ලොව ඕනෑම නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක කේන්ද්‍රීය සාධකය ලෙසින් හැඳින්විය හැක්කේ මැතිවරණය යි. මැතිවරණයක දී සිදු වන ඉතා සරල ක්‍රියාදාමය වන්නේ පාලන තන්ත්‍රය හෙබවීම සඳහා ජනතා ඡන්දයෙන් යම් නියෝජිතයන් පිරිසක් තෝරා පත් කර ගැනීම යි.
ශ්‍රී ලංකා ඉතිහාසය දෙස ආපසු හැරී බලද්දී මෙරට ක්‍රියාත්මක වුණු විවිධ මැතිවරණ වර්ග රැසක් අපගේ මතකයට නැගෙනවා. ජනාධිපතිවරණ, මහා මැතිවරණ, ජනමත විචාරණ, පළාත් සභා මැතිවරණ, පළාත් පාලන මැතිවරණ, අතුරු මැතිවරණ ඒ අතරට අයත්.
එයින් සමහර මැතිවරණවල දී මහා පරිමාණයෙන් වංචා දූෂණ සිදු වුණු බව බොහොම ප්‍රසිද්ධ කාරණයක්. 1982 ජනමතවිචාරණය සහ 1999 වයඹ පළාත් සභා මැතිවරණය ශ්‍රී ලංකා ඉතිහාසයේ පැවති දූෂිත ම මැතිවරණ සඳහා උදාහරණ යි. මෙරට ඉතිහාසයේ එවැනි මැතිවරණ පැවැත්වෙද්දී ලෝකයේ ඇතැම් රටවල් ආශ්‍රිත ව ඊටත් වඩා දූෂිත මැතිවරණ පැවැත්වුණා. මේ ඔබට කියන්න යන්නේ ලෝක ඉතිහාසයේ වාර්තා වුණු දූෂිත ම මැතිවරණ 3ක් පිළිබඳ තොරතුරු යි.
3). 1961 හයිටි ජනමතවිචාරණය
කැරිබියන් දූපත් ආශ්‍රිත ව පිහිටා ඇති හයිටි රාජ්‍යය වර්තමානය වන විට ලොව දිළිඳු රාජ්‍ය අතුරින් එකක් බවට පත් ව තිබෙනවා. හයිටි රාජ්‍යය එවැනි ඉරණමකට ගොදුරු වීමට ප්‍රධානත ම හේතුවක් වුණේ ගෙවුණු දශක කිහිපය තුළ එරට පාලනය කළ පාලකයන්ගේ දූෂිත ක්‍රියා පිළිවෙත යි. එදා මෙදාතුර හයිටි දේශයෙන් බිහි වුණු දූෂිතම පාලකයන් අතරට ප්‍රංශුවා ඩුවාලියර් ද අයත්.
ඔහු හයිටි දේශයේ ජනාධිපතිවරයා වශයෙන් මුල් ම වරට තේරී පත් වුණේ 1957 ඔක්තෝබර් 22 වැනිදා යි. එහි දී ඔහු සිය ප්‍රතිවාදී අපේක්ෂකයා වුණු ලුවී ඩෙජෝයි හමුවේ 72.36%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් විශාල ජනවරමක් ලැබුවා. එසේ ජනාධිපති තනතුර සඳහා පත් වුණු ඩුවාලියර් මුලින් ම කළේ විරුද්ධ පක්ෂයේ ප්‍රබල ආධාරකරුවන් රටින් පිටුවහල් කිරීම යි.
බලයට අසීමිත ලෙස ආසා කළ ජනාධිපතිවරයෙක් වුණු ඩුවාලියර් රටේ ව්‍යවස්ථාව පවා වෙනස් කරමින් දිගින් දිගට ම බලයේ රැඳී සිටීමට උත්සාහ කළා. එකල හයිටි රාජ්‍යයේ ක්‍රියාත්මක වුණු ව්‍යවස්ථාවට අනුව ඕනෑම පුද්ගලයකුට ජනාධිපති තනතුර දැරිය හැකි වුණේ එක් වාරයක් පමණ යි. එහි දී ජනාධිපති ඩුවාලියර් සිය අසීමිත බලය භාවිතා කරමින් එම වගන්තිය වෙනස් කළා.
