වෘත්තීය අයිතිවාසිකම් හිමිකර ගැනීමට කම්කරුවන් වැඩ වර්ජනය කිරීමත්, පාලකයන් මර්දනය ක්‍රියාත්මක කිරීමත් ඉතිහාසය පුරා දකින්න ලැබෙන සිද්ධියක්. අසාධාරණ බදු ප්‍රතිපත්තිය, ජීවන වියදම ඉහළ යාම, රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය, ඡන්දය කල්දැමීම ඇතුළු හේතු මුල්කරගෙන පසුගිය දිනවල වැඩවර්ජන සහ විරෝධතා ශ්‍රී ලංකාව පුරා දකින්නට ලැබුණා.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ වනවිටත් බදු ප්‍රතිපත්තිය හකුළා ගන්නා ලෙස ඉල්ලා වර්ජනය කරනවා. ඛනිජතෙල් වෘත්තිය සමිති වර්ජන ව්‍යාපාරයක් ආරම්භ කළේ ඛනිජතෙල් පිරවුම්හල් පෞද්ගලික අංශයට ලබාදීමට ගෙන ඇති තීරණයට විරුද්ධව යි.
අපේ වැඩ වර්ජන ඉතිහාසයට අවුරුදු 150කට වැඩි කාලයක් හිමියි. මේ ඉංග්‍රීසි කාලෙ අපේ රටේ වැඩවර්ජනය කර අයිතින් දිනාගැනීමට කටයුතු කළ ආකාරය විමසා බැලීමක්.
මුල් ම වැඩවැරුම
1800 අගභාගය වනවිට යුරෝපය පුරා කම්කරු වැඩවර්ජන බහුල ව සිදුවෙනවා. අප රටේ 1800 දෙවන භාගයේ දී ඉංග්‍රීසි හාම්පුතුන්ට එරෙහි ව විවිධ අවස්ථාවලදී කම්කරුවන් වැඩ වර්ජනය සිදුකළ බව අසන්නට ලැබෙනවා. සංවිධානාත්මක ආකාරයෙන් පැවැත්වූ මුල්ම වැඩ වර්ජනය 1883 දී සිදුකළ බව වාර්තා වෙනවා.
වර්ෂ 1860 දී තර්ස්ටන් නමැත්තකුට අයත්ව තිබූ පෞද්ගලික පාසලක සේවක පිරිසක් වැඩ නවත්වා තිබෙනවා. 1870 වාරිමාර්ග සේවක පිරිසක් වැඩ අත්හැර විරෝධතා පවත්වා තිබෙනවා. 1879 දී කොළඹ මස්කඩ කම්කරුවන් වැඩ නවත්වා ඇති බවත් අසන්නට ලැබෙනවා.
සංවිධානාත්මකව පැවැත්වූ මුල් ම වැඩ වර්ජනය ඇරඹුණේ 1893 සැප්තැම්බර් මස 12 වැනිදා, කොළඹ කේව් මුද්‍රණ සමාගමේ යි. එය අයත් ව තිබුණේ ප්‍රකට ලේඛකයකු වූ හෙන්රි කේව්ට යි. වර්ජනයට කම්කරුවන් 60 දෙනකුගේ සහභාගිත්වය ලැබී තිබෙනවා. ඒ. ඊ. බුල්ජන්ස් මෙම වැඩ වර්ජනය සංවිධානය කිරීමේ පුරෝගාමියා වුණා. වැඩවර්ජනයට මුල්වුණේ කේව් සමාගමේ සේවකයන්ගේ වැටුප් නිසි පරිදි නොගෙවීමයි. බ්‍රිතාන්‍ය ආණ්ඩුව වැඩ වර්ජනය මර්දනය කිරීමට කටයුතු කළ අතර වර්ජනය කළ සේවකයන්ට තර්ජනය කොට නැවත සේවයට කැඳවා ගැනීමට උත්සාහ කර තිබෙනවා.
