Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Power bank එකක් මිල දී ගනිද්දී බැලිය යුතු දේවල්

නිතර බැටරිය බසින දුරකතනයට Power bank එකක් ළඟ තබා ගැනීම මහත් පහසුවක් බවට පත්වෙනවා. විනෝද චාරිකාවක් යන අවස්ථාවක දී ආරෝපණය කිරීමට අවස්ථාවක් නොලැබෙන නිසා Powerbank එකකින් ලැබෙන්නේ පුදුමාකාර දායකත්වයක්. නමුත් මේවා දැනට මිල දී ගැනීමේ දී ගැටලු රැසකට මුහුණ පාන්නට සිදුවෙනවා. ඇතැම් ඒවායේ දුරකතනයෙන් Power bank එක ආරෝපණය අවස්ථා දකින්නට තිබෙනවා. තවත් ඒවා දුරකතනය සම්පූර්ණයෙන් ආරෝපණය වීමටත් ප්‍රථමයෙන් බැස යනවා. මෙවන් ගැටලු විසඳාගන්නට නම්  Power bank එකක් පිළිබඳව අපගේ අවබෝධය තවත් පුළුල් කර ගත යුතු වෙනවා. සල්ලි දාන්න කලින් බැංකුවේ ගුණ අගුණ හොයනවා වගේ, ආරෝපණ තැන්පත් කරද්දීත් “power” Bank එකේ ගුණ අගුණ හොයන්නට ඕනෑ. ඉතින් එය මිල දී ගැනීමේ දී කළ යුතු පූර්ව සොයාබැලීම් පිළිබඳව යි මේ ඔත්තුව.

(සත්‍ය) ධාරිතාව

Power bank එකක අභ්‍යන්තරයේ Li-ion බැටරි අඩංගුව ඇති ආකාරය (hackaday.io)

Power bank එක සතු ආරෝපණ ධාරිතාව දුරකතනය කී වරක් එමඟින් ආරෝපණය කර ගත හැකිදැ යි තීරණය කරනවා. වරක් ආරෝපණය කරගැනීමෙන් පසු එයට ගබඩා කොට තබා ගත හැකි ප්‍රමාණය ඔබ එය පාවිච්චි කරන්නට යන ආකාරය මත තීරණය වෙනවා. නිතර දුර ගමන් යන කෙනෙක්ට නම්, Power bank එක charge කරන්නට අවස්ථාවක් ලැබීම දුර්ලභ නිසා වැඩි වාරයක් දුරකතනය කරගැනීමට හැකි විය යුතු යි. මෙය mAh අගයයෙන් ඒවායේ සඳහන් කර ඇති නමුත් සත්‍ය අගය සොයාගන්නට නම් කුඩා ගණනය කිරීමක් කරන්නට සිදු වෙනවා.

Power bankවල අභ්‍යන්තරයේ ලිතියම්-අයන (Li-ion) බැටරි තිබෙන නිසා එහි වෝල්ටීයතාවය 3.7ක් ලෙස ගණනය කෙරෙනවා. දුරකතනයේ බල ඇගැයුම වෝල්ට් 5 යි. 5000mAh සඳහන්ව ඇති එකක, එය 3.7න් ගුණ කිරීමෙන් සම්පූර්ණ ශක්තිය 18500mWh ලෙස ලබා ගත හැකියි. දැන් එය දුරකතනයට ගැලපෙන සේ 5V බවට පත් කළ විට (5න් බෙදීමෙන්) ලැබෙන සත්‍ය ධාරිතාව 3700mAh ක්. අනතුරුව සරල භෞතික නියාමයන් වන ප්‍ර‍තිරෝධය සහ තාප බලපෑම් සැලකූ විට මෙය තවත් සුළු වශයෙන් වෙනස් වෙනවා. ප්‍රතිරෝධය අවම කරගන්නට පහසු ක්‍රමයක් තමයි, කෙටි වයර් එකක් පාවිච්චි කිරීම. දුරකතනය සමගම ලැබෙන වයර් බොහෝ අවස්ථාවල දී ප්‍රතිරෝධය අඩු නමුත්, ඔබ වෙනත් වයරයක් පාවිච්චි කරනවා නම්, එය දිගින් අඩු වීම වැඩි සාර්ථකත්වයක් ගෙන දේවි.

5000mAh වූ Power bank එකකින් iPhone 7 දුරකතනයක් 1.5 වාරයක් ආරෝපණය කරන්නත්, 10,000mAh සහ 15,000mAh මඟින් පිළිවෙලින් 3 වරක් සහ 5 වරකුත් ආරෝපණය කළ හැකි යි.

ප්‍රතිදාන හැකියාව

ඇම්පියර් අගයයන් Port අසල සඳහන් කර ඇති ආකාරය (banleong.com)

බොහෝ Powerbankවල port 2ක් දකින්නට ලැබෙන අතර ඒවායේ ඉහළින් විවිධ වෝල්ටීයතා සහ ඇම්පියර් අගයයන් දකවනු ලබනවා. දුරකතනය හෝ ඔබට ආරෝපණය කරගත යුතු ටැබ්ලට් වැනි උපාංගවලට මෙම අගයයන්ගෙන් ලැබෙන උපරිම හැකියාවන් දැනුවත්ව සිටීම වැදගත්.

