රුසියානු ආක්‍රමණය හමුවේ අනතුරට වැටී ඇති සිය රට වැසියන්ට සහාය වීම සඳහා සාමය සහ ප්රජාතන්ත්රවාදය අගයන විදේශීය ජාතිකයන්ට යුක්රේනයේ දොරටු විවෘත බව එරට ජනපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා. සෙලෙන්ස්කි මෙසේ පවසා තිබෙන්නේ ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය හරහා පසුගිය ඉරිදා යි. ඒ අනුව යුක්රේනය විදේශීය හමුදා ඒකකයක් පිහිටුවීමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිටිනවා.
2016 වසරේ දී අනුමත කළ සන්නද්ධ හමුදා සේවයේ රෙගුලාසිවලට අනුව විදේශිකයන්ට සහ කිසිදු රටක පුරවැසිභාවයක් නොමැති පුද්ගලයන්ට යුක්රේනයේ හමුදාව සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී සේවය කිරීමේ හැකියාව පවතිනවා.
රුසියානු ආක්‍රමණය හරහා යුක්රේනයට පමණක් නොව මුළු යුරෝපාකරයට ම තර්ජන ඇති වන හෙයින්, ජාත්‍යන්තර සහයෝගීතාවක වැදගත්කම ආක්රමණයේ ආරම්භය පටන් ම සෙලෙන්ස්කි අවධාරණය කළා.
“රට ආරක්ෂා කිරීමට යුක්රේනය සමඟ එක් වීමට කැමති සෑම මිතුරකුම කරුණාකර අප අසලට පැමිණෙන්න. අපි ඔබට ආයුධ දෙන්නෙමු. එය සිදු කරන්නේ කෙසේද යන්න වග ඉතා ඉක්මනින් දැනුම් දෙනු ඇත. යුක්රේනය ආරක්ෂා කරන ඕනෑම තැනැත්තෙක් අපට වීරයෙකි.”
වොලොදිමීර් සෙලෙන්ස්කි වරෙක මාධ්‍ය හමුවක් ඔස්සේ එලෙස පවසා තිබුණා.
“යුක්රේනයේ භෞමික ආරක්ෂාව සඳහා වූ ජාත්‍යන්තර හමුදාවට සම්බන්ධ වී යුක්රේනය සහ ලෝක සාමය ආරක්ෂා කිරීමට කැමති විදේශිකයන් තම රටේ සිටින යුක්රේනයේ විදේශ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලය සම්බන්ධ කර ගන්නා ලෙස මම ආරාධනා කරමි.”
යුක්රේනයේ විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා දට්විටර් සටහනක් තබමින් ඉහත ආකාරයේ විවෘත ආරාධනයක් පසුගිය පෙබරවාරි 27 වැනිදා කර තිබුණා.
මේ වනවිට ලෝකයේ නන් දෙසින් යුක්රේනයේ ආරාධනාවට යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. බොහෝ රටවලින් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ සාමාන්‍ය මිනිසුන් යුක්රේනයට පැමිණෙමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. ඒ සියල්ලන්ට ම යුදමය වශයෙන් සහයෝගය ලබා දීමට නොහැකි වුණත්, සිය වෘත්තීයමය හැකියාවෙන් හෝ යුක්රේනයේ විපතට පත් මිනිසුන්ට උපකාර කිරීමට එම ස්වෙච්ඡා සේවකයන් සැදී පැහැදී සිටිනවා. එවැනි සිද්ධීන් කිහිපයක් වෙත අවධානය යොමු කිරීමටයි මේ සූදානම.
