Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

CES 2022 ලොවට ගෙනා නව මාදිලියේ තාක්ෂණික උපාංග

වාර්ෂික ව පැවැත්වෙන පාරිභෝගික ඉලෙක්ට්‍රොනික් ප්‍රදර්ශනය (Consumer Electronic Show) මේ වසරේදීත් ජනවාරි 5 – 7 දිනවලදී අමෙරිකාවේ ලාස් වේගාස් හි දී පැවැත්වුණා. 2021 වසරේ මෙම ප්‍රදර්ශනය කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මාර්ගගත ක්‍රමවේදයට පැවැත්වූ අතර අමෙරිකාව පුරා අද වන විට දරුණු ලෙස පැතිරී යන ඔමික්‍රෝන් ප්‍රභේදය හමුවේ වුව ද 2022 CES ප්‍රදර්ශනය සීමා කිරීම් සහිත ව හෝ පැවැත්වීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයක්. මෙහිදී පරිගණකවලට අමතර ව එළි දැක්වුණු අනෙකුත් තාක්ෂණ උපකරණ කිහිපයක් පිළිබඳවයි මේ සටහන.

නවත ම ජංගම දුරකථන

2022 වසරේ දී වෙළඳපොළට නිකුත් වන අලුත් ම ජංගම දුරකථන එළිදැක්වීම ලොව සුප්‍රකට සමාගම් කිහිපයක් මෙවර CES ප්‍රදර්ශනයේදීත් සිදු කර තිබුණා. Samsung සමාගම සිය FE (Fan Edition) දුරකථන මාදිලිය තවදුරටත් ඉදිරියට ගෙන යමින් S21 FE ජංගම දුරකථනය එළිදැක්වීම සිදු කළ අතර මෙය පසුගිය වසරේ නිකුත් විය යුතු එකක් වුවත් ඒ වෙනුවෙන්ම බලා සිටි පාරිභෝගිකයන්ට නම් සුභ ආරංචියක් වන්නට ඇති.

Samsung සමාගමේ 2021 වසර සඳහා වූ Flagship දුරකථනයේ (S21) සියලු පහසුකම් හා හැකියාවන් සහිත ව Android 12 සංස්කරණය සමඟින් එන S21 FE දුරකථනය $700 ක තරමක අඩු මිලකට මෙහිදී හඳුන්වා දුන්නා.

S21 FE ජංගම දුරකථනය – notebookcheck.net

 

නැවිය හැකි තිර සහිත දැන් දැන් බොහෝ දුරකථන නිෂ්පාදන සමාගම් නිපදවනවා. Samsung සමාගමේ දැනට වෙළඳපොලේ පවතින Z Fold 3 සහ Flip 3 දුරකථනවල සාර්ථකත්වය නිසා ම නවත ම සංකල්පමය Foldable දුරකථන සහ ටැබ්ලට් පරිගණක කිහිපයක් ඔවුන් මෙවර CES හිදී හඳුන්වා දුන්නා. ඒවා නම් කර තිබුණේ Flex S සහ Flex G ලෙසයි.

මේවා ස්ථාන දෙකකින් තිරය නැවිය හැකි ආකාරයට නිමවා තිබෙනවා. මේ නිසා වඩා විශාල තිරයක් පහසුවෙන් හකුළුවා රැගෙන යා හැකිවනවා. Flex S හැකිළූ විට තිරයේ එක් කොටසක් පිටතට පෙනෙන ආකාරයටයි නිමවා ඇත්තේ. නමුත් Flex G එවන් අවශ්‍යතාවක් නොමැති අයකුට වඩා යෝග්‍ය වනවා.

Flex G සහ Flex S ස්මාර්ට් දුරකථන – cnet.com

 

Oneplus සමාගමේ මීළඟ Flagship දුරකථනය වන Oneplus 10 Pro හඳුන්වාදීම ද CES 2022 ප්‍රදර්ශනයේ දී සිදු වුණා. දුරකථනයේ පෙනුමේ සැලකිය යුතු වෙනස්කමක් සිදුකර තිබූ අතර කැමරා සහ ඡායාරූපකරණයේ දැවැන්තයකු වන Hasselblad සමාගම සමඟ එකඟතාව තවදුරටත් පවත්වා ගැනෙන බව Oneplus මෙහිදී සඳහන් කළා.

