හාඩ් ඩිස්කයක් මිලදී ගන්නට ගියාම ඒවා විවිධ වර්ගවලින් තිබෙනු දකින්නට ලැබෙනවා. එනිසා මිලදී ගනිද්දී ඒවායේ වර්ගය පිළිබඳව අවබෝධයක් තිබිය යුතු අතර එය සවිකරනු ලබන මව් පුවරුවට ගැලපෙන ආකාරයේ එකක් වීම ද අත්‍යාවශ්‍ය වෙනවා. හාඩ් ඩිස්ක දත්ත ගබඩා කරන ආකාරය, අභ්‍යන්තර සැලැස්ම අනුව මෙන්ම පරිගණකයට සම්බන්ධ වන ආකාරය අනුවත් වර්ග කිහිපයකින් යුතු වෙනවා. මේ, දැනට වෙළඳපොළ දකින්නට ලැබෙන හාඩ් ඩ්‍රයිව් වර්ග ගැන විස්තරයක්.
PATA
PATA යන කෙටි නමින් හැඳින්වෙන මෙය Parallel Advanced Technology Attachment නම්වන සමාන්තර ATA අතුරුමුහුණත පරිගණකය හා සබැඳීමට පාවිච්චි කළා. IDE හාඩ් (Integrated Drive Electronics) ලෙස මේවා බොහෝ දෙනෙක් හඳුන්වනු ලැබූවත් පසුකාලීනව එක වැඩිදියුණු කොට Enhanced Integrated Drive Electronics (EIDE) නමින් ද නිකුත් වුණා. Western Digital ආයතනය විසින් 1986දී හඳුන්වාදුන් මෙම හාඩ් ඩිස්ක ද අනෙකුත් උපාංග මෙන්ම පරිගණකයට සබැඳිය හැකි සමාන port එකකින් ගෙන එනු ලැබුවා. එහි දත්ත සංසරණ වේගය තත්පරයට මෙගාබයිට් 133ක් වූ අතර තනි චැනලයක හාඩ් ඩ්‍රයිව් 2ක් පමණක් සබැඳිය හැකි වුණා. මේ සඳහා වයර් 40 සිට 80ක් දක්වා සහිත කේබල් භාවිත වූ අතර බිට් කිහිපයක් එකවර යැවිය හැකි ආකාරයේ සමාන්තර ඒවා වුණා. මෙම හාඩ් ඩ්‍රයිව්වල පාවිච්චි වුණේ කාන්දම් සහිත තැටි යි. එ් මත හෙඩ් එකක් (කියැවුම් හිසක්) එහා මෙහා යමින් දත්ත ලිවීම සහ කියවීම සිදු කළ අතර දත්ත පරිමාව වැඩිකිරීමේදී ඩිස්ක කිහිපයක් එක මත එක තබා තනි බාහුවකට (arm) හිස් (heads) කිහිපයක් යොදනු ලැබුවා.
SATA
IDE හෙවත් හරි නම කියනවා නම්, PATA හාඩ් ඩිස්ක්වලට පසුව පැමිණි SATA ඩිස්කවල සම්බන්ධකයේ වෙනස වූයේ එහි ශ්‍රේණිගත ATA අතුරුමුහුණතක් භාවිතා වීමයි. ඩෙස්ක්ටොප් මෙන්ම ලැප්ටොප් පරිගණකවල ද භාවිතයට ගැණුනු මේවායේ ශ්‍රේණිගත සංඥා තාක්ෂණය නිසා තත්පරයට මෙගාබයිට් 150ක වේගයක් ලැබුණු අතර භාවිතයට ගැණුනු කේබල් ද කුඩා, තුනී සහ නම්‍යශීලී වුණා. පෝර්ට් එකේ පළල ද බෙහෙවින් අඩුවූ අතර එහි තිබුණේ pin 7ක් පමණයි. නමුත් කේබලයේ උපරිම දිග මීටරයක් පමණක් විය යුතු වූවා. දත්ත සංසරණයේදී bandwidth බෙදාගැනීමක් මෙයට කළ නොහැකි වුණේ මව්පුවරුවේ SATA controller චිප් එකකට එක් හාඩ් ඩ්‍රයිව් එකක් බැගින් පමණක් සහාය දැක්වීමට හැකිව තිබූ නිසායි. මෙම හාඩ් ඩ්‍රයිව් අඩු බල පරිභෝජනයක් කළ අතර PATAවල 5V වලට සාපේක්ෂව මෙයට අවශ්‍ය වූයේ හුදෙක් 250mV පමණයි.
