මුල්ම පූර්ණ-ඉලෙක්ට්‍රික් Aston Martin කාරය- Rapide E

පසුගිය දා පැවති ෂැංහායි මෝටර් රථ ප්‍රදර්ශනයේ දී Aston Martin සමාගම තම ප්‍රථම ඉලෙක්ට්‍රොනික කාරය එළිදැක්වූවා. Rapide E ලෙස නම් කර තිබූ එය, ඔවුන්ගේ Rapide Saloon කාර් රථයේ පෙනුම ගෙන තිබුණා. මෙය වෙළඳපොළ නිෂ්පාදනය සඳහා දැන් සූදානම් කර ඇති අතර, ලෝකයටම මේ කාර් ලැබෙන්නේ 155ක් පමණයි. ඉන් එක් රථයක් දැනටමත් ජේම්ස් බොන්ඩ් වෙනුවෙන් වෙන් කර තිබෙනවා.

බාහිර පෙනුම

වායු ඝර්ෂණය අවම කරන නිමාව (vox-cdn.com)

Williams Advanced Engineering සමාගමේ සහභාගීත්වය ඇති ව අභ්‍යන්තර දහන එන්ජිමක් වෙනුවට ඉලෙක්ට්‍රොනික හදවතක් ලද Rapide කාරය ඉංජිනේරුවන්ට එහි තවත් වෙනස්කම් කරන්නට ඉඩ හසර පාදා දුන්නා. එහි දී වායුගතික විද්‍යාව (aerodynamics) වෙත වැඩි අවධානයක් යොමු කරනු ලැබුවා.

තම සහෝදර කාර් රථවලට වඩා ඉලෙක්ට්‍රොනික කාරයක් වශයෙන් Rapide හි සිසිලන අවශ්‍යතාවන් බෙහෙවින් අඩු වූවා. Aston සමාගම එහි වාසිය ගනිමින් බාහිරය හොඳින් සැලසුම් කර නව පෙනුමක් සහ විශේෂාංග එක් කළා.

සාමාන්‍යයෙන් ඉදිරිපස ග්‍රිල් එකට යොදන ලෝහ අවරපෙති (fans) වෙනුවට මී වදයක් ආකාරයේ නව හැඩයක් ලබා දෙමින් රථය තුළින් වාතය ගලා යාම නිසා ඇති වන ඝර්ෂණය අවම කරන්නට ඔවුන් කටයුතු කර තිබෙනවා. ඉලෙක්ට්‍රොනික කාර් රථයක් වශයෙන් එහි වාසියක් වන්නේ බැටරි බලය ඉතිරි වන නිසා ගමන් කළ හැකි දුර ප්‍රමාණය වැඩි වීම යි.

ඉදිරිපස යට කොටස යළි හැඩ ගස්වමින් front splitter එක හරහා ‍ඍජුව එන වාතය පසුපස විශාල විසරකය (diffuser) හරහා යවනවා. සාමාන්‍ය කාරයක දුම බැහැර කරන්නාක් මෙන් මෙහි ප්‍රතිරෝධී වාතය ඉවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු ඇලුමිනියම් රෝද ආවරණ සහ Pirelli P-Zero ටයර් ද සමග එය සම්පාදනය කරගෙන තිබෙනවා.

අභ්‍යන්තරය

තිර දෙකකින් යුත් Dashboard එක (hgmsites.net)

Rapide කාර් රථ ශ්‍රේණියේ නවතමයා සහ ඉලෙක්ට්‍රොනික රථවල ආරම්භකයා වශයෙන් නූතනයට ගැලපෙන තාක්ෂණයෙන් පිරි අභ්‍යන්තර සැලැස්මක මෙය ලබා ගන්නවා. පෙර තිබූ Rapide රථවල මෙන් Analog දර්ශක වෙනුවට මෙහි අඟල් 10ක තිරයක් ස්ථාපනය කර තිබෙනවා. එහි ආරෝපණ තත්ත්වය, මෝටරයේ බල මට්ටම්, බල භාවිත ප්‍රමාණයන් ආදිය දක්වනවා.

ධාවන අවස්ථාවේ දී Dashboard මීටර් තිරයේ වම් පසින් වේග මීටරය දර්ශකයක් ආකාරයෙන් ද එහි අගය මැදින් අංකයක් ලෙස ද, අනෙක් පසින් RPM මීටරය සහ එය මැදින් මැද දැනට ඇති ගියරයත් දක්වන අතර වාහනයේ උෂ්ණත්වය, ගමන් කළ දුර, සහ දැන් වේලාව දක්වනවා. Navigation සක්‍රීය කළ විට මැද ‍කොටස මාර්ගය දැක්වීම සඳහා වෙනස් වෙනවා.

