Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලිනක්ස් පාවිච්චි කරන ඔබට ඉහළ මට්ටමේ ගේම් 6ක්

බොහෝ දෙනෙක් වින්ඩෝස් සමග රැඳෙන්නට එක් හේතුවක් තමයි ගොඩක් පරිගණක ක්‍රීඩා වින්ඩෝස්වලට පමණක් තිබීම. නමුත් ඒ මට්ටමේම හොඳ ග්‍රැෆික් පවා තිබෙන සංකීර්ණ ක්‍රීඩා ලිනක්ස්වලටත් තිබෙන බව ඔබ දැන සිටියේ නැත්නම් මේ ලිපිය ඔබව පුදුම කරවාවි. තනිව මෙන්ම අන්තර්ජාලය හරහා ද සබැඳී මිතුරන් සමග ක්‍රීඩා කළ හැකි පරිගණක ක්‍රීඩා අඩංගු ලැයිස්තුවකුයි මේ.

Dota 2

Linux Mint මත ධාවනය ‍වෙමින් (ubuntufree.com)

භූමිය දෙස ඉහළින් නරඹමින් ක්‍රීඩා කළ හැකි සංග්‍රාම භූමි අත්දැකීමක් ඩෝටා හරහා ලැබෙනවා. මෙහි ද වඩාත් ප්‍රචලිත නිකුතුව වන්නේ ඩෝටා 2 යන දෙවැනි වෙළුම යි. පරිගණකයෙන් ලැන් හෝ අන්තර්ජාලය හරහා පිරිසක් සමග ක්‍රීඩා කළ හැකි මෙය කණ්ඩායම් දෙක වෙත ලැබෙන පුරාවස්තු ආරක්ෂා කර ගැනීම මත පදනම් වෙනවා. ක්‍රීඩාව ආරම්භයේ දී තෝරාගැනීමට ක්‍රීඩාව සතු සියලු චරිත ලැබෙන අතර විරුද්ධ පිල තෝරා නොගත් චරිත තමා වෙත ලබා ගන්නට අවස්ථාව හිමි වෙනවා. මාර්ගය සොයාගෙන ගොස් විරුද්ධ පිලෙහි ආරක්ෂක කුළුණු, වීරයන් හා සටන් වැදීමට සිදුවන අතර රත්‍රං සහ වැඩි බලයක් තම භටයන්ට ලබා ගැනීමෙන් ජයග්‍රහණය ස්ථාවර කර ගැනීමට හැකි වෙනවා. ලබා ගන්නා රත්‍රංවලින් ආයුධ හා බලය වැඩි කරගත හැකි හැකියාවන් මිල දී ගත හැකියි. එසේ මිලදී ගන්නා දෑ තත්පර 10ක් තුළ යළි විකිණීමෙන් සම්පූර්ණ රත්‍රං ප්‍රමාණය යළි ලබා ගන්නටත් පුළුවන් නිසා ආයු කාලය වැඩි කරන දෑ මිල දී ගෙන, ගෙවී යන කාලය තුළ ආයු වඩවාගෙන, තත්පර 10 ඉක්මවීමට ප්‍රථම එය යළි විකිණීමෙන් හොර පාරෙන් ගොඩ යන්නටත් පුළුවන්.

බාගන්න: Steam වෙබ්පිටුව

Wakfu

චරිතයට පාවිච්චි කළ හැකි Powers යට තීරයෙන් පාවිච්චි කළ හැකියි (gamersonlinux.com)

Animeවලට ප්‍රිය කරන අයට ෆැන්ටසි ලොවක තනිවෙන්නට අවස්ථාව සලසන Wakfu සතුව වෙනම කතා මාලාවක් ඒ වටා බැඳී පවතිනවා. Dofus කාල සමයේ දී (පෙර ආ ගේම් එක) Ogrest නමැති රාක්ෂසයෙක් ප්‍රේමය වෙනුවෙන් සම්පූර්ණ Dofus බිත්තර 6ම ලබාගන්නට සමත් වෙනවා. නමුත් ඒවා ලබන්නිය එම වස්තුවට මිස, රාක්ෂයා තම වස්තුව කරගන්නට කැමති වන්නේ නැහැ. මින් කෝපයට පත් රාක්ෂයා ඇයව මරා දමා Zinit කන්දට නැඟ, වසර 1000ක් හඬන්නට පටන් ගන්නවා. Wakfu සමය ඇරැඹෙන්නේ එතැන සිටයි. අන්තර්ජාලය හරහා ක්‍රීඩා කළ හැකි මෙය වින්ඩෝස්, මැක් සහ ලිනක්ස් සඳහා ලබා දී තිබෙනවා. මෙය මත පදනම්ව Wakfu නමින් TV Series එකක් ද ගොඩනැගී තිබෙනවා. මෙම ගේම් එක turn-based හෙවත් බෝඩ් ගේම්වල මෙන් වරකට එක් ක්‍රීඩකයෙක්ට පහරදීමට අවස්ථාව සලසන, පොළොවෙහි ඇති කොටු මත ක්ලික් කරමින් ගමන් කළ හැකි එකක්. Portal සහ තමන්ගේ බලය වැඩි කර දෙන ශාක වර්ග වගා කරමින් ඒවායේ අස්වනු නෙලාගන්නට හැකියි. එනම්, ඔබ ක්‍රීඩාවේ නොසිටින අවස්ථාවේදීත් ඔබේ character එකට සම්බන්ධ දේවල් සජීවීව online server එක තුළ සිදුවෙනවා. එමඟින් මෙය MMORPG ගණයේ ගේම් එකක් බවට පත්වෙනවා.