ඇන්තනී වෝකර්ගේ කතාව
ඇන්තනී වෝකර් යනු විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු සහ විකට නළුවකු ලෙස කටයුතු කරගෙන ගිය කැනේඩියානු තරුණයෙක්. සමාජ කැලඹීම් ඇති කළ ඇතැම් සිද්ධීන් හමුවේ ඒවාට ප්‍රතිචාර දැක් වූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙක් වශයෙනුත් ඇන්තනී යම් ප්‍රසිද්ධියක් උසුලනවා. සමාජ මාධ්‍ය ඔස්සේ කාලීන සිදුවීම්වලට බලපෑම් එල්ල කිරීමට උත්සහ කළ මේ කැනේඩියානු තරුණයා දැන් සැබෑ ලෝකයට පිවිස ඒ කාර්යය සිදු කිරීම අරඹා තිබෙනවා. ඔහු දින කිහිපයකට පෙර යුක්රේන-පෝලන්ත දේශසීමාව වෙත ළඟා වුණා.
“මා සහ මගේ බිරිය යුක්රේනයෙන් ඇසෙන ප්රවෘත්ති, පින්තූර සහ වීඩියෝ දර්ශන නරඹමින් සිටියා. ඒ කිසිවෙකින් අපි දැක්කේ හොඳ දේවල් නොවෙයි. මේ දේවල් කැනඩාවේ සිදු වුණා නම් අපට නිසැකව ම උදව් අවශ්‍ය වෙනවා.”
මෙතරම් අවදානම් සහගත තීරණයකට එළඹීමට හේතු වූ කරුණු පහදන ඇන්තනී, මෑත කාලීන ව අභ්‍යන්තර ගැටුමක් හෝ ආක්‍රමණයක් කිසිදා ඇති නොවූ, ස්ථාවර සහ ධනවත් රටක ඉපදීම වාසනාවක් බව පවසා තිබුණා.
“අපිට කවදාවත් එවැනි ප්‍රහාරයක් එල්ල වෙන්නේ නැහැ. අපිට ඒ මහත් සැපත තිබෙනවා. මා යුක්රේන ජාතිකයෙක් නොවෙයි. මට යුක්රේනය සමඟ කිසිදු සම්බන්ධයක් නැහැ. ඒත් මා මනුෂ්‍යයෙක්. ඒ හේතුව හොඳට ම ඇති යුක්රේනය කරා එන්න.”
ඇන්තනී වෝකර්ට කිසිදු යුදමය අත්දැකීමක් නැහැ. වසර තුනකට පමණ පෙර කැනේඩියානු සන්නද්ධ හමුදාවට එක් වීමට ඔහු උත්සහ කළත්, හීමොෆීලියා රෝගය හේතුවෙන් ඔහු එයට නුසුදුස්සකු බවට පත් වුණා. කෙසේ නමුත්, වඩු කාර්මිකයකු සහ ට්‍රක් රථ රියදුරෙකු ඇතුළු වෘත්තීන් ගණනාවක ඇන්තනී නියැළී තිබෙනවා. ඉතාම මෑතක පටන් ඔහු කැනේඩියානු විශ්ව විද්‍යාලයක සයිබර් ආරක්ෂාව සහ අනවසර දත්ත ප්‍රවේශය සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතු අරඹා තිබුණා. ඔහු සහතික ලත් හදිසි වෛද්‍ය තාක්ෂණික ශිල්පියෙක් ද වෙනවා. ඇන්තනී යුක්රේනයට සහාය වීමට බලාපොරොත්තු වන්නේ මේ විවිධත්වයෙන් යුතු වෘත්තීය අත්දැකීම් හරහා යි.
ඇන්තනීගේ අනුගාමිකයෝ
මුල් දින කිහිපයේ දී ඇන්තනී, හිටපු කැනේඩියානු සොල්දාදුවන් සහ එක්සත් රාජධානිය, දකුණු කොරියාව, එක්සත් ජනපදය වැනි රටවලින් පැමිණි ස්වෙච්ඡා සේවකයන් සමඟ පෝලන්ත දේශසීමාවේ රැඳී සිටියා. අනතුරු ව ඔහු යුක්රේන හමුදාවට අයත් ට්‍රක් රථයකින් සැපයුම් ප්‍රවාහනයට සහය දැක්වීමට බලාපොරොත්තු වූ අතර, ඉන්පසු බටහිර යුක්රේනයේ “ල්විව්” වෙත යෑමට සැලසුම් කොට තිබුණා.