ඉන් පසුව ඔහු තවත් වසර 6ක් ජනාධිපති තනතුර දැරීම සඳහා ජනතාවගේ කැමැත්ත විමසා ජනමතවිචාරණයක් කැඳවූවා. එම ජනමතවිචාරණය 1961 අප්‍රේල් 30 වැනිදා පැවැත්වුණා. එම මැතිවරණයේ ප්‍රකාශිත ඡන්දවලින් 100%ක් ඩුවාලියර්ට පක්ෂව ලැබී තිබීම පුදුම සහගත සිදුවීමක් වුණා.
ඒ අනුව එම ජනමතවිචාරණයේ දී ඡන්දය ප්‍රකාශ කළ 1,320,748ක සමස්ත ඡන්ද දායකයන් පිරිස ඩුවාලියර් ජනාධිපතිධූරයේ දිගට ම රැඳී සිටිනවාට කැමැත්ත පළ කර තිබුණා. සාමාන්‍යයෙන් ජනමතවිචාරණයක දී එක් පාර්ශවයක් 100%ක් ඡන්ද ලබා ගැනීම සිදු විය නොහැකි දෙයක්. එනිසා මැතිවරණ විශ්ලේෂකයන් මෙය ඉතාමත් දූෂිත මැතිවරණයක් බව ප්‍රකාශයට පත් කළා.
මෙම මැතිවරණය පැවති කාල සීමාවේ විරුද්ධ පක්ෂවල ආධාරකරුවන්ට මැර ප්‍රහාර එල්ල වුණා. එමපණක් නොව මැතිවරණය පැවති දිනයේ දීත් ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වුණා. එනිසා මෙය ලෝක ඉතිහාසයේ වාර්තා වුණු දූෂිත ම මැතිවරණ කිහිපය අතරට එකතු වුණා.
හයිටි මැතිවරණ කොමිෂන් සභාවේ පැරණි වාර්තාවල දක්වා තිබෙන්නේ 1961 හයිටි ජනමතවිචාරණය දූෂිත එකක් බව යි. එකල අමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත ද එම ජනමතවිචාරණය දූෂිත එකක් බව සඳහන් කර තිබුණු බව පැරණි වාර්තාවල දැක්වෙනවා.
2). 1955 දකුණු වියට්නාම් ජනමතවිචාරණය
1955 වසර ආරම්භ වෙද්දී බාඕ ඩායි දකුණු වියට්නාමයේ රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරමින් සිටියා. ඔහු එරටින් බිහිවුණු අවසන් අධිරාජ්‍යයා යි. එම යුගයේ දී නෝ ඩිංග් ඩිම් එරට අගමැතිධූරය දැරුවා. එකල දකුණු වියට්නාමයේ ප්‍රධාන නගර ආශ්‍රිත ව බලය පතුරවාගෙන සිටියේ Binh Xuyen නම් මිලිටරි සන්නද්ධ බළකාය යි. එම බළකාය ක්‍රියාත්මක වුණේ රාජ්‍ය නායක බාඕ ඩායිගේ ආශිර්වාදය ඇතිව යි. එනිසා Binh Xuyen මිලිටරි බලකාය දකුණු වියට්නාමය පුරා මහා භීෂණයක් පතුරුවමින් සිටියා.
එම භීෂණයට එරෙහි ව අගමැති ඩිංග් ඩිම් විශාල සටනක් ගෙන ගියා. ඩිම්ගේ සහෝදරයා වුණු නෝ ඩිංග් නූ තරුණයන් එකතු කර විප්ලවවාදී සංවිධානයක් නිර්මාණය කරමින් එම සටනට විශාල සහයෝගයක් ලබා දුන්නා. එහි දී අගමැති ඩිම්ට අවශ්‍ය වුණේ බාඕ ඩායිගේ පාලනය පෙරළා රටේ බලය ලබාගැනීමට යි. අගමැති ඩිම්ගේ මූලිකත්වයෙන් මාස කිහිපයක් පුරා පැවති උද්ඝෝෂණ සාර්ථක වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1955 ඔක්තෝබර් 23 වැනිදා එරට ජනමත විචාරණයක් පැවැත්වුණා. ඒ බාඕ ඩායි සහ නෝ ඩිංග් ඩිම් අතුරින් ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා යි.
