Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Apple M1 Maxටත් වඩා බලවත් Intel 12 වන පරම්පරාව

තාක්ෂණික ලෝකය ඔබේ සියලු අවශ්‍යතා සපුරන එක් නිෂ්පාදනයකින් නවතින්නේ නැහැ. ඔබට තවත් අවශ්‍යතා ඇතිකරමින් තවත් වැඩි දියුණු කළ නිෂ්පාදනයක් නැවත ඔබ වෙත ඉදිරිපත් කරනවා. තාක්ෂණික ලෝකය මුළුමනින් ම රැඳී තියෙන පරිගණක ප්‍රොසෙසර හෙවත් පරිගණකයේ මොළය ගැනත් කතාව එසේම යි. එක් සමාගමක් සිය උපරිම හැකියාවන්ගෙන් යුත් ප්‍රොසෙසරය වෙළඳපොළට නිකුත් කළත් තවත් සමාගමක් ඒ අගය පසු කර යන විදිහට තමන්ගේ නිෂ්පාදනය වැඩි දියුණු කරනවා. මේ වෙද්දී ලෝක පරිගණක චිප් නිෂ්පාදනයේ ඉදිරියෙන් ම සිටින Intel, Apple සහ AMD සමාගම් 2022 වසරේ තම නිෂ්පාදන ගැන කල්තියා ම ඉඟි සපයනවා.

Apple M1 Pro සහ Max ප්‍රොසෙසර

ඇපල් සමාගම සිය M1 චිපය එළිදැක්වූවේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී යි. M1 චිපය යොදා ගෙන MacBook Pro, iMac, Mac Mini සහ MacBook Air මාදිලි එළිදැක්වීම පසුගිය වසරේත් මේ වසර මුලදීත් සිදු වුණා. ඒ එතෙක් කාලයක් MacBook Pro පරිගණක සඳහා භාවිත කළ Intel ප්‍රොසෙසර භාවිතයට තිත තබමින්. M1 චිපය බලසම්පන්න එකක් වුවත් එය workstation වර්ගයේ පරිගණක සඳහා එතරම් සුදුසු වන්නේ නැහැ. එයට හේතුව වන්නේ එමගින් ලබාදෙන Multi-Core හැකියාවට වඩා වැඩි හැකියාවක් වෙළඳපොළ දැනටමත් ඇති Intel සහ AMD සමාගම් නිපදවන පරිගණක චිප් මගින් ලබාගත හැකි වීමයි. M1 චිපය සමඟ Graphic හැකියාවක් ලැබෙන්නේ ද නැහැ. Intel සහ AMD චිප් Nvidia හෝ Radeon Graphics සමඟින් ක්‍රියා කළ හැකි නිසා workstation වර්ගයේ ලැප්ටොප් පරිගණකයක් අවශ්‍ය කෙනකුට M1 MacBook Pro පරිගණකයකට වඩා බලවත් Windows පරිගණකයක් සොයා ගැනීම පහසු වුණා.

Cinebench R23 (Multi-Core) Benchmark ප්‍රතිඵල – cpu-monkey.com

 

මේ පිළිබඳ ව සිය අවධානය යොමු කළ Apple සමාගම පසුගිය ඔක්තෝම්බර් මාසයේදී නවත ම MacBook Pro පරිගණක සමඟින් ප්‍රොසෙසර ද්විත්වයක් එළි දැක්වූවා. ඒවා නම් කර තිබුණේ M1 Pro සහ M1 Max යන නම්වලින්. මෙම චිප් වල CPU Core සංඛ්‍යාව 8 සිට 10 දක්වා වැඩි කර තිබූ අතර CPU Threads ප්‍රමාණය ද 10ක් ලෙසයි දැක්වුණේ. චිපයේ Graphic හැකියාවන් සඳහා GPU Core 16ක් සහ 32ක් පිළිවෙලින් M1 Pro සහ M1 Max හි අඩංගු යි. මේ නිසා M1 Max හි වීඩියෝ කේතාංකන (encoding) වේගය M1 Pro මෙන් දෙගුණයක් පමණ වන බවයි පැවසෙන්නේ.

Apple M1, M1 Pro සහ M1 Max චිපයන් – quora.com

M1 Pro සහ M1 Max චිප්වල ක්‍රියාකාරී ක්ෂමතාවන් (TDP අගයන්) M1 චිපය හා සංසන්දනය කිරීමේදී ඉතා ඉහළ වනවා. M1 හි TDP අගය 10W ක් වන අතර M1 Max සඳහා එම අගය 90W ක් පමණ වන බවයි දැක්වෙන්නේ. මේ නිසා 2021 වසරේ නිකුත් කළ ඉහත චිප් ද්විත්වය සහිත MacBook Pro පරිගණක සඳහාම නව චැසියක් නිර්මාණය කරන්නට Apple සමාගම කටයුතු යොදා තිබුණා. Apple සඳහා ආවේණික Thin & Light ස්වභාවයෙන් බැහැරට ගොස් වැඩි සිසිලනයකට ඉඩ සලසන ඝනකමින් වැඩි අඟල් 14 සහ අඟල් 16 MacBook Pro පරිගණක ඒ අනුව දැන් වෙළඳපොළට නිකුත් වනවා.

