මෝඩයාගේ දිනය වෙනුවෙන් තාක්ෂණික ආයතන කළ විහිළු 7ක්

ජනවාරි මාසයේ අවුරුදු සමරන අයත්, අප්‍රේල් මාසයේ අවුරුදු සමරන අයත් අතර තිබුණු මත ගැටුමක් නිසා නිර්මාණය වුණු ‘අප්‍රේල් පළමුවැනි දා’ හෙවත් ‘මෝඩයාගේ දිනය’ මේ වෙද්දී හැමෝම විනෝදවන, බොරුවක් කියන්නට හේතුවක් හොයාගන්න, සහ ඉන් පීඩාකාරී දිවියට තාවකාලික සැනසීමක් ලබාගන්න දිනයක් බවට පත්ව තිබෙනවා. තමන්ගේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් බොහෝ සමාගම් මේ දිනය තෝරාගන්නා අතර එලෙස තාක්ෂණික ආයතන විසින් කළ විහිළු වලින් හොඳම ඒවායි මේ.

ගූග්ල් සමාගම

වාර්ෂිකව ගූග්ල් සමාගම විසින් විවිධ ආකාරයේ විහිළු-තහළු කරනවා. තමන්ගේ සේවාවන් කිහිපයක් අලලා ලොව විවිධ ප්‍රදේශ පාදක කරගෙන ඔවුන් ඒවා ගෙන එන අතර ඒවා බලන්නටම සැරසුණු රසික පිරිසක් ද ලොව පුරා බිහිව සිටිනවා. පහත සඳහන් වන්නේ එයින් කීපයක්.

Hummus තෝරාගැනීමට සහායවන API එක

ඊශ්‍රාලයේ ජාතික ආහාරය වන හම’ස් ආහාරය විවිධ මාදිලි වලින් තිබෙනවා. නමුත් මේවායෙන් අපිට ගැලපෙනම එක සොයාගන්නට අපහසු නිසා අපේ රස සංවේදනයන්ට අදාලව ඉන් හොඳම එකක් තෝරාගන්නට පහසු කරවන ආකාරයේ නිෂ්පාදනයක් ගූග්ල් සමාගම හඳුන්වාදී තිබෙන බවයි කියන්නේ. ඔවුන් විසින් දිවේ තැබිය හැකි උපකරණයක් සකසා ඇති අතර ඉන් දිවේ රසාංකුර පිහිටීම අනුව අපේ සංවේදීතාව හඳුනාගෙන දුරකථන ඇප් එක හරහා වඩාත්ම උචිත ආහාර මාදිලිය තෝරාගන්නට සහාය වෙනවා.

සත්‍ය කීබෝඩ් එක මත Swype කර ටයිප් කරන්න

ජපානයෙන් ඉදිරිපත් කෙරුණු මේ Gboard නිෂ්පාදනයට ඔබේ දැනට තිබෙන කීබෝඩ් එක සම්බන්ධ කරන්නට පුළුවන්. ඉන්පසු එය මත ස්වයිප් කිරීමෙන් හෙවත් අවශ්‍ය අකුරේ හැඩය, යතුරු ඔබන්නේ නැතිව ඇඳදුන් විට ස්වයංක්‍රීයව එය හඳුනාගෙන ටයිප් වන බව කියනවා. මෙය ජපන් බසට මෙන්ම ඉංග්‍රීසි බසටත් සහාය දක්වන අතර එය නිසා කීබෝඩ්වල අකුරු මුද්‍රණය කර තිබීමත් අනවශ්‍ය වෙනවා.

Maps වලින් Wallyව සොයන්න

Thambaru/Roar

Where’s Wally ක්‍රීඩාව ගූග්ල් මැප්ස්වලට ලබාදී තිබෙන අතර දුරකථන ඇප් එකෙන් (අප්ඩේට් කර තිබිය යුතුයි) සහ පරිගණකයෙන් මෙය ක්‍රීඩා කළ හැකියි. ඇප් එක විවෘත කළ විට පසෙකින් අත වනමින් සිටින Wally දකින්නට ලැබෙන අතර ඒ මත ක්ලික් කොට ක්‍රීඩාවට පිවිසිය හැකියි. එහි කරන්නට ඇත්තේ ඇමරිකාව සහ කැනඩාව ආශ්‍රිතව ලබාදෙන ස්ථානයන්හි ඇති චිත්‍රවලින් ඔවුන් දෙන ලද චරිත කිහිපය සොයා ගැනීමයි. මෙය සතියක් පුරා මැප්ස්වල පවත්වා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