Oneplus 9 Pro හි ඡායාරූපවල වර්ණ සංකලනයකට පමණක් දායක වූ Hasselblad සමාගම මෙවර ඉන් ඔබ්බට යමින් මෙම නව දුරකථනයේ කැමරාවට දායක වී ඇති බවයි වාර්තා වන්නේ. 2022 වසර සඳහා නිකුත් වන Snapdragon 8 Gen 1 ප්‍රොසෙසරය සමඟින් මෙම ජංගම දුරකථනය ඉදිරියේ දී නිකුත් වීමට නියමිත යි. චීන වෙළඳපොළ සඳහා Oneplus 10 Pro පසුගිය 11 වනදා නිකුත් වූවත් අනෙකුත් රටවල් සඳහා නිකුත් කෙරෙන දිනයක් හෝ මිල ගණන් මේ දක්වා ඉදිරිපත් කර නැහැ.

නවත ම Oneplus 10 Pro – androidauthority.com

මෝටර් රථ ලෝකයෙන් අලුත් හඳුන්වාදීම්

මෝටර් රථ තාක්ෂණය සම්බන්ධ එළි දැක්වීම් කිහිපයක් ම මෙවර CES හිදී දක්නට ලැබුණා. ඒ අතරින් කාගේත් අවධානය යොමු වුණේ BMW සමාගම හඳුන්වා දුන් වර්ණ වෙනස් කළ හැකි iX Flow මෝටර් රථයයි. මේ සඳහා භාවිත කර තිබෙන්නේ Amazon Kindle වැනි E-Readers උපකරණ සඳහා භාවිත වන E-Ink තාක්ෂණයයි.

එහි අඩංගු වන්නේ එකිනෙකට ඉතා ආසන්නයෙන් තබා ඇති කුඩා කැප්සියුල සමුහයක්. මෙම කැප්සියුල තුළ සෘණ ආරෝපිත සුදු පැහැ තීන්ත අංශුත් ධන ආරෝපිත කළු පැහැ තීන්ත අංශුත් අඩංගු වනවා. කැප්සියුලය දෙපසට ලබාදෙන විද්‍යුත් ක්ෂේත්‍රය මගින් සුදු හෝ කළු තීන්ත ඉහළට ගැනීම හෝ පහළට යැවීම සිදු කළ හැකි යි. එවිට පිටතින් පෙනෙන වර්ණය සුදු හෝ කළු ලෙස වෙනස් වනවා.

වර්ණ වෙනස් කළ හැකි BMW iX Flow – bmw.com

 

BMW iX Flow රථයේ පිටත සම්පුර්ණයෙන්ම ඉහත ආකාරයේ සරල ඩිජිටල් තිර මඟින් ආවරණය (Wrap) කර තිබෙනවා. එවිට පරිශීලකයාගේ විධානයකට අනුව මෝටර් රථයේ සම්පුර්ණ වර්ණය ම වෙනස් කළ හැකි යි. මෙහිදී සුදු පැහැයේ සිට කළු පැහැය දක්වා ඇති ඕනෑම වර්ණයක් ලබා ගත හැකි වනවා. මෙවැනි වර්ණ වෙනස් කිරීමක් අවශ්‍ය වන්නේ හුදෙක් රථයේ පෙනුම වෙනස් කිරීම සඳහා පමණක් නොවන බවයි BMW සමාගම පෙන්වා දෙන්නේ.

සුදු පැහැය සහ කළු පැහැයේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ තාප සංවේදී ගුණ නිසා අව් රශ්මිය පවතින කාලයේ දී සුදු පැහැයත් සීත කාලයේ දී කළු පැහැයත් යොදා ගැනීම මඟින් රථය ඇතුළත වායුසමීකරණවලට ශක්තිය වැයවීම අවම කරගත හැකි බව යි පැවසෙන්නේ. මෙය විද්‍යුතයෙන් ක්‍රියාකරන රථ සඳහා වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති.

