Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Google I/O 2018 හිදී එළිදැක්වුණු අපූරුම දේවල් කිහිපයක්

ලෝකයේ විශාලතම වගේම වැඩිම ආකර්ෂණයක් දිනා ගත්තු තාක්ෂණික සමුළුව වන Google I/O 2018 අද නිමාවට පත් වුණා. Google සහ එහි මව් සමාගම වන Alphabet.inc හි අපූර්වතම නව නිර්මාණ, අලුතෙන් එන්න නියමිත තාක්ෂණයන් ඇතුළු බොහෝ දේ එළිදැක්වෙන, ලොව පුරාම මෘදුකාංග නිර්මාණකරුවන් සහ තාක්ෂණ ලෝලීන් එකට එකතු කරන Google I/O සමුළුව මෙවරත් පැවැත්වුණේ කැලිෆෝනියාවේ මවුන්ට් විව් හිදී යි. මේ අවස්ථාවට සහභාගී වෙන්න එහි ගිය පිරිස වගේම, ලෝකය පුරාම පැවැත්වුණු Google I/O Extended වැඩසටහන් හරහාත් අති විශාල පිරිසක් මේ සමග එකතු වුණා. අපේ රටට ඉමහත් ආඩම්බරයක් ගෙන එමින් දකුණු ආසියාවේ විශාලතම Google I/O Extended වැඩසටහන මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වුණා. මීට අමතරව Dialog නිල වෙබ් පිටුව හරහාත් දස දහස් ගණනක් දෙනා Google I/O සමග Live Streaming ඔස්සේ එකතු වුණා.

ප්‍රධාන කතාව සිදු කරන පිචායි මහතා (recode.net)

මේ විදිහට නිමාවට පත් වුණු Google I/O 2018 දී හැමදාමත් වගේ වැඩිම අවධානයක් දිනා ගත්තේ Google හි ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි මහතාගේ ප්‍රධාන කතාව යි. මේ වසරේ Google  හරහා එළි දැක්වෙන්න නියමිත නව නිපැයුම්, නව තාක්ෂණයන් වගේම Google මේ වන විටත් සංවර්ධනය කරගෙන යන අලුත් දේවල් ගැන යම් යම් ඉඟිත් දැන කියා ගන්නට තියෙන හොඳම අවස්ථාව විදිහට මෙය සැළකෙනවා. හැමදාමත් වගේ මේ පාරත් පිචායි මහතා අපිට පොඩ්ඩක්වත් බලාපොරොත්තු කඩ කරගන්න ඉඩ තිබ්බේ නැහැ. ලෝකය තාක්ෂණිකව මොන තරම් ඉදිරියට ගිහින් තිබෙනවාද කියන එකට ඔහු එළිදක්වපු බොහෝ දේවල් අපිට යළි සිතන්න පෙළඹවූවා.

ඉතින් ඔහුගේ කතාවේ දී එළි දැක්වුණු ප්‍රධානතම දේවල් ගැන අපේ පාඨකයන් වෙත විස්තර ගෙන එන්න අපි තීරණය කළා.

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ අලුත්ම සංස්කරණය – Android P

Android P (androidauthority.com)

Google ආයතනය ප්‍රසිද්ධ සෙවුම් එන්ජින් එකක් වුණත් ඔවුන්ගේ විශාලතම ව්‍යාපෘතියක් සහ ලෝකය සැබෑවටම වෙනස් කරපු නිමැවුමක් තමයි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය. මේ නිසාම වාර්ෂිකව එළිදැක්වෙන ඇන්ඩ්‍රොයිඩ් අලුත්ම සංස්කරණය තමයි සාමාන්‍යයෙන් Google I/O හි දී වැඩිම අවධානයක් දිනා ගන්නේ. කාලයක් තිස්සෙම අලුත් සංස්කරණ එළි දැක්වුණත් මෑත කාලීනව ඇන්ඩ්‍රොයිඩ්වල සැබෑ වෙනසක් සිදු වුණේ නැති බවට යම් චෝදනාවක් තිබුණා. නමුත් අලුතෙන්ම එන Android P සංස්කරණයේ දී නම් මේ චෝදනාවට පිළිතුරු දෙමින් සැබෑවටම අලුත් පියවර ගණනාවක් තබන්න Google පියවර ගෙන ඇති බව පෙනෙනවා.

