Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව කුප්‍රකට හැකර්වරුන් 7 දෙනෙක්

හැකර්වරු තුන් වර්ගයක් ඉන්නවා. එක් කොටසක් පරිගණක පද්ධතිවල ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ ශ්‍රම දායකත්වය නොමිලේ, ත්‍යාග මුදල් බලාපොරොත්තුවෙන්, හෝ ඇතැම්විට රැකියාව වශයෙන් කරනවා. මයික්‍රොසොෆ්ට් වැනි සමාගම් කාලයකට සැරයක් හැකර්වරුන්ට ආරාධනා කරමින් තමන්ගේ නිෂ්පාදන හැක් කරන ලෙස පවසනවා. එහි දී අඩුපාඩු සොයාගන්නා අයට ත්‍යාග මුදල් ලැබෙනවා. ඔවුන් යහපත උදෙසා හැක් කරන නිසා සුදු තොප්පි හැකර්වරු (White-hat hackers) ලෙස හඳුන්වනවා.

තවත් වර්ගයක් වන්නේ විනෝදයට හැක් කරන අය යි. තමන්ගේ යහළුවෙක්ගේ, ආයතනයේ වෙබ් අඩවියක්, හෝ පරිගණක පද්ධතියක් හැක් කර, හානියක් නොකර ඉන් විනෝදයක් ලැබීම ඔවුන්ගේ අරමුණ වෙනවා. තමන්ගේ හැකියාවන් පෙන්වන්නට සහ අවධානය ගන්නට මෙවන් දෑ සිදුවෙනවා. ඔවුන්ව හඳුවන්නේ අළු තොප්පි (Gray-hat) හැකර්වරු ලෙස යි. අවසාන නමුත් භයානක තෙවන කාණ්ඩය වන්නේ සාහසික හැක් කිරීම් කරන කළු තොප්පි (Black-hat) හැකර්වරු යි. ඔවුන් රාජ්‍ය ආයතනවල, වෙනත් රටවල්වල පරිගණක පද්ධතිවලට පිවිසෙමින් ඒවායේ දත්ත සොරාගැනීම්, මකා දැමීම්, තර්ජනාත්මක වැකි පළ කිරීම් ආදී සැහැසි ක්‍රියා කරනු ලබනවා. අද අපේ ලැයිස්තුවට එක්වන්නේත් එවන් භයානක හැකර්වරු ටිකක්.

1. චිත්‍රපටයකට ද හිමිකම් කී – කෙවින් මිට්නික්

කෙවින් මිට්නික් (aldianews.com)

ඇමෙරිකානු ඉතිහාසයේ භයානකම පරිගණක අපරාධකරුවා ලෙස හඳුන්වන කෙවින් මිට්නික්ගේ කතාව 2000 දී Track Down නමින් චිත්‍රපටයකට ද නැඟුණා. වසරක සිර දඬුවමකින් පසු හිරෙන් නිදහස් ව සිට පැමිණි කෙවින්, වසර දෙකහමාරක් තිස්සේ එක දිගට හැක් කිරීම් රැසක් සිදුකළා. එහි දී ජාතික ආරක්ෂණ අනතුරු හැඟවීමේ පද්ධතියට හානි සිදුකිරීම මෙන්ම සංස්ථා රහස් සොරකම් කිරීම ඇතුළත් වුණා.

ඒ වෙනුවෙන් වරද පිට ඔහු ව වසර 5කට සිරගත කෙරුණා. නැවත පිටතට ආ කෙවින් පරිගණක ආරක්ෂාව ගැන ප්‍රසිද්ධ දේශන පවත්වන්නෙක් බවට පත්වුණා. ඔහු දැන් Mitnick Security Consulting, LLC. නමැති ආරක්ෂණ උපදෙස් ලබා දෙන ආයතනයක හිමිකරුවෙක්.

2. කුඩා කල පටන් හැක් කළ – ජොනතන් ජේම්ස්

ජොනතන් ජේම්ස් (ehotbuzz.com)

“comrade” යන අන්වර්ථ නාමයෙන් පෙනීසිටි ජොනතන්, කුඩා කාලයේ දී ම හැක් කිරීමට යොමු වූවෙක්. ව්‍යාපාරික සහ රාජ්‍ය නෙට්වර්ක් කිහිපයක් ම හැක් කළ ඔහුට, වැඩිවිය පැමිණෙන්නටත් පෙර සිරබත් රස විඳින්නට සිදුවුණා.

