Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශිෂ්‍යයන් සඳහා 2018 වසරට පරිගණකයක් තෝරා ගන්නේ කොහොමද?

පරිගණකයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු බොහොමයක් තිබෙනවා. ඉන් ප්‍රධානම එකක් තමයි එය භාවිතා කරන්නේ කුමන කර්තව්‍යයක් සඳහා ද යන්න කියන එක. ඒ අනුව අප මෙහිදී සලකා බලන්නේ  පාසල්වල ඉගෙනුම ලබන දරුවන් සඳහා සහ උසස් අධ්‍යාපනය ලබන අය සඳහා ලැප්ටොප් පරිගණකයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු විශේෂ කරුණු මොනවාද යන්නයි.

පරිගණක වෙළඳපොලේ  මිලදීගැනීම සඳහා ඕනෑතරම් මාදිලි තිබෙනවා.  එකවරම පරිගණක විකුණන ස්ථානයකට ගිහින් බැලුවොත් සමහර විට කුමක් ගන්නවාදැයි ඔබ අතරමං වෙන්නටත් පුළුවන්. අතේ තියන ගානට හරියන්න අපේ වැඩ ටිකත් කරගන්න පුළුවන් ආකාරයේ එකක් ගන්න අහස පොළොව ගැට ගහන්න කල්පනා කරන්නේ නැතුව ඉතා කුඩා නිර්ණායක කිහිපයක් සලකා බැලීමෙන් ඔබට වඩාත් සුදුසු තීරණයක් ගැනීමට පහසු කිරීමයි අපේ අරමුණ. අලුත් පන්තියකට යන ළමයෙකුට කුමන ආකාරයේ ලැප්ටොප් එකක් අවශ්‍යද? එහෙමත් නැත්නම් ඔවුන්ට ටැබ්ලට් එකක් ප්‍රමාණවත්ද? කැම්පස් එකට අවශ්‍ය වන්නේ කුමන ආකාරයේ ලැප්ටොප්ද? අපි ඒ ගැන සොයා බලමු.

වයසට ගැළපෙන එකක් තෝරාගන්න

මාතෘකාව නම් ලැප්ටොප් සඳහා නොගැලපෙන එකක් වගේ පෙනුනාට ඇත්ත වශයෙන්ම තමන් කරන දේට අනුව ඊට ගැළපෙන පරිගණකයක් තෝරා ගැනීම අත්‍යාවශ්‍ය වෙනවා. විශේෂයෙන් දරුවන් සඳහා මිලදී ගැනීම සිදුකරන්නේ දෙමව්පියන් නිසා අනවශ්‍ය ලෙස ඔවුන්ගේ මුදල් වියදම් කිරීම නවතාලමින් වඩාත් සුදුසු තෝරා ගැනීමක් සිදු කළොත් බීපු කිරි ටිකට තවත් ණය නොවී ඉන්න පුළුවන්.

පාසලට

(mothersglobal.in)

පාසලේ 7 හෝ 8 ශ්‍රේණිවල සිටින දරුවෙක් නම් රුපියල් 50,000 හෝ 60,000ක පමණ පරිගණකයක් හොඳටම ප්‍රමාණවත්.ඊටත් වඩා අඩු මිලට ඩෙස්ක්ටොප් පරිගණකයක් මිලදී  ගත හැකි අතර, නිතර ගෙදර රැඳෙන වයස නිසා ලැප්ටොප් එකක් ම අත්‍යවශ්‍ය නැහැ.

පාසල් දරුවන් සඳහා නම් විශේෂයෙන් තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්නා දරුවන් සඳහා ලැප්ටොප් හෝ පරිගණක ටැබ්ලට් එකක් නිර්දේශ කරන්න බැහැ. මොකද ඔවුන්ට පරිගණක කේතකරණය ඉගෙනීමට තිබෙන නිසා (තවම නම්) tablet එකකින් එතරම් දෙයක් කරගන්නට බැහැ. අනෙක, මේ වයසේ දරුවන් ඔවුන්ගේ දක්ෂතාවන් මෝදු කරගනිමින් සිටින අවධියක් ගත කරන නිසා ඔවුන් අනාගතයේ කුමන මාර්ගයක ගමන් කරාවිදැයි කියන්නට බැහැ. මේ නිසා පරිගණක ග්‍රැෆික් ශිල්පය, කේතකරණය, වදන් සැකසුම් වැනි පුළුල් පරාසයක් කරගත හැකි ලැප්ටොප් හෝ ඩෙස්ක්ටොප් පරිගණකයක් ලබාදීම වඩාත් සුදුසුයි. හැබැයි මෙහිදී අප දැන් පාසලෙන් නොමිලේ ලබාදෙන ටැබ්ලට් ගැන විවේචනයක් කිසිසේත් නොකරන බව සිහි තබා ගන්නට ඕනේ. ඒවාත් නිකං ලැබෙනවා නම් ගෙදර තිබෙන එක හොඳයි. නමුත් දරුවාගේ දක්ෂතාවන් ඔප් නංවන්නට උපරිම සහයෝගය දෙමාපියන් වශයෙන් ඔබ ලබාදිය යුතු වෙනවා.

