Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔබ සයිබර් අපරාධකරුවෙක් කරන ආවේගශීලි සමාජ ජාල භාවිතය

මේ දිනවල ශ්‍රී ලංකාව තුළ අර්බුදකාරී වාතාවරණයක් ගොඩනැගී තිබෙනවා. බොහෝ උදවිය ඒ පිළිබඳව සිය අදහස් සමාජ මාධ්‍යජාල ඔස්සේ ප්‍රකාශයට පත්කරන ආකාරය සුලබ ව දැකිය හැකි දෙයක්. ඒ අයුරින් සිය විරෝධය පළකරන ඇතැම් උදවිය දැන හෝ නොදැන විවිධ පුද්ගලයන් ඉලක්ක කරගෙන ඔවුන්ට අපහාස වන අන්දමේ ප්‍රකාශ නිකුත් කිරීම, ද්වේශ සහගත ප්‍රකාශ නිකුත් කිරීම වැනි දේ සිදුකරනවා. එවැනි සේවා භාවිත කරන බොහෝ උදවිය විවිධ හිරිහැර සහ අකටයුතුකම් සිදු කෙරෙන ආකාරයෙන් එම මාධ්‍ය හසුරුවනවා. ඒ අයුරින් සයිබර් අවකාශය තුළ සිදු කරන විවිධ හිරිහැර සහ අකටයුතුකම් නිසා හට ගන්නා ප්‍රතිපල සයිබර් අපරාධ ගණයට ගැනෙනවා. 

ඒ හරහා ඔබ සයිබර් අපරාධකරුවෙක් බවට පත්වීමේ ඉඩකඩක් ද පවතිනවා. සයිබර් අපරාධ පිළිබඳ ව හරි හැටි දැනගෙන සමාජ මාධ්‍යජාල පරිහරණය, හැසිරවීම හා ඒ ඔස්සේ ඔබේ අදහස් හෝ විරෝධතා පළ කළ යුතුයි.  එසේ නොවුණොත් ඔබට නිකරුණේ දඬුවම් විඳීමට සිදුවෙනවා පමණක් නොව සමාජය තුළ අපකීර්තියට ද පත්වෙනවා.  

විවිධ සමාජ මාධ්‍යජාල – smallbiztrends.com

 

සමාජ මාධ්‍යජාල භාවිත කරන ඔබ සයිබර් අපරාධ පිළිබඳ ව ඒ නිසා දැනගත යුතු ම කරුණු 7ක් ගැනයි මේ ලිපිය.

1) සයිබර් අපරාධයක් යනු කුමක් ද?

වංචා කිරීම, ළමා කාමුක දර්ශන සහ බුද්ධිමය දේපළ වෙළඳාම් කිරීම, අනන්‍යතා සොරකම් කිරීම හෝ පෞද්ගලිකත්වය උල්ලංඝණය කිරීම වැනි නීති විරෝධී අරමුණු සඳහා පරිගණකයක් මෙවලමක් ලෙස භාවිත කිරීම සයිබර් අපරාධයක් ලෙසින් හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් සයිබර් අපරාධ සිදුකිරීම සඳහා පරිගණකයට අමතරව ජංගම දුරකතන, සංගත තැටි වැනි මෙවලම් ද භාවිත කරන බවයි සැලකෙන්නේ. 

2) සයිබර් අපරාධ වර්ග 

ගෙවුණු වසර කිහිපය තුළ කොරෝනා වසංගතය ලොව පුරා පැතිර ගියා. එහි ප්‍රතිඵලයක් ලෙස සමාජ දුරස්ථකරණය සිදු වුණු නිසා බොහෝ දෙනෙක් සන්නිවේදන කටයුතු සඳහා සමාජ මාධ්‍ය භාවිත කළා. එනිසා පසුගිය වසර කිහිපය තුළ අප රටේ සිදුවුණු සයිබර් අපරාධ ප්‍රමාණය සැලකිය යුතු ලෙසින් ඉහළ ගියා. ළමයින් සහ කාන්තාවන් වැඩි වශයෙන් ඒවාට ගොදුරු වන බවයි දත්ත පෙන්වා දෙන්නේ.