බාගන්න: Wakfu වෙබ් අඩවිය

Freeciv

ලොව සත්‍ය නගරවල නම් අඩංගුයි (ucarecdn.com)

Turn-based ආකාරයේ ගේම් එකක් වන මෙය මඳක් Age of Empiresවලට සමානකම් දක්වනවා. නමුත් ඔබේ අපේක්ෂාවන් එතරම් ඉහළට ගෙන යන්න එපා; මෙය එකල තිබූ Civilization 2 නමැති මුදල් ගෙවා ලබා ගත යුතු වූ ගේම් එක මත පදනම් වූ නොමිලේ ලබාදෙන විවෘත කේත ගේම් එකක්. මෙහි ද කරන්නට ඇත්තේ සිතියම මත සිටින මිනිස් හෝ සත්ත්ව චරිත සිතියම වටා ගෙන යමින් නව ප්‍රදේශ සොයා ගැනීම යි. එහි අපේ නගර බිහි කරන්නට පුළුවන්. අනෙකුත් නගර සමග සටන් කරන්නට පුළුවන්. ගමන් කරද්දී ඔවුන් සිටින ප්‍රදේශ පමණක් පෙන්වන අතර සොයා නොගත් පෙදෙස් කළු පාටින් සහ, සොයා ගන්නා ලදමුත් කිසිවකුත් නොසිටින පෙදෙස් Fog (මීදුමෙන්) ආවරණය වී පවතිනවා. ක්‍රි.පූ. 4000 කාලයේ සිටි චරිත මෙහි දකින්නට තිබෙනවා. කාලය ගතවත්ම නව තාක්ෂණයන් බිහිවීම, ඉන් නව ගෘහ නිර්මාණ ශිල්පයන්ගෙන් යුත් හැඩයන් හා පහසුකම් සහිත ගොඩනැගිලි සැකසිය හැකිවීම ඇතුළු සාමාන්‍ය ශිෂ්ටාචාරයක පැවැත්ම හොඳින් අධ්‍යයනය කරමින් ඉදිරියට යා හැකි ඔබ විසින්ම තීරණය කරනු ලබන කතා මාලාවක් ගොඩනගාලීම මෙහි සරල අරමුණ බවට පත් වෙනවා. AoEවල තරම් සංකීර්ණ සහ පහසු බවක් නැතත්, ලිනක්ස්වලට හොඳ විකල්පයක් ලෙස මෙය දක්වන්නට පුළුවන්. වින්ඩෝස් සහ ලිනක්ස් මත මෙය ධාවනය කළ හැකියි.

බාගන්න: Freeciv වෙබ් අඩවිය

Team Fortress 2

Steamහි වැඩිපුරම ක්‍රීඩා කරන ලද ගේම් එක වන මෙය කණ්ඩායමක් වශයෙන් කළ හැකි First-person shooter ආකාරයේ (ඔබ විසින් චරිතය පණගන්වන) ක්‍රීඩාවක්. හොඳ මට්ටමේ Graphics සහ විවිධාකාරයේ ආයුධ භාවිතා කරමින් ඔබේ වෙඩි තැබීමේ උපක්‍රම අත්හදා බලන්නට මෙය හරහා අවස්ථාව ලැබෙනවා. ප්‍රධාන ආයුධ දෙකට අමතරව, උණ්ඩ නැති අවස්ථාවක දී පහර දීමට පාවිච්චි කරන්නට බාස්කට් බෝල් පිත්තක් පවා තිබෙනවා. තෝරාගැනීමට චරිත 9ක් ඇති අතර ඔවුන්ටම ආවේණික වූ හැකියාවන්, දුර්වලතාවයන් මෙන්ම ආයුධ තිබෙනවා. BLU සහ RED ලෙස කෙටිනාම ලද කණ්ඩායම් දෙකක් ‍එකිනෙකාගේ රහස් (බ්‍රීෆ්කේස් එකක්) සොයා ගැනීම සඳහා ගැටෙන අතර එය බිම නොදමා රැකගෙන ඉදිරියට යාම අභියෝගය බවට පත් වෙනවා. රහස් තොරතුරු තෙවරක් අත්පත් කරගන්නා කණ්ඩායම ජයග්‍රහණය කරනවා.