නවතම Android P හි දකින්න ලැබෙන්නේ හරිම අලුත්, නැවුම් මුහුණුවරක්. ඇන්ඩ්‍රොයිඩ්වල අපිට හුරු පුරුදු බොත්තම් තුනේ navigation එකට ආයුබෝවන් කියමින් iPhone X එකට තරමක් සමානයි කියන්න පුළුවන් නවතම Gestures ගොන්නකින් තමයි Android P හි බොහෝ වැඩ කටයුතු සිදු වෙන්නේ. ඉතින් මෙහි දකින්න ලැබෙන්නේත් home button එකක් පමණ යි. එය ඉහළට ඇදීමෙන් (swipe කිරීමෙන්) ඒ මොහොතේ සක්‍රීයව තිබෙන ඇප් ලැයිස්තුවත්, back button එකත් ලබා ගන්න පුළුවන්. ඒ වගේම home button එක දෙපසට කිරීමෙන් ඉතා පහසුවෙන් ඇප් හරහා මාරු වෙන්නත් ඉඩ සලසා තිබෙනවා.

නවතම dashboard එක, app timer එක සහ gestures පාදක කරගත් අතුරු මුහුණත (techspot.com)

AI හෙවත් කෘත්‍රීම බුද්ධිය බොහෝ සෙයින් පාවිච්චි වෙන එක Android P හි විශේෂත්වයක්. ඔබේ දුරකථනය ඔබේ හැසිරීම අධ්‍යයනය කරමින්, ඔබට අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ පහසුවෙන්ම කරගන්නට හැඩ ගැසෙන විශේෂාංග බොහොමයක් මේ තුළ අඩංගු යි. ඒ අතරම විවිධ ඇප් පාවිච්චි කරන වේලාව බලා ගෙන අවශ්‍ය නම් එය සීමා කරගත හැකි digital wellbeing dashboard එක විශේෂ යි. ඔබේ හැසිරීම් අධ්‍යයනය කරමින් දවසේ යම් වෙලාවක ඔබ භාවිත කරන්න වඩාත්ම ඉඩ තිබෙන ඇප් පහසුවෙන් විවෘත කරවීම, ඔබේ අවශ්‍යතා අනුව තිරයේ දීප්තිය හැඩ ගැස්වීම ඇතුළු තවත් බොහෝ දේ එයට ඇතුළත් වෙනවා. මේ ගැන විස්තරාත්මක තොරතුරු අපි නුදුරේදීම ගෙන එන Android P පිළිබඳ ලිපිවලින් සහ වීඩියෝ තුළින් දැන කියා ගන්න ඔබට පුළුවන්.

සැබෑවටම ස්වභාවික හඬකින් තනිවම බුද්ධිමත් සංවාදවල යෙදීමට හැකි Google Assistant

Google Assistant දැන් වෙනස් වෙලා. (cnet.com)

Android P සංස්කරණය එළි දැක්වීම ගැන සියලු දෙනාම බලාපොරොත්තුවෙන් සිටියත් කවුරුත් පුදුමයට පත් කරපු දෙයක් වුණේ අලුතෙන්ම විශේෂාංග එක් වී බල ගැන්වුණු Google හි නිල පෞද්ගලික සහායකයා වන Google Assistant ගේ අපූර්ව හැකියාව යි. මුලින්ම අපි වැඩි දෙනෙක් දන්නා තරමක් රොබෝවෙකුගේ වැනි හඬ වෙනුවට අලුත්ම හඬ වර්ග හයක් එයට එකතු වෙන්න නියමිත යි. මේ අතරට බොහෝ දෙනෙක් ආදරය කරන කටහඬක් හිමි, ජනප්‍රිය ගායක ජෝන් ලේජන්ඩ් (John Legend)ගේ කටහඬත් එකතු වී තිබීම විශේෂත්වයක් ගන්නවා. ඉතාම ස්වභාවික කටහඬකින් Google Assistant එක්ක ගණුදෙනු කළ හැකි වීම නම් සැබෑම දියුණුවක් බව කියන්න අවශ්‍යයි.

නමුත් දැන් ඒ ස්වභාවික කටහඬවල් තුළින් කළ හැකි දේවල් තවත් පුළුල් වෙලා. මේ කතාවේ දී පිචායි මහතා Google Assistant තනිවම salon එකකට ඇමතුමක් අරගෙන කොණ්ඩා සැකසුමකට කාල වෙලාවක් වෙන් කරන හැටි දැක්වෙන හඬපටයක් එළි දැක්වුවා. Salon එකේ පුද්ගලයා කියන දේවල් ඉතා හොඳින් තේරුම් ගනිමින් තමන්ට අවශ්‍ය දේ කියා බුද්ධිමත් සංවාදයකින් පස්සේ කාල වේලාව වෙන් කරගැනීම ඉතාම ස්වභාවික හඬකින් කරන්නට Google Assistant සමත් වුණා. ඒ කතා කළේ කෘත්‍රීම බුද්ධියකින් බල ගැන්වුණු කෘත්‍රීම හඬක් බව නම් හිතන්නත් අමාරුයි.

