Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව පුරා නිර්මාණශීලී පිරිස් එකමුතු වන Google I/O නැවතත් ශ්‍රී ලංකාවේ දී

මෘදුකාංග නිර්මාණකරුවන් වැඩිම දෙනෙක් සහභාගී වන ලොව විශාලතම සම්මේලනය වන Google I/O නැවතත් වරක් ගෙන එන්නට alphabet.inc සමාගම සූදානම් වෙනවා. අැමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මවුන්ට් විව් පරිශ්‍රය තුළ සංවිධානය වන මේ සම්මේලනයේ අරමුණ ලොව පුරාම දිනෙන් දින වැඩි වන මෘදුකාංග නිර්මාණකරුවන් සුහද සබඳතා ගොඩ නගා ගන්නට දිරිමත් කිරීම යි. Google හි ප්‍රවීණයන්ගෙන් ඍජුවම ගුරු හරුකම් ලබා ගත හැකි ප්‍රායෝගික ඉගෙනුම් සැසිවාර වගේම අලුත්ම Google නිමැවුම් බොහෝමයකුත් මුල් වරට දැක ගන්නට ලැබෙන වාර්ෂික Google I/O සම්මේලනය ලොව පුරා බොහෝ දෙනෙක් මඟ බලා සිටින ඉතාම වැදගත් අවස්ථාවක්.

අලුත් වගේම පළපුරුදු මෘදුකාංග නිර්මාණකරුවන්ටත් දැනුම සහ ප්‍රයෝගික අත්දැකීම් සම්භාරයක් එක්රැස් කරගන්න ඉඩ සලසන Google I/O සම්මේලනයට සහභාගී වෙන්න විශාල තරඟකාරීත්වයක් පවතිනවා. මේ නිසාම ලොව පුරා සිටින සියලුම මෘදුකාංග නිර්මාණකරුවන්ට මෙයට ඍජුවම සහභාගී වෙන්න අවස්ථාව හිමි වෙන්නේ නැහැ. කොහොම නමුත් ලෝකය පුරාම වෙසෙන තාක්ෂණ ලෝලීන් බොහෝ දෙනෙක් වෙනුවෙන් එයට සමගාමීව Google I/O Extended වැඩසටහන් රටවල් ගණනාවකම සංවිධානය කෙරෙනවා.

Google I/O කියන්නේ නිකන්ම වාර්ෂික සම්මේලනයකට එහා ගිය, දැනුම් හා අත්දැකීම් සම්භාරයක් එක්රැස් කරගන්න ලැබෙන අපූරු අවස්ථාවක්. : techrepublic.com

Google I/O Extended කියන්නේ අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා උපයෝගී කරගනිමින් තමාගේ මව්රටේ සිටම කැලිෆෝනියාවේ පැවැත්වෙන Google I/O සම්මේලනයට සජීවීව සහභාගී වෙන්න ඉඩ කඩ ලබා දෙන විකල්ප වැඩසටහනක්. ලෝකයේ කොතැනක සිටියත්, මේ වෙනුවෙන්ම පැමිණෙන්න කුමන අපහසුතා තිබුණත් එ් බාධක සියල්ලම ජය ගෙන මෘදුකාංග නිර්මාණකරුවන් සියලු දෙනාටම Google I/O අත්දැකීම ලබා ගන්නට Google I/O Extended වැඩසටහන් නිසා හැකියාව ලැබෙනවා.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන Google I/O Extended

ශ්‍රී ලංකාවේ සිටින මෘදුකාංග නිර්මාණකරුවන්ටත් මවුන්ට් විව්වලට තියෙන කිලෝමීටර් 14, 748 km ක සුවිශාල දුර Google I/O වැඩසටහනට සහභාගී වෙන්න බාධාවක් නෙවෙයි. මොකද අපේම රටේ අගනගරයේ දී නිල Google I/O Extended වැඩසටහනක් සංවිධානය කෙරෙනවා.

ශ්‍රී ලංකා ගූගල් මෘදුකාංග නිර්මාණකරුවන් සමූහයේ (Google Developer Group – GDG) සහයෝගය සහිතව නොකඩවා තුන් වන වරටත් Google I/O Extended වැඩසටහන 2018 මැයි 8 සහ 9 දෙදින තුළ පැවත්වෙන්න නියමිත යි. ශ්‍රී ලංකාවේ වෙසෙන Google මෘදුකාංග නිර්මාණකරුවන් ප්‍රජාව නියෝජනය කරන Google I/O Extended Sri Lanka වැඩසටහන 2016 අවුරුද්දේ Dialog Ideamart හි අනුග්‍රහයෙන් අාරම්භ වීමත් එක්කම එයට අපේ රටේ තාක්ෂණ ලෝලීන්ගේ විශාල අවධානයක් යොමු වුණා.

2016 දී Google I/O Extended Sri Lanka වැඩසටහන අාරම්භ වීමත් එක්කම රටේ තාක්ෂණ ලෝලීන්ගේ අවධානය නොමඳව දිනා ගන්න එය සමත් වුණා. revolutionportfolio.com

Google I/O Extended Sri Lanka කියන්නේ මුළු දකුණු අාසියාවේම පැවැත්වෙන විශාලතම I/O Extended වැඩසටහන බව අපිට අාඩම්බරයෙන් කියන්න පුළුවන්. 2016 වසරේ දී 2000කට වැඩි සහභාගීත්වයකින් යුක්තව අාරම්භ වුණු මේ වැඩසටහනට 2017 වර්ෂයේ දී 3000කට වැඩි පිරිසක් සහභාගී වුණා. මෙවර Google I/O Extended 2018 වැඩසටහනට 3500කට වැඩි පිරිසක් සහභාගී වෙන්න නියමිත යි.