එම යුගය වන විට දකුණු වියට්නාමයේ වැඩි ජනතා ප්‍රසාදයක් හිමි ව තිබුණේ අගමැති ඩිංග් ඩිම්ට යි. එවැනි වටපිටාවක ඩිම්ට අවශ්‍ය වුණේ රටේ සමස්ත ජනතාවගෙන් ඉතාමත් වැඩි බහුතරයක් ඔහුට පක්ෂපාතී බව පෙන්වීමට යි. බලයට ඉතාමත් කෑදර පුද්ගලයෙකු වුණු ඩිංග් හොඳින් හෝ නරකින් දකුණු වියට්නාමය තුළ සිය බලය උපරිමයෙන් පැතිරවීමට උත්සාහ කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ ආධාරකරුවන් බොහෝ ප්‍රදේශවල ප්‍රචණ්ඩත්වය වැපිරුවා.
ඉන් නොනැවතුණු ඔවුන් මැතිවරණ දිනයේ දීත් ප්‍රතිවාදීන් මර්දනය කළා. එම ජනමතවිචාරණයේ දී ඩිංග්ට මනාප උදවිය රතු පැහැති ඡන්ද පත්‍රිකාවක ද, ඩායිට මනාප උදවිය කොළ පැහැති ඡන්ද පත්‍රිකාවක ද මනාප ලකුණු කළා. මැතිවරණ දිනයේ දී ඩිම්ගේ ආධාරකරුවන් බොහෝ ඡන්ද මධ්‍යස්ථානවල දී විරුද්ධ පාක්ෂික ඡන්ද දායකයන්ට තර්ජනය කර තිබුණේ රතු පැහැති ඡන්ද පත්‍රිකාවේ මනාපය ලකුණු කළ කොළ පැහැති ඡන්ද පත්‍රිකාව කුණු කූඩයට දමන ලෙස යි.
එවැනි භීෂණකාරී වටපිටාවක පැවති ජනමත විචාරණයෙන් ඇදහිය නොහැකි ප්‍රතිඵලයක් ලැබුණා. එම ඡන්ද ප්‍රතිඵලයට අනුව ඩිම් ඡන්ද 5,721,735ක් ලබා ගෙන සමස්ත ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 98.91%ක් තරම් ඉහළ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරගෙන තිබුණා. එහි දී මධ්‍යස්ථ මැතිවරණ විශ්ලේෂකයන් පවසා සිටියේ එය විකෘති ඡන්ද ප්‍රතිඵලයක් බව යි. ඔවුන්ට අනුව එම මැතිවරණය සඳහා සමස්ත ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ ප්‍රමාණය 5,335,668ක් ලෙසින් සටහන් වුණා.
එම මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ඩිම් සමස්ත ලියාපදිංචි ඡන්ද ප්‍රමාණයටත් වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන තිබුණා. එය කිසිසේත්ම සිදු විය නොහැකි දෙයක්. එම මැතිවරණයේ දී සයිගොන් ප්‍රදේශයේ ලියාපදිංචි ඡන්ද ප්‍රමාණය ලක්ෂ 4.5ක් ලෙසින් සටහන් වුණත් ඩිම්ට එම ප්‍රදේශයෙන් ලක්ෂ 6කට වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමි ව තිබුණා. එය මෙම ජනමතවිචාරණයේ අන්ත දූෂිත බව පෙන්වීමට ඉතාමත් හොඳ උදාහරණයක්.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තාවල දැක්වෙන්නේ 1955 දකුණු වියට්නාම් ජනමතවිචාරණය ඉතාමත් දූෂිත එකක් බව යි. ඒ වාගේ ම 1990 දී අමෙරිකාවේ රෝඩ් අයිලන්ඩ් විශ්වවිද්‍යාලය ඉදිරිපත් කළ වාර්තාවක ද 1955 දකුණු වියට්නාම් ජනමතවිචාරණයේ දී ඡන්ද දූෂණ සිදු වුණු බව දක්වා තිබෙනවා. එපමණක් නොව වියට්නාම් මැතිවරණ ඉතිහාස වාර්තාවල ද එම ජනමතවිචාරණයේ දී සිදු වුණු වංචා දූෂණ පිළිබඳ ව දක්වා තිබෙනවා.
