Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Crack කරපු ඇන්ඩ්‍රොයිඩ් ඇප් භාවිතයෙන් ඇති විය හැකි බලපෑම්

අද වෙනකොට ඇප් අපේ ජීවිතය බවට පත් වෙලා කිව්වොත් වැරැද්දක් නැහැ. හැමෝම නිතර ම පාවිච්චි කරන ෆේස්බුක්, ඉන්ස්ටාග්‍රෑම් ඇතුළු සමාජ ජාල ඇප්, විවිධ පණිවිඩ හුවමාරු ඇප් භාවිත කරන අය වගේ ම දුරකථනය හරහා වීඩියෝ බලන, අන්තර්ජාලයේ සැරිසරන පිරිසත් ඉතා ම ඉහළ යි. දුරකථනයෙන් විවිධ ගේම් ගහන්න හුරු වෙලා ඉන්න අයත් අමතක කරන්න ම බැහැ.

බොහෝ දෙනා දිනකට පැය 3කට වඩා දුරකථනය පාවිච්චි කරනවා (bangkokpost.com)

අපි නිතර ම භාවිත කරන ඇප් අතිබහුතරයක් නොමිලේ ලබාදෙන ඒවා වුණත් සමහර අවස්ථාවල විශේෂ ප්‍රයෝජනයක් ගන්න කියලා තියාගෙන ඉන්න ඇප් බොහොමයක තත්ත්වය වෙනස්. ඒවායේ අපි එක්කෝ විශේෂාංගවලින් අඩු, වෙළඳ දැන්වීම් සහිත, නොමිලේ ලබාදෙන සංස්කරණය භාවිත කරනවා හෝ සමහර විට crack කරපු සංස්කරණයක් භාවිත කරනවා වෙන්න ලොකු ඉඩක් තිබෙනවා. විශේෂයෙන් ම ඇන්ඩ්‍රොයිඩ් දුරකථනවලට crack කරපු ඇප්, ගේම් හොයාගන්න තියෙන පහසුව නිසා මුදල් ගෙවා ඇප් මිලට ගන්න අය සාපේක්ෂ ව අඩු යි.

කොහොම නමුත් මේ විදිහට crack කරපු ඇප් භාවිතයෙන් අපිට ඇති වෙන්න පුළුවන් ගැටලු බොහොමයක් තිබෙන බව දන්නවා ද? විශේෂයෙන් ම ඔබේ දුරකථනය root කර තිබෙනවා නම් මේ වගේ ඇප් එකක් නිසා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හරහා ලබා දී ඇති ඇතැම් මූලික ආරක්ෂාවන් පවා ඔබට අහිමි වෙන්න පුළුවන්.

ඇප් සහ ගේම් crack කරන්නේ ඇයි?

crack කළ ඇප් ලබාගන්න තැන් ඕන තරම් (appcakefans.com)

නිකමට Google එකේ සර්ච් කරොත් play store එකේ ඉහළ මිලකට ගන්න තියෙන ඇප් සහ ගේම් බොහොමයක crack කරපු සංස්කරණයක් බොහොම පහසුවෙන් හොයාගන්න හැකියාව තියෙනවා. මේවායින් සමහරක කියලා තියෙන විදිහට ම premium සංස්කරණයේ තිබෙන විශේෂාංගවල අගුළු හැරලා තිබුණත් ඇතැම් ඒවායේ හොඳින් crack කරපු සංස්කරණයක් හොයාගන්න ටිකක් අමාරු යි. මේ ඇප් හදන පුද්ගලයන් සහ ආයතන ඒවා crack කිරීම අපහසු කරන්න විවිධ උපාය මාර්ග ගන්නා නිසා හොඳ ඇප් crack කරන එකත් හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි.

ඉතින් මේ තරම් අපහසුවෙන් මේවා crack කරන්නේ ඇයි? මේකට හේතු ගණනාවක් තිබෙනවා. ඉස්සර කාලේ ඉඳන් ම යම් ඇප් එකක් සාර්ථක ව crack කිරීම අභියෝගයක් විදිහට භාර අරගෙන එය වෙනුවෙන් කැප වෙන අය, ඒ වගේ පිරිස්වල එකමුතු ආදිය බිහි වී තිබෙනවා. එය තනිකර ම වගේ තෘප්තිය සඳහා කරන ව්‍යායාමයක්.