මෙවර වැඩසටහන සංවිධානය කෙරෙන්නේ කොළඹ අංක 12, D. R. විජේවර්ධන මාවතේ පිහිටි SLECC හෙවත් ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී යී. අැමරිකාවේ Google I/O වැඩසටහන අාරම්භ වන අවස්ථාවට සමගාමීව මැයි 8 වැනි දා සවස 6.30ට Google I/O Extended Sri Lanka අාරම්භ වෙන්න නියමිත යි. එ් සඳහා ලියාපදිංචි වීමටත්, අසුන් ගැනීමටත් සවස 4.30 සිට අවස්ථාව සළසා තිබෙනවා. මේ වන විට ඉල්ලුම් පත් 9000 කට වැඩි ප්‍රමාණයක් ලැබී තිබුණත් වැඩසටහනට සහභාගී වන්නට අවස්ථාව හිමි වන්නේ 3000 සිට 3500 දක්වා පිරිසකට පමණයි. නමුත් තාක්ෂණ ලෝලීන් කිසිවෙකුට මේ අවස්ථාව මඟහැරී යාමට ඉඩ නොතබමින් Dialog TV හි Channel 1 හරහා වගේම Dialog හි නිල Facebook පිටුව හරහාත් මේ වැඩසටහන සජීවීව විකාශය කෙරෙන නිසා ඔබටත් එ් සමඟ එකතු වෙන්න පුළුවන්.

කැලිෆෝනියාවේ පැවැත්වෙන වැඩසටහන සජීවීව විකාශය කිරීමට අමතරව ඊට පෙරත්, ඊට පසුවත් අපේ රටේ මෙන්ම විදේශීය කථිකයන් ගණනාවක් සහභාගී වන වැඩමුළු බොහොමයක් Google I/O Extended හි දී සංවිධානය කෙරෙනවා. Google හි ශ්‍රී ලංකා උපදේශකවරයා වන ප්‍රාශ් බාලක්‍රිෂ්ණන්, ප්‍රවීණ Google මෘදුකාංග නිර්මාණකරු ලිම් ෂැන් යී, ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර අැතුළු බොහෝ දෙනෙක් මෙයට සහභාගී වෙනවා. Google I/O Extended 2018 වැඩසටහන කාටත් කාලයක් පුරාවට මතකයේ රැඳෙන උත්කෘෂ්ට වැඩසටහනක් වනවාට සැකයක් නැහැ.

I/O extended Sri Lanka 2018 වැඩසටහනේදී I/O නිල සජීවී විකාශය අාරම්භ වෙන්න පෙරත්, පසුවත් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සම්මන්ත්‍රණ කිහිපයක්ම පැවත්වෙන්න නියමිතයි. : revolutionportfolio.com

දැනුම හා අත්දැකීම් වගේම විනෝදාත්මක දේවල් වලිනුත් Google I/O Extended හි කිසිම අඩුවක් නැහැ. සහභාගී වන සියලු දෙනාටම විනෝද විය හැකි දේවල් ගණනාවක්ම මේ වැඩසටහනට අැතුළත්. නුදුරු අනාගතයේදීම අැති වීමට ඉඩ තිබෙන Internet of Things (IoT) පෙරැළියට සූදානම් වීමට Dialog අායතනය බිහිකර අැති IoT නිපැයුම් දැක බලා ගැනීම සඳහාත් ප්‍රදර්ශන කුටියක් වෙන් කර තිබෙනවා. අැමරිකාවේ වේලාවට අනුව රාත්‍රී කාලය පුරාම ක්‍රියාත්මක වන වැඩසටහනක් නිසා නිදි මත සහ කම්මැලිකම අැති නොවී උද්යෝගීමත්ව සිටින්නට කාටත් ක්‍රියාශිලීව සහභාගී වෙන්න පුළුවන් විනෝද ක්‍රීඩා බොහෝමයකුත් Dialog අායතනයෙන් සංවිධානය කෙරෙනවා.

දැනුම, අත්දැකීම් වගේම විනෝදයත් ගෙන එන වැඩසටහන් රාශියක්ම Google I/O Extended Sri Lanka 2018 දී දැක ගන්න ලැබේවි. : revolutionportfolio.com

මේ සියලුම දේ කැටි කරගත් Google I/O Extended Sri Lanka 2018 වැඩසටහන ශ්‍රී ලංකාවේ තාක්ෂණය ගැන උනන්දු සියලුම දෙනාට හිතවත්කම් ගොඩ නගා ගන්න, නව නිර්මාණ බිහි කරන්න වගේම, මෘදුකාංග නිර්මාණයේ නව කඩයිම් සොයා යන්නටත් ලේසියෙන් නොලැබෙන අවස්ථාවක් වෙනවාට සැකයක් නැහැ.

කවරයේ රූපය : events.google.com

Related Articles