Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවට සැකසුණු Google Doodlesවල පසුබිම් කථා- 2013 සිට 2020

ලොව විවිධ රටවල්වල ඇති විශේෂ දිනයන් සමරමින් Google සමාගම Doodles නමින් තම ලෝගෝවට සැරසිල්ලක් එක් කරගනියි. එලෙස අපේ රට වෙනුවෙන්, මෙතෙක් කළ Doodles ගැන සවිස්තරව සලකා බලන්නයි මේ ලැහැස්තිය.

ලංකාවට ලැබුණු මුල්ම Doodle එක

ශ්‍රී ලංකාව වෙනුවෙන් සකසනු ලැබූ ප්‍රථම Doodle එක

ලොව විවිධ රටවලට Google ලැබෙමින් පවතිද්දී, ලොවටම පොදු ඒවා මෙරටට ද දර්ශනය වෙමින් පවතිද්දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ම සැකසුණු Doodle එකක් 2013 වන තුරු ම දක්නට නොලැබිණි.

2013 වස‍රේ පෙබරවාරි මාසය අබිමුව Google සමාගම වෙත ඉල්ලීමක් කෙරෙයි. ඒ, වෙනත් රටවලට සේ ම ශ්‍රී ලංකාවේ ද නිදහස් දිනය වෙනුවෙන් Doodle එකක් දේශීය වෙබ් පිටුවේ පළ කරන ලෙස යි. එය ඊමේල් එකක් හරහාත්, 2013 ජනවාරි 10 වන දා Google Forum එකක දීත් දැනුම් දෙන්නට කටයුතු කර තිබුණේ බුද්ධික නුවන් නම් ශ්‍රී ලාංකිකයෙකි. ඔහු Google සමාගමට උදාහරණයට ගත හැකි Design එකක් ද යැව්වේ ය.

ඉන් මසකටත් අඩු කාලයකට පසුව එළැඹුණු ජාතික නිදහස් දිනයේ දී Google සමාගම ශ්‍රී ලංකාව වෙනුවෙන් සැකසූ ප්‍රථම Doodle එක google.lk වෙබ් පිටුව මත ප්‍රදර්ශනය වූයේ ජාතිකාභිමානයෙන් ඇඟ කිළිපොලා දමමිනි. 

එහෙත්, ඉන්පසුව එළැඹුණු අපේ නිදහස් දින සැමරුම් Google සමාගමට අමතකව ගියේ ය.

2015 ලෝක ළමා දිනය

රටවල් තුනකට එකක්

ලොව විවිධ රටවල් ‍ළමා දිනය විවිධ දිනවල සමරනු ලබයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය එය නොවැම්බර් 20 ලෙස සලකන අතර කැනඩාව, නෙදර්ලන්තය, අරාබි රටවල්, ප්‍රංශය, ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් රැසක් ඊට සමගාමීව සමරයි.

ඉන්දියාවේ ළමා දිනය නොවැම්බර් 14 දා ය. ඇමරිකාව ජුනි මාසයේ දෙවැනියට එළැඹෙන සෙනසුරාදා දිනය තෝරාගෙන තිබේ. ශ්‍රී ලාංකික අප “ලෝක” ළමා දිනය ලෙස ඔක්තෝබර් පළමු වැනි දා තෝරාගෙන තිබෙන අතර, එල් සැල්වදෝරය සහ ගෝතමාලාව ද එදිනම සමරනු ලබයි.

අප ඇතුළු මෙම රටවල් තුන වෙනුවෙන් 2015 ඔක්තෝබර් 1 වැනි දා Google සමාගම Doodle එකක් ප්‍රදර්ශනය කළේ ය.

2015 ක්‍රිකට් ලෝක කුසලානය

මුල් අර්ධයේ ශ්‍රී ලංකාව නිරූපණය කර තිබේ

2015 වසරේ මාර්තු 18 දා ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටය ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්විණි. ඒ සඳහා දෙරට සඳහා ම Doodle එකක් යෙදුණු අතර, එහි Goo යන කොටසින් (බහු අර්ථ නොසලකනු) ශ්‍රී ලංකාවත්, ඉතිරියෙහි දකුණු අප්‍රිකාවත් නිරූපණය කර තිබිණි.

