ඇපල් සමාගමේ 2019 මෘදුකාංග සංවර්ධක සමුළුවේ දී හඳුන්වාදුන් iOS 13 සහ iPadOS ගැන අප පෙර ලිපියකින් ගෙන ආවා. දැන්, එහිදී එළිදැක්වූ උපාංග කිහිපයක් සහ ඒ ආශ්‍රිතව ලැබුණු අලුත්ම විශේෂාංග ගැන බලන්නයි මේ ලැහැස්තිය.
ටෙරාබයිට් 1.5ක දැවැන්ත RAM එකක් ඇති Mac Pro
පසුගිය වසරේ හඳුන්වාදුන් Mac Pro උපාංගය කුඩා ටින් එකක් බඳු වූවත් මෙවර එය කිලෝග්‍රෑම් 18ක් බර කුළුණක් බවට පත්ව අති වේගවත් හැකියාවන්වලට හිමිකම් කියනවා. මෙහි අවම මට්ටමේ විශේෂාංග ලෙස 8-core Intel Xeon ප්‍රොසෙසරයක්, Radeon 580X ග්‍රැෆික් කාඩ් එකක්, 32GB RAM මතකයක් සහ 256GB SSD ගබඩා ධාරිතාවක් දරනවා. ඉහළ මට්ටමේ ග්‍රැෆික් කටයුතු කරන කෙනෙක්ට වුව මෙය හොඳින්ම ප්‍රමාණවත් වෙනවා. මෙහි හැකියාවන් තවත් වැඩි කරගැනීමට ඉඩකඩ සලසා තිබෙන නිසා 28-core Intel Xeon ප්‍රොසෙසරයක්, ටෙරාබයිට් 1.5ක් තරම් සුවිසල් RAM අගයක් හා Radeon Pro Vega II GPU 4ක් සහිත දැවැන්ත වේගයක් සමග ද ලබා ගන්නට පුළුවන්.
8-core, 12-core, 16-core, 24-core සහ ඉහත කී 28-core ලෙස මාදිලි 5කින් මේ පරිගණකය සමන්විත වෙනවා. GPU 4ක පද්ධතිය සැකසෙන්නේ Radeon Pro Vega II Duo MPX මොඩියුල 2ක් එක් වීමෙනුයි. තත්පරයට ටෙරාබයිට් 1ක Memory bandwidth එකක් ඉන් ලැබෙන අතර GPU කිහිපයක් සමග කටයුතු කළ හැකි සේ සැකසූ Appsවලට මේ සැකැස්ම ඉබ්බා දියේ දැම්මාක් වගේ යි. මෙහි අවම GPU මට්ටම එනම්, තනි MPX මොඩියුලයකින් Radeon Pro 580X GPU එකක් සහිත අවස්ථාවේ දී පවා 256GB/s memory bandwidth එකක් ලැබෙනවා.
GPU මෙතරම් ප්‍රමාණයක් පාවිච්චි වීමේ දී ඒවායේ රත්වීම වැළැක්වීමට වායු සංසරණය අත්‍යාවශ්‍ය වෙනවා. එමඟින් වැඩි ශබ්දයක් ඇති වන නමුත් මෙම පරිගණකයේ ඇති MPX මොඩියුල System Unit එකේ ඇති සිසිලන විශේෂාංගයන්ම භාවිතා කරන නිසා කිසිදු හඬනැගීමකින් තොරව උපරිම සිසිලනයක් ලබාගන්නවා. වායු සංසරණය සඳහා මෙම System Unit එකේ දැලිසක් ආකාරයේ සිදුරු සකසා තිබෙනවා. මෙය බැලු බැල්මට චීස් ග්රේටරයක් වගේ නිසා ඒ ගැන සැකසුණු Memesවලින් අන්තර්ජාලය පිරී ගියා.
දත්ත ආරක්ෂාව මෙහි ඇති Apple T2 Security chip එක මඟින් සිදුකරන අතර පහළ මට්ටම් මෘදුකාංගවලට පවා බලපෑමක් ඇති නොවන ආකාරයට ඉන් ආරක්ෂාව ලැබෙනවා. SSDවල ඇති දත්ත ආකේතනය කිරීම ද මෙමඟින් සිදු වෙනවා.
ග්‍රැෆික් නිර්මාණකරුවන්, මැක් පරිගණක පරිසරයක් පවත්වා ගැනීමට ප්‍රිය කරන ආයතන අරමුණු කරගෙන සකසා ඇති මේ පරිගණකය සැප්තැම්බර්-නොවැම්බර් කාලය තුළ $5999 (රු. මිලියන 1.5ක් පමණ) සිට ඉහළට යන මිලකින් වෙළඳපොළට පැමිණීමට නියමිත යි. ඔබ සතුව iPhone එකක් හෝ iPad එකක් තිබෙනවා නම් මේ ලින්ක් එකට පිවිස Safari බ්‍රවුසරය තුළින් Mac Pro පරිගණකය ඔබේ මේසය මත තිබෙනවාක් මෙන් AR වලින් දැකගන්නට හැකියි.
