Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔබේ දුරකතනය කෙනෙක් සොරාගත්තොත් කළ යුතු දේ

අද කාලය වන විට දුරකතනය කියන්නේ අපේ ජීවිතයටත් වඩා වටිනා දෙයක් බවට පත්වෙලා. අපේ සියළුම ඡායාරූප, ලිපිගොනු, දුරකතන අංක, ජීමේල්, ෆේස්බුක් ආදී ගිණුම් ආදී හැම එකක්ම පාහේ දුරකතනය අන්සතු වුවහොත් අපෙන් සම්පූර්ණයෙන්ම ගිලිහී යනවා. ඒ වගේම ලොකු ගාණක් එකතු කරලා ගත්ත දුරකතනය එකවරම තමන්ගෙන් නැතිවෙලා යනවා කියන්නේ ඇඟෙන් ඇටයක් යනවා වගේ දරාගන්න බැරි දෙයක්. ඊටත් වඩා එහි තිබුණු වටිනා දත්ත අන්සතු වෙලා ඔබේ මුළු ප්‍රතිරූපයම ඉන් විනාශයට යාම වෙනස් කළ නොහැකි පාඩුවක්. එම නිසා දුරකතනය නැතිවුවහොත් කළ යුතු දේවල් දැන සිටීම ඉතාම වැදගත් වෙනවා.

ළඟපාත සොයා බලන්න

soulpreaching.com

දුරකතනය ඔබේ සාක්කුවේ නැහැ කියලා අතදාලා බලපුවම තරු විසිවෙන තත්ත්වයට පත් වුනාට ඇතැම් විට ඔබේ බෑගයේම හෝ ඔබ අවසන් වරට සිටපු ස්ථානයේ තිබෙන වන්නට පුළුවන්. මේ නිසා වැඩි කලබලයක් කරන්නට කලින් ඔබ අවසානයට සිටියේ ස්ථාන වෙත ගොස් පරීක්ෂාකර බැලීම සිදු කළ හැකියි. ඒ වගේම ඔබ හොඳම මිතුරන් සමග කාලය ගත කරපු අවස්ථාවක් නම් ඔබ ළඟ දුරකතනය නැහැ කියන්නේ අනිවාර්යයෙන්ම එය ඔවුන් විසින් කළ දෙයක් වන්නටත් පුළුවන්. එම නිසා හොඳම යහළුවා සොයාගෙන ඔවුන්ගෙන් ඒ ගැන විමසීමට ද අමතක කරන්න එපා. ඔබ නිවසින් බැහැරට පැමිණ දුරකතනය ඔබ ගෙන ආවා වගේ මතකයක් තිබුණත් ඇතැම්විට ඔබේ නිවසේ ම තිබෙන්නට ද පුළුවන්. වෙනත් දුරකතනයකින් වහාම ඔබේ දුරකතනයට ඇමතුම් ගැනීම මගින් එය සොයාගැනීම වඩාත් පහසු කර ගත හැකියි.

මේ දේවල් නිසි ආකාරව සොයා බලා තහවුරු වූ පසු ඔබට ඊට වඩා ඉදිරි පියවරක් වෙත ගමන් කරන්නට පුළුවන්. එසේ නොකොට එකවරම පොලිසියට පැමිණිලි කිරීමෙන් සිදුවන්නේ ඔවුන්ගේ රාජකාරි වැඩි වීමක් සහ ඔබට බැණුම් ගොන්නක් අහගන්නට සිදුවීම පමණයි.

දුරකතනය තිබෙන ස්ථානය සොයාගන්න‍

androidpolice.com

දුරකතනය තිබෙන ස්ථානය බලා ගැනීම සඳහා ඇන්ඩ්‍රොයිඩ්වලට ගූග්ල් සමාගමත් iOS සඳහා ඇපල් සමාගමත් තම මෙහෙයුම් පද්ධතිය හරහාම සහාය ලබාදී තිබෙනවා. මීට අමතරව එහි ක්‍රියාකාරීත්වය වර්ධනය කර ගන්නට වෙනත් තෙවන පාර්ශවීය සේවා/ඇප්ස් භාවිත කරන්නටත් පුළුවන්. එනමුත් දුරකතනය නැතිවන අවස්ථාව වන විට ඔබ ඒ ගැන කල්පනාකාරී වී නොතිබුණා නම් මෙහෙයුම් පද්ධතිය සමඟ ලැබෙන පහසුකම භාවිතා කිරීමට හැකියාව තිබෙනවා. නමුත් ඒ සඳහා ඔබේ දුරකතනය අන්තර්ජාලයට සම්බන්ධවී GPS සක්‍රීය කොට තිබිය යුතු වෙනවා. එනම්, දුරකතනය සොරාගත් කෙනා එය ක්‍රියා විරහිත නොකළා නම් ඔබ තවමත් ප්‍රමාද නැහැ. මෙම සේවාවන්ට පරිගණකයකින් පිවිසී ඔබට දුරකතනයෙන් එළාම් එකක් නාද කරන්නට, ලොක් කරන්නට සහ සියළුම දත්ත මකා දමන්නට අවස්ථාව තිබෙනවා.

