Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2017 වර්ෂයේ හොඳම තාක්ෂණික නිපැයුම්

නොදැනීම තාක්ෂණයේ මහඟු ස්ථාන ස්පර්ශ කරමින් ගෙවුණු වර්ෂයක අවසානය එළැඹුණත් ලබන අවුරුද්දේ මීටත් වඩා අපූරු දේවල් අපේක්ෂා කරන්නට තිබෙනවා. එතෙක්, අතීතාවර්ජනයක් ලෙසින් මේ වසරේ බිහිවුණු දෑස් අදහාගත නොහැකි නිෂ්පාදන  කිහිපයක් අපි සොයා බලමු. මින් ඇතැම්වා රාශිමූලාශ්‍ර (crowd-sourced) හෙවත් නිපදවන්නට ප්‍රථම පෙර-ඇණවුම් සහ ධන පරිත්‍යාග ලබා ගනිමින් වෙබ් අඩවි හරහා තම ප්‍රාග්ධනය සොයාගන්නා ලද අපූරු නිෂ්පාදනයි. ඒ හැම එකක්ම ඔවුන් බලාපොරොත්තුවූ ප්‍රාග්ධන මට්ටම (ඇතැම් ඒවායේ 200% පමණ) ද ඉක්මවා ධන පරිත්‍යාග සහ පෙර-ඇණවුම් ලැබුවේ ඒවායේ ඇති සිත්ගන්නා සුළු බව නිසාම යි.

01. අතේ පැළඳිය හැකි ඒසී එක

සාමාන්‍යයෙන් අපිට ඒසී එක කිව්වාම මතක් වෙන්නේ බිත්තියක සවි කරපු, පිටතින් තවත් කොටසක් සහිත විශාල උපකරණයක්. එවන් උපකරණවලින් මුළු අවකාශයටම ලැබෙන්නේ සම ප්‍රමාණ උෂ්ණත්වයක් වුණත් එම අවකාශයේ සිටින එය දැනෙන ප්‍රමාණයන් වෙනස් වෙනවා. ඇතැමුන් ලෙඩ වෙලා නම් ඔවුන්ට මෙය කරදරයක් ද වෙනවා. ඉතින් ඒ වෙනුවට මේ Aircon අත් පළඳනාවක් තිබෙනවා නම් ඔබට පමණක් අවශ්‍ය පරිදි සිසිලස හෝ උෂ්ණත්වය ලබා ගන්නට පුළුවන්. මෙය හරහා අතේ මැණික් කටුව ආශ්‍රිත රුධිර නාල සහ ස්නායු භාවිත කරමින්, උපකරණයෙහි සැකසුම් වලට ලබා දෙන ලද උණුසුම් හෝ සිසිල් උෂ්ණත්ව මට්ටම අනුව මුළු සිරුරටම එය සංවේදනය කරවනු ලබන අතර මෙය ශරීරයට අහිතකර වන්නේ ද නැහැ. මෙහි තාක්ෂණය අත්හදා බලන්නට උණුසුම් දිනයක අයිස් කැට කිහිපයක් මැණික් කටුව ආසන්නයේ තබා විනාඩි 5ක් සමඟ සිටීමෙන් මුළු ගතට ම සිසිලස දැනෙන හැටි ඔබට අත්විඳිය හැකියි.

