Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හොඳම සහ නොමිලේ දෙන Android Apps – 2019 ජුනි

දුරකතනයේ UI එකේ පෙනුම වෙනස් කරගන්නට, ආරක්ෂිතව අන්තර්ජාලයේ සැරිසන්නට ඇතුළු පහසුකම් රැසක් සපයන අලුත්ම සහ නොමිලේම දෙන Android apps කීපයක් අප ජුනි මාසය වෙනුවෙන් තෝරා ගත්තා.

ආරක්ෂිතව සහ රහසිගතව ඉන්ටර්නෙට් යන්න – Tor Browser

පරිගණකය සඳහා Tor බ්‍රවුසරය බොහෝ කාලයක සිට තිබුණ ද ස්ථාවර වෙළුමක් Play Store වෙත ලැබුණේ පසුගිය මැයි 29 වන දා යි. සමාජ ජාල අවහිර කර තිබූ සමයේ අපට පරිගණකය සඳහා Tor බ්‍රවුසරය තිබුණත් දුරකතනය සඳහා Orbot මත යැපෙන්නට සිදුවුණා. නමුත් දැන් ඍජුව බ්‍රවුසරයක් වශයෙන් Tor ආරක්ෂාව ලබන්නට හැකි වෙනවා.

වැඩිදුර කියැවීමට: TOR ජාලය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

TOR ජාලය ළූණු ගෙඩියක් වගේයි. එහි පිටත සිට ඇතුළත දක්වා ලේයර් තිබෙනවා. මෙම ලේයරයක් ලෙස අදහස් වන්නේ Relays හෙවත් අතරමැදි සර්වර්/පරිගණක යි. VPN එකකට වඩා මෙහි ඇති වි‍ශේෂත්වයක් වන්නේ තනි සර්වරයක් වෙනුවට මෙලෙස ලේයර් කිහිපයක් හරහා අදාල වෙබ් අඩවියට ළඟා වීම යි. ඒ සෑම ලේයරයක් පාසාම ආකේතනයන් ද සිදුවන නිසා තෙවන පාර්ශවයකට (වෙළඳ දැන්වීම් සඳහා track කිරීම්, රජයේ හෝ හැකර්වරුන්ගේ බලපෑම්) හෝ එම Relayවලටවත් අප පිවිසෙන වෙබ් අඩවි ගැන දැනගන්නට නොහැකි වෙනවා. මින් ලැබෙන ආරක්ෂණය කෙතරම් ද යත්, ‘වෙළඳ දැන්වීම් සේවා අප ගැන ඔත්තු සොයන ක්‍රම’ ලිපියේ ගෙන ආ සියළු ක්‍රම මින් වළකාලනවා.

නිකුත් කර වැඩි දවසක් යන්නටත් කලින් මේ ඇප් එකෙහි බාගත කිරීම් ලක්ෂය ඉක්මවා ඇති අතර 4.2ක rating අගයක් ලබා තිබෙනවා. Tab සහිත බව ඇතුළු නූතන බ්‍රවුසරවල ඇති සියළු මූලික පහසුකම් මෙය සතුයි.

බාගන්න: Tor Browser

ඡායාරූපවලට Lens effects එකතු කරන්නට අවස්ථාව දෙන Lens Distortion

DSLR කැමරාවලින් ඒවායේ Lens එකට ආලෝකය වැටෙන ඍජු ආලෝක පරාවර්තනය වීම් අපූරුවට යොදාගනිමින් කළ නිර්මාණ ඔබ දැක ඇති. දැන් ඔබට ෆෝන් එකෙන් ගන්න Photosවලටත් ඒ වගේ අපූර්වත්වයක් එක් කරන්නට පුළුවන්. Lens Distortion ඇප් එක සතුව පුළුල් ප්‍රමාණයක Effects ප්‍රමාණයක් තිබෙනවා. ඒවායෙන් ඡායාරූපයට වඩාත් උචිත එකක් තෝරාගත්තාම එයට වැඩි වටිනාකමක්, සිත්ගන්නාසුළු බවක් එක් කරන්නට පහසුවෙන්ම හැකි වේවි.

