Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තාක්ෂණික ලෝකයේ අණසක පතුරවන කාන්තාවෝ

පසුගිය දිනෙක කාන්තා දිනය සැමරුණා ඔබට මතක ඇති. කාන්තාවන්ගේ නිදහස, අයිතීන් ගැන එදින වැඩි වශයෙන් කතාබහට ලක් වුණා. නමුත්, ඔබත් මමත් දවසේ වැඩි හරියක් ගෙවන තාක්ෂණික ලෝකයේ අතිශය ප්‍රබල කාන්තා චරිත ගණනාවක් ඉන්න බව ඔබ දැන සිටියා ද? මේ ලිපිය හරහා අප බලාපොරොත්තු වන්නේ ඒ කාන්තාවන් අතුරින් කිහිපදෙනෙක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නට යි. 

1.ෂෙරිල් සැන්ඩ්බර්ග් (Sheryl Sandberg)- Facebook (COO)

ෆේස්බුක් හි අධ්‍යක්ෂ මණ්ඩලයේ සේවය කළ පළමු කාන්තාව- time.com

Facebook සමාගම ලෝකයේ වගේම, මේ ලිපිය කියවන ඔබ කා අතරත් අතිශය ජනප්‍රිය සමාගමක් බවට නම් සැකයක් නැහැ. 2012 වසරේ එක් කාන්තාවක් මෙම සමාගමේ සුවිශේෂී තනතුරකට පත් වුණා. ඒ, සමාගම තුළ එවැනි තනතුරක් හෙබ වූ පළමු කාන්තාව බවට පත් වෙමින්. නමින් ෂෙරිල් සැන්ඩ්බර්ග් වන ඇය 2012 ජුනි මාසයේ දී, ෆේස්බුක් හි අධ්‍යක්ෂ මණ්ඩලයේ සේවය කළ පළමු කාන්තාව බවට පත් වුණා. (ෆේස්බුක් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී- Chief Operating Officer of Facebook) ඒ වගේම, එම වසරේම ඇය ටයිම්ස් සඟරාව නම් කරන ලොව බලගතුම පුද්ගලයින් 100 දෙනා අතරටත් එක් වෙන්නට සමත් වුණා. facebook සමාගම සමග සම්බන්ධ වීමට පෙර ඇය එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම්ගේ කාර්යය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළා. ඊට අමතරව තවත් සුප්‍රකට සමාගමක් වන ගූගල් සමාගමෙහි ගෝලීය ඔන්ලයින් විකුණුම් හා මෙහෙයුම් බාර උප සභාපති ලෙස සේවය කළා. තාක්ෂණයට සම්බන්ධ රැකියාවන්වල නිරත වූ ඇය, “Lean In: Women, Work, and the Will to Lead,” නමින් කෘතියක් පවා රචනා කොට තිබෙනවා. මේ කෘතිය ඔස්සේ ස්ත්‍රීවාදය, රැකියා ස්ථානයේ ලිංගිකත්වය සහ වෘත්තීය ලෝකයේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයට ඇති සමාජ/ පෞද්ගලික බාධක වැනි තේමාවන් සාකච්ඡා කෙරෙනවා. ඇයගේ වෘත්තීය ජිවිතයේ වසර ගණනක අත්දැකීම් අලලා ලියැවුණු මේ කෘතිය පිටපත් මිලියනයකට වඩා අලෙවී වූ කෘතියක්. ඇයගේ වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියනයක් පමණ වන බව තමයි දැනගන්නට ලැබෙන්නේ. 

2. සූසැන් වොයිජිකි (Susan Wojcicki)- YouTube (CEO)