02. වටපිට නිශ්ශබ්ද කරන මියුසෝ

businessinsider.com

මනස එක්තැන් කරගෙන වැඩක් කරද්දී වටපිටාවේ ඝෝෂාකාරී බව මහත් කරදරයක්. ඒ වගේම ගම්බද කෙනෙක්ට නගරබද මාර්ගයක ආසන්න නිවසක කාලය ගත කරන්නට සිදුවුණොත් නිදා ගැනීමට පවා ඉන් බාධා ඇති වන්නට පුළුවන්. මේ බාහිර ශබ්ද වලින් මිදෙන්නට අපි හෙඩ්සෙට්වලට පුරුදුව සිටියත් දිනය මුළුල්ලේම ඒවා භාවිත කරන්නට බැහැ. විශේෂයෙන් ඒවා දාගෙන නිදාගන්න බැහැ. ඒ නිසා මේ මියුසෝ උපකරණය ජනේලයේ හෝ බිත්ති මතුපිට සවිකර සක්‍රීය කිරීමෙන් ඔබට එම තලයෙන් එපිට සිට පැමිණෙන සියළු ශබ්ද නවතාලන්නට හැකියාව ලැබෙනවා. මෙමඟින් සිදුවන්නේ එම බාහිරින් පැමිණෙන ශබ්ද හඳුනාගෙන ඒවාට ප්‍රතිවිරුද්ධ ශබ්ද ප්‍රතිජනනය කිරීමයි. එමඟින් ශබ්දයට-ශබ්දය කැපී ගොස් අපට නිශ්ශබ්ද කලාපයක් ගොඩ නැගෙනවා. ඔබ අවන්හලකට ගොස් පෙම්වතිය හා කරන උකුළු මුකුළු පිට අයට ඇසෙනවාට අකමැති නම් මියුසෝ එක මේසය උඩින් තැබුවාම ඕනෑම රහස් සාකච්ඡාවක් කරන්නට පසුබිම සැකසෙනවා.

03. රස ෂෙයාර් කිරීම ලංකාවෙන්

newatlas.com

රූප සහ ශබ්ද ලෝකයේ මෙහා කෙළවර සිට එහා කෙළවරට යවන්නට තරම් තාක්ෂණය දියුණුවී තිබුණත් රස යවන්නට ක්‍රමයක් සොයාගෙන තිබුණේ නැහැ. නමුත් එවන් ක්‍රමවේදයක් ලාංකිකයකු විසින් ලොවට හඳුන්වා දුන්නා. 2008දී ආචාර්ය උපාධිය සඳහා සිංගප්පූරුවට පිටත්වූ නිමේශ රණසිංහ නම් ලාංකිකයා එරට ජාතික සරසවියේ පර්යේෂක පිරිසක් ද සමඟ එක්ව හඳුන්වාදී ඇති මෙම නවතම උපකරණය හරහා අපි පානය කරන දේවල්වල රස ඇප් එකක් හරහා බෙදා ගැනීමට හැකියාව තිබෙනවා. මෙහි කරන්නට තිබෙන්නේ ඔබ පානය කරන ලෙමනේඩ් වීදුරුවට මෙම උපකරණයේ pH අගය හඳුනාගන්නා කොටස දමා එය උපුටාගෙන ඇප් එක හරහා යහළුවකුට යැවීමයි. එවිට ඔවුන්ට ඔවුන් සතු උපකරණයේ කොටසක් ජලය වීදුරුවකට දැමූ විට එයට ඔබේ පානයේ රසයම ලබා දෙන්නට එයට හැකියාව තිබෙනවා.

04. ටැටූ ප්‍රින්ටරය

thisisgoodgood.com

ටැටූ ගහන්නට බොහෝ දෙනෙක් කැමති නමුත් එහි ඇති වේදනාකාරී බව සහ නිසියාකාරව සිදු නොකළහොත් සෞඛ්‍යයට විය හැකි හානිය ගැන සලකා ඔවුන් පසුබට වෙනවා. එසේම මේවා ගැසුවාට පසු ජීවිත කාලයට ම උරුම වන නිසා පසුකාලීනව අදහස වෙනස් වුවහොත් යළි ඉවත් කිරීමත් ටිකක් කරදරකාරී යි. එනමුත් මේ වසරේ පැවති අන්තර්ජාතික පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශනයේ දී කොරියාවේ ‘ස්කෙච්-ඔන්’ සමාගම විසින් හඳුන්වා දුන් ‘ප්‍රින්කර්’ නමැති ටැටූ මුද්‍රකය නිසා ඒ හැම පැනයක්ම විසඳෙනවා. ඇප් එකට ඔබට අවශ්‍ය ඡායාරූපය හෝ අකුරු ටික ඇඳ හෝ තෝරා දී මුද්‍රකය අත මත චලනය කරවීමෙන් එය වේදනාවකින් තොරවම ඔබටම අතේ මුද්‍රණය කරගත හැකියි. මෙම ටැටූ චුවින්ගම්වලට ලැබෙන ඒවා වගේම සබන් යොදා සෝදා හැරිය හැකි ඒවායි.