SCSI
කුඩා පරිගණක පද්ධති අතුරුමුහුණත (Small Computer System Interface – SCSI) ලෙස හැඳින්වුණු මෙම වර්ගයේ හාඩ් ඩිස්කවල බාහිර පෙනුම ATA ඩිස්කවලට ම සමාන නමුත් පරිගණකයට සබැඳෙන පෝට් එක වෙනස් එකක් වුණා. අභ්‍යන්තරිකව හෝ බාහිරව සබැඳිය හැකි මේ හාඩ් ඩ්‍රයිව් SCSI ස්ලොට් එකක් නැති ඩෙස්ක්ටොප් පරිගණකයකට වුවත් PCI Express ස්ලොට් එකට සබඳන SCSI card එකකින් එම පහසුකම ලබා ගැනීමට හැකි වුණා. SCSI හාඩ් ඩ්‍රයිව් 15ක් එක දිගට ශ්‍රේණිගතව සම්බන්ධ කරමින් වේගවත්, විශ්වසනීය, පැය 24ක් දවස් හතම එක දිගට ක්‍රියා කරවිය හැකි අතර විශාල ප්‍රමාණයේ දත්ත සංසරණයට සහ ගබඩා කිරීමට මේවා යෝග්‍ය වෙනවා. මෙම ඩ්‍රයිව් අතර යෙදිය යුතු කේබල් අඩි 3කට වඩා අඩු වන තරමට එහි දත්තවල නිරවද්‍ය බව තහවුරු වනවා. සබඳන ලද ඩ්‍රයිව් ශ්‍රේණිය අවසානයේ SCSI terminator එකක් ද අනිවාර්යයෙන් යෙදිය යුතු වෙනවා.
RAID හෙවත් හාඩ් ඩ්‍රයිව් කිහිපයක එකතුවක්
දත්ත සංසරණ වේගය වැඩි කරගන්නට RAID පද්ධතියක් භාවිතා කළ හැකියි. මෙහිදී SCSI, ATA, හෝ FireWire ආකාරයේ හාඩ් ඩ්‍රයිව් කිහිපයක් හාඩ්වෙයා හෝ සොෆ්ට්වෙයා එකක් හරහා එකක් ලෙස සලකමින් භාවිතයට ගත හැකි අතර දත්ත කියවීමේ සහ ලිවීමේ වේගය මෙහිදී ඉහළ අගයක් ගන්නවා. සමාන්තරව ඩිස්ක කිහිපයකට එකවර දත්ත සංසරණය වන මෙම පද්ධති බැකප් එකක් ලෙස ද පාවිච්චි කළ හැකියි. ඒ, තනි ගොනුවක් එකවර සියළුම හාඩ් ඩ්‍රයිව් වල ගබඩා කරමින් එක් හාඩ් ඩ්‍රයිව් එකක් ක්‍රියා විරහිත වුවහොත් අනෙකකින් එය ලබා ගත හැකි වීමෙනුයි. මුදලට වඩා දත්තවල වටිනාකම වැඩි අවස්ථාවන්හිදී තෙවන මට්ටමේ RAID පද්ධති භාවිතයට ගැනෙන අතර ඒවා විශේෂ දෘඪාංගවලින් සකසා ඇති නිසා ඉහළ මිලකින් යුතු වෙනවා. RAID පද්ධති අපිටම සකසා ගන්නට හෝ වෙළඳපොළෙන් සකසන ලද පද්ධතියක් මිලදී ගන්නට පුළුවන්. තනිව සැකසීමේදී ඒවාට හොඳින් වාතාශ්‍රය එන පරිදි සකසා ගැනීම අත්‍යාවශ්‍ය වෙනවා.
SSD
Solid State Drives හෙවත් වේගයෙන් චලනය වන තැටිවල arm එකකින් චුම්බක තාක්ෂණයෙන් දත්ත ගබඩා කිරීම වෙනුවට පෙන් ඩ්‍රයිව්වල මෙන් Flash storage එකක් යොදාගන්නා හාඩ් ඩ්‍රයිව් මෙලෙස හැඳින්වෙනවා. මේවායේ චලනය වන කිසිදු කොටසක් නොමැති නිසා දත්ත ගබඩා කිරීමේ වේගය ඉතාම වැඩියි. කොටු හැඩැති පෙට්ටියක් වැනි සාමාන්‍ය හාඩ් ඩ්‍රයිව් පෙනුමෙන් මෙන්ම රැම් කාඩ් පෙනුමෙන් මැක්බුක් පරිගණකවලත්, VGA කාඩ් වැනි පෙනුමෙන් යුතුව ඩෙස්ක්ටොප් පරිගණකවලටත් මේවා සකසා තිබෙනවා. එවන් ආකාර PCIe ලෙස හඳුන්වන අතර එහි පරිපථය බාහිරයට නිරාවරණයවී පවතින නිසා Flash මතකයන් සහිත චිප් පවතින ආකාරය දැකගත හැකියි. අඩු බල ප්‍රමාණයක් භාවිතා කරමින් වැඩි දත්ත සංසරණ වේගයක් ලබාදෙන මේ ඩ්‍රයිව් ඝට්ටනයන් නිසා හානියට පත්වන්නේ ද නැහැ. නමුත් දිගු කාලයක් තිස්සේ දත්ත ලිවීම සිදුකරන විට ක්ෂයවීම් සිදුවන නිසා චුම්බක දත්ත ක්‍රමය තරම් වැඩි කාලයක් දත්ත සුරක්ෂිතව තබා ගැනීමට උචිත වන්නේ නැහැ. මේ ගැන වැඩි විස්තර අපි පෙර ලිපියකින් ගෙන ආවා.
ඔබට හාඩ් ඩිස්කයක් ගැනීමට පෙර සලකා බැලිය යුතු දේවල් දැන ගැනීමට අවශ්‍ය නම් අපි ඒ වෙනුවෙන් ද ලිපියක් ගෙන ආවා. මේ තාක්ෂණයන්ගෙන් ඔබ දැනට පාවිච්චි කර තිබෙන ඒවා මොනවාද?
කවරයේ ඡායාරූපය: ytimg.com