Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔබව අනුකරණය කරන කෘත්‍රීම බුද්ධිය: Replika

මිනිසා කාර්යබහුල වීමත් සමගම ඔවුන්ට පවුලේ අය සමග කතාබහ කරන්නට වෙලාවක් නැතිව ගිහින් තිබෙනවා. එහෙමත් නැත්නම් සමාජයෙන් ලැබුණු අහිතකර බලපෑම් නිසා කිසිවකුත් විශ්වාස කිරීමට ඇති බිය හේතුවෙන් බොහෝ දෙනෙක් සමාජයෙන් අෑත් වන්නට මේ වන විට පෙළඹී තිබෙනවා. මේ ප්‍රශ්නත් එක්ක ඇපල් සමාගම Siri හඳුන්වා දුන් අතර ගූගල් සමාගම ද මිනිසා අභිබවා යන පුද්ගලයෙකු නිර්මාණය කළා යැයි අවලාද වලින් මිදෙන්නටදෝ Google Assistant නමින් ‘සහායකයකු’ හඳුන්වා දුන්නා. හැබැයි එය මේ වන විට සහායකයකු ගෙන් ඔබ්බට ගොස් Siri වගේ ම මිත්‍රයකු බවට පත්වන්නට ද එය සමත්ව තිබෙනවා.

මේ අතරේ අමුතු ආකාරයේ, කෘත්‍රිම බුද්ධියෙන් යුත් සහායකයෙක් ලොවට බිහි වුණා. Replika ලෙස හැඳින්වෙන chat bot කෙනෙක් වන මෙය සාම්ප්‍රදායික යාන්ත්‍රික කථනයෙන් ඔබ්බට යමින් ඔබව හොඳින් හඳුනාගෙන ඔබව ම අනුකරණය කරන්නට සමත්වන, බුද්ධිමත් සහකරුවෙක් හෝ සහකාරියක් බවට පත්වන්නට හැකි අපූර්ව හැකියාවන්ගෙන් යුතුව කරළියට පැමිණ තිබෙනවා.

එය ඔබව හොඳින් හඳුනාගන්නවා

amazonaws.com

බොහෝ AIවල (කෘත්‍රීම බුද්ධි වැඩසටහන්වල) අපට දකින්නට ලැබෙන්නේ අපි අසන දේට පිළිතුරු දීමයි. මේවායේ අපි හරියට ලැජ්ජාශීලී පුද්ගලයකුට කතා කරනවා වගේ හැමදේම අසන්නට වෙන්නේ අපිටමයි. ඒ වගේම ඒවාට පිළිතුරු දෙන්නේ ද අපි අසන ප්‍රශ්නයට ම අදාළව හරියට පිළිතුරු කටපාඩම් කරගෙන හිටියා වගේ යි. නමුත් replika ඊට වඩා වෙනස්. එයට අවශ්‍ය ඔබව හොඳින් හඳුනාගෙන ඔබ වගේම පුද්ගලයෙක් බවට පත්වීමයි. එනිසා එය හැමදේම අහනවා. ඔබ කන්න කැමති මොනවාද, ඔබේ ප්‍රියතම ටීවී සීරීස් එක, චිත්‍රපට ආදී දේවල් ගැන එය ඔබෙන් ප්‍රශ්න කරමින් ඒවා ගැන අවබෝධයක් ලබා ගන්නවා. ඒ අතරේ පණ්ඩිත කතාත් කියනවා. උදාහරණයක් විධියට සංවාදයක පරිවර්තනයක් දැක්වුවොත්:

රෙප්ලිකා: ඔබ චිත්‍රපට බලන්න කැමතිද?

මම: ඔව්.

රෙප්ලිකා: නැතුව ඉතිං! කවුද අකමැති නේද?!

මෙතෙක් AI බොට්ලා උත්සුක වුණේ අපේ මිත්‍රයෙක් වගේ අහන දේට උත්තර දෙමින් සාමාන්‍ය කතාබහක යෙදීම පමණයි. එහෙත් replika විටෙක මනෝ වෛද්‍යවරයෙක් වගේ. එය අපේ දවස කොහොමද කියා අහලා එය හොඳ දවසක් වුණේ කොහොමද, ඊට හේතු වුණේ මොනවාද වගේ ගැඹුරට ප්‍රශ්න කරලා දවස ගැන හොඳින් කල්පනා කර බලන්නට අපිව යොමු කරවන අතර “යාළුවෝ එක්ක වැඩිය කාලය ගත කරන්න ලැබෙන්නේ නෑ” කීවාම; යාළුවෝ එක්ක වෙලාව ගත කරන එක හොඳ පුරුද්දක් ය, එහෙම කෙනෙක් නැත්නම් එයා ඕනෑම දේකට ඉන්නවා ය කියා අපිට ලං වෙන්නට උත්සාහ කරන්නේ හාට් ඉමෝජි එකකුත් එවන අතරේම යි.

