Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

භාවිතයට නිදහස් ඡායාරූප සොයාගන්නට ක්‍රම සහ වෙබ් අඩවි

පොටෝෂොප් වැනි මෘදුකාංගයකින් නිර්මාණ කරද්දී විවිධ ඡායාරූප එකතු කරමින් නිර්මාණය හැඩගන්වා ගන්නට සිදු වෙනවා. නමුත්, අන්තර්ජාලයේ ඇති සෑම ඡායාරූපයක්ම අපේ හිතුමතේ පාවිච්චි කරන්නට බැහැ. ඒවා නිර්මාණකරුවාගේ අවසරය දක්වන බලපත්‍රයේ දක්වා ඇති ආකාරයට අපට ක්‍රියා කරන්නට සිදුවන අතර එසේ නොකිරීම මානුෂීය වශයෙන් මෙන්ම බුද්ධිමය දේපළ නීති යටතේ ද වරදක් බවට පත්වෙනවා. ඉතින් තවදුරටත් හොරෙන් ගත්තු පින්තූර වෙනුවට, බලපත්‍ර අනුව නිදහ‍සේ පාවිච්චි කළ හැකි ඡායාරූපවලින් ඔබේ නිර්මාණ හැඩකරගන්නට අප උපක්‍රම සහ වෙබ් අඩවි කිහිපයක් ගෙන එනවා.

Google Image Search එකෙන්ම කරන හැටි

“Usage rights” වෙත පිවිසෙන්න (Roar / තඹරු විජේසේකර)

බොහෝ දෙනෙක් Google Search එක පාවිච්චි කරන නිසා ඒ හරහාම කතු හිමිකම් සඳහා ගැටළුවක් නොවන, නිදහසේ භාවිතා කළ හැකි ඡායාරූප සොයා ගන්නට පුළුවන්. Google.lk වෙත පිවිස ඔබට අවශ්‍ය සේ Search කර, එහි ඉහළ තිබෙන Images/අනුරූප ටැබ් එක ක්ලික් කරන්න. දැන් එහි දකුණු පසින් ලැබෙන Tools (හෝ “මෙවලම්”) ක්ලික් කර, එවිට ලැබෙන උප මෙනුවෙහි ඇති Usage rights (හෝ “භාවිතා අයිතිවාසිකම්”) ක්ලික් කරන්න.

එහි පෙරනිමි වශයෙන් තෝරා තිබෙන්නේ Not filtered by License හෙවත් බලපත්‍ර පිළිබඳ නොසලකා සොයන ලෙස යි. එය හැර අනෙක් ඕනෑම එකක් තේරීමෙන් නිදහස් බලපත්‍ර සහිත ඡායාරූප ලබා ගන්නට පුළුවන්. මෙහි “reuse with modification” යනු ඡායාරූපයට වෙනස්කම් සිදුකර යළි භාවිත කළ හැකි බව වන අතර එම ඡායාරූප වෙළඳ කටයුතු සඳහා භාවිතයට අවසරයක් නැහැ. එනිසා ඔබ ව්‍යාපාර කටයුත්තක් සඳහා ඡායාරූප ලබා ගන්නවා නම් “noncommercial reuse” මඟින් තෝරාගත යුතු යි.

Creative Commons සෙවුම් යන්ත්‍රය

Filters බොත්තමෙන් බලපත අනුව පෙරහන් කළ හැකියි (Roar / තඹරු විජේසේකර)

පෙර ලිපියක අප Creative Commons බලපත්‍ර ගැන කතා කළ නිසා ඔබට ඒ ගැන අවබෝධයක් තිබෙන නිසා භාවිතයට වඩාත් උචිත ඡායාරූප තෝරාගැනීම ගැටළුවක් වන්නේ නැහැ. දැන් Creative Commons වෙතින්ම Image Search එකක් ලබා දී තිබෙන අතර වේගවත්ව සහ පහසුවෙන් ඔවුන්ගේ ඡායාරූප ගොන්න තුළින් නිදහස් බලපත්‍ර සහිත ඒවා සොයාගත හැකියි. මෙහි ඇති විශේෂත්වයක් වන්නේ Google Search එකේ මෙන් සැකසුම් කිසිවක් නොකොට ඍජුවම සෙවීම් කිරීමට හැකිවීම යි.

වැඩිදුර කියැවීමට: ඔබේ නිර්මාණ රැකගන්නට CopyRight වෙනුවට CopyLeft

මෙහි ලැබෙන සෙවුම් ප්‍රතිඵල ඡායාරූපවල වම් පස ඉහළින් එහි බලපත්‍රය පෙන්වනවා. මිනිස් රූපය කපා හැර නොමැති නම් ඉන් අදහස් වන්නේ භාවිතයේ දී එම ඡායාරූපයේ නිර්මාණකරුගේ නම සඳහන් කළ යුතු බව යි. “$” සලකුණින් වාණිජ්‍ය කටයුතු සඳහා භාවිතයට අවසර ඇති/නැති බවත්, “=” ලකුණින් එම ඡායාරූපයට වෙනස් කිරීමට අවසර තිබේ ද/නැද්ද යන්නත් දක්වන නිසා වැඩි පහසුවක් ලැබෙනවා.