කොහොම වුණත් ඒ වගේ පිරිස දැන් නම් ඉතා ම අඩු යි. අද කාලේ හැමෝගෙම වගේ උත්සාහය තමයි මේ විදිහට crack කිරීම තුළින් යම් වාසියක් ලබාගන්න එක. මෙන්න මේ හේතුව නිසා ඇප් එක භාවිතයෙන් අපි අපේක්ෂා කරන දේට එහා දෙයක් සිදුවීමේ ඉඩකඩ අද වෙනකොට ඉතා ම ඉහළ ගිහින්.

ඇප් එකක් crack කිරීමෙන් ලබාගන්න උත්සාහ කරන ප්‍රධානතම වාසිය වෙන්නේ යම් ආර්ථික ලාභයක් ලබාගන්න එක යි. Crack කරපු ඇප් එකකින් ලාභ උපයා ගන්නා ක්‍රම අතරින් පාරිභෝගිකයාට ඇති විය හැකි බලපෑම නොගිණිය හැකි තරමේ සිට බරපතල ගැටලුවක් දක්වා වෙනස් වෙන්න පුළුවන්.

එතරම් හානියක් නැති ක්‍රම

වැඩි බලපෑමක් නැති ව යම් වාසියක් ලබාගන්න පුළුවන් ක්‍රමයක් වන්නේ මේ වගේ crack කළ ඇප් සහිත වෙබ් අඩවි පවත්වාගෙන යාම. එමඟින් මේවා සොයන පුද්ගලයන් ගෙන්වාගෙන අදාළ වෙබ් අඩවියෙන් යම් ලාභයක් ලබාගන්න පුළුවන්.

pinimg.com

තවත් ක්‍රමයක් වන්නේ වෙබ් අඩවිවලට traffic ලබාගැනීම සඳහා අදාළ ඇප් භාවිත කරන එක යි. ඇප් එක තුළ අමතර ව විවිධ කේත අඩංගු කර වරින් වර විවිධ වෙබ් අඩවිවලට පිවිසෙන ලෙස සකස් කෙරෙනවා. ඇප් එක අන්තර්ජාලයට සම්බන්ධ වූ විට ලබාගන්නා ලැයිස්තුවක තිබෙන වෙබ් අඩවිවලට එවිට ඉබේ ම පිවිසීමට ඇප් එක කටයුතු කරනවා. තිරය පිටුපස සිදුවෙන මේ කටයුත්ත හරහා අදාළ crack කළ ඇප් එක බොහෝ දෙනෙක් භාවිත කරනවා නම් පහසුවෙන් තමන්ගේ වෙබ් අඩවිවල, බ්ලොග්වලට, සමාජ ජාල පිටුවලට පැමිණෙන ප්‍රමාණය වැඩි කරගන්න හැකියාව තියෙනවා. යම් මුදලක් අය කර traffic වැඩි කර දෙන බව කියන බොහෝ දෙනෙක් පාවිච්චි කරන්නේ මේ වගේ ක්‍රම.

තරමක් භයානක ක්‍රම

Crack කළ ඇප් භාවිතයෙන් වාසි ලබාගන්නා, අපිට තරමක් භයානක ක්‍රමත් කිහිපයක් ම තිබෙනවා. එයින් මූලික වන්නේ පෞද්ගලික තොරතුරු සොරා ගැනීම. දුරකථනයේ පවතින ගිණුම්, අපේ සම්බන්ධතා ලැයිස්තුව ගැන දත්ත ලබාගැනීම, අපේ දුරකථනයේ තිබෙන දත්ත ගොනු, වීඩියෝ, පින්තූර ආදිය ලබාගැනීම වගේ දේවල් මීට අයත්. පෞද්ගලික තොරතුරුවල රහස්‍යභාවය නැති වීමේ විශාල අවදානමක් මේ හරහා ඇති වෙන්න පුළුවන්.

redd.it

අපගේ පෞද්ගලික තොරතුරුවලට විශාල ඉල්ලුමක් වෙළඳපොළේ පවතිනවා. ඉලක්කගත වෙළඳ දැන්වීම් හොඳින් පෙන්වීමේ හැකියාව, හුදෙක් trafficවලින් එහාට ගොස් අපගේ විවිධ ගිණුම්වලින් comment, review, like ඇතුළු වාසිදායක දේවල් ලබාගැනීමේ හැකියාව නිසා මේ වගේ දත්ත සමූහ ඉහළ මිලක් ගෙවා ලබාගන්න අය ඕන තරම්.