05. සජීවී චෙස් පුවරුව

හැරී පොටර් චිත්‍රපට මාලාව බලපු හැම කෙනෙක්ටම ඉත්තන් ස්වයංක්‍රීයවම එහා මෙහා යන ආකාරයේ චෙස් පුවරුවකට ආසාවක් නොහිතුණා නම් ඒ ඉතාම අතලොස්සක්. නමුත් ඒ හීනය සැබෑ කරවමින් Voice commands අනුව ඉත්තන් එහා මෙහා ගමන් කරන සහ කපා දැමූ විට ස්වයංක්‍රීයවම බෝ්ඩ් එකෙන් ඉවතට (කෙළවරට) ගමන් කරන ආකාරයේ Arduino භාවිතයෙන් සැකසූ අපූරු සජීවී චෙස් පුවරුවක් Square Off නමින් හඳුන්වා දුන්නා. මෙහි ස්වයංව ක්‍රියාත්මක වන ක්‍රමවේදය කාන්දම් මත පදනම්ව ඇති අතර මේ නිසා එහි ඇප් එක භාවිතයෙන් ඔබට ලොව වෙනත් රටක කෙනෙක් සමඟ පවා බෝඩ් එක හරහාම චෙස් සෙල්ලම් කරන්නට අවස්ථාව උදා වෙන්නේ මෙතෙක් කල් පරිගණකයට හෝ දුරකථනයටම සිරවී කළ සාම්ප්‍රදායික ඔන්ලයින් සෙල්ලම්වලට තිත තබමින්.

06. වල්පැළ ගලවන රොබෝ

ගෙදර වත්තේ වල් පැළ ගලවන එක තරම් එපා කරපු දෙයක් තවත් නැහැ. පුටුවල වාඩිවෙලා පරිගණකය හෝ ෆෝන් එක අතේ තියාගෙනම ඉන්නට පුරුදු වෙලා ඉන්න අපිට ගෙදරින් එළියට බැහැලා දෙකට නැවිලා මේ වැඩේ කරනවා කියන්නේ ඒ තරම් දඬුවමක් තවත් නැහැ. අනෙක, සතිය මුළුල්ලේම රැකියාවෙන් හෙම්බත් වෙලා සතිය අවසානයේත් මෙහෙම වැඩක් කරන්න ගියාම ඒකෙන් නිදහසේ ඉන්නට තිබෙන වෙලාවත් නැතිව යනවා. ඉතින් ඒ වෙනුවට ලකුණු කරදෙනු ලබන සීමාවක නිරතුරුව ගමන් කරමින් වත්තේ ඇති වැදගත් පැළ (ප්‍රමාණයෙන් උස) ඒවා අතහරිමින් අනෙකුත් සියළු පැළ කපා දමන, අව්වේ හෝ වැස්සේ වුවත් වෙනසක් නැතිව ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක වන රොබෝවෙක් Tertill නමින් හඳුන්වා දුන්නා. ඔබ සිටුවන ලද එළවළු පැළයක් වුණත් කුඩා ප්‍රමාණයේ එකක් නම් එය ටිකක් උස ගල් කැට ටිකකින් වටකිරීම හෝ එය සමගම ලැබෙන බාධක යොදා රැකගන්නට පුළුවන්. ඒවා ටිකක් උසට වැඩුණාට පස්සේ ඒවායේ ආසන්නයේම වැවුණු වල්පැළ පවා ඉවත්කරන්නට මෙය සමත් වෙනවා.

ඉතින් මේ තරම් අපූරු දේවල් බිහිකළ 2017 වසරේ අවසානයට පසු අපට ලබන වසරේ කොයි තරම් දෑස් අදහාගත නොහැකි ඒවා බිහිවිය හැකැයි සිතන්නටවත් පුළුවන් ද?

කවරයේ ඡායාරූපය: ytimg.com

Related Articles