Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ස්ථාපනය නොකර භාවිත කළ හැකි ප්‍රයෝජනවත් මෘදුකාංග 5ක්

එදිනෙදා වැඩ පහසු කරගන්නට විවිධ මෘදුකාංග අවශ්‍ය වෙනවා වගේම, අන්තර්ජාලය පුරා විවිධ මෘදුකාංග සොයාගැනීමට ද හැකියාව තිබෙනවා. නමුත් ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශ්වාසයක් තබන්නට නොහැකි බව, නොමිලේ භාවිතයට ඉඩ නොමැතිකම, සහ හොර පාරෙන් එන ඒවායේ භයානක බව ආදිය නිසා අප මේවා භාවිතයට මැලි වෙනවා. ඒ වගේම පොඩි වැඩකට අවශ්‍ය වන පොඩි සොෆ්ට්වෙයා එකක් වුණත් සෙටප් එක බාගෙන ඉන්ස්ටෝල් කර කර ඉන්නත් අපේ කැමැත්තක් නැහැ. මොකද, මෙහෙම පොඩි පොඩි වැඩවලට දාගන්න ඒවා ආයෙ ඕන වෙයි කියලා පරිගණකයේ පටවාගෙන ඉන්න ගියාම ඉඩකඩත් නැති වෙනවා. මේ සේරටම විසඳුම තමයි ස්ථාපනය නොකර භාවිත කළ හැකි Portable software. ඔබ යාළුවෙක්ගේ හෝ ඔෆිස් එකේ පරිගණකයක් පාවිච්චි කරනවා නම් ඒවායේ ස්ථාපනය නොකර පෙන් එකේම තියාගෙන මේ සොෆ්ට්වෙයා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒවායෙන් වඩාත් ප්‍රයෝජනවත් ඒවා අපි මෙලෙස ලැයිස්තුගත කරනවා.

01. Mplayer

mplayerhq.hu

වීඩියෝ ප්ලේයර් එකක් අවශ්‍ය වුණාම එය ස්ථාපනය කර ගන්නවා වෙනුවට අවශ්‍ය නම් MPlayer එක වගේ portable එකක් පෙන් එකේ තියාගන්න පුළුවන්. ඒ වගේම මෙහි තිබෙන විශේෂත්වයක් තමයි එකවර උපසිරැසි (subtitles) දෙකක් දර්ශනය කරගත හැකි වීම. මෙය අලුතින් භාෂාවක් ඉගෙන ගන්න කෙනෙක්ට ලොකු පහසුවක් වෙනවා. ඉංග්‍රීසි ඉගෙන ගන්න කෙනෙක්ට වුණත් වම් පස ඉංග්‍රීසි බසත් දකුණත සිංහල බසත් තිබෙන සබ් දෙකක් දාගෙන චිත්‍රපටය රසවිඳින අතරේම භාෂාව පොලිෂ් කරගන්නත් මෙයින් අවස්ථාව ලැබෙනවා.

02. MP3tag

mp3tag.de

අන්තර්ජාලයෙන් බාගත කරගන්නා ගීත සහ යහළුවන්ගෙන් ලැබෙන ඒවා පරිගණකයේ හෝ දුරකතනයේ ධාවනය කරද්දී එම ගීත පිළිබඳ තොරතුරු දක්වන්නට බොහෝ අවස්ථා වල දී ගීත ධාවකයට නොහැකි වෙනවා. මොකද, ඒවා මිල දී ගත් ඇල්බමවල මෙන් නිසියාකාර දත්ත ඇතුලත් කිරීමක් නොමැතිව සකසන ලද ගොනු නිසා ඇතැම් අවස්ථා වලදී සින්දුවේ නමවත් හරියට හොයාගන්නට බැහැ. ඒ වෙනුවට විවිධ වෙබ් අඩවිවල නම්, පුද්ගල නාම, හෝ ඊමේල් ලිපින තමයි තිබෙන්නේ. නමුත් ඔබ ඒවා වෙනුවට ගීතයේ නිසි තොරතුරු ඇතුලත් කරමින් ඔබේ ගීත එකතුව සකසා ගතහොත් ප්ලේයර් එකේ උපරිම ප්‍රයෝජනය ගන්නට පුළුවන්. ඔබට අවශ්‍ය ගායකයකුගේ පමණක් ගීත ධාවනය කරන්නට, අවශ්‍ය තාලයේ ඒවා පමණක් ධාවනය කරන්නට ආදී වශයෙන් නිසි වර්ගීකරණයක් ලබා ගන්නට මෙය හරහා ඔබට හැකි වේවි. කරන්නට තිබෙන්නේ MP3tag හරහා ඔබේ ගීත ගොනුව විවෘත කරගෙන ඊට අදාල දත්ත ඇතුලත් කිරීම පමණයි.

