Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

LA 2018 රිය ප්‍රදර්ශනයේ දී එළිදැක්වුණු සිත්ගන්නා සුළු මෝටර් රථ

වාර්ෂික ව, වසර අවසානයේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මෝටර් රථ ප්‍රදර්ශනය ලෝක අවධානය දිනාගන්නා රිය ප්‍රදර්ශනයක්. එහි දී ඉදිරි වසරවල දී හඳුන්වාදීමට නියමිත ලොව ප්‍රධාන පෙළ මෝටර් රථ නිෂ්පාදකයන්ගේ අපූරු, එකිනෙකට අසමසම හැකියාවන්ගෙන් හා පෙනුමින් යුත් නිෂ්පාදන දකින්නට ලැබෙනවා. ඒ රථ ගොන්න අතුරින් වඩාත් සිත්ගන්නා සුළු ඒවා කිහිපයක් අපි මෙලෙස ගොනු කරනවා.

Audi e-tron Gran Turismo

පූර්ණ ඉලෙක්ට්‍රික් රථයක් (techautogram.blogspot.com)

Audi සමාගම තම e-tron ශ්‍රේණියේ නවතම මාදිලිය හඳුන්වා දුන්නා. එය ආසන 4කින් යුත් GT කාරයක්. ඔවුන්ගේ තෙවන පූර්ණ-ඉලෙක්ට්‍රික් වාහනය වන මෙය, ටෙස්ලා කාර් රථවලට තරගයක් ලබාදීමට යි බලාපොරොත්තු වන්නේ. Porsche සමාගමේ ද සහභාගීත්වය ඇති ව ගොඩනඟන ලද නමුත්, මෙය Audi සමාගමේ වැඩි ජාන ප්‍රමාණයකට හිමිකම් කියනවා. මෙම GT රථයට විනාඩි 15කින් 90-kWh බැටරිය 80%ක් දක්වා ආරෝපණයක් ලබාගැනීමට හැකි කිලෝ වොට් 350ක වේගවත් ආරෝපණ හැකියාවක් තිබෙනවා. ඉන් කි. මී. 399ක් පමණ සහ 600 hp අගයක් ලබාගත හැකියි. 2020 දී මෙය වෙළඳපොළට පැමිණීමට නියමිත යි.

BMW Vision iNext

දොරවල් විවෘත වන්නේ දෙපසට යි (topgear.com)

2021 දී වෙළඳපොළට එන පූර්ණ ඉලෙක්ට්‍රික් කාර් රථයක් වන BMW Vision iNEXT රථය ද ආසන 4ක, තනි ව ධාවනය වන, ශබ්දයක් නොනඟන රථයක්. එහි සුක්කානම ඍජුකෝණාස්‍ර හැඩයක් ගන්නා අතර, dashboard එකෙහි ඉදිරියට නෙරා ආ screen එකක් තිබෙනවා. එහි පැති වීදුරුවල දාර ඉතා ම අවම නිසා වඩාත් ඇතුළේ සිට පුළුල් ව දෙපස පරිසරය අත්විඳින්නට පුළුවන්. ආසන අතරෙහි ද touch screen අඩංගු කර ඇති අතර, ස්වයංක්‍රීය ව ධාවනය වන රථයක් වශයෙන් වාහනයේ අභ්‍යන්තරය තුළ ඇති පහසුකම් වඩාත් වැඩිකර දිය යුතු බව මේ රථය පෙන්වා දෙනවා. ආසනය මත ඇඟිල්ල එහා මෙහා කිරීමෙන් රේඩියෝවේ ශබ්දය අඩු-වැඩි කළ හැකි බව වැනි අපූරු විශේෂාංග මෙය සතු යි.

2019 Honda Passport

රළු පරිසරයන්ට ද ඔට්ටුයි (motoringresearch.com)

Honda සමාගමේ මෙම SUV රථය ලීටර් 3.5 V6 එන්ජිමකින් යුතු යි. වේග නවයක Auto Transmission පද්ධතියක් සහිත එය හොඳින් ඉඩකඩ ඇති, 5 දෙනෙකුට ගමන් කළ හැකි රථයක්. පොළොවේ සිට ඇති උස හෙවත් Ground clearance ඉතා හොඳින් ඇති නිසා Honda ආයතනය පවසන පරිදි ඩුබායි හි වැලි සහිත පොළොවේත්, මඩ සහිත රුසියාවේ මෙන්ම මිනසෝටා හි හිම පිරුණු අඩිපාරවල්වලත් මෙය එක සේ අපූරුවට ගමන් කරනවා. ලබන වසරේ පෙබරවාරි පමණ වන විට; Sport, EX-L, Touring, සහ Elite ලෙස ආකාර හතරකින් එය වෙළඳපොළට පැමිණීමට නියමිත යි. පූර්ණ LED light පද්ධතියක්, අඟල් 8ක ඇන්ඩ්‍රොයිඩ් ස්ථාපිත touch screen එකක් එය සතු යි.