අභ්‍යන්තර සැලැස්ම බොහෝ දුරට පෙර මාදිලිවලට සමාන වන අතර, කාබන් ෆයිබර් සහ ලෙදර්වලින් අභ්‍යන්තරය සකසා තිබෙනවා.

කාර් එකට App එකක්

පැති පෙනුම (hearstapps.com)

Rapide E කාරයේ විශේෂත්වයක් වන්නේ රියදුරු සහ කාර් රථය අතර සබඳතාව වර්ධනය කිරීම සඳහා App එකක් ද තිබීම යි. එමඟින් කාර් එක පිළිබඳ වැදගත් තොරතුරු, බැටරියේ තත්ත්වය, ගමන් කළ හැකි දුර ප්‍රමාණය, ආරෝපණය කිරීමට කෙතරම් කාලයක් ඉතිරිව ඇත් ද ආදිය දැකගන්නට පුළුවන්.

එසේම App එක හරහා Navigation සක්‍රීය කිරීමටත්, වාහනය නවතා ඇති ස්ථානය ඇප් එක හරහා දැක ගැනීමට හා කෙතරම් පියවර ප්‍රමාණයකින් ඒ වෙත ළඟා විය හැකි ද යන බවත් දැකගත හැකියි.

කාර්යය හැකියාවන්

ආරෝපණය කරමින් (bauersecure.com)

මෙහි අභ්‍යන්තර නිපැයුම සඳහා කටයුතු කළේ Formula E කාර්වල ද බැටරි පැක් සැකසූ ඉංජිනේරුවන් වන Williams Advanced Engineering ආයතනය යි. Rapide E සතුව 65 kWh බැටරියක් තිබෙන අතර, ඔවුන්ගේ අනෙකුත් කාර්වල ඇති ලීටර් 6ක V12 එන්ජිම, ගියර් පද්ධතිය, සහ තෙල් ටැංකිය ඉන් ප්‍රතිස්ථාපනය කර තිබෙනවා. ෆයිබර් සහ තාප ප්‍රතිරෝධී කෘත්‍රීම ෆයිබර් වර්ගයක් වන කෙව්ලර්වලින් එය ආවරණිත යි. වරක් ආරෝපණයෙන් පසු කි.මී. 322ක් පමණ ගමන් කිරීමට ජවය සැපයීමට මෙම බැටරිය සමත් වෙනවා. එය වේගවත් ආරෝපණ හැකියාවන්ගෙන් ද සමන්විත යි.

පසුපස පෙනුම (bauersecure.com)

රථයේ උපරිම වේගය පැ. කි. මී. 250ක් වන අතර, පසුපස ඇක්සලයට සම්බන්ධ කළ ඉලෙක්ට්‍රික් මෝටර් දෙකෙන් ලැබෙන 610 ps හා 950 Nm ව්‍යාවර්තය (torque) සමග තත්පර 4කින් 0-100kmph වේගයකටත්, තත්පර 4කින් උපරිම වේගය වෙත ද ළඟා විය හැකියි.

පසුවදන

අභ්‍යන්තර දහන එන්ජිම වෙනුවට විද්‍යුතය (autocar.co.uk)

සමස්තයක් වශයෙන් බලද්දී දැනට තිබෙන ආකෘතියටම ඉලෙක්ට්‍රොනික ජව සැපයුමක් ලද E මාදිලිය සම්පූර්ණයෙන්ම අලුත් කාරයක් නොවුණත් Aston Martin සමාගම එය නවමු මාදිලියක් ලෙස වෙළඳපොළට හඳුන්වාදෙන්නේ ඉතා සීමිත නිෂ්පාදන ප්‍රමාණයක් නිපවමිනුයි.

155ක් පමණක් නිකුත් කරමින් ඔවුන් ඉදිරියේ දී පැමිණීමට නියමිත Logonada වෙළඳ නාමය සහිත නිෂ්පාදන සඳහා බඩ සලසා ගන්නවා විය හැකියි. එනිසා මෙය හුදෙක් Aston Martin සමාගමේ ඉලෙක්ට්‍රොනික කාර් රථ සඳහා තැබූ මුල් පියවරක් ලෙස දැකිය හැකියි.

කවරය: autocar.co.uk

Related Articles

Exit mobile version