සිඩ්නි ක්‍රිකට් පිටියේ පැවති මෙම තරගයේ දී ලංකාව කාසියේ වාසිය දිනාගත්ත ද රැස් කර ගත හැකි වූයේ කඩුළු 10කට ලකුණු 133කි. දකුණු අප්‍රිකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 134ක් ලබා ‍ගනිමින් ජයගත් අතර, අපට තරගාවලියෙන් ඉවත් වන්නට සිදුවිණි. කුමාර සංගක්කාර සහ ළහිරු තිරිමාන්න එම තරගයේ දී දැක්වූ දස්කම් විශ්මිත විය. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඉම්රාන් තාහිර් තරගයේ වීරයා බවට පත් වූවේ ය.

2016 දී T20 තරගාවලියට 4ක්

ක්‍රිකට් ගැන කතා කරද්දී ලොව කිසිවකුටත් ශ්‍රී ලංකාව අමතක කළ නොහැකි ය. දැන් කෙසේවෙතත්, ලොව නම් දැරූ ස්වර්ණමය අතීතයක් අපට තිබේ. 2016 දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය T20 තරගාවලියේ සමාරම්භක උළෙල සනිටුහන් කිරීමත් සමග තරග සහිත දින 7ක දී මෙරටට Doodles දර්ශනය විණි. ඉන් Doodles 4ක් ම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ ය.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය

මාර්තු 17 වන දා පැවති ක්‍රිකට් තරගයේ දී Doodle එකෙහි ශ්‍රී ලංකාව නියෝජනය කරන පිත්ත ඇෆ්ගනිස්ථානයට ඉහළින් තබා තිබිණි. එහි පෙරනිමිත්තක් මෙන් අපට 153/7ට එරෙහිව 155/4ක් සනිටුහන් කරමින් එම තරගයේ ජයග්‍රහණය ද ලබා ගන්නට හැකි විය. තරගයේ වීරයා වූයේ තිලකරත්න ඩිල්ශාන් ය.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්ව

මාර්තු 20 වන දා බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවති තරගයේ දී ද Doodle එකෙහි ශ්‍රී ලංකාව ඉහළින් තබා තිබුණ එහි දිනුම අපට නොලැබිණි. මෙම තරගයේ දී ලකුණු 5ක පරාජයක් ශ්‍රී ලංකා පිලට අත් වූ අතර, ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා විශිෂ්ට දස්කම් දක්වන්නට සමත් විය.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය

මාර්තු 26 වන දා එංගලන්තය අතර පැවති තරගයේ දී ලකුණු 171ක ඉලක්කය හඹා යන්නට අපට නොහැකි විය. මැතිව්ස් සහ චාමර කපුගෙදර වැඩි ලකුණු ප්‍රමාණයක් රැසක් කර දුන් අතර, පිළිවෙලින් තිසර පෙරේරා සහ දසුන් ශානක ද ඉදිරියෙන් සිටියහ.

ශ්‍රී ලංකාව සහ ද. අප්‍රිකාව

මාර්තු 28 වන දා දකුණු අප්‍රිකාව අතර තරගයේ දී ද අපට ලකුණු 2කින් ජය කණුව මඟහැරී ගියේ ය. පිළිවෙලින් තිලකරත්න ඩිල්ෂාන්, දිනේෂ් චන්දිමාල්, ශානක සහ මිලින්ද සිරිවර්ධන කැපී පෙනෙන දක්ෂතා දැක්වූ අතර, සියල්ලන්ම දැවී අපට ලකුණු 120ක් රැස්කර ගත හැකි විය.

මෙම Doodles හතර අපගේ ප්‍රතිවාදී රටවලට දිස් නොවූ අතර, ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට පමණක් සීමා විය.

2017 නිදහස් දින සැමරුම

මුල් වරට Animate කළ කොඩියක් තිබිණි

2013 වසරට පසු ශ්‍රී ලංකාවේ නිදහස් දිනය පිළිබඳව ගූග්ල් සමාගමේ ඇස් හැරුණේ 2017 දී ය. මෙම Doodle එකට මුල්වරට සම්පූර්ණ ජාතික කොඩිය යොදා ගැනුණු අතර, එය ලෙළදෙන ආකාරයේ Animation එකක් යොදා තිබිණි.