Salon එකට යන්න වෙලාවක් වෙන් කරන්න කිව්වාම ඒක ඉතාම ස්වභාවික විදිහට තනිවම කරන්න Google Assistant සමත් වුණා. (theverge.com)

ඒ වගේම Google Assistant ගෙන් බල ගැන්වෙන smart display උපාංගත් ජූලි මාසය වන විට වෙළඳපොළට නිකුත් වනු ඇතැයි මෙහි දී සඳහන් වුණා. මේ අනුව Google සමාගම Amazon හි Echo Show වැනි උපාංගවලට ලොකු තරඟයක් දේවි යැයි සිතිය හැකියි.

වටපිට බලා යා යුතු දිශාව කියන Google Maps

මේක නම් සැබෑවටම අපිට ඉතාම ප්‍රයෝජනවත් වන විශේෂාංගයක් කියලා කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි භාවිත කරන Google Maps Navigation සහ Street View වගේ විශේෂාංග Augmented Reality (වර්ධිත යතාර්ථය) තුළින් වඩාත් බලගැන්වීම මෙහි දී සිදු වෙනවා. ඒ අනුව ඔබ ඉන්න ස්ථානයේ පොළොව මට්ටමේ දර්ශනයට අමතරව ඔබට අවශ්‍ය තැනට යන්නට හැරෙන්න අවශ්‍ය තැන් වැනි දේ ඇප් එක තුළින් ඊතළ සහ මාර්ග සළකුණු විදිහට දැක ගන්න හැකියාවක් තියෙනවා. මෙහිදී ඔබට අවශ්‍ය උපදෙස් සපයන වගේම අවශ්‍ය දේවල් පහසුවෙන් සොයා ගන්න උදව් කරන අපූරු පෙනුමක් ඇති නරි පැටියෙකුත් එක් කර තිබෙනවා.

AR සමග වඩාත් තාත්විකව උපදෙස් දෙන Google Maps (nrdrnws.blogspot.com)

මීට අමතරව යම් ප්‍රදේශයකට අලුතෙන් ගියාම යන්න පුළුවන් ආකර්ෂණීය තැන්, ආපනශාලා වගේ දේවල් පහසුවෙන් සොයා ගන්නත්, ඒවායේ විස්තර, ඒවායේ මේ වෙලාවේ ඉන්න ඔබ හඳුනන අය, ජනප්‍රිය තරු වැන්නන් දැක බලා ගන්නටත්, මිතුරන් එකතු කරගෙන යම් තැනකට එකතු වෙන්න සුහද හමුවක් සංවිධානය කරගන්නත් හැකියාව තියෙන විශේෂාංග බොහෝමයකුත් Google Maps වලට එක් වෙන්න නියමිත යි. මේ නිසා අලුතෙන් එන Google Maps සංස්කරණයෙන් මේ කටයුත්තම කරන Yelp සහ Foursquare වැනි සේවාවලටත් ලොකු තර්ජනයක් එල්ල වේවි.

Google Photos, Gmail සහ Google Lens එහෙමත් AI එක්ක අලුත් වෙලා

අලුත්ම Google නිමැවුම් බොහොමයක් මෙවර කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණයෙන් බල ගැන්වී තිබෙනවා. ඒ අතරින් මේ තුන විශේෂ තැනක් ගන්නවා. අලුත්ම සංස්කරණයත් Google Photos ඇප් එකත් AI පද්ධතිවලින් බල ගැන්වෙන නිසා නව විශේෂාංග බොහොමයක් එකතු වෙලා. ඉතා පහසුවෙන් අපේ පින්තූරවල ආලෝක තත්ත්වය සකස් කරන්න, පසුබිම ඉවත් කරන්න හෝ වෙනත් පසුබිමක් දමන්න වගේම ඉතාම විශේෂ හැකියාවක් විදිහට කළු සුදු ඡායාරූප පවා ඉතාම තාත්වික විදිහට වර්ණ ගන්වන්නත් මෙයට දැන් පුළුවන්. මේ සියල්ල ඔබේ පැත්තෙන් විශාල දෙයක් නොකර තනිකරම රූපයට ගැළපෙන විදිහට AI තාක්ෂණය හරහා ඉටු කරගන්න දැන් පුළුවන්.