මේ සඳහා ඇන්ඩ්‍රොයිඩ් භාවිත කරන අයට ගූග්ල්හි Find My Device සේවාවත්, ඇපල් අයට Find My iPhone, iPad යන සේවාවත් භාවිත කළ හැකියි.

TRCSL එකට දැනුම් දෙන්න

fbcdn.net

දුරකතනය නැතිවූ වහාම කරන්න ඕනේ TRCSL හෙවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට දැනුම් දීමයි. එවිට ඔබේ දුරකතනය තිබෙන ස්ථානය එහි සිග්නල් ග්‍රහණය කරගත් ටවර් එක සහ ගන්නා/ලැබෙන ඇමතුම් අනුව සොයා ගැනීමට හැකියාව ලැබෙනවා. නමුත් මෙය සිදුකිරීමට ප්‍රථම ඔබට පොලිසිය දමන ලද පැමිණිල්ලක පිටපතක් ලබා ගැනීමට සිදු වෙනවා මේ නිසා ප්‍රථමයෙන්ම ඔබගේ දුරකතනය නැති වූ ප්‍රදේශයේ පොලිසියට ගොස් පැමිණිල්ලක් සටහන් කරවාගන්න. මෙය සිදු කිරීමේදී ඔබට පහත සඳහන් දේවල් අවශ්‍ය විය හැකියි.

  • හැඳුනුම්පත
  • දුරකතනයේ IMEI අංකය
  • දුරකතනය මිලදී ගත් බිල්පත

මෙම අනන්‍යතාවය තහවුරුකිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරියෙක් විසින් ඔබේ පැමිණිල්ල සටහන් කරගනු ලබාවි. මෙම IMEI අංකය ඔබට දුරකතනයේ පෙට්ටියේ මෙන් ම බිල්පතෙන් සොයා ගැනීමට හැකිවේවි. පැමිණිල්ල සටහන් කරගැනීමේදී දුරකතනය නැතිවූ ස්ථානය, නැතිවූ ආකාරය ආදී තොරතුරු රැසක් ඔබට නිවැරදිව ලබාදීමට සිදු වේවි. පැමිණිල්ල සටහන් කිරීමෙන් පසු එහි පිටපතක් ලබා ගන්නට සහ පිටපත සහතික කරගැනීමට ඔබට ගෙවීමක් සහ ටිකක් වැඩිපුර කාලය මිඩංගු කිරීමට ද සිදුවේවි. එය ලබා ගැනීමේදී මතක ඇතිවම පැමිණිල්ල සටහන් කරන ලද පොතේ සහ පැමිණිල්ලේ අංකය හරියටම අසා කොළයක ලියාගන්න. ඉන් අනතුරුව ඔවුන්ගෙන්ම ඔබට TRCSL වෙත පැමිණිල්ල යොමු කිරීමේ ආකෘති පත්‍රය ලබා ගැනීමට පුළුවන්. ඇතැම්විට එහි කොපියක් ලබා ගන්නවා වෙනුවට ඔරිජිනල් එක ගෙන ගොස් ඡායා පිටපත් කරලීමට ඔබට ම සිදු වන්නට පුළුවන්.

දුරකථන ඇසුරුමේ IMEI අංකය සටහන් කර ඇති අයුරු (gadgethacks.com)

එසේ ලබා ගන්නා ලද ෆෝර්ම් එකේ ඔබේ නැතිවූ දුරකතනයේ IMEI අංකය, වර්ගය, නිෂ්පාදිත සමාගම, ඔබේ සම්පූර්ණ නම, සම්බන්ධ කරගත හැකි වෙනත් දුරකථන අංක, එම නැතිවූ දුරකතනයේ තිබූ දුරකථන අංකය සහ පොලිස් පැමිණිලි අංකය ඇතුලත් කළ යුතු වෙනවා. ඉන්පසු ඔබ ලබාගත් පැමිණිලි පිටපත එයට අමුණා ‘ශ්‍රී ලංකා විදුලිසංදේශ නියාමන කොමිශන් සභාව, නො. 276, ඇල්විටිගල මාවත, කොළඹ 08’ යන ලිපිනයට තැපැල් කළ යුතුයි.

මෙසේ යවන ලද පැමිණිලි සියයට සියයක් ම සාර්ථක වන බවට අපේක්ෂා කරන්නට බැහැ. විශේෂයෙන් දුරකතනය සොරාගත් පුද්ගලයා එහි සිම්පතක් නොදා Wi-Fi හරහා එය භාවිත කළොත් හෝ කැබලි සඳහා අලෙවි කළහොත් TRCSL එකටවත් එය සොයා ගැනීමට හැකියාව ලැබනේනේ නැහැ. ප්‍රාර්ථනා කළ හැකි එකම දෙය නම්, එතරම් දැනුමක් නොමැති කෙනෙක් එය සොරාගෙන තිබිය යුතුයැයි යන්න පමණයි.