විද්‍යුත් රථවල ආරෝපණ ප්‍රමාණය පෙන්වීම ඇතුළු වෙනත් තොරතුරු ප්‍රදර්ශනය සඳහා මෙම වර්ණ වෙනස්වීම යොදා ගැනීමේ හැකියාව පවතින බව එම සමාගම පවසනවා. මෙම තාක්ෂණය තවමත් සංකල්පමය එකක් වුවත් මේ සඳහා වැයවන විද්‍යුත් ශක්තිය අවම වීම, මිලෙන් අඩු වීම සහ නිර්මාණය අපහසු නොවීම නිසා අනාගතයේ දී වර්ණ වෙනස් කරන මෝටර් රථ සැබෑවක් වීම උපකල්පනය කළ හැකි යි.

Chevrolet Silverado EV විදුලි කැබ් රථය – techspot.com

විදුලියෙන් ක්‍රියාකරන කැබ් රථ සඳහා වන තරග බිමට අමෙරිකානු මෝටර් රථ නිෂ්පාදක දැවැන්තයෙක් වන General Motors සමාගම ද එක් ව සිටිනවා. ඒ තම නවත ම විදුලි කැබ් රථය වන Chevrolet Silverado EV රථය මෙවර CES හි දී හඳුන්වාදීමත් සමඟ යි. මෙම රථයේ හැකියාව අතින් Ford F – 150 රථය අභිබවා යනවා.

ඒ Ford රථයට වඩා වැඩි අශ්ව බල සැපයුමක් (664 bhp) සහ වැඩි පරාසයක ධාවනයක් (650 km) ලබාදීම නිස යි. විවිධ පහසුකම් සහ අංගෝපාංගවලින් සමන්විත Chevrolet Silverado EV හි මිල ආරම්භ වන්නේ අමෙරිකානු ඩොලර් 39,000 සිට යි. මෙහි ඉහළ ම පහසුකම්වලින් හෙබි සුඛෝපභෝගී රථයක මිල අමෙරිකානු ඩොලර් 105,000ක් දක්වා දිවෙනවා. මෙම රථය බොහෝ විට ලබන වසරේ දී වෙළඳපොළට නිකුත් වනු ඇතැයි ද අනුමාන කෙරෙනවා.

ඕනෑම දෙයක් ස්වයංක්‍රීයව චලනය කරන්න

පසුගිය වසරේ ජූනි මාසයේ සිට Boston Dynamics නම් අමෙරිකානු රොබෝ නිර්මාණ සමාගම Hyundai සමාගම මිලදී ගත්තා. සංකල්පමය ආකාරයට නිර්මාණය වුණු Boston Dynamics රොබෝ නිර්මාණ කිහිපයක් ම යථාර්ථයක් කරමින් මිනිස් අවශ්‍යතා සඳහා වෙළඳපොළට නිකුත් කිරීමට ඒ අනුව හැකි වී තිබෙනවා. මෙවර CES හිදී ඒ රොබෝ නිර්මාණ හඳුන්වා දීමක් ද සිදුවූ අතර රොබෝ අත් යොදා වැඩිදියුණු කළ Boston Dynamics සමාගමේ Spot රොබෝවරයා ද ඒ අතර වනවා. මේවා අධි අවදානම් පරිසර (විකරණශීලි, අධික උණුසුම් හෝ අභ්‍යවකාශය වැනි) වලදී මිනිසුන්ට ගමන් කළ නොහැකි ස්ථානවලට ගමන් කළ හැකි ආකාරයටයි සකසා ඇත්තේ.