ජොනතන් විසින් NASAහි නෙට්වර්ක් එකකට අනවසරයෙන් පිවිස, එහි තිබූ එකල ඩොලර් මිලියන 1.7ක් පමණ වටිනා මූල කේත (source code) සොරාගෙන අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය ක්‍රියා කරන ආකාරය අවබෝධ කරගත්තා. මේ නිසා තම ජාලය සති කිහිපයකට අත්හිටුවන්නට සහ මූල්‍ය පාඩු විඳින්නට ද නාසා ආයතනයට සිදුවුණා. 2007 දී තවත් සාහසික හැක් කිරීම් රැසක් ම ඔහු කළ බවට සැක කෙරුණා. නමුත් ඒවා තමා නොකළ බවට දිව්රූ ඔහු, 2008 දී සියදිවි නසාගත්තා. නිදොස් බව සලකා ඔහු සුදු තොප්පි හැකර්වරයෙක් ලෙස ද ඇතැමුන් මත පළ කරනවා.

3. ක්‍රෙඩිට් කාඩ්වලට පෙම්බැඳි – ඇල්බට් ගොන්සාලස්

ඇල්බට් ගොන්සාලස් (ytimg.com)

ShadowCrew නමැති හැකර් කණ්ඩායමේ නායකයා තමයි ඇල්බට් කියන්නේ. ඔවුන් ක්‍රෙඩිට් කාඩ් දත්ත සොරාගැනීම සහ විකිණීම මෙන්ම හොර පාස්පෝට්, සෞඛ්‍ය රක්ෂණාවරණ කාඩ්පත්, උප්පැන්න සහතික ඇතුළු අනන්‍යතා සැඟවීමට අදාළ අපරාධ සිදුකළා.

ඇල්බට් ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් මිලියන 170කටත් වඩා වසර දෙකක් තුළ සොරකම් කිරීමත් සමග අන්තර්ජාලය තුළ ප්‍රචලිත අයෙක් බවට පත්වුණා. පසු ව ඔහු ගෙවීම් සිදුකරන ආයතනවල දත්තපාදක (database) හැක් කර ඒවාගේ තිබූ කාඩ්පත් දත්ත ද සොරාගත්තා. මේ වරදවල් නිසා වසර 20කට සිරගත කෙරුණු ඔහු 2025 වනතුරු දැන් කාඩ් අංක වෙනුවට කූරු ගණිමින් සිටිනවා.

4. හොරට තෑගි දිනූ – කෙවින් පෝල්සන්

පෝශි රථයක් සහ කෙවින් පෝල්සන් (appknox.com)

Dark Dante යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටි පෝල්සන් ප්‍රසිද්ධියට පත්වුණේ රේඩියෝව හරහා යි. දුරකථන පද්ධති පිළිබඳ පතල දැනුමක් තිබූ ඔහු, රේඩියෝව විසින් කළ තරගවල ජයග්‍රාහකයා බවට තමා ව පත්කරගෙන Porsche කාර් රථයක්, ඩොලර් විසිදහසක්, සහ හවායි දිවයිනට සවාරියක් ද දිනාගත්තා.

ඔහු FBI සතු ව තිබූ දත්ත පද්ධතියකට ඇතුළු වී එහි තිබූ පටිගත කළ දත්ත සොරාගැනීමත් සමග ඔහුට වරෙන්තු නිකුත් කෙරුණා. සුපිරි වෙළඳසලක සිටිය දී අත්අඩංගුවට ගත් පෝල්සන් ව, ඩොලර් පනස් හයදහසක දඩයක් සමග මාස 51ක සිරදඬුමකට යටත් කෙරුණා. 1995 දී එළියට පැමිණි ඔහු මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරමින් සිටිනවා. MySpace සමාජ ජාලයේ ඇති වූ ලිංගික අපරාධ සිද්ධීන්ට අදාළ සැකකරුවන් අල්වා ගන්නට ද ඔහු තම දායකත්වය ලබා දුන්නා.

5. පිටසක්වළයන් සෙවූ – ගැරී මැක්කිනන්

ගැරී මැක්කිනන් (npr.org)

සෝලෝ යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටිමින් විශාලතම යුද්ධ පරිගණක හැක් කිරීම සිදුකළා. 2001 සිට මාස 13ක් දක්වා ඇමෙරිකාවේ හමුදාවට සහ නාසා ආයතනයට සම්බන්ධ පරිගණක හැක් කළ ඔහු පැවසුවේ, තමා නොමිලේ ලබාගත හැකි බලශක්තිය සහ පිටසක්වළ තොරතුරු වෙනුවෙන් එය කළ බව යි. නමුත් චෝදනා එල්ලවුණේ වැදගත් ගොනු මකාදැමීම සහ පරිගණක 300ක් පමණ භාවිත කළ නොහැකි තත්ත්වයට පත් කිරීම සමග ඩොලර් ලක්ෂ හතකට වැඩි පාඩුවක් සිදුකිරීම සම්බන්ධව යි.

ස්කොට්ලන්ත පෙළපතකින් ආ ඔහු එංගලන්තයෙන් පිටත කටයුතු කරමින් 2005 වන තුරු ඇමෙරිකානු රජයෙන් ගැලවී සිටින්නට සමත් වුණා. පසුකාලීන ව රෝගාතුර බව සහ මානව හිමිකම් උල්ලංඝනය වීමක් බව පෙන්වා දෙමින් නිදහස් වන්නටත් ඔහුට හැකි වුණා.