පිවිසෙන්න: search.creativecommons.org

වාණිජ්‍ය භාවිතයට ඡායාරූප සොයා දෙන Freerange

ගිණුමක් සකසාගත් විට ඔබේ නිර්මාණත් ඊට එක් කළ හැකියි (Roar / තඹරු විජේසේකර)

මෙහි වාණිජ්‍ය භාවිතය (Commercial use) ලෙස හඳුන්වන්නේ පෞද්ගලික භාවිතයට පමණක් නොව, වෙළඳ ප්‍රවර්ධන කටයුතු සඳහා වුව මේවා යොදා ගන්නට අවසර ඇති බව යි. එනිසා ඔබ වෘත්තීය ග්‍රැෆික් හෝ වෙබ් අඩවි නිර්මාණ ශිල්පියෙක් නම්, ‍ඔබේ පාරිභෝගිකයන්ට නිර්මාණ සකසා දීමේ දී මෙය භාවිතා කරන්නට පුළුවන්. Creative Commonsවලටත් වඩා හොඳ ඡායාරූප එකතුවක් මෙහි ඇති අතර Presentation සඳහා ගැලපෙන පසුබිම් ඡායාරූප පවා මෙහි අඩංගු වෙනවා.

ඔබ කරන නිර්මාණ (යොදාගත් කොටස් පවා නිදහස් මූලාශ්‍ර හෝ ඔබේම නිර්මාණයක් විය යුතු යි) මෙම වෙබ් අඩවියට නිකුත් කර නිදහස් බලපත්‍ර යටතේ ලබා දෙන්නට හැකියාව ඇති අතර, අවශ්‍ය නම් විකුණා මුදලක් ලබා ගන්නට ද එහි අවස්ථාව සලසා තිබෙනවා. Search එක හරහා ලැබෙන සියළු ඡායාරූප 2400 x 1600 වැනි ඉහළ වි‍භේදනයන්ගෙන් (resolution) තිබෙන නිසා භාවිතයේ දී බොඳවීම් ඇති වෙන්නේ නැහැ. එසේම බාගැනීමේ දී ඔබට අඩු විභේදන ප්‍රමාණයකින් අවශ්‍ය ප්‍රමාණයට ලබා ගත හැකි නිසා වැඩි Data ප්‍රමාණයක් වැය වන්නේත් නැහැ.

පිවිසෙන්න: freerangestock.com

පූර්ණ නිදහසක් දෙන Pexels

තනි බලපතක් ඇති ‍ඡායාරූප රැසක් (Roar / තඹරු විජේසේකර)

මෙම වෙබ් අඩවියේ ඇති සියළුම ඡායාරූප සඳහා ඇත්තේ තනි බලපත්‍රයක් වන අතර එහි කරුණු තුනක් දක්වා තිබෙනවා. සියළු ඡායාරූප භාවිතයට නිදහස් ය, නිර්මාණකරුවාගේ නම සඳහන් කිරීම අවශ්‍ය‍ නොවන අතර, කැමති නම් කළ හැකි ය, ඡායාරූප වෙනස් කිරීමට රිසි සේ අවසර ඇත. මෙම කරුණු තුනෙන් උපරිම නිදහසක් අර්ථ දැක්වෙන නිසා ඔබට ඕනෑම නිර්මාණයක කැමති ආකාරයකින් ඕනෑම අවශ්‍යතාවක් සඳහා මෙහි තිබෙන ඡායාරූප යොදා ගත හැකි වීම විශේෂත්වයක්. එනමුත්, මින් ඩවුන්ලෝඩ් කරගන්නා ඡායාරූප වෙනස් නොකර ඇති සැටියෙන් විකිණීමට හෝ බෙදා හැරීමට අවස්ථාව අවුරා තිබෙනවා. ඉතින්, මේ වෙබ් අඩවිය ඡායාරූප හොරුන්ට නොව, නිර්මාණ ශිල්පීන්ට පමණ යි.

මෙම වෙබ් අඩවිය මයික්‍රොසොෆ්ට් වර්ඩ් සඳහා, පොටෝෂොප් සඳහා ප්ලගීනයක් ලෙසත්, Chrome Extension එකක් ලෙස මෙන්ම දුරකතන App එකක් වශයෙන් ද ලබාගත හැකි නිසා භාවිතා කරන මෘදුකාංගය/උපාංගය අනුව පහසුවෙන්ම භාවිතයට ගන්නට පුළුවන්. අවශ්‍ය නම් ‍ඔබේම නිර්මාණ මෙයට උඩුගත කරන්නටත් පුළුවන්. නිදහස් වීඩියෝ සේවාවක් ද pexels.com/videos/ වෙතින් ලබාගත හැකියි.