M1 Pro සහ M1 Max චිපයන් අඩංගු MacBook පරිගණකය පැරණි MacBook වලට වඩා ඝනකමින් වැඩිය – samacharcentral.com

2021 වසරේ ලැප්ටොප් පරිගණක සඳහා Intel සමාගම නිකුත් කළ ඉහළ ම හැකියාවෙන් යුත් ප්‍රොසෙසරය වන්නේ i9 – 11950H ප්‍රොසෙසරය යි. මෙම චිපය සතුව Core 8ක් සහ Threads 16ක් පවතින අතර M1 Max චිපය හා ඉතා සමාන හැකියාවක් දක්වනවා. Single-Core සහ Multi-Core දෙඅංශයෙන් ම M1 Max සහ Intel 11950H චිපය අතර ඇත්තේ ඉතා සුළු වෙනසක් පමණ යි. Ryzen 9 5900HX ප්‍රොසෙසරය Single-Core අංශයෙන් M1 Pro ටත් වඩා අඩු හැකියාවක් පෙන්වනවා.

Intel 12 වන පරම්පරාව

Intel සමාගමේ මීළඟ ප්‍රොසෙසර පරම්පරාව වන Alder Lake ප්‍රොසෙසර දැන් දැන් ලැප්ටොප් පරිගණක සඳහා නිකුත් වීම ආරම්භ වී තිබෙනවා. දැනට නිකුත් වී ඇති ප්‍රොසෙසර මාදිලි අතරින් වඩා බල සම්පන්න ම ප්‍රොසෙසරය වන්නේ i7 – 12800H ප්‍රොසෙසරය යි. Gigabyte Aorus 15 2022 ලැප්ටොප් පරිගණකය සමඟ නොවැම්බර් මාසයේදී මුල් වරට පාරිභෝගිකයන් අතරට පැමිණි මෙම ප්‍රොසෙසරය පසුගිය සතියේ දී 2022 Razer Blade 15 ලැප්ටොප් පරිගණකය සමඟ ද නිකුත් වී තිබෙනවා.

Geekbench 5 Single-Core සඳහා ප්‍රතිඵල – cpu-monkey.com

මෙම ප්‍රොසෙසරය Core 14ක් සහ Threads 20 කින් සමන්විත යි. එය මෙතෙක් Intel සමාගම නිර්මාණය කළ වැඩි ම Core ගණනක් සහ Threads ගණනක් ඇති ජංගම පරිගණක ප්‍රොසෙසරය ද වනවා. එම ප්‍රොසෙසරය සඳහා වන Geekbench 5.4 Benchmark ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයේ ප්‍රධාන මාතෘකාවක් වී ඇති අතර ඒවාට අනුව i7 – 12800H ප්‍රොසෙසරයේ Single-Core හැකියාව සැලකීමේ දී Apple M1 Max ප්‍රොසෙසරයට වඩා 1.02% ක වැඩි හැකියාවක් පෙන්වනවා. මෙම වෙනස ඉතා සුළු වූවත් Intel සමාගමේ i7 – 128XX මාදිලියේ ඉදිරි ප්‍රොසෙසර පහසුවෙන් ම M1 Max හි හැකියාවන් අභිබවනු ඇති බව යි බොහෝ දෙනාගේ අදහස වන්නේ.

Apple M1 Max ප්‍රොසෙසරයට වඩා Core සංඛ්‍යාවත් Threads සංඛ්‍යාවත් Intel ප්‍රොසෙසරයේ සංඛ්‍යාත්මක ව වැඩි වූවත් Multi-Core හැකියාව අතින් තවමත් පෙරමුණේ සිටින්නේ Apple M1 Max බව කිව යුතු යි. ඒ 0.76% ක් වැනි ඉතා කුඩා ප්‍රමාණයකින්. නමුත් Intel සමාගම සිය i9 – 129XX මාදිලියේ ප්‍රොසෙසර නිකුත් කිරීමේ දී මෙම තත්වය වෙනස් වනු ඇතැයි අපේක්ෂා කළ හැකි යි.

Geekbench 5 Multi-Core සඳහා ප්‍රතිඵල – cpu-monkey.com

Apple M1 Max ප්‍රොසෙසරය සහ Nvidia RTX 3080Ti

Apple ප්‍රොසෙසරය ඉතා ඉහළ Inbuilt Graphics හැකියාවකින් ද යුක්ත බව ඉහතදී සඳහන් වුණා. GPU Core සංඛ්‍යාව 32ක් වැනි ඉහළ අගයක් ගැනීම මෙයට හේතුව යි. නමුත් එය Nvidia RTX 3080 Ti වැනි Graphic Cardවල හැකියාව ප්‍රායෝගික ලෝකයේ දී ඉක්මවා යෑමට සමත් වන්නේ නැහැ. M1 Max පරිශීලකයින් පවසන පරිදි එම ප්‍රොසෙසරයේ Graphic හැකියාව සමාන වන්නේ RTX 3060 එකකට පමණක් බවයි පැවසෙන්නේ. එනම් RTX 3070, RX 6800 හෝ RTX 3080 Ti වැනි Graphic Card වල හැකියාව M1 Maxවලට වඩා වැඩි වනවා.