Logitechහි බිස්නස් කතා සංවේදකය

Logitechහි කැමරාව සහ මයික්‍රොෆෝනය හරහා ව්‍යාපාර සංවාද පවත්වන අවස්ථාවන්හි දී ඒවා හඳුනාගැනීමට BS detector නමින් නව නිෂ්පාදනයන් ඔවුන් හඳුන්වාදෙන බව පවසනවා. මෙහි BS යන්න Business Speak ලෙස නම් කර තිබුණත් ව්‍යංගයෙන් ඔවුන් Bull Shit හෙවත් සම්ප්‍රප්පලාප දෙඩවීමයි අදහස් කරන්නේ. ඒ අනුව අප හා කතා කරන කෙනා එවන් දේ කියද්දී ඒවා අපට හඳුනාගැනීමට මෙම උපකරණය සහාය වෙනවා.

සිග්නල් නැති තැන්වලට විමඳුමක් Sprint වෙතින්

ඉන්ටර්නෙට් යන්න හෝ කෝල් එකක් ගන්නටවත් ෆෝන් පාවිච්චි කරන්නට නොහැකිවී යන්නට ප්‍රධානම හේතුව වන්නේ තැනින් තැනට සිග්නල් නැතිවීම යි. මෙයට විසඳුමක් වශයෙන් ඇමරිකාවේ ප්‍රධාන දුරකථන සමාගමක් වන Sprint ආයතනය ෆුට් බෝලයක් බඳු ‘මැජික් බෝලය’ක් හඳුන්වා දෙනවා. 2019දී හඳුන්වාදීමට නියමිත මෙය, ගෙන යන ඕනෑම තැනක දී පහසුවෙන්ම අපේ දුරකථනයට සංඥා ලැබෙන බවයි ඔවුන් කියන්නේ. පාරිභෝගික විශ්වාසය පළුදු වේයැයි බියෙන්දෝ ඔවුන් වීඩියෝව අවසානයේ මෙය විහිළුවක් බව කියා සිටීම මඳක් වේදනාකාරී යි.

පරිගණක ක්‍රීඩාවලට අවශ්‍ය ශාරීරික ශක්තිය ලබාදෙන Razor Venom v2

පරිගණක ක්‍රීඩාවලට අවශ්‍ය උපාංග නිෂ්පාදන ආයතනයක් ලෙස නම් දරන Razor ආයතනය විසින් ශරීර ශක්තිය වැඩි කරලන පානයක් සකසා තිබෙනවා. “අපේ නවතම උපාංග සියල්ලක්ම මහත් වේගයෙන් යුතු වූවත් එය පාවිච්චි කරන්නට ඇති එකම බාධාව පරිශීලකයන්ගේ ඇති ඔතෑනි බවයි” ඔවුන් පවසනවා. වර්ණවලට ප්‍රිය කරන ඔවුන් විවිධ වර්ණයන්ගෙන් ද මෙම නිෂ්පාදනය ඉදිරිපත් කරන අතර එය පානය කර, ක්ලික් කිරීමේ හැකියාව, ටයිප් කිරීමේ හැකියාව, ඇස් චලනය කිරීමේ හැකියාව ආදිය එහි මෘදුකාංගය හරහා වෙනස් කරලිය හැකි අතර ඉන්පසු පානය හරහා සිරුරට පිවිසුණු නැනෝ රොබෝවරුන් ඊට අදාල ලෙස අපේ ශරීරය පණ ගන්වනු ලබනවා.

ඇඟිලි සලකුණු වෙනුවට දිව-සලකුණු Pindrop වෙතින්

මුහුණ හඳුනාගැනීම, ඇඟිලි සලකුණු භාවිතය ආදිය මේ වන විට සෑම උපාංගයකම තිබුණත් ඒවාට අපව හඳුනාගැනීමට ඇතැම් අවස්ථාවලදී අපහසුතා ඇතිවෙනවා. මෙයට විසඳුමක් වශයෙන් පරිගණක දත්ත ආරක්ෂණ සේවා ආයතනයක් වන Pindrop වෙතින් නව දිව-සලකුණු හඳුනාගැනීමේ තාක්ෂණයක් ඉදිරිපත් කරනවා. මෙය දුරකථන තිරය මත පාරදෘෂ්‍යව අඩංගු කෙරෙන අතර අපේ දිවේ ඇති ස්වභාවය හරහා අපව හඳුනාගෙන Lock screen එක හැරීමට ඊට හැකියාව ලැබෙනවා. නමුත් මේ සඳහා ෆෝන් එකේ ඉහළ සිට පහළට ලෙවකාගෙන යා යුතුයි.

කවරයේ ඡායාරූපය: twimg.com

Related Articles

Exit mobile version