රොබෝ අත් යොදා වැඩිදියුණු කළ Boston Dynamics සමාගමේ Spot රොබෝවරයා – ieee.org

 

මීට අමතරව Hyundai සමාගමේ නව Mobility of Things (MoT) සංකල්පයට අනුව ඕනෑම භාණ්ඩයක් ප්‍රවාහනය සඳහා කුඩා රොබෝ යන්ත්‍ර හඳුන්වා දෙනවා. මේවා හඳුන්වන්නේ Plug and Drive (PnD) මොඩියුල ලෙස යි. මෙය Suspension පද්ධතියක්, මෝටරයක්, Lidar සංවේදක, කැමරා උපාංග ආදියෙන් සමන්විත තනි රෝදයක් ඇති කුඩා ඒකකයක්. බාධක මඟ හැර ස්වයංක්‍රියව අදාළ ස්ථානය වෙත ගමන් කිරීමේ හැකියාව මෙයට පවතිනවා.

මේවා කිහිපයක් යම් භාණ්ඩයකට සවිකර එය ස්වයංක්‍රිය ව චලනය කළ හැකි බවයි පැවසෙන්නේ. එසේම විවිධ ආබාධ නිසා ඇවිදීමේ අපහසුතා ඇති පුද්ගලයන් වෙනුවෙන් ද චලනය වන ආරක්‍ෂිත කුටීර හඳුන්වා දීමට Hyundai සමාගම කටයුතු කර තිබෙනවා. එය සංකල්පමය එකක් වූවත් අනාගතයේදී නාගරික ගමනාගමනය සඳහාත් යොදාගනු ඇති බවයි ඔවුන්ගේ අදහස වන්නේ.

Plug and Drive මොඩියුල – ubergizmo.com

 

ඔටෝමැටික් ට්‍රැක්ටරය

කෘෂිකාර්මික උපකරණ නිෂ්පාදන සමාගමක් වන John Deere හි නවත ම ස්වයංක්‍රිය ට්‍රැක්ටර් යන්ත්‍ර හඳුන්වා දීම ද CES 2022 දී සිදුවුණා. මහා පරිමාණ වගා බිම් වල බිම් සකස් කිරීම්, බෝග සිටුවීම් සහ අස්වනු නෙළීමේ කාර්යය සඳහා දැනටත් එම සමාගමේ නිෂ්පාදිත උපකරණ අර්ධ ස්වයංක්‍රිය ආකාරයෙන් යොදාගැනුණත් රියදුරකු හෝ රහිත ව ඉහත සියලු කාර්යයන් කළ හැකි කෘෂි උපකරණ මුල්වරට එළි දකින්නේ මේ වසරේදීයි.

මෙම රථ පුරා සවි කර ඇති කැමරා සහ වෙනත් සංවේදක මගින් සම්පුර්ණ වගාබිමේ ම අදාළ කෘෂි කටයුත්ත සිදු කළ හැකි අතර වගාබිමට පිටතින් සිට තම ස්මාර්ට් ජංගම දුරකථනයෙන් සියලු කටයුතු නිරීක්ෂණය කිරීමේ හැකියාව වගා හිමිකරුවාට ලැබෙනවා. මෙය බටහිර රටවල විශාල ලෙස පවතින කම්කරු හිඟයට සාර්ථක විසඳුමක් වනු ඇති බවයි පැවසෙන්නේ.

Roborock Vacuum යන්ත්‍ර

ගෙබිම පිරිසුදු කිරීම සඳහා රොබෝ vacuum යන්ත්‍ර නිර්මාණය අද වන විට සුලබ වී තිබෙනවා. Roborock Vacuum යන්ත්‍ර ද බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් එවැනි නිෂ්පාදනයක්. ඔවුන් සිය නවත ම රොබෝ පිරිසුදු කිරීමේ යන්ත්‍රය හරහා නව පහසුකම් හඳුන්වා දී තිබුණා. බිම පිරිසුදු කිරීමෙන් පසු මෙම උපකරණය ස්වයං පිරිසුදු කිරීමකට ලක් වීම ඉන් විශේෂ යි. පරිශීලකයාට ඇත්තේ අදාළ අපිරිසුදු ජලය හෝ දූවිලි සහිත බඳුන් ඉවත් කිරීම සහ පිරිසුදු ජලය පිරවීම පමණ යි.