එම කාණ්ඩය සිය සමීපතමයන් සහ මිතුරු මිතුරියන් සමඟින් සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධතා පවත්වාගෙන යාමට දැඩි නැඹුරුතාවයක් දැක්වීම එයට හේතුව යි.  කාන්තාවන් සහ ළමයින් තම තමන්ගේ අතිශය පෞද්ගලික තොරතුරු සහ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගැනීමට පෙලැඹී සිටිනවා. එනිසා ඔවුන් එවැනි අපරාධවලට පහසුවෙන් ගොදුරු වෙනවා. ඇතැම් අවස්ථාවල ප්‍රසිද්ධ චරිත තමන්ගේ සමාජ ජාල මාධ්‍ය හරහා පළ කරන දේ විකෘති කර ව්‍යාජ අයුරින් සකසා සමාජ ජාල මාධ්‍යවලට නැවත උඩුගත කර පතුරුවා හැරීමත් මේ දිනවල සුලබ දසුනක්. ඒ වාගේම තවත් විවිධ ක්‍රම ඔස්සේ සයිබර් අපරාධ සිදුවෙනවා. එසේ සිදුවන සයිබර් අපරාධ අතුරින් කිහිපයක් පහතින් දක්වා තිබෙනවා.

සයිබර් අවකාශය ඔස්සේ වන නිරන්තර ලුහුබැඳීම 

සයිබර් අවකාශය තුළ වින්දිතයා නිතර ගැවසෙන හා පරිහරණය කරන ස්ථාන ලුහුබැඳීම සහ එම ස්ථානවල වින්දිතයාට දැකිය හැකි වන පරිදි  යම් තර්ජනාත්මක පණිවිඩ සටහන් කර තැබීමත්, සමාජ ජාල මාධ්‍ය හරහා පළ කරන දේ විකෘති කර ව්‍යාජ අයුරින් සකසා සමාජ ජාල මාධ්‍යවලට නැවත උඩුගත කර පළ කිරීම හා සංසරණය මේ විරෝධතා සමයේ දක්නට පුළුවන්. විශේෂයෙන්ම Facebook වැනි සමාජ මාධ්‍යජාල තුළ මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙනවා.

ව්‍යාජ ගිණුම් හරහා එවැනි තර්ජන බොහෝ විට සිදුවෙනවා. ඇතැම් අවස්ථාවල පුද්ගල කණ්ඩායමක් එකතු වී එවැනි ලුහුබැඳීම්වල නිරත වෙනවා. එමඟින් වින්දිතයා මානසික වශයෙන් වෙහෙසට පත් කරනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සමහර උදවිය සිය දිවි හානිකරගැනීමට පවා පෙලැඹෙන අවස්ථා ගැන අප අසා තිබෙනවා.

සයිබර් අපරාධකරුවන්ට ගොදුරුව සිටින තරුණියක් (kathmandupost.com)

 

අපහාස කිරීම 

සයිබර් අවකාශය භාවිත කරමින් යම්  පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් වෙත අපහාසයක් සිදුවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම, එවැනි අපහාසාත්මක ප්‍රකාශ ප්‍රසිද්ධියට පත්කිරීම, අපහාසාත්මක ලේඛන සංසරණය කිරීම දක්වන්නට පුළුවන්. විශේෂයෙන් ම සමාජයේ ජීවත් වන ප්‍රසිද්ධ චරිත මෙවැනි සිදුවීම්වලට නිතර ම මුහුණ දෙනවා. එහි දී බොහෝ විට ඔවුන්ට එරෙහි ව ව්‍යාජ පුවත් පතුරවමින් අපහාස කරනවා. පසුගිය කාලයේ දී මෙන් ම මේ දිනවලත් එවැනි සිදුවීම් විශාල වශයෙන් දැක ගන්නට ලැබෙනවා.

 අසභ්‍ය වීඩියෝ සහ නිරුවත් ඡායාරූප බෙදා හැරීම

සමාජ මාධ්‍යජාල හරහා අසභ්‍ය වීඩියෝ සහ නිරුවත් ඡායාරූප සංසරණය වීම අද වන විට සුලබ ව දක්නට ලැබෙන දෙයක්. බොහෝ විට යම්  පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායම් ව්‍යාජ ගිණුම් භාවිත කරමින් මෙය සිදුකරනවා. එවැනි කණ්ඩායම් සමාජ මාධ්‍යජාල සමූහ සහ පිටු නිර්මාණය කරමින් එම වීඩියෝ සහ ඡායාරූප බෙදා හරිනවා. ඇතැම් විට පාසල් යන දැරියන්ගේ අසභ්‍ය වීඩියෝ සහ අඩ නිරුවත් පින්තූර පවා සමාජ මාධ්‍යජාල තුළ  සංසරණය වන ආකාරය දක්නට ලැබෙනවා.