කරත්තකරුවන්ගේ වර්ජනය
කම්කරු ඉතිහාසයේ විශාල පිරිසක් එක්වූ සටනක් ලෙස 1906 අගෝස්තු 13 වැනි දා සිට 16 දා දක්වා කෙරුණු පුද්ගලයන් 5060 ක් පමණ සහභාගී වූ කොළඹ කරත්තකරුවන්ගේ වැඩ වර්ජනය සඳහන් කළ හැකි යි. ගොන් බැඳි කරත්ත එවක ලාභදායී ම සහ බහුල ම ප්‍රවාහන මාධ්‍යය වුණා. කරත්තකරුවන්ගේ වැඩ වර්ජනය ආරම්භ වුණේ කරත්තයක් දක්කන තැනැත්තා ගමනේ යෙදෙන කිසිම අවස්ථාවක කරත්තයේ “ඒරියා කඳ” හෝ එහි වෙනත් කිසිදු ස්ථානයක වාඩිනොවිය යුතුයයි නිර්දේශ කරමින් කොළඹ නගර සභාව පැනවූ නීතියකට විරුද්ධව යි. දහස් ගණනක් කරත්තකරුවන් ඊට එරෙහිව වැඩ ආරම්භ කළ වර්ජනය නිසා කොළඹ නගරයේ භාණ්ඩ ප්‍රවාහනය සහමුලින් ම අඩපණවී ගොස් තිබෙනවා.
මෙම වර්ජනයට නායකත්වය සපයා ඇත්තේ හිටපු අගමැති ජෝන් කොතලාවලගේ පියායි.
1914 දී වැල්ලවත්ත රෙදි මෝලේ කම්කරුවන් 15 දෙනෙක් වර්ජනයක නිරත වී ඇත්තේ කම්හල තුළ පරිසරයේ අධික උෂ්ණත්වය නිසා වැඩකළ නොහැකි බව පවසමින්. කළමනාකරුගේ තීරණයක් මත දවස පුරා ජනේල කවුළු වසා තැබිම නිසා වාතාශ්‍රය නොලැබීම නිසා කම්කරුවන් 200ක් පමණ පීඩා විඳින්නට වුණා. මෙම වර්ජනය ඉක්මනින් අවසන් වූ අතර කම්කරුවන් 15 දෙනාට දඬුවම් දුන් බව පැවසෙනවා.
ඒ. ඊ. ගුණසිංහගේ ලංකා කම්කරු සංගමය
1900 මුල වන විට වැඩ කරන ජනතාව වෙනුවෙන් ඒ. ඊ. ගුණසිංහ හඬ නගන්නට වුණා. ඔහු 1922 සැප්තැම්බර් 22 වැනි දා ලංකා කම්කරු සංගමය පිහිටුවා ගැනීම වර්ජන ඉතිහාසයේ කැපී පෙනෙන සන්ධිස්ථානයක් වුණා. වික්ටර් කොරයා එහි සභාපති වූ අතර ඒ. ඊ. ගුණසිංහ උපසභාපති වුණා. එංගලන්තයේ කම්කරු පක්ෂයේ සහයෝගය ද එයට ලැබුණා. 1923 වන විට කොළඹ සියලුම කම්කරුවන් සංගමය වටා එක්කර ගැනීමට ලංකා කම්කරු සංගමයට හැකියාව ලැබෙනවා. ගුණසිංහ කම්කරු සටන් ක්‍රියාත්මක කරන අවදියේ ඇඟ බද්දට එරෙහි ව පාරේ ගල් කැඩීමේ ද නිරත ව තිබෙනවා.
සමස්ත ලංකා වැඩ වර්ජනයක්
ලංකාවේ සමස්ත ලංකා වැඩ වර් ජනයක් මුල්වරට සංවිධානය වුණේ 1923 පෙබරවාරි 15 වැනිදා යි. ජීවන වියදම ඉහළයාම, හාම්පුතුන් වැටුප් වැඩි නොකිරීම වර්ජනයේ ප්‍රබල සටන් පාඨ බවට පත්ව තිබුණා. කොළඹ වරාය, වැල්ලවත්ත රෙදි මෝල, කොළඹ ඉංජිනේරු සමාගමේ සේවක කම්කරුවන් සහ කසළ ශෝධකයන් ද මේ වැඩවැරුමට එකතු වුණා.
