන අනතුර වටහා ගත් හසන්ගේ මව ගත හැකි හොඳ ම ක්‍රියාමාර්ගය වහාම අනුගමනය කළා.
ස්ලොවැක් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසුවේ හසන් සිය සිනහව, නිර්භීතකම සහ අධිෂ්ඨානය නිසා දේශසීමාවේ සිටින සියල්ලන් ම ජය ගත් බව යි. ස්ලොවැකියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවා හසන් හමු වීමට ක්‍රියා කළ අතර, එහිදී හසන් ඔහුත් ඇතුළු ව ඔහුගේ සහෝදර සහෝදරියන්ට ස්ලොවැකියාවේ තාවකාලික ආරක්ෂාව ලබාදෙන මෙන් ඉල්ලා සිටියා. හසන්ගේ මව සහ මිත්තණියට උපකාර කිරීමට කැමති පුද්ගලයන් සිටී නම්, එම ආධාර ස්ලොවැකියාවේ තරුණ ක්‍රිස්තියානි සංගමය වෙත ලබා දෙන මෙන් ස්ලොවැකියා බලධාරීන් ජනතාවට දැනුම් දී තිබෙනවා.