යුක්රේනයට යාමට අදහස් කරන බව ප්‍රකාශ කළ දා පටන් ඇන්තනී කරා පණිවිඩ විශාල ගණනක් ළඟා වූ අතර, ඒ සියල්ලන්ට ම ඔහු අනුගමනය කිරීමට අවශ්‍ය වුණා. ඇන්තනී වෝකර් යනු හුදෙකලා සිදුවීමක් පමණ යි. එහෙත්, ඔහුගේ ප්රයත්නයට සහාය දක්වන විශාල පිරිසක්ඇන්තනී වටා ඉතා ඉක්මනින් ඒකරාශී වූ බව පැවසෙනවා.
රාජ්‍ය තාන්ත්‍රික මට්ටමිනුත් මේ ඒකරාශී වීමේ නැඹුරු ව දක්නට ලැබෙනවා. උදාහරණයක් ලෙස එක්සත් රාජධානියේ යුක්රේන තානාපති වැඩිම් ප්රයිස්ටෙයිකෝ පවසන අන්දමට අති විශාල විදේශිකයන් සංඛ්‍යාවක් යුක්රේනය වෙනුවෙන් සටන් කිරීමට ඉඩදෙන ලෙස ඉල්ලා තිබෙනවා. සියලු ම ස්වෙච්ඡා සේවකයන් සන්නද්ධ කරන බව යුක්රේනය පවසා තිබුණත්, ඔවුන් හරියට ම සොයන්නේ කුමනාකාරයේ මිනිසුන්ද යන්න වග එතරම් පැහැදිලි නැහැ. ස්වෙච්ඡා සේවකයන් පුහුණු කිරීම සහ සංවිධානගත කිරීමේ පටිපාටිය ගැන වූ තොරතුරුත් ඉතා අල්ප බව වාර්තා වෙනවා.
තීරණය ඔබ සතු යි.
යුක්රේනයට ස්වෙච්ඡාවෙන් සේවය කිරීමට කැමති පුද්ගලයන් සම්බන්ධයෙන් ලෝකයේ රටවල් විවිධ අදහස් දරනවා. අනාරක්ෂිත තත්ත්වය හමුවේ බොහෝ රටවල් යුක්රේනයට සංචාරය කිරීමේ ප්රයත්නයන් දුර්වල කිරීමට ක්‍රියා කරන අතර, ඇතැම් රටවල් යුක්රේනය කරා ළඟා වීම ඒ ඒ පුද්ගලයාගේ ස්වාධීන තීරණයක් ලෙස සලකා තිබෙනවා.
උදාහරණයක් ලෙස කැනඩාවේ විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලී, යුක්රේනයේ සහය වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වීම කැනේඩියානු පුරවැසියන් සතු “පුද්ගලික තීරණයක්” බව සඳහන් කර තිබෙනවා. එක්සත් රාජධානියේ විදේශ ලේකම් ද යුක්රේනය සඳහා ස්වෙච්ඡා සේවය ලබා දීමට කැමති පුද්ගලයන් අධෛර්යමත් නොකිරීමට කටයුතු කරමින් සිටිනවා. කෙසේ නමුත්, යුක්රේනයේ පවත්නා තත්ත්වය සියැසින් ම දකිමින් සිටින ඇන්තනී වෝකර් යම් අනතුරු හැඟවීමක් සිදු කරනවා.
“ඔබට මෙහි පැමිණීමට අවශ්‍ය නම් එය කෝල් ඔෆ් ඩියුටි (යුද්ධය තේමා කරගත් පරිගණක ක්‍රීඩාවක) වැනි දෙයක්යැ යි සිතන්න එපා. මෙය වීඩියෝ ක්‍රීඩාවක් නොවෙයි. අත් බෝම්බ සහ උණ්ඩ මරණය ගෙන දෙනවා.”