මේ නිසා ප්‍රධාන කර්මාන්ත ශාලාවල වැඩ නැවතුණු අතර කොළඹ වැසිකිළි පිරිසුදු කිරීම පවා සිදු වුණේ නැහැ. මේ වැඩවර්ජනය කම්කරු ව්‍යාපාරයට නව ජීවයක් එක් කළ අවස්ථාවක් වුණා. ලංකා කම්කරු සංගමය ජනතාව අතර වඩාත් ප්‍රචලිතවීමටත් එය බලපෑවා. 1926 කාලය එළඹෙන විට විට ලංකා කම්කරු සංගමය වටා 4000ක සාමාජික පිරිසක් ගොනු වී කොළඹ ප්‍රබල ම කම්කරු සංවිධානය බවට පත්ව තිබුණා.
වැඩ වර්ජන රැල්ලක්
සුදු අධිරාජ්‍යවාදීන් සැමවිමට කටයුතු කළේ ලාබ වැඩිකර ගැනීමට මිස කම්කරු යහපත ගැන සලකා නොවෙයි. මේ නිසා නිතර නිතර කම්කරු පන්තියත් ඔවුනුත් අතර ගැටුම් හට ගත්තා.
1928 දී වැඩ වර්ජන රාශියක් ඇති වුණේ කම්කරුවන්ගේ පීඩනය උග්‍රව පැවති අවදියක යි. මෝටර් රථ කම්කරුවන්ගේ වැඩවර්ජනය, කොළඹ මහ හෝටලයේ වැඩ වර්ජනය, ටයිම්ස් සමාගමේ වැඩ වර්ජනය, ට්‍රෑම් රථ වැඩ වර්ජනය ආදිය මේ කාලයේ සිදුවුණා. පොදු ප්‍රවාහන සේවයක් ලෙස කොළඹ නගරයේ ධාවනය වුණු ට්‍රෑම් රථ කම්කරුවන්ගේ වැඩ වර්ජනය වඩාත් බලපෑමක් කළා. එය සටන්කාමී ස්වරූපයක් ගත්තා. එයට නායකත්වය දුන්නේ ඒ.ඊ ගුණසිංහ යි.
1946 සමස්ත ලංකා වැඩ වර්ජනය
ලංකාවේ කම්කරු ඉතිහාසයේ ඒ වනවිට දකින්න ලැබුණූ විශාල ම සමස්ත ලංකා වැඩ වැරුම සිදුවුණේ 1946 දි යි. ඒ වනවිට නිදහස් ව්‍යාපාරය ද ප්‍රබල ව පැවති නිසා මේ වර්ජනයට දේශපාලන නායකත්වයක් ද හිමිවුණා. එය ශක්තිමත් සංවිධානාත්මක පදනමක් මත ආරම්භ වුණා. 1946 දී කාර්මික වැඩ වර්ජන 69 ක් ද, වතු සේවක වැඩ වර්ජන 89 ක් ද වාර්තා වී තිබෙනවා. මෙම වර්ජනවලට වෘත්තිය සමිති 40ක් එක් ව සිට තිබෙනවා. රජයේ සේවකයන් විශාල පිරිසක් ද වැඩ වර්ජනයට එකතු වී සිටියා. මේ නිසා වර්ජනය ආණ්ඩුවට දැඩිව දැනෙමින් තිබුණා. වර්ජනයට වාමාංශික දේශපාලන නායකයන් වන පිලිප් ගුණවර්ධන, කොල්වින් ආර්. ද සිල්වා ආදීන් නායකත්වය සපයා තිබෙනවා.
1946 වර්ජනය ඇරඹුණේ ඔක්තෝබර් 21 වැනි දා යි. එයට ලිපිකරුවන් 500ක් පමණ ද කාර්යාල සහායකයන් 100 දෙනෙක් ද සරප්වරු 60 දෙනෙක් ද වෙනත් සේවකයන් 35 ක් ද සම්බන්ධ වුණා. දින කිහිපයක් යනවිට වර්ජනය කර්මාන්ත ශාලාවලටත් පැතිර ගියා.