Roborock S7 MaxV Ultra – zdnet.com

 

අතේ ගෙන යා හැකි ප්‍රොජෙක්ටරය

Samsung සමාගම Freestyle නම් කුඩා ප්‍රාමාණයේ projector යන්ත්‍රයක් මෙවර CES ප්‍රදර්ශනයේදී හඳුන්වා දී තිබුණා. අතේ ගෙනයා හැකි ලෙස නිර්මාණය කර ඇති මෙයට ඉහළ ගුණාත්මක බවකින් යුත් දර්ශන ලබා දීමට හැකියාව පවතින බව යි පැවසෙන්නේ. මෙම උපකරණයට Wifi ඔස්සේ අන්තර්ජාල සම්බන්ධතාවක් ලබාදුනහොත් Smart රූපවාහිනියක ආකාරයට ස්වාධීන ව සියලු Streaming පහසුකම් ලබාදිය හැකි ආකාරයටයි සකස් කර ඇත්තේ. ඒ අනුව Disney+, Apple TV, Netflix හෝ Youtube ආදී ඕනෑම සේවාවක් නැරඹීමේ හැකියාව පරිශීලකයාට හිමි වනවා.

Samsung Freestyle Projector යන්ත්‍රය – androidpolice.com

 

එසේත් නොමැති නම් පරිගණකයට සම්බන්ධ කර සාමාන්‍ය ප්‍රොජෙක්ටරයක ආකාරයට ක්‍රියාකරන්නත් Freestyle උපකරණයට පුළුවන්. ස්මාර්ට් ජංගම දුරකථන තිරයේ ප්‍රතිබිම්බයක් ලබාදීමේ හැකියාව මෙම කුඩා ප්‍රොජෙක්ටරයට තිබෙනවා. ස්වයංක්‍රිය ව නාභිගත වීම හා Keystone සකස් වීමත් මෙහි ඇති අමතර පහසුකම් ලෙස දැක්විය හැකි යි. කුඩා ස්පීකරයක් ද අඩංගු වන මෙහි බල්බ හෝල්ඩරයකට සවිකර විදුලිය ලබා දිය හැකි මොඩලයක් ලෙස ද ලබා ගැනීමට පාරිභෝගිකයාට හැකියාව පවතිනවා.

ස්මාර්ට් ග්ලාස් සහ ඇසට නොපෙනෙන හෙඩ්ෆෝන්

TCL NEXTWEAR Air යනු TCL සමාගමේ නවත ම ස්මාර්ට් ඇස් කණ්නාඩි යුගළක් ද මෙවර CES ප්‍රදර්ශනයේ දී හඳුන්වා දුන්නා. මෙහි ඇති මයික්‍රෝ LED තාක්ෂණය නිසා අඟල් 140 ක රූපවාහිනී තිරයක් ඉදිරිපිට සිට නරඹන හැඟීම දැනවීමට හැකි යි. ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනයේ ඇති චිත්‍රපට හෝ වෙනත් වීඩියෝ ආදිය විශාල තිරයක නැරඹීමට මේ අතේ ගෙන යා හැකි චිත්‍රපට තිරය ඔබට උදව් කරනවා. ඊට අමතර ව වෙනත් ස්මාර්ට් කණ්ණාඩියකින් ලැබෙන තොරතුරු ලබාදීම් වැනි පහසුකම්ද  TCL NEXTWEAR Air ස්මාර්ට් කණ්නාඩිය මඟින් ඉටුකරනවා.

TCL NEXTWEAR Air ස්මාර්ට් ඇස් කණ්ණාඩිය – theverge.com

 

Noveto සමාගමේ Noveto N1 නොපෙනන හෙඩ්ෆෝනය සැබවින් ම අලුත් නිර්මාණයක්. මෙය කුඩා ස්මාර්ට් ස්පීකරයක් වන අතර ඔබ එය ඉදිරිපිට ඉඳගෙන හෝ සිටගෙන සිටිය දී පමණක් ඔබට එය ශ්‍රවණය වේ. එයින් ලබා දෙන ශබ්ද තරංග ක්‍රියා කරන්නේ ඔබ හෙඩ්ෆෝන් යුගළක් පැළඳ සිටිය දී ඔබට ශ්‍රවණය වන ආකාරයටයි.