මෙය තරමක් එහාට ගිහින් වෙනත් ඇප් පවා ඉබේ ම ඉන්ස්ටෝල් කරවීම දක්වා ම යන්නත් පුළුවන්.

ඍජු ව බලපෑමක් ඇති කරන භයානක ක්‍රම

මෙතෙක් කී ක්‍රමවලින් අපිට යම් වක්‍රාකාර බලපෑමක් ඇති වෙන්න පුළුවන් වුණත් crack කළ ඇප් හරහා අපිට කෙළින්ම බලපෑමක් ඇති කරන අවස්ථාත් තිබෙනවා.

මේ අතරින් ප්‍රධාන වෙන්නේ අපේ දුරකථනයේ පාලනය වෙනත් අයෙක්ට හිමි වීම යි. දුරකථනයෙන් ලබාගන්නා දත්ත සහ තොරතුරු පිටතට ලබාගැනීම වෙනුවට දුරකථනය තමන්ට අවශ්‍ය විදිහට පාලනය කරන්තත් පිටස්තර අයෙක්ට හැකියාව ලැබීම ඉතා ම බරපතල තත්ත්වයක්. මයික්‍රොෆෝනය හරහා විවිධ දේවල් පටිගත කරන්න, කැමරා භාවිතයෙන් ඡායාරූප සහ වීඩියෝ ලබාගන්න, දුරකථනයේ තිරයේ සිදු වන දේවල් පටිගත කරන්න, අප සිටින ස්ථානය ගැන තොරතුරු ලබාගන්න, වෙනත් සංවේදක හරහා තොරතුරු ලබාගන්න, අන්තර්ජාලය හරහා තිරය හසුරවන්න වගේ දේවල් පවා සිදු කරන්න යම් හැකියාවක් තිබෙනවා.

සල්ලි දෙන තුරු අපේ ෆයිල් සියල්ල encrypt වුණොත්? (sftcdn.net)

එතැනිනුත් එහාට ගිහින් ඍජුව ම අපිට ආර්ථික අවාසියක් ඇති කරන ක්‍රමත් තිබෙනවා. මෙය විවිධ premium  අංකවලට ඇමතුම් ලබාගැනීම සහ SMS ආදිය යැවීමේ සිට අපේ බැංකු ගිණුම්, ක්‍රෙඩිට් කාඩ් අංක සොරාගෙන අපේ මුදල් ඍජු ව සොරකම් කිරීමත්, දුරකථනයේ දත්ත මකා දැමීම හෝ අකර්මණ්‍ය කිරීම, එසේ කරන බවට පවසා කප්පම් ගැනීම දක්වා ම වුණත් දුරදිග යන්න පුළුවන්.

මිල ගෙවන එක වඩා සුදුසු ද?

මේ තරම් ගැටලු තියාගෙන crack කරපු ඇප් භාවිතයේ ප්‍රයෝජනයක් තිබෙනවා ද කියන එක හොඳ ප්‍රශ්නයක්. විශේෂයෙන් ම play store එක හරහා සුළු මුදලකට ලබාගත හැකි ඇප් එකක් නම් නීත්‍යානුකූල ව එය ලබාගැනීම වඩා සුදුසු වේවි. විශේෂයෙන් ම යම් ඇප් එකක් හොර පාරෙන් ලබාගත් පසු ව සැක සිතෙන වෙනස්කම් ගැන (නිකරුණේ අන්තර්ජාල භාවිතය, WiFi සහ Bluetooth ඉබේ සක්‍රීය වීම, බැටරි කාලය, විවිධ ෆයිල් සහ ෆෝල්ඩර් ඉබේ නිර්මාණය වීම වගේ) ටිකක් අවධානයෙන් ඉන්න එක වැදගත් වේවි.

කවරයේ රූපය : onedio.com

Related Articles