ඉතා විශාල මහන්සියක් දරමින් කළ යුතු වූ දේවල් දැන් AI වලින් බලගැන්වෙන Google Photos හරහා සැණෙකින් කළ හැකියි. (fstoppers.com)

Gmail හි අලුත්ම සංස්කරණයත් AI තුළින් බලගැන්වෙන නිසා එයටත් හැකියාවන් බොහොමයක් එකතු වෙලා. දැන් ඔබට බොහෝ දුරට ලැබෙන පණිවුඩවලට reply කරන්න Gmail එකටම ඉඩ දෙන්න පුළුවන්. ඔබ වචනයක් දෙකක් ටයිප් කළ සැණින් ඔබ කියන්නට යන දේ අනුමාන කර එය පෙන්වීමට දැන් Gmail සමත්. AI තාක්ෂණයේ ශීඝ්‍ර දියුණුව නිසාම මේ අනුමානයන් බොහෝ දුරට නිවැරදියි වගේම එය ඔබේ ටයිප් කිරීමේ රටාවට, සන්නිවේදනය කරන කෙනාට වගේ සුවිශේෂී විදිහට ඉබේම සකස් වීමත් දකින්න පුළුවන්.

AI හරහා බලගැන්වෙන Google Lens එකත් දැන් වඩාත් බලවත් ඇප් එකක් වෙලා. කැමරාවට පෙනෙන ඕනෑම දෙයක ඇති අකුරුවලින් ඔබට අවශ්‍ය කොටස ඒ මොහොතේම copy කරගන්න දැන් වඩාත් පහසුවෙන් හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම ලෝකයේ භාවිත වන අති බහුතරයක් භාෂාවලින් දැක්වෙන දේවල් ඉතා පහසුවෙන් තමන්ට තේරෙන භාෂාවකට ඍජුවම හරවා ගන්නත් පුළුවන්. මීට අමතරව අපි දකින ඕනෑම දෙයක පින්තූරයක් මගින් ඒ ගැන විස්තර, අවශ්‍ය නම් එය මිල දී ගත හැකි තැන් දැක බලා ගන්නත් හැකියාව තිබෙනවා. මේ විශේෂාංග යම් තාක් දුරකට දැනටමත් ක්‍රියාත්මක වුණත් ඒවායේ වේගය සහ නිවැරදි බව AI තාක්ෂණය හරහා විශාල වර්ධනයක් ලබා තිබෙන බව නම් ඉතාම පැහැදිලියි.

දැන් Google Lens තවත් බුද්ධිමත් වෙලා. (theverge.com)

මේ සියලු දෙයින් අපිට හොඳින්ම පෙනී යන දෙයක් තමයි Google සහ ඔවුන්ගේ Alphabet මව් සමාගම අපිට හිතන්න පුළුවන් හැම අස්සකට මුල්ලකටම ව්‍යාප්ත වෙන්න මොන තරම් උත්සාහයක් ගන්නවා ද කියන එක. ඒ වගේම ඔවුන්ගේ සේවා සියල්ලම වගේ සම්පූර්ණයෙන්ම නොමිලයේ සැපයෙන නිසා ඒවා භාවිත කරන්න තියෙන දිරිගැන්වීමත් හරිම ඉහළ යි. අපේ කටයුතු හැම දෙයක්ම ඉතා පහසුවෙන් කරගන්න ඉඩ සලසන්න මේ තරම් හැකියාවක් වෙනත් කිසිම තනි සමාගමකට නැති බව නම් දැන් පැහැදිලිවම පෙනෙන දෙයක්.

කොහොම වුණත් මේ එක්කම අපේ ජීවිතයේ හැම දෙයක් ගැනම හැම තොරතුරක්ම වගේ Google ආයතනයේ භාවිතයට ගැනීම ගැනත් දැන් බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා. මේ හැම දේකින්ම අපේ ගති පැවතුම් ගැන අපි කාටවත් හිතා ගන්න නොහැකි විදිහට ඉතාම නිවැරදිව අනාවැකි කියන්න, ඒ තුළින් අපිට ආසම හිතෙන විදිහේ දැන්වීම් ඉලක්ක කරන්න ඔවුන්ට හැකියාව ලැබෙනවා. ඊටත් එහා යමින් අවශ්‍ය නම් මේ දත්තවලින් අපි නොහිතන විදිහට සියුම්ව අපිව පාලනය කරන ක්‍රම ගොඩ නගන්න පුළුවන් බවත් මෑත දී Facebook සමාගමට චෝදනා එල්ල වුණු කේම්බ්‍රිජ් ඇනලිටිකා සිද්ධියෙන් හොඳින්ම පැහැදිලි වුණා.

ඉතින් මේ අපූරු තාක්ෂණයන්, ඒවායින් සිදු කෙරෙන නිමැවුම් ගැන තොරතුරු දැන ගන්නා ගමන්ම ඒවායේ පවතින භයානක කම ගැනත් යම් අවබෝධයක් ඇතිව ඒවා ප්‍රවේශමෙන් පරිහරණය කරන්න කියලත් අපි ඔබට මතක් කරනවා.

කවරයේ රූපය : මෙවර Google I/O හි නිල කවරය (events.google.com)

Related Articles