ඒ අයුරින් නිර්මාණය වුණු සමූහ සහ පිටුවලට සූක්ෂම අයුරින් කාන්තාවන්, තරුණ දරුවන් එකතු කරන ව්‍යාජ ගිණුම් ද තිබෙනවා. එම ක්‍රියාවලිය හරහා කාන්තාවන් සහ තරුණ ගැහැනු දරුවන් ද අපහසුතාවයට පත්වෙනවා. ඒ හරහා සමහර ගැහැනු දරුවන් කාම අපරාධකරුවන්ට ගොදුරු වෙනවා. එපමණක් නොව ඇතැම් පිරිමි දරුවන් අයහපත් ලිංගික චර්යාවන්ට පුරුදු වෙනවා. ඒ හරහා තරුණ පරපුර විනාශ වීමේ ප්‍රවණතාවක් පවතිනවා.

සමාජ මාධ්‍යජාල හරහා අසභ්‍ය වීඩියෝ බෙදාහැරීම හරහා තරුණියන් අපහසුතාවට පත් කිරීම – www.talkwalker.com 

 

ඡායාරූප සංස්කරණය 

විකෘති කළ ඡායාරූප සමාජ මාධ්‍ය තුළ සංසරණය වීම පසුගිය කාලයේ දී සුලබ ව දක්නට ලැබුණු දෙයක්. කාන්තාවන් බොහෝ විට මෙම අපරාධයේ වින්දිතයන් බවට පත් වෙනවා. එහි දී කාන්තාවන්ගේ මුහුණ ඇතුළත් කර ව්‍යාජ ඡායාරූප සකස් කිරීම සිදුවෙනවා. ඉන් පසුව විවිධ කණ්ඩායම් එකතු වී ඒවා සමාජ මාධ්‍යජාල හරහා ප්‍රසිද්ධියට පත් කරනවා. එවැනි ඡායාරූප සහිත පිටු සහ සමූහ පවත්වාගෙන යන උදවිය ද සිටිනවා.  කාන්තාවන් පමණක් නොව සමාජයේ ජීවත් වන ජනප්‍රිය චරිත ද  මෙම අපරාධයේ වින්දිතයන් බවට පත්ව සිටිනවා. 

බුද්ධිමය දේපළ හොරකම් කිරීම 

විවිධ ආයතන, සංවිධාන සහ පුද්ගලයන් සමාජ මාධ්‍යජාල හරහා දැනුම බෙදා හරිනවා. ඇතැම් පිරිස් සමාජ මාධ්‍යජාල වෙත පිවිසෙන්නේ ද එම දැනුම ලබා ගැනීම සඳහා යි. සෑම කෙනකුට ම වැදගත් කාලීන සිදුවීම් පිළිබඳ ඉතාමත් ඉක්මනින් බොහෝ දෙනෙක් දැනුම්වත් කරන්නේ සමාජ මාධ්‍යජාල ඔස්සේ යි. ඒ අයුරින් සමාජ මාධ්‍යජාල හරහා දැනුම බෙදා දීම සඳහා පළ කරන ලිපි, ග්‍රැෆික් ඡායාරූප, ඡායාරූප, වීඩියෝ පට, ලේඛන ආදිය කිසිදු අවසරයකින් තොරව සොරා ගන්නා පිරිස් සිටිනවා. එවැනි වංචනිකයන් නිසා අද බොහෝ දෙනෙක් අපහසුතාවට පත්ව සිටිනවා. 

ගිණුම් හැක් කිරීම 

සමාජ මාධ්‍යජාල පරිහරණය කරන උදවියගේ ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී ඒවායේ දත්ත සොරකම් කිරීම, ඒවා අනවසරයෙන් භාවිත කිරීම, එම ගිණුම් නීතිවිරෝධී කටයුතු සඳහා යොදා ගැනීම මෙන් ම විකෘති කළ පෝස්ටු එම ගිණුම්වලට උඩුගත කිරීම අද වන විට සුලබ ව සිදුවෙනවා.  ඒ සඳහා හැකර්ලා Phishing, Cookie Theft, Bait and Switch, Fake WAP, Keylogger වැනි ක්‍රම භාවිත කරනවා. ධනවත් සහ ප්‍රසිද්ධ පුද්ගලයන් සතු ගිණුම් පමණක් නොව ඇතැම් රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලට අයත් ගිණුම් පවා පසුගිය කාලයේ දී හැකර්ලාගේ ග්‍රහණයට නතු වුණා අවස්ථා පිළිබඳ අපට අසන්නට ලැබුණා. 