ස්වෙච්ඡා සේවකයන් යථාර්තවාදී විය යුතු බවත්, ආදායම් මාර්ග අවහිර වී අධික වියදම්වලට මුහුණ දීමේ සිට ආක්රමණයේ සැබෑ ස්වරූපය අත් විඳීම දක්වා වූ දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දිය යුතු බවත් ඔහු පවසනවා. ඇතැම් පුද්ගලයන් යුක්රේනය වෙත යෑමට උත්සහ කරන්නේ හදිසියේ පැන නැගුණු වීරත්වයක් හෝ අවදානමකට මුහුණ දීමේ අසාමාන්‍ය කැමැත්තක් අරබයා වීම ඊට හේතුව යි.
ස්කොට්ලන්තයෙන් සියයක්!
යුක්රේන රජයේ විවෘත ආරාධනයත් සමඟ ස්කොට්ලන්ත ජාතිකයන් සියයකට අධික පිරිසක් යුක්රේනය වෙත යෑමට සූදානමින් සිටින බව වාර්තා වෙනවා. හිටපු සොල්දාදුවෙක් වන ජෝ ස්ටර්ලින් ද එසේ එක් වූ ස්කොට්ලන්ත ජාතිකයෙක්. ඔහු ඉරාක යුද බිමේ පවා සේවය කර ඇති අතර, ඔහු පසුගිය සිකුරාදා යුක්රේනය වෙත යෑමට සැලසුම් කර තිබූ බව පැවසෙනවා.
“මිනිස්සුන්ට උදව් අවශ්‍ය යි. රටවල් සහ ජාතීන් යන භේද පසෙක ලා මිනිසුන් මිනිසුන්ට උදව් කරන්නයි මේ සූදානම් වෙන්නේ. මං ගඩොල් කපන්නෙක් නම් මා යුක්රේනයට ගිහින් රෝහල් හදනවා. මා වෛද්‍යවරයෙක් නම් මිනිසුන්ට ප්‍රතිකාර ලබා දෙනවා.ඒත් මං සොල්දාදුවෙක්. ඒ නිසා මං සටන් කරන්න යනවා.”
“බීබීසි ව(ර්)ල්ඩ් ඇට් වන්” වැඩසටහන වෙත අදහස් දක්වමින් ජෝ ස්ටර්ලින් පවසා සිටින්නේ යුක්රේන රජය සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට තමා අපේක්ෂා කරන බව යි. සෑම විටම සන්නද්ධ ගැටුම් හා සබැඳි නීතිවලට අනුගතව කටයුතු කරන බවත්, යුද්ධයට සම්බන්ධ වීමේ නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් සාධාරණ ලෙස තමා ආවරණය වී ඇති බවත්, ස්ටර්ලින් පවසා තිබෙනවා.
ආරාධනය පිළිබඳ මිශ්‍ර අදහස්
මිනිසුන් යුක්රේනයට සහය වීමට කෙතරම් උද්යෝගයක් දැක්වූවත්, සිය භටයන් යුක්රේන භූමියේ සටන් සඳහා නොයවන බව එක්සත් රාජධානිය මීට පෙර අවධාරණය කොට තිබුණා. යුක්රේනයේ ගැටලුව සම්බන්ධයෙන් එක්සත් රාජධානිය “ස්වයං හානියක්” කර නොගත යුතු බවත්, යුක්රේනයේ ආරක්ෂාව සඳහා දායක වීමට වඩාත් යහපත් ක්‍රම ඇති බවත්, එරට ආරක්ෂක ලේකම්වරයා පවසා තිබුණේ එවැනි පසුබිමක් මැද යි. කෙසේ නමුත්, යුක්රේනයේ යහපත සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වන මිනිසුන් ගැන එක්සත් රාජධානියේ විදේශ ලේකම්වරිය දරන්නේ ඊට ප්‍රතිවිරුද්ධ අදහසක්.