ස්පීකරය ඉදිරියෙන් සුළු ප්‍රමාණයක් ඔබේ හිස ඉවතට ගැනීමෙන් එය නෑසී යන ලෙස මෙම ත්‍රිමාණ ශබ්ද ජනකය නිර්මාණය කර තිබෙනවා. මේ නිසා හෙඩ්ෆෝනයක් භාවිතයෙන් තොරව අන් අයට බාධා නොවන අයුරින් සංගීතයට හෝ වෙනත් ඕනෑම දෙයකට සවන් දීමේ හැකියාව මෙමගින් හිමිවනවා. අමෙරිකානු ඩොලර් 800 කට මිල නියම වී ඇති මෙය මේ වසරේ වෙළඳපොළට එක් වනු ඇති.

නාන වතුර ඉතුරු කරන Rainstick Shower 

Rainstick Shower නමින් හඳුන්වන නෑම සඳහා භාවිත කරන වතුර මලක් CES 2022 ප්‍රදර්ශනයේ දී දැක ගත හැකි වුණා. මෙහි විශේෂත්වය වන්නේ අප ස්නානය සඳහා භාවිත කරන ජලයෙන් 80%ක් පිරිපහදු කර නැවත ස්නානය සඳහා එවෙලේ ම භාවිතා කළ හැකි වීම යි. මෙහි ඇති ජල පෙරහන් මඟින් ස්නානය කළ ජලයේ ඇති වෛරස, බැක්ටීරියා, දහඩිය, වෙනත් අපද්‍රව්‍ය සියල්ල පියවර 3 ක දී සම්පුර්ණයෙන් ඉවත් කළ හැකි බව යි පැවසෙන්නේ. පරිශිලකයා සති කිහිපයකට වරක් පෙරහන් පිරිසුදු කිරීම පමණක් කළ යුතු අතර Wifi තාක්ෂණය සහ Google, Alexa යන ශබ්ද සහායක පහසුකම් ද මෙයට එක් කර තිබෙනවා.

වතුර ඉතුරු කරන Rainstick Shower – rainstickshower.com

 

Sengled නම් ස්මාර්ට් හෝම් උපකරණ නිෂ්පාදන සමාගමක් විසින් සොඛ්‍යමත් භාවය පවත්වා ගැනීමට උදව්වන ස්මාර්ට් විදුලි බල්බයක් නිර්මාණය කර තිබෙනවා. එය සවි කර ඇති කාමරය තුළ වෙසෙන්නන්ගේ හදවත ගැහෙන වේගය, නිදා ගැනීම ආදිය සංවේදක මඟින් ගණනය කළ හැකි වනවා. මෙම තොරතුරු ඉන්පසුව ස්මාර්ට් ජංගම දුරකථනය වෙත ද ලබාගත හැකි යි. නිවසේ වයස්ගත පුද්ගලයන් සිටී නම් ඔවුන් වැටීමට ලක් වුවහොත් ඒ පිළිබඳ ව දැනුම් දීමටත් මේ බල්බයට හැකි බවයි පැවසෙන්නේ.

මේ ආකාරයේ බොහෝ නව නිර්මාණ සහ නව තාක්ෂණ එළිදැක්වීම් CES 2022 දී දැකගත හැකි වුණා. මෙම ලිපිය ලිවීමට යොදාගත් පහත මුලාශ්‍රවලට පිවිසීමෙන් ඒවා ගැන තවදුරටත් දැනගන්නට ඔබට හැකිවේවි.

කවරයේ ඡායාරූපය - CES 2022 ප්‍රදර්ශනය - 808.media

මූලාශ්‍ර:

ces.tech

theverge.com

techradar.com

pocket-lint.com

iotworldtoday.com

techcrunch.com

cnet.com

wired.com  

Related Articles