ගිණුම් හැක් කිරීම – thestatesman.com

 

3). සයිබර් අපරාධවලට ගොදුරු වන උදවිය ගත යුතු ක්‍රියාමාර්ග 

සයිබර් අපරාධවලට ගොදුරු වන බොහෝ උදවිය ඒ පිළිබඳ විස්තර අනාවරණය කරන්නේ නැහැ. ඒ ලැජ්ජාව, තර්ජනවලට බියවීම, නඩු කටයුතු සඳහා සම්බන්ධ වීමට තිබෙන අකමැත්ත වැනි හේතු නිසා යි. එහි ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ සයිබර් අපරාධකරුවන්ට තවදුරටත් නිදැල්ලේ සිටීමට අවස්ථාව ලැබී තිබෙනවා. මෙම තත්ත්වය මඟ හරවා ගැනීමට නම් සයිබර් අපරාධ පිළිබඳ ව අදාළ ආයතනවලට පැමිණිලි කළ යුතු යි. පහතින් දක්වා තිබෙන්නේ සයිබර් අපරාධ පිළිබඳ ව පැමිණිලි ඉදිරිපත් කළ හැකි මෙරට ආයතන පිළිබඳ යි.  

ළඟම තිබෙන පොලිස් ස්ථානය 

සයිබර් අපරාධයක් සම්බන්ධව පැමිණිලි කිරීම සඳහා මුලින් ම යා යුත්තේ ළඟ ම තිබෙන පොලිස් ස්ථානයට යි. එහි තිබෙන සයිබර් අපරාධ අංශය සහ  අන්තර්ජාල අපරාධ පිළිබඳව පැමිණිලි කිරීමේ මධ්‍යස්ථානය වෙත ගොස් ඔබේ පැමිණිලි ඉදිරිපත් කිරීමට පුළුවන්.

ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය- Sri Lanka CERT 

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය(ICTA) යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) වෙත සයිබර් අපරාධ සම්බන්ධ ව පැමිණිලි කරන්නට පුළුවන්. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මෙම ආයතනය මෙරට තුළ  සිදුවන සයිබර් අපරාධ සම්බන්ධව පරීක්ෂණ පවත්වන ප්‍රධානතම ආයතනය බවත් මෙහි දී සිහිපත් කළ යුතුයි.

Sri Lanka CERT ආයතනයේ නිල ලාංඡනය – cert.gov.lk

 

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව 

වින්දිතයා ඉදිරිපත් කළ පැමිණිල්ලක් සම්බන්ධ ව ක්‍රියා කිරීම යම් ආයතනයක් පැහැර හැරි අවස්ථාවක මානව හිමිකම් කොමිෂන් සභාවට ඒ පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා. ඒ සඳහා කොළඹ ප්‍රධාන කාර්යාලයට අමතර ව අනුරාධපුර, මඩකලපුව, මහනුවර, මාතර, අම්පාර, ත්‍රිකුණාමලය, බදුල්ල, කල්මුණේ, යාපනය, වවුනියාව යන නගර 10 ආශ්‍රිත ව ප්‍රාදේශීය කාර්යාල පිහිටුවා තිබෙනවා.

4). සයිබර් අපරාධ සම්බන්ධ පනත් 

90 දශකයේ දී අප රට තුළ පරිගණකය භාවිත කරන පිරිස වැඩි වන්නට පටන් ගත්තා. එනිසා එම යුගයේ සිට අප රටට සයිබර් අපරාධ සම්බන්ධ නීති හඳුන්වා දුන්නා. ඒ පිළිබඳ පැනවූ පනත් කිහිපයක් පහතින් දක්වා තිබෙනවා. 

1). 1995 අංක 14 දරණ සාක්ෂි (විශේෂ විධිවිධාන) පනත 

2). 2003 අංක 36 දරණ බුද්ධිමය දේපල පනත 

3). 2003 අංක 27 දරණ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ පනත 

4). 2006 අංක 16 දරණ දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධිත) පනත 

5). 2006 අංක 19 දරණ ඉලෙක්ට්‍රොනික ගණුදෙනු පනත 

6). 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනත 

5). සයිබර් අපරාධකරුවන්ට ලැබෙන දඬුවම්

2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනත හරහා සයිබර් අපරාධකරුවන්ට සැලකිය යුතු තරම් දඬුවම් ලබා දීමට නියම කර තිබෙනවා. පහතින් දක්වා තිබෙන්නේ ඒ පිළිබඳ යි.