2019 Hyundai Palisade

නවතම හන්ඩේ රථය ගැන අංකවලින් ම පටන් ගමු. USB ports 7ක්, cup holders 16ක්, 3 වන ආසන පේළිය පසුපස වර්ග අඩි 18ක භාණ්ඩ දමාගෙන යාමට ඉඩක් සමග විනෝද චාරිකා යන්නට ම උචිත වාහනයක් බවට 2019 Hyundai Palisade පත් වෙනවා. ලීටර් 3.8 V6 එන්ජිමකින් පණ ලබන එය අශ්වබල 291ක් දරනවා. අභ්‍යන්තරයේ අඟල් 10.25ක Apple CarPlay සහ Android Auto අඩංගු තිරයක් හා හොඳ ශබ්ද පද්ධතියක් තිබෙන අතර, මීටර් පද්ධතිය මත ද කණ්ණාඩිවලට නොපෙනෙන ප්‍රදේශවල කැමරාවන්ගෙන් ලැබෙන වීඩියෝ දර්ශන පෙන්වීම සිදුකරනවා. Palisade සතු ආරක්ෂණ පද්ධතියට ගැටීම් වැළැක්වීමේ බ්‍රේක් පද්ධතියක්, රථයේ පසුපස මුලු වැනි නොපෙනෙන ස්ථාන පිළිබඳ දැනුම් දීම් ආදිය වැනි විශේෂාංග ඇතුළත් වෙනවා.

2020 Toyota Corolla Hybrid

පෙනුම පෙර මාදිලියට බොහෝ සමානයි (motor1.com)

වසර 50කටත් වැඩි කාලයක් පමණ තෙල්වලින් ධාවනය වන Corolla වාහන ගෙන ආ Toyota ආයතනය දැන් එය hybrid තාක්ෂණයෙන් ගෙන එනවා. මාර්තු සිට ජුනි කාලය තුළ මෙය අමෙරිකානු වෙළඳපොළට හඳුන්වාදීමට නියමිත අතර, අඟල් 8ක touch screen එකක්, Apple CarPlay, රථය තුළ ම Wi-Fi, මාර්ග සංඥා හඳුනාගැනීමේ තාක්ෂණය ආදී විශේෂාංග රැසක් ගෙන එනවා. මෙහි අඟල් 15ක ඇලුමිනියම් ඇලෝයි වීල් පද්ධතියක් ද තිබෙනවා. නිකල්-ලෝහ හයිඩ්‍රයිඩ බැටරි පද්ධතිය අශ්වබල 121ක් එය ගෙන එන්නේ තත්පර 10.5ක දී පැ. කි. මී. 96.5ක පමණ වේගයක් ලබාගනිමින්.

Volkswagen 2019 Beetle Final Edition

මාදිලි දෙකකින් හා වර්ණ දෙකකින් යුක්තයි (carsprice.info)

Beetle කාර් රථ මාදිලිය බොහෝ කාලයක සිට පැවත එන්නක්. නමුත් වොක්ස්වැගන් සමාගම මේ වසරෙන් පසු එයට තිත තබන්නට යි ලැහැස්ති වෙන්නේ. ඒ අනුව බීට්ල් හි අවසන් වෙළුම ලබන වසරේ දී වෙළඳ පොළට එන්නේ coupe හෙවත් convertible ලෙස මාදිලි දෙකකින්. ලීටර් 2.0 TSI එන්ජිමකින් බල ගැන්වෙන මෙම කාරය අශ්වබල 174ක් දරන්නේ වේග මට්ටම් 6ක Automatic Transmission සමග යි. නිල් සහ බේජ් (ළා දුඹුරු) වර්ණයන්ගෙන් මෙය නිපැයෙනවා. අඟල් 6.3 ස්පර්ශ තිරයකින් Apple CarPlay සහ Android Auto පහසුකම් ගෙන එන මෙය ඉදිරියේ ඇති අනතුරු ගැන දැනුම්දීම, වාහනයේ පැති කණ්ණාඩිවලින් නොපෙනෙන ස්ථාන පිළිබඳ ආරක්ෂාව සැලසීම මෙන්ම වාහනය නැවැත්වීමට සුදුසු ස්ථානයන් ද පෙන්නුම් කරනු ලබනවා. ඇ. ඩො. 23,045 හෙවත් රුපියල් 4,125,970 පමණ මුදලකට මෙය අලෙවි කිරීමට අපේක්ෂිත යි.

මෙතැනින් ඔබේ සිත්ගත් මොටර් රථය මොකක්ද?

කවරය: pocket-lint.com

Related Articles