පෙබරවාරි 4 වන දින, දූපත් රටක් වන ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදී වසර 69ක් ගත වීම සමරනු ලබයි. ‘සිලෝන්’ ලෙස හැඳින්වූ මෙම රට 1948 දී බ්‍රිතාන්‍ය පාලනය යටතේ සිටිය දී ස්වයං පාලනයක් අත්කර ගත්තේ ය. 1972 දී ජනරජයක් බවට පත් වීමෙන් පසුව ශ්‍රී ලංකාව ලෙස මෙය නම් කෙරිණි.

ජාතික නිවාඩු දිනයක් ලෙස සලකනු ලබන මෙහි ප්‍රධාන උත්සවය සාමාන්‍යයෙන් කොළඹ පිහිටි අගනුවර දී පැවැත්වේ. නැටුම්, පෙළපාලි පැවත්වීම, ධජය එසවීම, සහ ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් ජාතිය ඇමතීම එහි දී සිදුකෙරේ. එය සැමරුම් මෙන්ම අනුස්මරණ දිනයක් බැවින්, ශ්‍රී ලංකාවේ අතීත හා වත්මන් ජාතික වීරයන් සිහිපත් කරමින් ජනාධිපතිවරයා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වයි.

ගූග්ල් සමාගම එසේ සටහන් කරයි. ඔවුන් මෙම Doodle එක ‘2017 ශ්‍රී ලංකා ජාතික දිනය’ (National Day) ලෙස නම් කළහ.

2018 සහ 2019 නිදහස් දින සැමරුම

අර්ධ කවාකාර නිමාවක්

2018 සහ 2019 වසර සඳහා ඔවුන් අර්ධ-කවාකාර නිමාවක් යොදා තිබිණි. ඒවායේ ද ජාතික කොඩිය ලෙළදෙන ආකාරයට ඔවුහු Animate කළහ.

අද ශ්‍රී ලංකා ජාතිය නිදහස ලබා වසර 70ක් සමරයි. 1948 පෙබරවාරි 4 වන දින බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ මේ රට ස්වයං පාලනයක් අත්කර ගත්තේ ය. 1972 “ශ්‍රී ලංකාව” නමින් ජනරජයක් බවට පත් වන තෙක් එය දෙවන එලිසබෙත් රැජිණ රාජ්‍ය නායිකාව සහ ලංකාවේ රැජිණ සේ සලකමින් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයක් ලෙස පැවතියේ ය.

මෙම ජාතික නිවාඩු දිනය සඳහා විශාලතම සැමරුම පැවැත්වෙන්නේ කොළඹ පිහිටි අගනුවර දී ය. ශ්‍රී ලාංකිකයන් සංස්කෘතික ප්‍රසංග, පෙළපාලි, ධජ එසවීම ආදියෙන් යුත් උත්සවයකටත්, ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමටත් සහභාගී වේ. එහි දී නිදහස සැමරීමට අමතරව, ශ්‍රී ලංකාවේ අතීත සහ වර්තමාන ජාතික වීරයන් සිහිපත් කෙරේ. ජනපතිවරයාගේ කථාවේ දී ඔවුන් සිහි කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වේ.

ශ්‍රී ලංකාවට සුබ නිදහස් දිනයක් වේවා!

මේ ගූග්ල් සමාගම 2018 වසර සඳහා තැබූ සටහන යි. 2019 ඔවුන් හිස්ව තබා තිබේ.

උභතෝකෝටිකයක්

2018 වසරේ Doodle එකෙහි ජාතික කොඩියේ ඇති සියලු වර්ණයන් රේඛා සඳහා යොදා ගැනුණ ද බංග්ලාදේශ ධජය සිහිගන්වන 2019 වසරේ Doodle එකෙහි තැඹිලි පැහැය ඉවත් කර තිබිණි. මෙරට ධජය වර්ණයන්ගෙන් ජාතීන් නියෝජනය කරන බැවින් 2019 දී අපගේ ආදරණීය දමිළ ජනතාව වෙනුවෙන් වූ තැඹිලි පැහැය ‍නොතිබීම ‍යමෙකුට ගැටළු සහගත විය හැකිය.

එහෙත්, හුදෙක් Design එකක් වශයෙන් සලකා, අද්විතීය හා සිත්ගන්නාසුලු පෙනුමක් ලබාදීමට ඔවුන් කටයුතු කළ බව නිසැක ය. කරුණු කෙසේ වුවත්, ඔවුන් කොඩිය තුළ තවදුරටත් නියෝජනය වනවා නොවේ ද?