1). යම් පරිගණකයකට නීත්‍යානුකූල නොවන ලෙස ප්‍රවේශවීමට වරදකරුවකු වුවහොත් රුපියල් ලක්ෂයකට නොවැඩි දඩයකට හෝ වසර පහක් දක්වා දීර්ඝ කළ  හැකි සිර දඬුවමකට යටත් වීමට සිදු වෙනවා. ඇතැම් අවස්ථාවල එම දඬුවම් දෙකට ම යටත් වීමට සිදු වෙනවා.

2). යම්කිසි වරදක් කිරීමේ පැහැදිලි අරමුණ සහිතව යම් පරිගණකයකට ඇතුළු වීම සම්බන්ධයෙන් වරදකරුවකු වීමෙන් රුපියල් ලක්ෂ දෙකකට නොවැඩි දඩයකට හෝ වසර පහක් දක්වා දීර්ඝ කළ හැකි සිර දඬුවමකට යටත් වීමට සිදු වෙනවා. ඇතැම් අවස්ථාවල එම දඬුවම් දෙකට ම යටත් වීමට ද සිදු වෙනවා.

3). අධිකාරී බලය නොමැතිව පරිගණකයක යම් කටයුත්තක නිරත වීමේ වරදක් සඳහා වරදකරු වුණොත් රුපියල් තුන් ලක්ෂයකට නොවැඩි දඩයකට හෝ වසර පහක් දක්වා දීර්ඝ කළ හැකි සිර දඬුවමකට යටත් වීමට සිදු වෙනවා. ඇතැම් අවස්ථාවල එම දඬුවම් දෙකටම යටත් වීමට සිදු වෙනවා.

4). ජාතික ආරක්ෂාවට තර්ජනයක් සිදුවන ආකාරයේ පරිගණක අපරාධයක නිරත වීමකට වැරදිකරු වීමෙන් වසර පහකට නොවැඩි සිර දඬුවමකට යටත් වීමට සිදුවෙනවා. 

5). නිත්‍යනුකූල නොවන අයුරින් ලබා ගත් දත්ත ළඟ තබා ගැනීම ඒවා ගනුදෙනු සඳහා යොදා ගැනීම සඳහා වරදකරු වුණොත් රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 3 දක්වා දඩයකට හෝ මාස 6 සිට වසර 3 දක්වා සිර දඬුවමකට යටත් වීමට සිදු වෙනවා. ඇතැම් අවස්ථාවල එම දඬුවම් දෙකට ම යටත් වීමට සිදු වෙනවා.

6). පරිගණක වැඩසටහන්වල මුරපද නීත්‍යානුකූල නොවන අයුරින් භාවිතා කිරීම සඳහා වරදකරු වුණොත් රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 3 දක්වා දඩයකට හෝ මාස 6 සිට වසර 3 දක්වා සිර දඬුවමකට යටත් වීමට සිදු වෙනවා. ඇතැම් අවස්ථාවල එම දඬුවම් දෙකටම යටත් වීමට සිදු වෙනවා.

සයිබර් අපරාධකරුවන් අල්ලාගැනීම – zeenews.com

 

6). අසභ්‍ය දේ පතුරුවන අයට ලැබෙන දඬුවම්

අසභ්‍ය වීඩියෝ, ඡායාරූප, ලියවිලි ආදී මේ සියල්ල ම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ප්‍රධාන පනත වන්නේ  1927 අංක 04 දරණ අසභ්‍ය ප්‍රකාශන පිළිබඳ ආඥාපනත යි. 1983 සහ 2005 වසරවල දී එම පනත සංශෝධනවලට ලක් වුණා. දණ්ඩ නීති සංග්‍රහයේ 285 සහ 286 වගන්ති ද අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධ නීතියට අයත්. එම පනත් යටතේ අපරාධකරුවන්ට ලැබෙන දඬුවම් පහතින් දක්වා තිබෙනවා. 

1927 අංක 04 දරණ අසභ්‍ය ප්‍රකාශන පිළිබඳ ආඥාපනත

1). අසභ්‍ය දෙයක් මුල්වරට ප්‍රකාශයට පත් කරන කෙනෙකු රුපියල් 2500 නොඉක්මවන දඩයකට හෝ මාස 06ක් නොඉක්මවන සිර දඬුවමකට හෝ එම දඬුවම් දෙකටම යටත් කළ හැකියි.