03. Brutal Chess

linuxmint.com

වින්ඩෝස් 7වල ආපු චෙස් ක්‍රීඩාවට බොහෝ දෙනෙක් ප්‍රිය කළත් ඉන් පසුවට එය වින්ඩෝස් සමඟ පෙරනිමියෙන් ඇතුලත් කරනු ලැබුවේ නැහැ. එනමුත් ඒ ආකාරයේම චෙස් ක්‍රීඩා අත්දැකීමක් ලබා ගන්නට ඔබ කැමති නම් මේ හොඳ මොළයක් ඇති Brutal Chess මෘදුකාංගයත් එක්ක චෙස් අතක් ඇද්දොත් චෙස් ක්‍රීඩාව සහ තර්කනය ඔප මට්ටම් කරගන්නට අවස්ථාවක් ලැබේවි. මෙය ස්ථාපනය කිරීම අනවශ්‍ය නිසා පෙන් එකේ දාගෙන ගිහින් නිදහසේ ඉන්න වෙලාවට ඔෆිස් එකේදි වුණත් ක්‍රීඩා කළ හැකියි.

04. Irfanview

irfanview.com

ඡායාරූප විශාල සංඛ්‍යාවක් එකම ප්‍රමාණයකට කපා ගන්නට හෝ එකම ආකාරයට සංස්කරණය කරගන්නට අවශ්‍ය වුණොත් එකින් එක විවෘත කරමින් ඒ වෙනස්කම් කරන්නට සිදුවන දුක ඡායාරූපකරණයේ නියැලී සිටින අය හොඳින්ම දන්නවා ඇති. එනමුත් මේ Irfanview භාවිත කරන්නට පුරුදු වුණොත් එකවර වැඩ සියල්ලම කිසිදු මහන්සියකින් තොරව කරගන්නට පුළුවන්. ඔබට කරන්නට තිබෙන්නේ වෙනස් විය යුතු ඡායාරූප සියල්ලම තොරාදී එකකට ඔබට අවශ්‍ය වෙනස සිදු කිරීමයි. ඉන්පසු අනෙකුත් සියල්ලටම එය අනුගමනය කරමින් ස්වයංක්‍රීයවම සංස්කරණය කරන්නට, ගොනු නාම වෙනස් කරන්නට ආදී බොහෝ වැඩවලට ඉන් ලැබෙන්නේ මහත් පිටිවහලක්.

05. Watermark Image

ඡායාරූපකරණයේ නියැලෙද්දී ඉතා අමාරුවෙන් ලබාගත් ඡායාරූප අන්තර්ජාලයට දාපු ගමන්ම විවිධ වෙබ් අඩවි බලාගෙන ඉන්නවා ඔබේ මහන්සියට කිසිම ස්තූතියක්, කතු හිමිකමක්, හෝ අඩු තරමේ ඔබෙන් විමසා ලබා ගන්නේවත් නැතිව අරගෙන ඔවුන්ගේ වගේ ඉදිරිපත් කරන්නට. ඉතින් එය වළක්වා ගන්නට බොහෝ දෙනෙක් පුරුදුව ඉන්නේ ඡායාරූපය මතට තමන්ගේ නම හෝ සේවා තොරතුරු අඩංගු කරමින් අන්තර්ජාලයට මුදා හරින්නටයි. එසේ කිරීමේදීත් ඡායාරූප විශාල සංඛ්‍යාවකට එසේ එක් කරමින් සේව් කරන්නට ගියාම කාලය මෙන්ම මහන්සියත් බොහොම වැය වෙනවා. ඒත් මේ Watermark Image මෘදුකාංගය නිසා ඡායාරූප ඕනෑ තරමකට එක්වරම දියසලකුණු (Watermark) එක් කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා.

මෙහි ඇති ඇතැම් මෘදුකාංගවල සෙටප් එකක් තිබුණත්, ඔබට එය ස්ථාපනය කිරීමේදී පෙන් එක තෝරාදීමෙන් පරිගණකයෙන් පරිබාහිරව කිසිදු සබඳතාවකින් තොරව ඒවා දිගහැර ගන්නට (Extract) හැකියාව තිබෙනවා. ඉතින් මේ දේවල් ඔබට වැදගත් වන්නට ඇතැයි අප විශ්වාස කරනවා. ඒවා යහළුවන්ටත් දැනගන්න ලිපිය ශෙයා කරන්නට අමතක කරන්න එපා.

කවරයේ ඡායාරූපය: techregar.com

Related Articles