කැම්පස් එකට

(cccblog.org)

උසස් අධ්‍යාපනය ලබන අය තමන් තමන්ගේ ක්ෂේත්‍රය මේ වන විටත් තෝරාගෙන සිටින නිසා ඊට අදාල ලෙස තෝරාගත හැකියි. හුදෙක් ලිපි කටයුතු, assignment ආදිය, අන්තර්ජාලයෙන් විස්තර සෙවීම පමණක් කරනවා නම් ටැබ් එකක් ප්‍රමාණවත්. නමුත් ඔබ මෘදුකාංග ඉංජිනේරුවරයෙක් හෝ තොරතුරු තාක්ෂණයට අදාල වැඩිදුර අධ්‍යයනයන් කරනවා නම් නිතැතින්ම ලැප්ටොප් එකක් අවශ්‍ය බව ඔබටම වැටහෙනවා ඇති. එහිදීත් ඔබ ග්‍රැෆික් නිර්මාණ කටයුතු කරන්නේ නැත්නම් (සහ පරිගණක ක්‍රීඩාවලට වටිනා කාලය වැය නොකළ යුතු බව දන්නවා නම්) Dedicated VGA එකකට නිකරුණේ තවත් ගාණක් වැය කළ යුතු වන්නේ නැහැ.

ඔබට කැම්පස් එකෙන් පසු ට්‍රේනිං හෝ රැකියාව සඳහා ද එම ලැප්ටොප් එකම අරන් යන්නට සිදු වෙනවා නම් අවුරුදු කිහිපයකට වුවත් ගැලපෙන ආකාරයට ටිකක් හොඳ එකක් ගැනීම නුවණට හුරු වෙනවා. ලබන වසරට නම් අවම වශයෙන්  i5 ප්‍රොසෙසරයක්, 8GB RAM එකක් තිබුණාම ඇතිවේවි. 4GB රැම් නම් දැනටම Chrome සහ Netbeans එකවර විවෘත කළාම සම්පූර්ණයෙන් පිරී යනවා ඒ නිසා දැන් ඉන් ඔබ්බට යන්නට කාලය හරි. ග්‍රැෆික් කටයුතු කරන කෙනෙක්ට 2GB VGA එකක් 2018ටත් ප්‍රමාණවත්. මේ සියලු දේවල් රු. 80,000කට ආසන්න මුදලකින් පියවා ගන්නට පුළුවන්.

තිරයේ ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න

(cloudfront.net)

ලැප්ටොප්වල නම් පරිගණකයේ ප්‍රමාණය අනිවාර්යයෙන්ම එහි තිරයේ ප්‍රමාණයට සමාන වෙනවා.ඔබ නිතර ගමනේ යෙදෙන කෙනෙක් නම් විශේෂයෙන් දුර පළාතක සිට පැමිණ නැවතී කැම්පස් එකට යනවා නම් ඇඳුම් ගොඩක් එක්ක ලැප්ටොප් එකත් අරගෙන යන්නට සිදුවන නිසා ප්‍රමාණය ටිකක් අඩු ලැප් එකක් නම් වඩාත් උචිතයි. හැබැයි ඉතින් ඔය කවුරු වුණත් ලෙක්චර්ස් වල මහන්සිය නැති කරගන්න ගෙදර ඇවිල්ලා ෆිල්ම් එකක් නොබලා ඉන්නෙත් නැහැ. ඉතින් ඒකට නම් ගොඩක් පොඩි තිරයක් තිබිලා වැඩකුත් නැහැ. මේ හැමදේම සමබර වෙන ආකාරයට ඔබට අඟල් 13.5 වැනි ප්‍රමාණයක එකක් තෝරා ගන්නට පුළුවන්. ටැබ්ලට් එකක් තෝරා ගන්නා අයට කීබෝඩ් එකකුත් සෙට් කරගත්තාම අඟල් 9.7 වගේ හොඳටම ඇති.

SSD නම් හාඩ් එක කීය වුණත් කමක් නැහැ

(intel.com)

ඉස්සර කාලයේ පරිගණකයක් මිලදී ගැනීමේදී hard disk එකේ ඉඩ ප්‍රමාණය ගැන ගොඩක් වදවෙන්නට සිදුවුනාට දැන් වලාකුළු පරිගණක යුගයට පැමිණ සිටින නිසා හැමදේම computer එකේ තියා ගන්නේ නැතිව Google drive, One Drive වැනි අන්තර්ජාල ඉඩ ප්‍රමාණයක දත්ත ගබඩාවක ගොනු රඳවා තැබීම සිදු කෙරෙනවා. විශේෂයෙන් දුරකථනයටත් සහ ලැප්ටොප් එකටත් එම ගොනු භාවිත කිරීමේ අවකාශය ලැබෙන නිසා ඔබේ වැඩ කටයුතු පරිගණකයට පමණක් සීමා කරගත යුතු නැහැ. මෙවන් තත්ත්වයක් යටතේ වැඩි හාඩ් එකකට (HDD) ඉහළ මිලක් ගෙවනවා වෙනුවට SSD එකක් තියෙන පරිගණකයක් මිලදී ගත්තොත් පරිගණකයට වැඩි වේගයක් මෙන්ම අඩු බැටරි බල භාවිතයක් ලබා ගන්නටත්, ලැප් එකේ මහත සහ බරත් අඩු කරගන්නට හැකිවේවි. SSDවල ආයු කාලය වැඩි කරගන්නා හැටි ගැන අපි ගෙන ආ ලිපියත් අතහරින්න එපා.