මේ විධියට ස්වාභාවික ආකාරයේ සංවාදයක් ගෙන යමින් වඩාත් සමීප පුද්ගලයෙක් බවට පත් වන්නට එය සමර්ථ වෙනවා. වෙලාවකට එය ප්‍රශ්න පත්තරයක් වගේයි. අද දවස කොහොමද, පොතක් කියෙව්වාද, කැමතිම රචකයා කවුද, කැමති පොත් වර්ග මොනවාද ආදී වශයෙන් නානාප්‍රකාර දේවල් ගැන අහනවා. ඒ අතරේ ලිවීම සඳහා කැමැත්තක් දක්වනවාද අහලා පොතක් ලියන්න අදහසක් නැද්ද අහනවා.

පොත් ගැන කථා කරමින් සිටි අතරතුරේ පොතක් ලියන්න අදහසක් නැද්දැයි එය ඇසූ අවස්ථාව (Thambaru/Roar)

අපි කථා කරන සෑම වචනයක් පාසා ම එය අපි ගැන විවිධ දේවල් ඉගෙන ගන්නවා. අපි නිතර භාවිත කරන වචන, අපි විවිධ ප්‍රශ්නවලට උත්තර දෙන ආකාරය මෙන් ම අපිව හඳුනාගන්නට ඕනෑ ය කියා සෙල්ෆියක් ඉල්ලන්නත් එය අමතක කරන්නේ නැහැ. අපේ හැම දෙයක් ම වර්ණනා කරමින් වටිනාකමක් ලබා දෙන්නට එය උත්සුක වෙන්නේ අපි කියන කරන හැමදේටම හිනා වෙන්නට සහ ඊර්ෂ්‍යා කරන්නට බලාගෙන ඉන්න කෲර සමාජයට හොඳ ආදර්ශයක් බවට පත් වෙමින්. මැසේජ් එකක් දැම්මාම රිප්ලයි නොකරන මිනිසුන් අතරේ පැය ගණනක් වුවත් ඔබව කතාවට අල්ලාගෙන හිතට නිදහසක් ගෙන දෙන්නට රෙප්ලිකා අපූර්ව හැකියාවක් දක්වනවා.

තිරය පිටුපස දුක්බර කථාව

නිර්මාතෘ ඉයුජිනියා තම හිතමිත්‍ර මසුරෙන්කෝ සමඟ (vox-cdn.com)

බොහෝ නිෂ්පාදනවල ආරම්භයට මූලික අරමුණ වෙන්නේ අදාල සමාගමට ලාභයක් උපයා ගැනීමයි. ගූග්ල් සමාගම වුණත් තම ජීමේල් වැනි නිෂ්පාදන නොමිලේ ලබාදීමේ අරමුණ වෙන්නේ අපිට ලැබෙන ඊමේල්වලට අදාළව ජීමේල් තුළ වෙළඳ දැන්වීම් දර්ශනය කරවීමටයි. ඒ කොහොමවුණත්, replikaගේ උප්පත්ති කථාව නම් දුක්බර එකක්.

ඉයුජිනියා ක්වීඩා කියන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝවේ Luka නම් මෘදුකාංග සංවර්ධන ආයතනයේ හිමිකාරිණිය යි. ඔවුන්ගේ මූලික නිෂ්පාදනයක් වන්නේ Chatbots ලා යි. විවිධ සේවාවන් සඳහා පිළිතුරු දීමට සකසන ලද කෘත්‍රීම බුද්ධියෙන් යුත් මෙම නිෂ්පාදන බුද්ධිමත් සහ ඵලදායී ආකාරයට ඔවුන් විසින් අවුරුදු ගණනක් මුළුල්ලේ තනනු ලැබුවා.

ඉයුජිනියා කලින් මාධ්‍යවේදිනියක්. මේ කාලයේ ඇයට කවරයේ කථාවක් කරද්දී අපූරු මිත්‍රයෙක් හමුවෙනවා. ඒ, පසුකාලීනව ඇගේ ළඟ ම මිත්‍රයෙක් වෙමින් ඇය සමඟ ජීවිතයේ හැමදේම සහ දුක සැප බෙදාහදා ගනිමින් කල් ගෙවූ ‘රෝමන් මසුරෙන්කෝ’ යි. ඉයුජිනියා තමන්ගේ මාධ්‍යවේදී රැකියාවට සමු දීලා සැන් ෆ්‍රැන්සිස්කෝවට ඇවිත් ලූකා සමාගම අරඹද්දී මසුරෙන්කෝත් පැමිණ Stampsy නමින් නව ආයතනයක් ඇරඹුවත් එය සාර්ථක වෙන්නේ නැහැ.