ස්වාභාවික හිරු එළිය, වර්ෂාව, හිම හෝ මීදුම මෙමඟින් ඡායාරූප වෙත එක් කරගත හැකි අතර කාචයේ ආලෝකය ගැටී ඇතිවන දිලිසීම් පවා වඩාත් හොඳින් නිරූපණය කරලන්නට ඊට හැකියාව තිබෙනවා. Filters 5ක් පමණ මෙහි නොමිලේ ලැබෙන අතර ඔබ ලබාගත් හොඳ ඡායාරූපයකට නව පෙනුමක් ලබා ගන්නට එය හොඳින්ම ප්‍රමාණවත් වෙනවා.

මෙය දැනට මූලික අවධියේ පවතින ඇප් එකක්. ක්‍රියාත්මක වීමටත් හොඳ RAM එකක් ඇති නූතන දුරකතනයක් අවශ්‍ය වන නිසා ඇතැම් උපාංගවලට ස්ථාපනය කරගන්නට අවස්ථාවක් නොලැබෙනු ඇති.

බාගන්න: Lens Distortion

Mi දුරකතනවල පෙනුම ගෙන එන MIUI-ify

වර්ණ හා අයිකන වෙනස් කරන්නට මෙන්ම, පසුබිම් ඡායාරූප එක් කරන්නටත් හැකියි (Google Play Store)

MI දුරකතනවල ඇති UI එකේ ඇපල්වලට බොහෝ දුරට සමාන විශේෂාංග රැසක් තිබෙනවා. තිරය යටින් ලැබෙන Brightness පාලකයක්, Notifications ආදී iOSවල Control Center එක සතු විශේෂාංග Vivo දුරකතනවල පවා අනුකරණය කර තිබෙනවා. කොහොම නමුත්, ඔබත් ඒ විශේෂාංගවලට ප්‍රිය කරනවා නම් MIUI ආකාරයේම සැකැස්මක් ඔබේ දුරකතනයට ලබා ගන්නට MIUI-ify ඇප් එක සමග අවස්ථාව ලැබෙනවා.

වෙනස්කළ හැකි වර්ණවලින් යුත් Notification පැනලයක්, Status bar එක තිරය පහළට ලබා ගත හැකිවීම, Gestures මඟින් පාලනය කළ හැකිවීම, පසුබිම Blur කිරීම, Appsවල අයිකන වෙනස් කිරීම, පසුබිම් ඡායාරූප යොදාගැනීම ඇතුළු පුළුල් වෙනස්කම් රැසක් සමග ඔබේ දුරකතනයට නවමු පෙනුමක් මේ සමග ලබා ගන්නට හැකි වෙනවා. Wifi, Mobile data, Location ඇතුළු Status Bar එකට ලබා ගත හැකි Quick Settings 40කට අධික ප්‍රමාණයක් තිබෙන අතර අවශ්‍ය නම් වෙබ් අඩවියක ලිපිනයක් වුවත් එහි රැඳවිය හැකි නිසා ඔබට අත්‍යාවශ්‍ය දෑ සියල්ල එහි පහසුවෙන්ම රඳවා ගත හැකියි.

බාගත කරගැනීමට වැය වන්නේ මෙගාබයිට් 4.2ක් පමණක් වන අතර, ඔබ Root කර තිබෙනවා නම් මීටත් වඩා පහසුකම් ඉන් එක් කරගන්නට හැකි වෙනවා.