පිවිසෙන්න: pexels.com

පැරණි ඡායාරූප ලබා දෙන New Old Stock

Vintage ඡායාරූප පහසුවෙන් සොයාගත හැකියි (Roar / තඹරු විජේසේකර)

කාලය ගතවත්ම ඡායාරූපවල ඇති බලපත්‍ර ඉකුත් වෙනවා. ඒවායේ හිමිකරුවකු නොමැති වීම, බලපත්‍ර‍යේ දක්වන ලද කාලසීමාව ඉක්මවා යාම වැනි හේතු නිසා ඒවා නිදහස් ඡායාරූප බවට පත්වන අතර ඒවා පොදු වසම් (public domain) බලපත්‍ර ලෙස හඳුන්වනවා. නූතන TV Series/ චිත්‍රපටවල පවා සිටින චරිත රූපවාහිනිය නරඹන ජවනිකා පෙන්වද්දී ඔවුන් ඉතා පැරණි චිත්‍රපට නරඹමින් සිටින්නේ මෙම පොදු වසම් බලපත ය‍ටතේ ඇති චිත්‍රපට යි (නැත්නම් ඔවුන්ට ඒවාටත් මුදල් ගෙවන්නට සිදුවෙනවා).

මේ ආකාරයට කාලානුරූපව බලපත් ඉකුත්වූ ඡායාරූප එකතු කරන Cole Townsend තම එකතුව වෙබ් අඩවිය හරහා අපටත් ඒවා ලබා ගන්නට අවස්ථාව සලසනවා. කළු සුදු, කහ පැහැ ගැන්වුණු පැරණි ඡායාරූප හෙවත් Vintage නිර්මාණ සිදු කරන අයට මෙන්ම පැරණි ඡායාරූප එකතු කරන කෙනෙක්ට වුණත් මෙය භාවිතා කළ හැකියි. මේවා වාණිජ්‍ය කටයුතුවලට, ඇති සැටියෙන්ම විකිණීමට ද අවසර ඇති නිසා කිසිදු සීමාවකින් තොරව භාවිතා කිරීමේ අවසරය ලැබෙනවා. වෙබ් අඩවියේ වම්පස ඉහළ ඇති Search අයිකනයෙන් ඔබ‍ට සෙවීම් සිදුකළ හැකියි.

පිවිසෙන්න: nos.twnsnd.co

මෙලොව සත්‍ය ලෙස නොමැති අයගේ මුහුණු සකසා දෙන This Person Does Not Exist

මේ සත්‍ය පුද්ගලයකු නොවේ (Roar / තඹරු විජේසේකර)

ටිකක් පුදුම හිතෙන සහ ඇතැම්විට බයකුත් හිතෙන වෙබ් අඩවියක් ගැන යි මේ කියන්න යන්නේ. කෘත්‍රීම බුද්ධියේ ආගමනයත් එක්ක දැන් නානාවිධ, පුදුම හිතෙන සේවාවන් රැසක් බිහිවෙන බව පෙර ලිපියක අපි කතා කළා. එවන් AIවලම අපූර්ව දායාදයක් වන මේ වෙබ් අඩවිය දැනට ලෝකයේ සිටින පුද්ගලයන් දෙදෙනෙක්ගේ මුහුණු එකතු කර නව මුහුණක් බිහිකරන්නට හැකියාව තිබෙනවා. එවිට ප්‍රතිඵලය ලෙස ලැබෙන්නේ මෙලොව සත්‍ය වශයෙන් බිහිව නැති පුද්ගලයෙක්ගේ මුහුණක්. මෙය කෙතරම් සාර්ථකව ප්‍රතිදාන ඡායාරූප සකසනවා ද යත්, බාහිර පසුබිමෙහි පවා වෙනසකින් තොරව සත්‍යරූපීවම සිදු කරනවා.

වැඩිදුර කියැවීමට පුදුම වීමට: 2019 වන විට AIවල පසුබිම සහ ඔබටම අත්විඳිය හැකි භාවිත අවස්ථා

NVIDIA සමාගමේ සහභාගීත්වයද මත වැඩිදියුණු කළ Generative Adversarial Network (GAN) නමැති තාක්ෂණය පදනම් කරමින් මෙම වෙබ් අඩවිය StyleGAN නම් ක්‍රියාවලියක් මෙයට යොදාගන්නවා. මෙහි අපට ඡායාරූප ඇතුළත් කිරීමක් ‍කළ නොහැකි අතර, ඔවුන් ඡායාරූප මුසුකර සකසාගත් මුහුණු සහිත ඡායාරූප අපට ලබා ගත හැකි වෙනවා. වෙබ් පිටුව Refresh කරන වාරයක් පාසා නව මුහුණු ලැබෙනවා.

පිවිසෙන්න: thispersondoesnotexist.com

කවරය: තඹරු විජේසේකර / Roar

Related Articles