RTX 3080 Ti එකක යොදා ගෙන ඇති ට්‍රාන්සිස්ටර ගණන බිලියන 28ක් පමණ වන අතර M1 Max සඳහා එම අගය බිලියන 13.5 ක් පමණ වන බවයි පැවසෙන්නේ. එය ගණන වේගය පිළිබඳ ව සැලකීමේ දී M1 Max සතු ව ඇති අවාසියක් වන නමුත් ප්‍රොසෙසරය සතු ව ඇති RAM අගය පොදුවේ Gpu Core මගින් ද භාවිත කිරීම නිසා වැඩි VRAM අගයක් M1 Max සතු වනවා. RTX 3080 Ti හි VRAM අගය 12 GB වන අතර M1 Max හි 64 GB RAM අගය ම VRAM ලෙස ද යොදා ගැනෙනවා. මේ නිසා වීඩියෝ සංස්කරණ යෙදවුම් වැනි කටයුතුවලදීත්, Benchmark ගණනය කිරීම් වලදීත් සහ වෙනත් විශේෂ තත්ත්වයන් යටතේත් M1 Max වැඩි හැකියාවක් පෙන්වීම දැකිය හැකි යි.

Nvidia RTX 3080 Ti වර්ගයේ ලැප්ටොප් පරිගණක සඳහා යොදන Graphic Card එකක් – notebookcheck.net

Ryzen 6900HX හි වැඩි අවධානය Graphic වෙතයි

AMD සමාගමේ Ryzen 6900HX තවමත් එළිදක්වා නැහැ. දැනට පළවන වාර්තාවලට අනුව ලබන වසර මුල දී එය නිකුත් වනු ඇති බව යි පැවසෙන්නේ. Ryzen සයවන පරම්පරාවේ ප්‍රොසෙසර අතරින් වේගවත් ම ප්‍රොසෙසරය වනු ඇත්තේ Ryzen 6900HX බව කියවෙනවා. 5000 මාදිලියේ ප්‍රොසෙසර සඳහා භාවිත කළ Zen 3 නිර්මාණ ශිල්පය වෙනුවට 6000 මාදිලිය සඳහා යොදාගැනෙන්නේ නවතම Zen 3+ නිර්මාණ ශිල්පය බවටයි වාර්තා වන්නේ. ඒ අනුව නැනෝමීටර 7 සිට 6 දක්වා Process node එක අඩු වනු ඇති. Core සංඛ්‍යාවේ හෝ Thread සංඛ්‍යාවේ වෙනසක් බලාපොරොත්තු විය නොහැකි අතර එය 8C 16T ආකාරයට ම පවතින බවයි පැවසෙන්නේ.

AMD සමාගමේ Zen 2 සහ Zen 3 ප්‍රොසෙසර නිර්මාණ ශිල්ප – hexus.net

Ryzen 6000 මාදිලියේ ප්‍රොසෙසරවල Inbuilt Graphics කෙරෙහි AMD සමාගමේ වැඩි අවධානය යොමු වී තිබෙනවා. එයට හේතුව වී ඇත්තේ Ultrabook කාණ්ඩයේ ලැප්ටොප් පරිගණක වෙළඳපොළ තවමත් අත්පත් කරගෙන සිටින්නේ Intel චිපයන් වීම නිස යි. ඒවායේ වඩා දියුණු iGPU නිසා නිෂ්පාදකයන් Radeon Vega වෙනුවට Intel Iris යොදාගැනීමට පෙලැඹී තිබෙනවා. මෙයට පිළියමක් ලෙස Radeon 6XX M නමින් නවත ම iGPU එකක් හඳුන්වා දීමට යි AMD ලබන වසරේ දී සැරසෙන්නේ. Ryzen 6900HX සඳහා එන iGPU එකෙහි නම ඒ අනුව Radeon 680M වනවා. Vega++ නිර්මාණ ශිල්පය වෙනුවට RDNA 2 නිර්මාණ ශිල්පය ඒ සඳහා යොදා ගැනෙනවා.

Intel සහ AMD සමාගම්වල මෙම නව ප්‍රොසෙසර හා කරට කර සටනක් වෙනුවෙන් Apple සමාගමත් ලබන වසරේ දී සිය මීළඟ වැඩි දියුණු කළ ප්‍රොසෙසරය ඉදිරිපත් කරනු ඇති. මෙවැනි තරගකාරී වෙළඳපොළක් නිර්මාණය වීම පාරිභෝගිකයන්ට වැදගත් වන්නේ හොඳ තේරීමක් ලැබීමත්, ඉහළ ම හැකියාවන්ගෙන් යුත් නිෂ්පාදනයන් මිලදී ගැනීමට හැකි වීමත් නිසා යි.

කවරයේ ඡායාරූපය - screenrant.com 

මූලාශ්‍ර: 

digitaltrends.com

wccftech.com

notebookcheck.net 

extremetech.com

macrumors.com 

appleinsider.com 

cpu-monkey.com

 

Related Articles