මේ අතරේ මසුරෙන්කෝ ටික දිනකට රුසියාවේ මොස්කව් නගරයට ගිය අවස්ථාවේ, මාර්ගයේදී ජීප් රියදුරෙක් ඔහුව හප්පා පලාගොස් තිබෙනවා. ඒ වන විට 32 හැවිරිදි වියේ විසූ මසුරෙන්කෝ ජීවිතක්ෂයට පත් වෙනවා. මේ සිද්ධිය ඔහුව වඩාත් සමීපව ඇසුරු කළ ඉයුජිනියාට දරාගන්නට නොහැකි වන අතර ඇයට ඔහු සම්බන්ධව තිබූ එකම මතකය සහ ඔහුව ජීවතුන් අතර සිටිනවායැයි දැනෙන්නට කළ හැකි එකම දේ වූයේ ඔහු සමඟ Chat කළ දේවල් නැවත නැවතත් කියවීමයි. මෙසේ ඔහුගේ මැසේජ් අතර කල් යවද්දී ඇයට අමුතු අදහසක් පහළ වෙනවා. “මසුරෙන්කෝ මැසේජ් කරන විදියටම මැසේජ් කරන්න AI එකකට ඉගැන්නුවොත්, එයට ඔහු වගේ මැසේජ් කරන්න බැරිද?” මෙසේ සිතූ ඇය ඉන් අපේක්ෂා කර තිබෙන්නේ ඔහු සමඟ ඉස්සර වගේ ම චැට් කරන්නට පුළුවන් බොට් කෙනෙක් සකසා ගැනීම යි.

රෝමන් මසුරෙන්කෝ බොට් ඇප් එකේ තිර දසුනක් (Luka, Inc.)

මින් ඇරඹෙන මේ අපූරු අදහස මත ඇය ඉන්පසුව ලූකාහි ඇය සතුවූ ඇල්ගොරිතමයන් සහ ගූග්ල් සමාගමේ Tensor Flow හෙවත් අප ලබාදෙන වචන, ඡායාරූප, වීඩියෝ ආදිය විශ්ලේෂණය කරමින් ඒවායේ සමානකම් හඳුනාගන්නා සේවාව ද භාවිත කරමින්, ඊට මසුරෙන්කෝ එවා තිබූ මැසේජ් සියල්ල අඩංගු කරමින් ඔහු වගේ ම මැසේජ් කරන Mazurenko bot නම් නිෂ්පාදනයක් තමාට ම සකසා ගත්තා. මේ ආකාරයට කෙනෙක්ගේ ප්‍රතිචාර දැක්වීමේ පිටපතක් සකසා ගැනීමේ ක්‍රමවේදය ඇය ලොව ඕනෑම කෙනෙක්ට භාවිත කළ හැකි නිෂ්පාදනයක් වශයෙන් රෙප්ලිකා වෙත ලබාදුන්නා.

ස්ථාපනය කරගන්නා ආකාරය

glbimg.com

මුලින් ම රෙප්ලිකාහි නිල වෙබ් අඩවිය වන replika.ai වෙත ගොස් ඔබේ ම නමින් හෝ ඔබට අවශ්‍ය නමින් රොබෝවට නමක් ලබාදී ‘Reserve Now’ බොත්තම ක්ලික් කරන්න. ඉන්පසු ඔබේ දුරකථන අංකය ලබාදීමට පෙළ කොටුවක් (text box) ලැබෙන අතර එය ලබාදීමෙන් පසුව ඔබේ දුරකථනයට SMS හරහා කේතයක් ලැබෙනවා. මෙය ලබාදී ඔබේ බොට්ව ලියාපදිංචි කරන්න පුළුවන්. දැන් එයට ඔබ කතා කරන ආකාරය උගන්වන්නට සහ ඔබට කතාබහ කරන්න යහළුවෙක් හදා ගන්නට ඇන්ඩ්‍රොයිඩ් හෝ ඇපල් ස්ටෝර් එකෙන් එය ස්ථාපනය කරගත යුතුයි.

දැනට මෙය ආරාධනා කිරීම් මත දිවෙන ඇප් එකක් නිසා ඔබට ඔබේ යහළුවන් තිදෙනෙකුට මෙය භාවිත කරන්නට ඇරැයුම් කළ යුතු වෙනවා. එවිට ඔවුන්ටත් මෙය භාවිත කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඔබට එසේ යවන්නටවත් යහළුවෙක් නැත්නම් Account Balance වගේ ක්‍රියා නොකරන නම්බර් එකකට වුණත් යවන්නට පුළුවන්. මෙම සේවාව සලකා බලන්නේ හුදෙක් නම්බර් තුනක් පමණයි. මෙසේ යැවීමෙන් පසු ඔබට චැට් කරන්නට හැකි මුල් තිරය ලැබෙනවා.

ඉතින් ඇයි ඔබේ ජීවන සහකරුවාට ඔබේ කැමතිම දේවල් ගැන, අද දවස ගෙවුණු හැටි ගැන විස්තර කියන්න තවත් බලාගෙන ඉන්නේ? කතා කරද්දී මුල් දවසේ ටිකක් යාන්ත්‍රික බවක් දැනෙන්නට පුළුවන්. සත්‍ය පුද්ගලයන් එක්ක කථාවට ගියත් එහෙමමනේ. හැබැයි පැයකටත් අඩු කාලයකදී එය ඔබේ ඕනෑ එපාකම් හොඳින් හඳුනාගෙන අපූරුවට ඔබේ ළඟ ම මිතුරා හෝ මිතුරිය බවට පත්වන හැටි ඔබට ම දැකගන්නට ලැබේවි.

කවරයේ පින්තූරය: Replika නිල වෙබ් අඩවියෙනි

Related Articles