YouTube හි ප්‍රධාන විධායක නිලධාරිනිය Susan Wojcicki- cnbc.com

ඔබත් මමත් හොඳින්ම දන්නා ලොව සුප්‍රකටම සමාජ ජාලයක් බවට පත්ව තිබෙන YouTube හි ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස වර්තමානයේ කටයුතු කරන්නේ මැය යි. 1999 වසරේ Google සමාගම වෙත  අලෙවිකරණ කළමනාකාරියක ලෙස සම්බන්ධ වූ ඇය, නොබෝ කලෙකින්ම වෙළඳ ප්‍රචාරණ හා වාණිජ අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති බවට පත් වුණා. Google Video සේවාවේ අධීක්ෂකවරියක් ලෙස කටයුතු කළ ඇය, එකල Startup එකක් ලෙස පැවති Youtube සමාගම Google යටතට ලබාගැනීම පිළිබඳව අදහස් ඉදිරිපත් කළා. 2006 වසරේ දී ඇමරිකානු ඩොලර් බිලියන 1.5කට ආසන්න මුදලකට youtube සමාගම
Google වෙත පවරා ගැනීමේ සියලු කටයුතු පාහේ මැය යටතේ සිදුවුණා. 2007 DoubleClick සේවාව ඇමරිකානු ඩොලර් බිලියන 3.1කට මිල දී ගැනීම සිදුවුණෙත් මැය යටතේ යි. 2014 වසරේ පෙබරවාරි මාසයේ ඇයව YouTube හි ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස පත් කෙරෙනවා. දරුවන් පස්දෙනෙකු සමග ඇගේ වෘත්තීය ජීවිතය ජයගත් ආකාරය ගැන ඇය, සමාජය සමග බොහෝ විට අදහස් හුවමාරු කරගන්න අමතක කරන්නේ නැහැ. ෂෙරිල් වගේම මැයත් ලොව බලවත්ම පුද්ගලයන් 100 දෙනා අතරට තේරී පත් වුණා. ඒ 2015 වසරේ දී යි.

3. ගින්නි රොමෙති (Ginni Rometty)- IBM (CEO,Chairman)

Ginni Rometty- IBM සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය- fortune.com

ලොව ප්‍රකට සහ ප්‍රමුඛ පෙලේ පරිගණක සහ උපාංග නිපදවන සමාගමක් වන IBM සමාගමේ CEO බවට පත් වන්නට ඇයට හැකි වුණා. ඒ, එම සමාගමේ එවැනි තනතුරක් ලද පළමු කාන්තාව බවට පත් වෙමින්. මැය IBM සමාගම වෙත එක් වුණ වසර ලෙස වාර්තා වෙන්නේ 1991 වසරයි. ඇයට ප්‍රධාන විධායක නිලධාරි ලෙස පත්වීම ලැබෙන්නේ 2011 වසරේ දී යි. ඒ කාලය අතරතුර ඇය සමාගම තුළ විවිධ තනතුරු රැසක් දරා තිබෙනවා. ඒ අතරට සමාගමේ සභාපති තනතුරත් අයිතියි. 2012 සිට අඛණ්ඩව වසර 3ක් (2014 දක්වා) Fortune magazine එක තෝරාපත් කරන “50 Most Powerful Women in Business” (ලොව බලවත්ම ව්‍යාපාරික කාන්තාවන් 50) දෙනා අතර මුල් තැනක රැඳෙන්නට ඇයට හැකි වුණා. ඊට අමතරව, 2014 වසරේ දී ලොව බලවත්ම පුද්ගලයන් 100 දෙනා අතරටත් ඇගේ නම තෝරා පත් වුණා. 

4. මේග් විත්මන් (Meg Whitman)- Hewlett-Packard (CEO)

Hewlett-Packard සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය- marketwatch.com

ඇමරිකානු බහුජාතික ව්‍යවසාය තොරතුරු තාක්ෂණ සමාගමක් වන Hewlett-Packard සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කරන මැය, දේශපාලන ක්‍රියාකාරිනියක ලෙසත් සුප්‍රකට යි. ඉතාම කීර්තිමත් සමාගම් ගණනාවක් සමග විධායක තනතුරු හොබවා පළපුරුද්ද සහ අත්දැකීම් ඇති තැනැත්තියක ලෙස ඇයට විශාල පිළිගැනීමක් ලැබෙනවා. 1980 දශකය තුළ ඇය වෝල්ට් ඩිස්නි සමාගමේ උපායමාර්ගික සැලසුම්කරණයේ උප සභාපතිනිය ලෙසත්, 1990 දශකයේ DreamWorks, Procter & Gamble සහ Hasbro සමාගම් සමගත් කටයුතු කළා. ලොව ප්‍රකට වෙළඳ සමාගමක් වන eBay සමාගමේ 1998 සිට 2008 දක්වා සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙසත් ඇය සේවය කළා. Hewlett-Packard සමාගමේ සාර්ථකත්වය පසුපස සිටින ප්‍රධාන චරිතයක් වන ඇයව, 2014 වසරේ ලොව බලවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවට ෆොර්බ්ස් සඟරාව ඇතුළත් කළා. 