යුක්රේනයේ විවෘත ආරාධනය සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර මිශ්‍ර අදහස් ඇති බව මෙයින් ගම්‍ය වෙනවා. එරට විදේශ කාර්යාල වෙබ් අඩවිය යුදමය කලාපයට ගමන් කිරීමට එරෙහි ව උපදෙස් දෙන අතරේ මෙසේ ද පවසනවා.
“ඔබ නැගෙනහිර යුක්රේනයට සටන් කිරීමට හෝ ගැටුමේ නියැළී සිටින අන් අයට උපකාර කිරීමට යන්නේ නම්, ඔබේ ක්‍රියාකාරකම් එක්සත් රාජධානියේ ත්රස්තවාදයට හෝ වෙනත් නීතිවලට එරෙහි වරදක් විය හැකි අතර, නැවත එක්සත් රාජධානියට පැමිණීමේ දී ඔබ නඩු පැවරීමකට ලක් විය හැක.”
කිසිදු හමුදා පුහුණුවක් හෝ අත්දැකීමක් නැති පුද්ගලයන් තුළ ඇති අභිප්‍රේරණය කොතරම් ශක්තිමත් වුවත්, තීරණාත්මක මොහොතේ යුක්රේනයට උපකාර කිරීමේ වෙනත් කාලෝචිත ක්‍රම බොහෝමයක් පවතින බව එක්සත් රාජධානියේ ඇතැම් රාජ්‍ය තාන්ත්‍රිකයන් විශ්වාස කරනවා.
ජපන් ජාතිකයන් 70 ක් සූදානමින්
මාර්තු පළමුවැනිදා වන විට යුක්රේනය තුළ විදේශීය සොල්දාදුවන් ලෙස සේවය කිරීමේ කැමැත්තෙන් පසුවන ජපන් ජාතිකයන් 70 ක් පමණ ජපානයේ යුක්රේන තානාපති කාර්යාලය හරහා ස්වෙච්ඡා සේවයට ඉල්ලුම් කර ඇති බව අනාවරණය වී තිබෙනවා. සියලු ම ස්වෙච්ඡා සේවකයන් පිරිමින් වන අතර, බොහෝ දෙනෙක් ජපානයේ ස්වයං ආරක්ෂක බළකායේ හිටපු නිලධාරීන් බව වාර්තා වෙනවා. යුක්රේනය මෙසේ ඉදිරිපත් වන ස්වෙච්ඡා සේවකයන්ට යම් ගෙවීමක් සිදු කිරීමට අදහස් කරගෙන සිටින බවත් පැවසෙනවා.
යුක්රේන තනාපති කාර්යාල අදාළ ආරාධනාව තුළ “ස්වෙච්ඡා සේවකයන්” ලෙස පැහැදිලිව ම දක්වා ඇති හෙයින්, බොහෝ දෙනෙක් ඉදිරිපත් වෙන්නේ මුදලට නොව පවිත්‍ර අභිප්‍රේරණයකින් බව ජපානයේ පිහිටි යුක්රේන තානාපති කාර්යාලය පවසනවා.
“ජපානයේ සිටින්නකු ලෙස තමාට වැඩි යමක් කළ නොහැකි වුවත්, කෙසේ හෝ මට උපකාර කිරීමට අවශ්‍ය යි.” වැනි වාක්‍ය ස්වෙච්ඡා සේවකයන් ලෙස ඉදිරිපත් වීමේ හේතු අතර දක්නට ලැබූ බව ජපානයේ පිහිටි යුක්රේන තානාපති කාර්යාලයෙන් වාර්තා වෙන බව සඳහන්.
ජපාන් ජාතිකයන් අතර එවැනි අභිප්‍රේරණයක් පැවතුණත්, ජපාන රජය යුක්රේනයේ සංචාරය කරන්නන්ට අවදානම හැඟවීමේ ඉහළ මට්ටම ලබා දී තිබෙනවා. ජපානයේ පිහිටි යුක්රේන තානාපති කාර්යාලය ස්වෙච්ඡා සේවය සඳහා කර ඇති විවෘත ආරාධනය පිළිබඳ දැනුම්වත් වී තිබුණත්, යුක්රේනයට ගමන් කිරීමෙන් වැලකී සිටින ලෙස ජපාන විදේශ අමාත්‍යවරයා මාධ්‍ය හමුවක දී ජනතාවගෙන් ඉල්ලා සිටියා.