6. Wormවල පියා – රොබට් ටැපාන් මොරිස්

රොබට් ටැපාන් මොරිස් (limn.it)

පරිගණක තුළ පැතිරෙමින් තවත් පරිගණකයක ස්වයං ව ස්ථාපනය වන ආකාරයේ වර්ම් සැහැසි මෘදුකාංග (malware) සැකසූ ප්‍රථම පුද්ගලයා ලෙස සැලකෙන මොරිස්, “මොරිස් වර්ම්” නමැති වර්ම් මෘදුකාංගයට 1988 දී හිමිකම් කීවා.

බෙල් ලැබ්ස් ආයතනයේ පරිගණක විද්‍යාඥයෙක් ව සිටි ඔහු කීවේ, එය අන්තර්ජාලයේ ප්‍රමාණය මැනීම සඳහා සැකසූ බව යි. නමුත් Unixහි sendmail මෘදුකාංගයේ debug mode එකෙහි තිබූ සිදුරක්, මුරපද නොමැති ව ලොග් වීමට තිබූ ක්‍රමවේදයක් ද ඉන් අපහරණය කොට තිබුණා. තමන්ගේ මෘදුකාංගය බලධාරීන් විසින් ඉවත් කරනු ඇති බවට සැක කළ ඔහු ස්වයංක්‍රීය ව ම එය පරිගණකවල ස්ථාපනය වන සේ හෙවත් වර්ම් එකක් සේ සැකසූවා. නමුත් දෝෂයක් නිසා එය එකම පරිගණකය තුළ කිහිපවරක් ස්ථාපනය වීමෙන් පරිගණක 6000ක පමණ වේගය අඩාල වූ නිසා network adminලාගේ අවධානය ඊට යොමුවීමෙනුයි මෙය හඳුනාගැනුණේ.

1990 දී පරිගණක අපරාධකරුවෙකු ලෙස වරදකරු වූ ඔහුට වසර තුනක වැඩ තහනමක්, පැය 400ක සමාජ සේවාවන් සහ ඩොලර් 10,050ක දඩයක් පැනවුණා. දැන් මැසචුසෙට්ස් තාක්ෂණායතනයේ මහාචාර්යවරයෙක් ලෙස ඔහු කටයුතු කරනවා.

7. විකිලීක්ස් හැදූ – ජූලියන් අසාන්ජ්

ජූලියන් අසාන්ජ් (politico.com)

ජුලියන් අසාන්ජ් ගැන පසුගිය කාලයේ අපිට නිතර අහන්න ලැබුණා. අවුරුදු 16 දී පමණ සිට Mendax යන අන්වර්ථ නාමයෙන් හැක් කිරීම්වල නිරත වුණා. වසර හතරක් තිස්සේ විවිධ රටවල රජයයන්, සංස්ථාවන් සහ පෙන්ටගනය, නාසා, ලොක්හීඩ් මාටින්, සිටිබෑන්ක් හා ස්ටැන්ෆර්ඩ් සරසවිය ඇතුළු අධ්‍යාපනික ජාලයන් ද ඔහු හැක් කරමින් සිටියා.

ලබාගත් දත්ත ඔහු 2006 දී ඇරඹූ WikiLeaks වෙබ් අඩවියේ පළ කළා. එහි ප්‍රවෘත්ති හා රහස් ගොනු නිර්නාමික ලෙස පළකරන්නට අවස්ථාව සලසා තිබුණා. අසාන්ජ්ට එරෙහිව 2010 දී ඇමෙරිකාවෙන් විමර්ශනයක් ද ඇරඹුවා. අමෙරිකානු බලපෑම් මත ඉක්වදෝරයේ පුරවැසියෙක් ලෙස ඔහු දැන් ලන්ඩනයේ ඉක්වදෝර එම්බසිය තුළ රැඳී සිටිනවා.

අයුතු අදහසින් හැක් කිරීම හොඳ දෙයක් නොවෙයි. ‘ප්‍රකට’ යනු හොඳ දේකින් ඉදිරියට යාම යි. නමුත් මොවුන් කුප්‍රකට හෙවත් නරක දේකින් ප්‍රසිද්ධ වූයේ සිරගත වී නමට කැළලක් ද එක් කරගනිමින් නිසා එහි ඇති අපූර්වත්වයක් නැහැ. පරිගණක පද්ධති තුළ සභ්‍ය ව හැසිරීම හා දත්තවල ආරක්ෂාවට ගරු කිරීම ගැන කල්පනාවෙන් කටයුතු කළයුතු බව මේ අයගේ කතාවන් අපිට සිහිකර දෙනවා නොවේ ද?

 

කවරය: housingwire.com

Related Articles