1). 1927 ලයිබීරියානු ජනාධිපතිවරණය
බටහිර අප්‍රිකාවට අයත් රටක් වන ලයිබීරියාව පසුගිය දශකය කිහිපය තුළ දේශපාලන අස්ථාවරත්වය නිසා විනාශයට පත් වුණා. ලයිබීරියානු දේශපාලන ඉතිහාසය ගැන කතා කරද්දී අඳුරු යුග රැසක් අපට හමු වෙනවා. ඒ අතුරින් චාල්ස් කිං ජනාධිපතිවරයාගේ පාලන සමය අමතක කරන්නට බැහැ. ඒ ඔහු අන්ත දූෂිත අයුරින් මැතිවරණ පවත්වමින් බලයේ රැඳී සිටි නිසා යි. චාල්ස් කිං මුල්ම වරට ලයිබීරියාවේ ජනාධිපති තනතුරට පත් වුණේ 1920 ජනවාරි 5 වැනිදා යි.
ඉන් අනතුරුව ලයිබීරියාවේ ජනාධිපතිවරණයක් යළිත් වරක් පැවැත්වුණේ 1923 වසරේ දී යි. එම ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ චාල්ස් කිං දෙවන වරටත් ලයිබීරියානු ජනාධිපති තනතුරට පත් වුණා. එවර මැතිවරණයේ දී විශාල ලෙස වංචා දූෂණ සිදු වුණා. එකල ලයිබීරියාවේ ලියාපදිංචි ඡන්ද දායකයන් ප්‍රමාණය 6000ක් ලෙසින් සටහන් වෙද්දී කිං ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ සමස්ත ඡන්ද 45,000ක් ලබාගනිමින්.
1927 ලයිබීරියානු ජනාධිපතිවරණය සඳහා True Whig පක්ෂය නියෝජනය කරමින් චාල්ස් කිං තරග කරද්දී මහජන පක්ෂය නියෝජනය කරමින් මැතිවරණ සටනට එක් වුණේ තෝමස් ෆෝක්නර් නම් අපේක්ෂකයා යි. එම ජනාධිපතිවරණයේ දී චාල්ස් කිං සිය බලය රැකගැනීම සඳහා බරපතළ ලෙස ඡන්ද දූෂණ සිදු කළා. එහි දී ඔහුගේ අනුගාමිකයන් මැතිවරණ දිනයේ දී ඡන්ද මධ්‍යස්ථානවලට බලහත්කාරයෙන් ඇතුළු වී විශාල ලෙස හොර ඡන්ද දැමුවා.
එහි ප්‍රතිඵලයක් වශයෙන් මැතිවරණ ප්‍රතිඵලවලට අනුව චාල්ස් කිං ඡන්ද 240,000ක් ලබා ගනිද්දී ඔහුගේ විරුද්ධ අපේක්ෂකයා වුණු ෆෝකනර් ලබා ගෙන තිබුණේ ඡන්ද 9000ක් පමණයි. එම කාල වකවානුව වන විට ලයිබීරියාවේ සමස්ත ලියාපදිංචි ඡන්දදායකයන් ප්‍රමාණය 15000ක් ලෙසින් සටහන් වුණා. එයින් පැහැදිලි වන්නේ චාල්ස් කිංගේ අනුගාමිකයන් ලක්ෂ 2කට අධික හොර ඡන්ද ප්‍රමාණයක් දමා ඇති බව යි. එනිසා ලෝක ඉතිහාසය තුළ දක්නට ලැබුණු වඩාත්ම දූෂිත ම මැතිවරණය ලෙසින් වාර්තා අතරට එක්ව තිබෙන්නේ 1927 ලයිබීරියානු ජනාධිපතිවරණය යි.
ෆ්රාන්සස් ජොන්සන් මොරිස් 1989-1997 යුගයේ දී ලයිබීරියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරිය වශයෙන් කටයුතු කළා. ඒ වාගේ ම ඇය 2005 දී එරට මැතිවරණ කොමිසමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළා. ඇය එම යුගයේ දී පවසා සිටියේ 1927 ලයිබීරියානු ජනාධිපතිවරණය ලෝක ඉතිහාසයේ වාර්තා වුණු දූෂිත ම මැතිවරණය බව යි.