Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Storage ඉඩ නැති දුරකථනයට සැහැල්ලු වෙබ් ගවේෂක

ස්මාර්ට් දුරකථනයක් කල්යත් ම, Slow වීම සාමාන්‍ය දෙයක්. මෘදුකාංගවල දෛනික අලුත්වැඩියාවන් සමග එක්වන විශේෂාංග හරහා ඒවාට අවශ්‍ය බලය වැඩි වෙනවා. අනතුරුව, එය සපයා ගන්නට නොහැකි බව නිසා පැරණි දුරකථන අපහසුතාවට පත් වෙනවා. මෙයට අපට යෙදිය හැකි පිළියමක් තමයි අඩු බල මෘදුකාංග තෝරාගැනීම. නිතරම අවශ්‍ය වන වෙබ් බ්‍රවුසරය සඳහා පිළියම් මෘදුකාංග කිහිපයක් මේ ලිපියෙන් ගෙන එනවා. ඒ, ක්‍රෝම් හා ෆයර්ෆොක්ස්වලින් පීඩා විඳි ඔබ වෙනුවෙන් ම යි.

විවෘත කේත FOSS browser

Google Play Store

බස් එකේ එල්ලිලා තනි අතින් දුරකථනය පාවිච්චි කරද්දී navigation bar එක ඉහළින් තියෙන එක කරදරයක් වුණා නම්, විවෘත කේත බ්‍රවුසරයක් වන FOSS browser එක ඊට පිළියමක් ගෙන එනවා. ඕනෑම කෙනෙක්ට කේතය බැලිය හැකි නිසා ප්‍රධාන වෙබ් බ්‍රවුසර් මෙන් හොර රහසේ දත්ත එක් රැස් කිරීම්වලට මෙහි ඉඩක් නැහැ වගේ ම තිබෙන අඩුපාඩු සකසන්නට ලොව ඕනෑම කෙනෙක්ට දායක වන්නටත් GitHub හරහා අවස්ථාව තිබෙනවා.

භාවිතයට පහසු හා සරල UI එකක් ඇති මෙහි navigation bar එක තිරය යටට යොදා තිබීමෙනුයි තනි අතින් භාවිතයට පහසුවක් සැලසෙන්නේ. අනවශ්‍ය permissions නොඉල්ලන සරල වෙබ් ගවේෂකයක් වන මෙය Android webview මත පදනම් ව ඇති අතර 2.5MBක් තරම් කුඩා ප්‍රමාණයකින් බාගත කරගත හැකියි. ස්ථාපනයෙන් පසු ව 8.6MB පමණ විස්තාරණය වුවත් අනෙක්වාට සාපේක්ෂ ව (ක්‍රෝම් 170MB) බොහොම අඩු අගයක් වෙවනවා.

බාගැනීමට: FOSS browser

Operaහි Mini නිකුතුව

operacdn.com

ස්මාර්ට් දුරකථනවලටත් පෙර සිට ම මොබයිල් වෙබ් බ්‍රවුසරයක් ලෙස වැඩි දෙනෙක්ගේ ආදරයට පාත්‍ර වුණු Opera තවදුරටත් Mini වෙළුමක් හරහා සැහැල්ලු නිකුතුවක් ගෙන එනවා. සමාජ ජාලවල හා බොහෝ වෙබ් අඩවිවල ඇති වීඩියෝ ඩවුන්ලෝඩ් කිරීමේ පහසුකම මෙය සතු අතර YouTube සඳහා සහාය නොදක්වන බව ඔවුන් දක්වනවා. එසේම රාත්‍රියේ අන්තර්ජාලයේ සැරිසරද්දී ඇස්වල පහසුවට Night mode එකක් තිබෙන නිසා දුරකථන මෙහෙයුම් පද්ධතිය හරහා එම විශේෂාංගය නැති අවස්ථාවන්හි දී මහත් පහසුවක් වෙනවා.

අන්තර්ජාලයේ සැරිසැරීමේ දී අඩු මොබයිල් දත්ත ප්‍රමාණයක් වැය වීම, Private browsing වැනි ක්‍රෝම්වල ද අඩංගු විශේෂාංග රැසක් එය සතු යි. එනිසා අඩු ඉඩකින් ඉහළ පෙළ බ්‍රවුසරයක පහසුකම් අත්විඳින්නට මින් හැකියාව ලැබෙනවා. ඩවුන්ලෝඩ් කිරීමේදී ද වයිෆයි ලැබෙනතෙක් විශාල ප්‍රමාණයේ ගොනු රඳවා තැබිය හැකි වීම අත්වැරදීම්වලින් මොබයිල් දත්ත හානි වී යාම වළකනවා.

බාගත කිරීමට: Opera Mini

වෙබ් අඩවි ඇප්ස් බවට පත් කරන Hermit

uptodown.com

ඉඩකඩ නොමැති දුරකථනයකට තිබෙන තවත් ගැටලුවක් තමයි Facebook, Twitter ආදී ඇප්ස්වල බරසාර බව. ඒවායේ Lite ඇප්ස්වල හැකියාවන් අඩු බව නිසා ඇතැමුන් ඒවාට ප්‍රිය කරන්නේ ද නැහැ. නමුත් එවන් වෙබ් අඩවිවල මොබයිල් වෙබ් අඩවිය ඒ වෙනුවට පාවිච්චි කරන්නට පුළුවන්. එහෙත් බ්‍ර‍වුසරය විවෘත කර වෙබ් අඩවියේ නම ටයිප් කරන්නට සිදුවීම කරදරයක් නිසා Hermit හරහා ඒවා ඇප් එකක් බවට පත් කරගන්න පුළුවන්.