2020 නිදහස් දින සැමරුම

නැවත වරක් “Independence Day Doodle” වෙයි

2013 වසරට පසු “ශ්‍රී ලංකා නිදහස් දිනය” (Independence Day) ලෙස නැවත වරක් 2020 දී ඔවුන් තම Doodle එක නම් කළේ ය. National යනු ද ඊට තවත් නමක් බැවින් මෙය ගැටළුවක් නැතිමුත්, ඔවුන් කාලයකට පසුව එක්වරම වෙනස් වචන යොදා තිබීම විශේෂත්වයකි.

කොඩිය හැරුණු විට, අවට ඇති අනෙකුත් කොටස් හුදෙක් Design එකක්ම පමණක් බව තහවුරු කරමින් ඔවුන් කොඩියේ වැඩිපුර භාවිතා වී ඇති වර්ණ දෙක වන කහ සහ රතු වර්ණ පමණක් යොදා තිබිණි. මේ වර්ණ 2017 දී ඔවුන් යොදාගත් ඒවා ම ය.

අද Doodle එක ශ්‍රී ලංකාවේ නිදහස් දිනයට උපහාරයක් වන අතර, එරට අද ස්වාධීන ජනරජයක් බවට පත්ව වසර 72ක් සමරයි. 1948 අද වැනි දිනක ඉන්දියන් සාගරයේ පිහිටි මෙම දූපත් රාජ්‍යය මහා බ්‍රිතාන්‍යයෙන් ස්වෛරීභාවය ප්‍රකාශයට පත් කළේ ය.

පෙළපාලි හා දේශපේ‍්‍රමයෙන් පිරි දිනයක් වන මෙම නිදහස් දින සැමරුම ආරම්භ වන්නේ එරට බහු වර්ණ, අතේ කඩුවක් ඇති රන් සිංහයෙකු ද ඇතුළත් ධජය පෙරටු කර ගනිමිනි. ධජයේ සැලසුම පදනම්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ නිර්මාතෘ වන, ඉන්දියාවේ සිංහපුරයේ විජය කුමරුගේ පුරාවෘත්තයෙනි. මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ෂා යන බෞද්ධ ගුණාංග සතර සංකේතවත් කරන බෝ කොළ හතරකින් වට වූ තද රතු පැහැති චතුරශ්‍රයක් තුළ සිංහයා සිටී. තැඹිලි සහ කොළ සිරස් ඉරි දිවයිනේ හින්දු සහ මුස්ලිම් ප්‍රජාවන් නියෝජනය කරයි.

ජනාධිපතිගේ කථාව, සංස්කෘතික ප්‍රසංග සහ සාම්ප්‍රදායික සංගීත අංග ඇතුළත් මෙම සැමරුම සඳහා කේන්ද්‍රස්ථානය වන්නේ කොළඹ පිහිටි අගනුවර යි. රටේ ජාතික අභිමානය සමරමින් ශ්‍රී ලාංකිකයන් තම මිතුරන් හා පවුලේ අය සමග කාලය ගත කරන අතර බොහෝ විට ආප්ප, ලම්ප්‍රයිස් හෝ කොත්තු වැනි කලාපීය ආහාර භුක්ති විඳිති.

ශ්‍රී ලංකාවට සුබ නිදහස් දිනයක් වේවා!

මේ සටහනේ දී ඔවුන්ට කිරිබත් අමතකව ගියාවත් ද? නැතහොත්, අපි බොහෝ දෙනෙක් එදින කිරිබත් නොසාදන බව ඔවුන් දන්නවා විය හැක. එහෙත් ඔවුන් සිතනා පරිදි, එදින ආප්ප සහ කොත්තු කමින් කාලය ගත කළ යුතු බව නම් යස අදහසකි!

මේ වසරේ ICC T20 ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන නිසා ඒ දිනවල දී තවත් Doodles පෙළක් අප වෙනුවෙන් ම සැකසෙනු ඇති බව නොඅනුමාන ය. මේ Doodlesවලින් ලස්සනම එක ලෙස ඔබ දකින්නේ කුමක්ද?

කවරය: google.com

මූලාශ්‍රයයන්:

  • google.com/doodles (ඡායාරූප ද ඇතුළුව)
  • cricbuzz.com
  • espncricinfo.com

Related Articles