ටැබ්ලට් ගන්නා අය සැලකිලිමත් විය යුත්තේ ඊට මතකපතක් (මෙමරි කාඩ් එකක්) දාන්න පුළුවන් ද යන්න පමණයි. ටැබ් එකකින් හුදෙක් ලිපි ගොනු සැකසීම පමණක් ඔබ සිදුකරන නිසා Google Docs ප්‍රමාණවත් වන අතර ඉන් වෙනත් වදන් සකසු ඇප් එකක් මිලදී ගන්නට යන මුදල ඉතිරි වෙනවා. Google Docs පාවිච්චි කරන ආකාරය ගැන ලිපි මාලාවක් මේ දිනවල Roar ටෙක් හරහා ඔබ වෙත ලැබෙනවා.

මේ කාලයේ බාහිර ආටෝපයට වියදම් කරන්න ඕනද?

ටැබ් එකට කීබෝඩ් එක සවිකළාමත් ලැප් එක වගේම තමයි (ytimg.com)

බොහෝවිට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත ලැප්ටොප්වල DOS පමණක් හෝ උබුන්ටු ස්ථාපිත ලැප්ටොප්වලට වඩා මිල වැඩියි. ඉතින් මෙහෙයුම් පද්ධතියක් වෙනුවෙන් මුදල් වැය කරන්නට සහ හොර කොපි භාවිතය නරක සහ භයානක වැඩක් නිසා උබුන්ටු භාවිත කරන්න හුරු වුණාම සාක්කුවයි, ආරක්ෂාවයි දෙකම ලැබෙනවා. ඒ වගේම PHP, Python වැනි වෙබ් සර්වර් ආශ්‍රිත කටයුතු කරන්නට බලාපොරොත්තු වන සිසුන්ට නම් කොහොමත් ලිනක්ස් මෙහෙයුම් පද්ධති භාවිතය අනිවාර්යයෙන් ම නිර්දේශ කරන්නට පුළුවන්. මොකද, ලොව වැඩිපුරම භාවිතා වෙන්නේ ලිනක්ස් සර්වර් නිසා ඔබ විසින් කේතිත වෙබ් අඩවියේ/මෘදුකාංගයේ අවසන් නිෂ්පාදිතය එය ධාවනය වන පරිගණක පරිසරයටම සමාන එකක ඔබ කේතකරණය සිදුකරීම ගැටළු හඳුනාගෙන වඩාත් හොඳ ප්‍රතිදානයක් ලබා දෙන්නට ඔබට සවිබලය සපයනවා.

පරිගණකයේ බාහිර පෙනුම සහ යාළුවන් අතර කැපී පෙනීම ගැන සලකලා අම්මලාට ගොඩක් සල්ලි තිබෙනවා නම් ඇපල් මැක් පරිගණකයක් ගත්තාට කමක් නැහැ. හැබැයි ඉතින් ඉගෙන ගන්න කාලයේ එතරම් එකක් අවශ්‍ය වෙන්නේ නැති බවයි අපේ අදහස. ඉතා හොඳ සවිබලැති පරිගණකයක් හැත්තෑ දහසකටත්, ටැබ් එකක් පනස් දහසකටත් පමණ ගත හැකිව තිබියදී ඊට වඩා අඩු පහසුකම් ඇති පිට පෙනුම ඇති එකකට මව්පියන්ගේ මුදල් වියදම් කරවන එක එතරම් යුතු නැහැ. ‘සිසුන් සඳහා’ ලෙස නම් කර ඇති වෙළඳපොළේ පරිගණක ඔබේ ශිෂ්‍යභාවය සහතික කිරීමෙන් පසු ඉහළ වට්ටම් සහිතව ලබා ගන්නට පුළුවන් නිසා ඉහත කී පරිදි ඔබේ අවශ්‍යතාවන්ට ගැලපෙන දේවල් එහි තිබෙනවා නම් සහ අවුරුදු දෙක තුනකට එය ප්‍රමාණවත් බව හැඟෙනවා නම් ඒ මිල අඩු කිරීමේ වාසි අතහැර ගන්නත් එපා.

ඉතින් මේ විධියට තමන්ට වඩාත් ම සුදුසු පරිගණකය තෝරාගෙන දෙමව්පියන්ටත් බරක් නොවී හුදෙක් තමන්ගේ දක්ෂතා ඔප් නංවා ගැනීම වෙනුවෙන් ඔබ අවධානය යොමු කළොත් එය අනිවාර්යයෙන් ම ආයෝජනයක් බවට පත්වේවි. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

කවරයේ ඡායාරූපය: androidcentral.com

Related Articles