සාමාන්‍යයෙන් Chrome වැනි බ්‍රවුසරයකින් මෙවන් වෙබ් අඩවි shortcuts හදාගත්තා ම ඒවා සාමාන්‍ය පරිදි බ්‍රවුසරයේ ම විවෘත වෙනවා. ඒත් Hermit එකෙන් ඒ හැම එකකට ම තනි ඇප් එකක් ලෙස යි ප්‍රතිචාර දක්වන්නේ. එනිසා වෙබ් අඩවියට අදාළ ව බ්‍රවුසරයේ සැකසුම් ද අවශ්‍ය පරිදි සකසා තබාගන්නට පුළුවන්. කියැවීමට කැමති ඔබ වෙනුවෙන්ම එහි Reader app එකක් ඇති අතර එය හරහා වෙබ් අඩවියකින් ලිපිය පමණක් වෙන් කොට, එය කියවීමට ගතවන කාලය පවා වෙන් කර දක්වන්නට එය සමත් වෙනවා.

නොමිලේ දෙන වෙළුම: Hermit

සරල බව අගයන Via Browser

Google Play Store

වැඩි RAM භාවිතයකින් තොර හා ස්ථාපනයෙන් පසු ව ද මෙගාබයිට් 2ක පමණ රැඳෙන ඉතා සැහැල්ලු නමුත් ජව සම්පන්න ඇප් එකක් තමයි Via browser කියන්නේ. Customize කිරීමට උපරිම හැකියාවක් ලබාදෙමින්; පසුබිම් ඡායාරූපයක්, වර්ණයන්, සහ Logo පවා වෙනස් කරමින් තමාගේ ම Homepage එකක් සකසා ගන්නට ඉන් අවස්ථාව සලසා දෙන අතර notifications එවමින් කරදර කරන බ්‍රවුසරයකුත් නොවෙයි. වේගවත්ව open වීම හා වෙබ් ගවේෂණයේ දී ද optimization හරහා වේගවත් බවත්, data saving හරහා මොබයිල් දත්ත අඩුවෙන් පාවිච්චි කිරීමත් මෙහි දකින්නට ලැබෙනවා.

Night mode එකක් සහ පරිගණකයෙන් වෙබ් අඩවියකට පිවිසෙන්නාක් මෙන් Computer mode එකක් ද, අවශ්‍ය නම් track කරන වෙබ් අඩවි නොමඟ යැවීමට user agent එකත් අපට අවශ්‍ය සේ වෙනස් කරන්නට මේ බ්‍රවුසරය ඉඩ සලසනවා. සරල UI එකක් ඇති නිසා ඕනෑම කෙනෙක්ට පහසුවෙන් අවබෝධ කරගෙන කට යුතු කළ හැකි අතර ප්‍රමාණයෙන් සැහැල්ලු නමුත් Bookmarks, Find in page ආදී සාමාන්‍ය වෙබ් බ්‍රවුසරයක ඇති සියළු දෑ එය ගෙන එන්නේ Ad blocker එකක් ද සමග යි.

බාගත කිරීමට: Via Browser

ගවේෂණයට අමතරව PDF ද සකසන Monument

Google Play Store

බාගත කිරීමට 2MB සහ ස්ථාපනයෙන් පසු මෙගාබයිට් 9ක් පමණ භාවිත කරන Monument බ්‍රවුසරය, අන්තර්ජාල ගවේෂණයෙන් නොනැවතී ඔබ කැමති ලිපියක් Screenshot වශයෙන් ගෙන PDF එකක් බවට පත් කර දෙන්නට සමර්ථ වෙනවා. නිතර ගමන් බිමන් යන කෙනෙක් නම් තනි අතින් දුරකථනය පාවිච්චි කරන්නට සිදුවන ඔබට, Settings හරහා navigation bar එක පහළට යොමු කර ගැනීමට ද ඉඩ සලසන හෙයින් තමන්ගේ අවශ්‍යතාවය අනුව, එහි පෙරනිමි ස්ථානය පිළිබඳ ව වද නොවී අවශ්‍ය ඕනෑම විටක දී එය වෙනස් කරගැනීමේ හැකියාව තිබීම විශේෂ යි. Android Oreo තිබෙන කෙනෙක්ට නම් Picture-In-Picture ක්‍රමවේදය හරහා බ්‍රවුසරය මතම tabs float කරන්නට අවස්ථාව ඇප් එක හරහා ලබා දෙන නිසා එක්වර වෙබ් අඩවි කිහිපයක් තිරය මතට ගෙන වැඩ කටයුතු කරන්නට හැකියාව ලැබෙනවා.

රාත්‍රියට Night mode, කියවීමට Read mode, ඉතිහාසය මතක තියා නොගන්නා Private browsing, වේගවත්ව බාගැනීම් සිදුකිරීමට Download manager එකක්, වෙළඳ දැන්වීම් අවහිර කිරීම් මෙහි ඇති පොදු විශේෂාංග ලෙස දක්වන්න පුළුවන්.

මෙතැනින් බාගන්න: Monument Browser

කවරයේ ඡායාරූපය: crackberry.com

 

Related Articles