වැඩ වර්ජනය එවකට ආණ්ඩුව සැලකුවේ ඔවුනට ඇති ප්‍රබල ම තර්ජනයක් ලෙස යි. එය මර්දනය කිරීමටයි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා නියෝග කළේ. වර්ජකයන් හා ආරක්ෂක අංශ අතර ගැටුම් ද හටගෙන තිබෙනවා. කෝපයට පත් කම්කරුවන් යාපනය දක්වා ගමන් කරමින් තිබූ දුම්රියක් පීලි පන්නවා තිබෙනවා. දුරකථන රැහැන් කපා දමා පණිවිඩ හුවමාරුවටත් බාධා ඇති කළා.
1947 වර්ජනය
නිදහසේ උණුසුම පැතිරෙද්දී 1947 දී ද මහා වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට කම්කරු නායකයන් එකතු වුණා. ඒ අවුරුද්දේ මැයි 29 වැනි දා රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ සහභාගිත්වයෙන් ගාලු මුවදොර වෘත්තිය සමිති රැලියක් පැවැත්වුණා. මෙම රැලියේ දී ආචාර්ය එන්. එම්. පෙරේරා, පීටර් කේනමන්, ජී. ජී. පොන්නම්බලම්, පිලිප් ගුණවර්ධන ආදීන් උද්වේගකර කතා පවත්වා තිබෙනවා. රජයේ සේවකයන් විශාල පිරිසක් ද වර්ජනයට එක්ව සිටියා. මේ වර්ජනයත් මර්දනය කිරීමට පාලකයන් උත්සාහ කළා.
වර්ජනය කළ මහනුවර කච්චේරියේ ලිපිකරුවකු වූ ටී. බී. ඉලංගරත්න සහ තවත් කම්කරුවන් 18 දෙනෙකු රැකියාවෙන් දොට්ට දැමීම සිදුවුණා. එහි ප්‍රතිඵලයක් ලෙස 1947 මැයි 31 වැනි දා වනවිට ලිපිකරුවන් 2000ක් වැඩවර්ජනයට එකතු වුණා.
මෙම තත්ත්වය නිසා වැඩ වර්ජනය වෙනත් ක්ෂේත්‍රවලට ද පැතිර ගියා. ජූනි මස 03 වැනිදා වරාය සේවකයෝ 7000 ක් වැඩ වර්ජනය කළා. වරායේ ඉංජිනේරු අංශයේ කම්කරුවෝ 3500ක් ද වැඩ වර්ජනයට එකතු වුණා. ආණ්ඩුවේ කර්මාන්ත ශාලාවල කම්කරුවෝ 3500 ක්ද තැපැල් හා විදුලි පණිවිඩ සේවකයන් ද මෙයට එක්වී තිබෙනවා. වැඩ වර්ජනය අතහැර සේවකයන් නැවත වැඩට පැමිණ ඇති බවට ඩී. එස්. සේනානායක ප්‍රමුඛ පාලක එජාප ආණ්ඩුව වාර්තා පළ කළා. යුද හමුදාව හා පොලීසිය කැඳවා වැඩ වර්ජකයන්ට තර්ජන ගර්ජන කිරීමත් සිදුවුණා.
කන්දසාමි පොලිස් වෙඩි පහරින් මරුට
රජයේ ලිපිකරු සේවා සංගමයේ නායකයෙක් වූ වී. කන්දසාමි පොලිස් වෙඩි පහරින් මරා දැමුණේ වැඩවර්ජනයට එක්වූ දහස් ගණන් කම්කරුවන් විදී බැස පෙළපාලි යන අතර යි. දෙමටගොඩ දී පොලීසිය එල්ල කළ වෙඩිපහරින් කන්දසාමි මිය ගිය අතර තවත් කම්කරුවන් රැසකට තුවාල වුණා.
1948 දී නිදහස ලැබුණු පසු රාජ්‍ය සේවකයන්ට වෘත්තිය සමිති පිහිටුවීමට අවසර හිමිවුණා. එහෙත් වෙනත් වෘත්තීය සමිති සමඟ ඒකාබද්ධව කටයුතු කිරීම නවත්වා දැමිමට 1948 වෘත්තිය සංගම් සංශෝධන පනත ආණ්ඩුව සම්මත කළා.