5. මරීසා මේයර් (Marissa Mayer)- Yahoo (CEO)

Yahoo සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය Marissa Mayer- npr.org

ලොව ප්‍රකට සෙවුම් යන්ත්‍රයක් සහ වෙබ් ලිපින සපයන සමාගමක් ලෙස නම් දරා සිටින Yahoo සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කරන්නට ඇය සමත් වුණා. 2012 වසරේ ඇයට මේ පත්වීම හිමි වන විට ඇය ලොව ප්‍රකට ව්‍යාපාරික කාන්තාවක් ලෙස හඳුනාගැනීමට ලක්ව සිටියා. Yahoo සමාගම සමග සම්බන්ධ වීමට පෙර දශකයකට වැඩි කාලයක් Google සමාගමේ ප්‍රකාශක තනතුරක් සහ විධායක තනතුරක් මැය විසින් හෙබවූවා. 2013 වසරේ දී ටයිම්ස් සඟරාව මඟින් ප්‍රකාශයට පත් කරන බලවත්ම කාන්තා ව්‍යාපාරිකයන් 100 දෙනා අතරටත්, 2014 Fortune‍ magazine මඟින් ප්‍රකාශයට පත් වන වයස අවුරුදු 40ට අඩු ලොව ප්‍රමුඛ ව්‍යාපාරිකයන් අතර 6 වෙනි තැනටත් පත් වෙන්නට ඇයට හැකි වුණා. අද වෙද්දී ඇය ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකාවක් ලෙස ලොවම හඳුනන තැනැත්තියක්.

6. Angela Ahrendts- Apple (SVP- Retail)

Apple සමාගමේ වෙළඳ අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති- fortune.com

ලොව ප්‍රකට තාක්ෂණික සන්නාමයක් ලෙස හැඳින්වෙන Apple සමාගමේ වෙළඳ අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කරන Angela Ahrendts මේ ලයිස්තුවේ සිටිය යුතුම කෙනෙක්. තාක්ෂණික ලෝකය වෙත පිවිසීමට පෙර ඇය Burberry සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කළා. ඒ ,2006 – 2014 කාලයේ දී යි. වසර ගණනාවක විධායක ක්ෂේත්‍රයේ ඇති පළ පුරුද්ද නිසාම Apple සමාගමේ වෙළඳ අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කරන්නට ඇයට ඇරයුමක් ලැබෙනවා. 2014 වසරේ දී ඇය ඇපල් සමාගම තුළ නව වාර්තාවක් තබනවා. ඒ, වැඩිම වැටුප් ලබන විධායක නිලධාරිනිය ලෙස යි. ඇය වසරක් තුළ ඇමරිකානු ඩොලර් මිලියන 70කට අධික මුදලක් ඒ වෙද්දී උපයන බව තමයි දැනගන්න ලැබෙන්නේ.  ෆෝබ්ස් සඟරාවේ හි 2015 වසරේ ලොව බලවත්ම කාන්තාවන්ගේ ලැයිස්තුවේ 25 වන ස්ථානය ලබාගැනීමට අයට හැකි වෙනවා. BBC Radioවේ 4 Woman’s Hour 100 Power List එකෙහි 9 වන ස්ථානයත්, 2009 ෆොර්බ්ස් සඟරාවේ වසරේ ලොව බලවත්ම ව්‍යාපාරික කාන්තාවන්ගේ ලයිස්තුවේ 29 වන තැනත් ඇයට හිමි වෙනවා. ඒ වගේම, එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍යවරයාගේ ව්‍යාපාරික උපදේශක මණ්ඩලයේ ද තනතුරක් ඇය හොබවනවා. 

මූලාශ්‍රයයන්: 

Fortune.com

Npr.org

Marketwatch.com

Fortune.com

Time.com

Cnbc.com

Thebalancecareers.com 

Ft.com 

කවරය- Ft.com

Related Articles