දුරකථන අංකය තාවකාලිකව අක්‍රීය කරන්න

පාරිභෝගික සේවා අංශය අමතන්න (salesforce.com)

ඔබේ දුරකථන අංකය යොදාගෙන හිංසාකාරී ඇමතුම් හෝ ඔබ දන්නා කියන අයට ඇමතුම්, කෙටි පණිවිඩ යවා ඔබේ ප්‍රතිරූපය විනාශ කරන්නට එය ලබා ගත් පුද්ගලයා කටයුතු කිරීමේ ඉහළ අවධානමක් පවතින නිසා දුරකථන අංකය තාවකාලිකව විසන්ධි කර දැමිය හැකියි. ඒ සඳහා ඔබේ දුරකථන සේවා සපයන්නාගේ hotline හෝ පාරිභෝගික සේවා අංකය අමතා පාරිභෝගික සේවා නිලධාරියෙකු සමඟ සම්බන්ධවී ඔවුන් ලවා ඔබට මෙය විනාඩි කිහිපයකදී කරගන්නට පුළුවන්. එනමුත් එයට පෙර ඔබ වෙනත් දුරකතනයකින් අමතමින් ඔබේ අංකය ක්‍රියා කරන්නේදැයි උත්සාහ කර බලන්න. සොරකම් කළ කෙනා එය Off කර නොතිබුණහොත් ඔබට එයට අමතා ඔබ පොලීසියට පැමිණිලි කර ඇති බව ඔවුන්ට දැනුම් දෙන්නට පුළුවන්. ඔබ නව දුරකතනයක් තාවකාලිකව මිලදී ගන්නවා නම් ඔබට පෙර අංකයම එයට කරදරයකින් තොරව ලබා ගැනීමට හැකිවන අතර එය ඇතැම් සමාගම්වලින් නොමිලේම හෝ සිම්පතක මිල අය කිරීමෙන් අනතුරුව ඔබට ලබා දෙනු ලබනවා.

පාස්වර්ඩ් මාරු කරන්න

tqn.com

ස්මාර්ට් දුරකථනවලට පෙර කාලයේදී නම් වැඩ කටයුතු එතැනින් අවසන් වූවත් ඔබ ජීමේල්, ෆේස්බුක්, ට්විටර්, ස්කයිප්, වන් ඩ්‍රයිව් ආදී සේවාවන් රැසකට දැන් දුරකතනය හරහාම සබැඳෙන නිසා ඒ සියල්ලේම අයිතිය ද දුරකතනය සමඟ ඔබට අහිමිව යාම සහ ඒවා අවභාවිතය නිසා ප්‍රතිරූපයට හානි සිදුවීම් සිදුවන්නට පුළුවන්. ෆෝන් එකට ලොක් එකක් දමා ඇතැයි කියා ඔබ මේ ගැන අවධානය යොමු නොකොට සිටීම එතරම් නුවණට හුරු නැහැ. විශේෂයෙන් ඔබ Pattern lock එකක් යොදා තිබෙනවා නම් තිරයේ ඇතිවන ඇඟිලි සලකුණු සටහන් හරහා එය ඔවුන්ට බලාගත හැකි වේවි. කිසිවක් නරක අතට හැරෙන්නට පෙර ඒවා වළක්වා ගන්නට ඔබ වහාම පරිගණකයකින් එම සේවාවන්ගේ වෙබ් අඩවි වෙත පිවිස මුරපද මාරු කළ යුතු අතර බොහෝ සේවාවන්වල ඔබ පිවිසී ඇති වෙනත් ස්ථානවලින් ස්වයංක්‍රීයවම Log out කරලීමේ පහසුකම ද ලබාදී තිබෙනවා.

ඉතින් මේ ආකාරයට ඔබේ නැතිවුණු දුරකතනය කෙසේ වෙතත් එහි තිබූ දත්ත අන්සතු නොවී ආරක්ෂා කරගන්නට ඔබට හැකියාව ලැබේවි. ඒ වගේම ඔබට වෙනත් කෙනෙක්ට අමතකවී ගිය දුරකතනයක් ලැබුණහොත් එය ඔවුන්ට ම ලැබෙන්නට කටයුතු කරනවා මිස අන්සතු දෙයක් ගැනීමෙන් ඔබ කරනා වරද පිළිබඳව ද වැටහීමක් ඇතිකර ගතහොත් කිසිවෙකුටත් සිතේ දුක හිරකරගෙන මේ සියලු දේ කරමින් කාලය සහ මුදල් නාස්ති කරගන්නට සිදුවෙන එකක් නැහැ.

කවරයේ ඡායාරූපය: mymutual.net

Related Articles