2). අසභ්‍ය දෙයක් දෙවෙනි වරට ප්‍රකාශයට පත් කරන අයකු රුපියල් 5000 ක නොඉක්මවන දඩයකට හෝ මාස 06ක් නොඉක්මවන සිර දඬුවමකට හෝ එම දඬුවම් දෙකටම යටත් කළ හැකි යි. 

3). අසභ්‍ය දෙයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා අනුබල දෙන කෙනකුට ද ඉහත ආකාරයට ම දඬුවම් නියම කළ හැකි යි.

දණ්ඩ නීති සංග්‍රහය 

285 වගන්තිය – අසභ්‍ය දෙයක් විකුණන හෝ බෙදාහරින හෝ ඒ සඳහා උත්සාහ කරන කෙනකු මාස 03ක් දක්වා සිර දඬුවමකට හෝ දඩයකට යටත් කළ හැකියි. ඒ වාගේම එම දඬුවම් දෙකම ද නියම කළ හැකි යි. 

286 වගන්තිය – අසභ්‍ය දෙයක් විකිණීම හෝ බෙදාහැරීම සඳහා ළඟ තබාගන්නා කෙනෙකු මාස 03ක් දක්වා සිර දඬුවමකට හෝ දඩයකට දඩයකට යටත් කළ හැකියි. ඒ වාගේම එම දඬුවම් දෙකම ද නියම කළ හැකියි. 

286(අ) වගන්තිය – ළමයින් සම්බන්ධ අසභ්‍ය ප්‍රකාශන සකස් කිරීම හා ළඟ තබා ගැනීම කරන අයකු වසර 02 සිට 10 දක්වා සිර දඬුවමකට හෝ දඩයකට යටත් කළ හැකියි. ඒ වාගේම එම දඬුවම් දෙකම ද නියම කළ හැකියි. 

286(ආ) වගන්තිය – ළමයකු ලිංගික අපයෝජනය සඳහා පරිගණක භාවිත කරන කෙනකුට වසර 02 ක් දක්වා සිරදඬුවම් නියම කළ හැකි යි. 

සයිබර් අපරාධකරුවන්ට සිරදඬුවම් ලැබීම (catchnews.com)

 

7). සයිබර් අපරාධකරුවන්ගෙන් බේරීමට අනුගමනය කළ හැකි පියවර 

සයිබර් අවකාශයේ සැරිසරද්දී සයිබර් අපරාධකරුවන්ගේ සියුම් උගුල්වලට හසු නොවී සිටීමට නම් ඔබ ඒ පිළිබඳ හොඳින් දැනුම්වත් වී සිටීම අනිවාර්ය යි.  ඔබ මුර  පද ඇතුළත් කරන වෙබ් අඩවිවල දී එය HTTPS ලෙස ආරක්ෂාව තහවුරු කළ වෙබ් අඩවියක් ද යන වග පිළිබඳ සැලකිලිමත් වීම හොඳ පියවරක්.

තමන් භාවිත කරන විවිධ ගිණුම්වලට යොදන මුර පද ඉතා ශක්තිමත් වීම සහ කිසිවකුට ඔබගේ මුරපද ලබා නොදීමටත් ඔබ සැලකිලිමත් විය යුතු යි. මුරපද යෙදීමේ දී ඔබගේ නම, උපන්දිනය වැනි වෙනත් අය දන්නා හෝ අනුමාන කළ හැකි මුර පද යොදා ගැනීම ඉතාමත් අනතුරුදායක යි. එනිසා කිසිවකු අනුමාන නොකරන, අකුරු, සංකේත සහ ඉලක්කම් මිශ්‍ර කළ ශක්තිමත් මුර පද යෙදිය යුතු යි. 

ඔබට ලැබෙන නොදන්නා e-mail පණිවිඩ විවර නොකර සිටීමත් ඒවායේ ඇතුළත් සබැඳි මත ක්ලික් නොකර සිටීමත් ආරක්ෂාව පිණිස ගත හැකි යහපත් ක්‍රියාමාර්ගයක් බව කිව යුතු යි. facebook, Whatsapp, twitter, Instagram ආදී විවිධ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ දී අනවශ්‍ය පුද්ගලයන් වෙත පෞද්ගලික තොරතුරු අනාවරණය නොකිරීමට ද ඔබ සිතට ගත යුතු යි.

කවරයේ ඡායාරූපය- සයිබර් අපරාධකරුවෙක් දැක්වෙන ඩිජිටල් නිර්මාණයක් - gettyimages.com

මූලාශ්‍ර-

cert.gov.lk

sllchrm.lk

sathmadala.lk

samabima.com

enkanter.com

fossbytes.com  

Related Articles