1.0A ලෙස සඳහන් කර තිබෙන අවස්ථාවන්හි දී ඉන් සාර්ථකව ආරෝපණය කළ හැක්කේ ඉතාම අඩු මිල හෝ පැරණි දුරකතන පමණ යි. මැද මට්ටමේ (රු. තිස්දහසින් ඉහළ) දුරකතනවලට ද මෙම ප්‍රමාණය මදි නිසා ආරෙ‍ා්පණය වීමට වැඩි කාලයක් ගත වෙනවා. ටැබ් උපාංගවලට නම් මෙය කොහෙත්ම අවශ්‍යතා සපුරන්නේ නැහැ. 2.4A වැනි අගයක දී නම්, දුරකතනයක් ‍හොඳින් ආරෝපණය කරලන්නටත්, ටැබ් උපාංගයකට මූලික මට්ටමේ ආරෝපණ සහායකුත් ලබා දෙන්නට ඊට හැකියාව තිබෙනවා. මේ නිසා ඔබ ඉන් ආරෝපණය කරන්නට යන උපාංග අනුව තේරීම සිදුකළ යුතු වෙනවා.

30000mAh වැනි ඉහළ ධාරිතා අගයයන් සහ Quick charge සහිත උපාංගවල මෙම හැකියාවන් දැකගන්නට පුළුවන්.

Port ගණන

පෝට් 4ක් සහිත Power bank එකක් (alicdn.com)

වරක දී වැඩි උපාංග ගණනක් ආරෝපණය කරගන්නට නම් Power bank එක සතුව වැඩි port ගණනක් අවශ්‍ය බව සරල කරුණක්. නමුත් පැණය එය නොවේ. එසේ එක්වර උපාංග කිහිපයක් සබැඳූ විට එකම වේගයෙන් ඒවා ආරෝපණය කරන්නට ඊට හැකියාව තිබේ ද යන්න යි. පෙර සඳහන් කළ ආකාරයට, වෙළඳපොළ දකින්නට ඇති දැරිය හැකි මිල සහිත ඒවායේ 1.0A සහ 2.0A වැනි port සහිත ඒවා යි. මේ නිසා එක් උපාංගයක් වේගයෙන් ආරෝපණය කරද්දී එම මට්ටමේම දුරකතනයකට ලැබිය හැකි වන්නේ අඩු ආරෝපණ හැකියාවක්.

ඔබේ අවශ්‍යතාව උපාංග 2ක් එක්වර මධ්‍යස්ථ වේගයකින් ආරෝපණය කරගැනීම නම්, 2.4A සහිත Power bank එකක් තෝරා ගත යුතු යි. 3.4A තිබෙනවා නම් දුරකතනයක් සහ ටැබ් උපාංගයක් එක්වර හොඳින් ආරෝපණය කරගත හැකිවන අතර, ටැබ් උපාංග දෙකක් එක්වර වේගවත්ව ආරෝපණය කරගන්නට නම් අවම වශයෙන් 4.8A තිබිය යුතු යි.

මිල, නිමාව සහ වගකීම

දිගැටි ඒවායේ ඇත්තේ තනි බැටරියක් පමණයි (powercartel.com)

නමක් සඳහන් නොකළ (unbranded) Power bank ඕනෑ තරම් කොටුවේ ඉතා අඩු මිලට ඇති නමුත් වැඩි වාර ගණනක් ආරෝපණය කළ හැකි බව, වේගවත් ආරෝපණයක් ලද හැකි බව, උපාංග කිහිපයක් සාර්ථකව එකවර අ‍ාරෝපණය කළ හැකි බව යන මූලික කරුණු හමුවේ ඒවායේ නොහැකියාව මත, එලෙස මිල අඩු මන්දැයි යන්න සාධාරණීකරණය කරනවා. ඉතා පැරණි, අඩු මිල දුරකතනයකට හෝ USB torch එකක් වැනි කුඩා ප්‍රමාණයේ උපාංගයක් ආරෝපණය කරගන්නට නම් ඔබට මෙවන් අඩු මිල Power bank එකක් හොඳටම ප්‍රමාණවත්.

දුරකතනයට වඩාත් ගැලපෙන Power bank එකක් සොයාගනිද්දී වැඩි mAh අගයක් තිබීම වැදගත් බව ඉහත කී ගණනය කිරීම ඔප්පු කරලනවා. එසේම තෝරා ගැනීමේ දී තාක්ෂණික දැවැන්තයන්ගේ නම් වංචනිකව යොදන ලද චීන නිෂ්පාදනවලට නොරැවටීමටත් වග බලා ගත යුතු යි. බොහෝ අවස්ථාවල දී එම ගැටළුව වගකීම් සහතිකය අනුව තීරණය කරන්නට හැකි වෙනවා. ඒ වගේම, ලොකු සමාගමක් නොවටිනා අසුරණයක ඒවා බහාලන්නේ නැති බවත් සිහිතබා ගත හැකියි.

විවිධ වර්ණයන්ගෙන් හා හැඩවලින් Power banks තිබෙනවා. බොහෝ හොඳ ඒවායේ දැකිය හැකි ලක්ෂණයක් වන්නේ විච්චූර්ණ වර්ණ වෙනුවට වඩාත් හොඳ නිමාවක් ලබා දී තිබෙනු දකින්නට ලැබීම යි. තෑග්ගක් වශයෙන් තෝරාගැනීමේ දී ද හැඩයන් සහ වර්ණයන්ට හිත ගියත්, භාවිතා කරන්නාට සිදුවන අපහසුතාවන් ගැන සිතීම නුවණට හුරු යි.

Power banks එක්ක ඔබ ලැබූ අමිහිරි අත්දැකීම් මොනවා ද?

කවරය: dup-trading.com

Related Articles