අසල්වැසියන් පෙරට…
යුක්රේනයේ අසල්වැසි රටවල්වල සාමාන්‍ය ජනයා මේ දුෂ්කර කාල පරිච්ඡේදයේ දී යුක්රේන ජනතාව වෙත දක්වන සහයෝගයත් සුළුපටු නැහැ. ඒ අතරින් පෝලන්තය රුමේනියාව සහ ජර්මනියත් ඉදිරිගාමී ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරනවා. එය යුක්රේන භූමියෙන් එපිට පවතින, එහෙත්, යුක්රේනය වෙනුවෙන් ගොඩ නැඟුණු ස්වෙච්ඡා සේවා ජාලයක් බඳු යි. මාර්තු දෙවැනි දා වනවිට සරණාගතයන් ලක්ෂ පහකට වැඩි පිරිසක් යුක්රේනයේ සිට පෝලන්තය වෙත පැමිණ තිබෙනවා. පෝලන්තය තම අසල්වැසියා වෙනුවෙන් දේශසීමා විවෘත කළ අතර, දේශසීමාව අසල පිළිගැනීමේ ස්ථාන පවා පිහිටුවීමට පෝලන්ත වැසියන් ක්‍රියා කළා. එහි දී යුක්රේන වැසියන්ට උණුසුම් පාන සහ ආහාර අඛණ්ඩව සැපයීමත් සිදු වුණා.
රට පුරා සිටින මිනිසුන් ආහාර සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය එක්රැස් කිරීම, සරණාගතයන් සඳහා තම නවාතැන් ලබා දීම සහ සරණාගතයන්ට දේශ සීමාවෙන් හැකි ඉක්මනින් ඉවත් වීමට උපකාර කිරීම වැනි ක්‍රියාවලීන් රාශියක් පෝලන්තය තුළ සිදු වෙමින් පවතිනවා. සාමාන්‍ය ජනතාව, ආගමික නායකයන්, පළාත් පාලන නිලධාරීන් මෙන් ම, යුක්රේනයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විරුද්ධ මතවාද දැරූ කණ්ඩායම් පවා උද්ගත වූ තත්ත්වය හමුවේ එකට එකතු වී සිටිනවා. රොමේනියාවේ තත්ත්වයත් ඊට දෙවැනි වන්නේ නැහැ.
මේ දක්වා 67,000 කට අධික පිරිසක් දේශ සීමාව හරහා රොමේනියාවට ඇතුළු වී ඇති අතර, සිවිල් සමාජයේ ස්වෙච්ඡා සේවකයන් සිය ගණනක් යුක්රේන සරණාගතයන් වෙනුවෙන් කැපවී සිටිනවා. මීට අමතරව, රොමේනියානු ගිනි නිවන භටයින් සහ හදිසි පරීක්ෂක කාර්යාල හරහා ආහාර, ජංගම දුරකථන, සිම් කාඩ්පත් සහ ප්‍රවාහනය ඇතුළු ක්ෂණික සහන රැසක් ලබා දීම සිදු කෙරෙනවා.
ශ්‍රී ලංකාවේ පවා පසුගිය දින කිහිපය තුළ යුක්රේන ජාතිකයන් වෙනුවෙන් ඇරඹූ ස්වෙච්ඡා සේවා දක්නට ලැබුණා. මෙරට සංචාරය සඳහා පැමිණි යුක්රේන ජාතිකයන්ට නොමිලේ නවාතැන් පහසුකම් සැපයීමට ඉදිරිපත් වූ සංචාරක ක්ෂේත්රයේ වෘත්තිකයන්ගේ සහාය පළ කිරීම් සමාජ මාධ්‍ය හරහා දක්නට ලැබුණා.