බාගන්න: MIUI-ify

ගත්තු Screenshots පිළිවෙළට තියාගන්න – Firefox ScreenshotGo

ඒවායේ ඇති Textවලින් සොයාගන්නට සහ Copy කරන්නටත් පුළුවන් (Google Play Store)

ඔබ නිතර වෙබ් අඩවි ආදියේ දකින අත්‍යාවශ්‍ය දේවල්වල Screenshots ගන්නා කෙනෙක් නම් ගැලරිය ඒවායෙන් පිරී ගොස් ඇති නිසා අවශ්‍ය විටක දී ඒවා සොයා ගැනීමට නොහැකි වෙනවා ඇති. ඡායාරූප ආකාරයට ගැලරියේ තිබිය දී ඒවා Search කරන්නටත් හැකියාවක් නැහැ. මෙයට අපූර්ව විසඳුමක් නොමිලේම අපි දන්නා කියනා Mozilla සමාගම Firefox වෙළඳනාමය යටතේ ගෙන එනවා. Firefox ScreenshotGo ඇප් එක දැනට Beta අවධියේ තිබෙන නමුත් එහි මූලික පහසුකම් සියල්ලම අත්විඳින්නට අවස්ථාව තිබෙනවා.

Screenshotවල ඇති Text හඳුනාගැනීමට එයට හැකි නිසා අපට එම ඡායාරූපවල ඇති අකුරුවලින් Search කිරීමට හැකි වීමත්, එම Text copy කරගන්නටත් හැකිවීමත් මෙහි ප්‍රධාන විශේෂාංගයන් වෙනවා. Screenshot ගැනීම සඳහා තිරය මතට ලැබෙන බොත්තමකින් හෝ Notification පැනලය හරහා හෝ සුපුරුදු පරිදි Hardware keys වලින් පුළුවන්. ගන්නා ලද Screenshots එවෙලේම වර්ගීකරණය කළ හැකි නිසා වෙන වෙනම ෆෝල්ඩර්වලට දමන්නාක් මෙන් පිළිවෙල කරගන්නට හැකි වෙනවා. අවශ්‍ය විටක දී මිතුරන් සමග ඒවා Share කරගන්නටත් අවස්ථාව සලසා තිබෙනවා. මෙය බාගැනීමට වැයවන්නේ මෙගාබයිට් 4.2යි.

බාගන්න: Firefox ScreenshotGo

OnePlus දුරකතනවල අයිකන දැන් ඔබටත් – One UI icon pack

මූලික අයිකන කිහිපයක් (Google Play Store)

OnePlus 7 සහ OnePlus 7 Pro දුරකතනවල ආගමනයත් එක්කම OnePlus UI එකට හැමෝගේම අවධානය යොමුවී තිබෙනවා. එහි ඇති සරල නමුත් නූතනයට ගැලපෙන අයිකනයන්, සුමට භාවිත අත්දැකීම නිතැතින්ම හැම කෙනෙක්ගේම සිත් ගන්නවා. එහි ඇති අයිකන බොහෝදුරට Samsung සතු නව අයිකනවලට සමාන නමුත් වර්ණ සංකලන අනුව වඩාත් චාම් නමුත් තීව්‍ර පෙනුමක් ගෙන එනවා.

One Plus දුරකතනවල වගේම ඕනැම දුරකතනයකට ඒ වගේ අයිකන ලබා ගන්නට One UI icon pack ඇප් එක උපකාරී වෙනවා. මෙය ස්ථාපනය කරගැනීමෙන් පසු, ඔබ දැනට පාවිච්චි කරන Nova Launcher, Evie Launcher වැනි Launcher එකකට මේ අයිකන් පැක් එක තෝරා දුන්නාට පසු මෙය භාවිතා කිරීමට අවස්ථාව ලැබෙනවා. දුරකතන, මැසේජ් පමණක් නොව Chrome, Facebook, Instagram ආදී අයිකන පවා මෙමගින් වෙනස් කරගන්නට පුළුවන්. බාගත කිරීම සඳහා මෙගාබයිට් 71ක් වැයවෙනවා.

බාගන්න: One UI icon pack

කවරය: Roar/@thambaru

Related Articles