බාගන්න: Steam වෙබ්පිටුව

SuperTuxKart

දීප්තිමත් ආලෝකයන් සහ සෙවනැලි පවා හොඳින් නිරූපණය කර තිබෙනවා (addictivetips.com)

Nintendo වෙතින් ආ Super Mario Kart ගේම් එකට ප්‍රිය කළ අයට වැඩිදුර හඳුන්වාදීමකින් තොරව ලිනක්ස්වල ක්‍රීඩා කරන්නට SuperTuxKart හඳුන්වා දෙන්නට පුළුවන්. ඇතැම් ලිනක්ස් වෙළුම්වල මෙය පෙරනිමියෙන්ම ස්ථාපිතව පැමිණෙන්නේ එහි ඇති කුඩා ප්‍රමාණිත බව නිසාම යි. ස්වාධීන VGA එකක් නොමැති පරිගණකයක වුවත් ධාවනය කළ හැකි නමුත් එහි ග්‍රැෆික්වල ගුණාත්මක බවින් ද අඩුවක් නැහැ. මෙය කාර් රේස් එකක්. නමුත් කාර් වෙනුවට Kart ලෙස හඳුන්වන කුඩා වාහන (මේවායෙන් ලංකාවේත් අන්තර්ජාතික තරග පැවැත්වෙනවා) යොදාගෙන තරග වැදීම යි කරන්නට තිබෙන්නේ. තනිව මෙන්ම Multiplayer ද ක්‍රීඩා කළ හැකි මෙහි අතරමඟ දී Nitro can අහුලා ගන්නටත් පුළුවන්. ඇන්ඩ්‍රොයිඩ් සහ වින්ඩෝස්වලත් මෙය ධාවනය වෙනවා.

බාගන්න: SuperTuxCart වෙබ් අඩවිය

Robocraft

ඔබත් BattleBots නමැති රොබෝවරුන් අතර ගැටුම් සිදුවන ටීවී වැඩසටහන ආසාවෙන් බලන කෙනෙක් ද? එහෙනම් අනිවාර්යයෙන්ම ඒ වගේ රොබෝ කෙනෙක් හදාගෙන අපටත් ගැටෙන්න තිබුණා නම් කියා සිතෙන්නට ඇති. රොබෝලා හදන්නට දැනුමක් නැතත්, ඔබේ හිතේ තිබෙන ඒ හීනය හැබෑ කරගන්නට Robocraft ගේම් එක අවස්ථාව ලබා දෙනවා. මේ ආකාරයේ තරගවල දී හැකියාවන් තුනක් අවශ්‍ය වෙනවා. රොබෝ කෙනෙක් ඕනෑම සටනකට ගැලපෙන සේ සැලසුම් කිරීම, උපක්‍රම සහිතව ධාවනය කළ හැකිවීම, සහ සටන් උපක්‍රම පාවිච්චි කරමින් එකිනෙක හා ගැටීම ඒ හැකියාවන් තුන යි. ටෙස්ට් කරන්නට මෙන්ම, AI සමග, කණ්ඩායම් තරගයක් ආදී ලෙස විවිධ ආකාරවලින් තවත් රොබෝලා සමග ඔබ සකසාගත් රොබෝව සටනට යොදවන්නට පුළුවන්. සටන් දිනීමෙන් සැකසීම් සඳහා අමුද්‍රව්‍ය මිල දී ගැනීමට මුදල් ලබා ගන්නටත්, කොටස් විකුණන්නටත් පුළුවන්. වින්ඩෝස් මෙන්ම මැක්වල ද ක්‍රීඩා කළ හැකි මෙහි Graphics ගුණාත්මක බවත් හොඳ මට්ටමක තිබෙනවා.

බාගන්න: Robocraftහි Steam වෙබ්පිටුව

කවරය: memonic.ch

Related Articles