සවිබල පරිගණකයකට තියුණු පෙනුමක් ගෙන එන Pro Display XDR
ලොව ප්‍රථම අඟල් 32ක Retina තිරය බවට පත් වන නවතම Pro Display XDR මොනිටරය 6K තිර විභේදනයකින් යුතු වෙනවා. සාමාන්‍ය මොනිටරයක දීප්තිය (brightness) නිට්ස් 100ක් පමණ වන නමුත් මෙහි 1000 සිට 1600ක උපරිමයක් දක්වා තිර දීප්තියක් ලබා දීමේ හැකියාව තිබෙනවා. මේ නිසාම එය ඉක්මණින් රත්වීම වැළැක්වීමට Mac Pro පරිගණකයේ වගේම වායු හුවමාරුව සඳහා දැලිසක ආකාරයේ දැලක් මොනිටරය පසුපසට යොදා තිබෙනවා.
මෙහි 10-bit එනම්, බිලියන ගණනක වර්ණ මැවිය හැකි නිසා වඩාත් විචිත්‍ර හා නිරවද්‍ය දසුන් මැවීමේ හැකියාවක් දක්වනවා. LED වලින් සකසා ඇති නිසා දීප්තිමත් හා වර්ණවත් ප්‍රදේශ අඳුරු ප්‍රදේශවලින් කැපී පෙනෙමින් වඩාත් තීව්ර දසුන් ලබා දෙනවා. සාමාන්‍යයෙන් LED යොදාගැනීමේ දී එක් පෙදෙසක් අධි තීව්ර බවක් ලබන විට අවට ඇති අඳුරු පෙදෙස්වලටත් එහි බලපෑම ඇතිවී ආලෝකමත් වෙනවා. මෙම ගැටළුව වැළැක්වීම සඳහා ලේයර් කිහිපයකින් යුත් සැකැස්මක් මේ මොනිටරයට ලබා දී තිබෙනවා.
සුදු පැහැය වෙනුවට “576 blue LED” නමැති නිල් පැහැ බුබුළු පෙළකින් මෙහි ආලෝකනය සිදුවන නිසා එම ගැටළුව වළකිනවා. ආලෝකය තව දුරටත් පාලනයට සෑම LED බුබුළකටම විශේෂිතව සැකසූ කාචයක් යොදා ඇති අතර ඉන් ආලෝක පරාවර්තනය කරමින්, අනවශ්‍ය දීප්තියක් ඇතිවීම වළකමින් ආලෝක සංයෝජනය නිසි පරිදි සිදු කරනවා. ඉහතකී නිල් පැහැ ආලෝකය ඉන්පසු සුදු ආලෝකය හෙවත් අදාල වර්ණ බවට පත් කිරීමට ලේයර් සිය ගණනකින් සෑදූ තනි ලේයරයක් යොදා තිබෙනවා. එය හරහා ආලෝකය ගමන් කර Micro lens array එකකින් දීප්ත්යතාව (brightness) ගොඩ නගනවා. XDR මොනිටරය මවන අනර්ඝ රූපවල පසුබිම් කතාව එයයි.
වැඩි කෝණයක් දක්වා දෙපැත්තෙන් බලද්දී වර්ණ නොවෙනස්ව පැවතීම, තිරය මතුපිට දිලිසීම වළක්වා තිබීම මෙහි විශේෂාංග බවට පත්වන නමුත් දුක්ඛදායක කතාවක් ද තිබෙනවා. සාමාන්‍යයෙන් අප මොනිටරයක් ගනිද්දී ඒකට රඳවනයක්/Stand එකක් ලැබෙනවාදැ යි වෙළඳසල් හිමියාගෙන් අහන්නේ නැහැ. පුදුමය නම්, මේ මොනිටරයට Stand එකක් නොලැබීමත්, ඒ වෙනුවෙන් තවත් $999 වියදම් කරන්නටත් සිදු වීම යි. කෙසේවතුදු, Apple stand එකට මේ මොනිටරය විවිධ කෝණවලට හැරවීමට, උස් පහත් කිරීමට සහ තිරස්/සිරස් භාවිතයට අවස්ථාව සැලසීම වැනි පුළුල් හැකියාවන් ප්‍රමාණයක් තිබෙනවා.
ස්වාධීනව Apps ස්ථාපනය කරගත හැකි Watch OS 6
Apple watch උපාංග සඳහා ලැබෙන නවතම Watch OS 6 සමග දැන් දුරකතනයේ සහභාගීත්වයක් නොමැතිව Apps ස්ථාපනය කරගන්නට අවස්ථාව ලැබෙනවා. ඒ, එයටම ලැබෙන App Store එක හරහා යි. එමඟින් ඔබට ඔරලෝසුව ස්වාධීනව භාවිතා කරමින් අලුත් App සොයන්නට, ස්ථාපනය කරගන්නට මෙන්ම මිල දී ගන්නට ද හැකි වෙනවා.
කැල්කියුලේටරයක්, කටහඬ මඟින් සටහන් තැබිය හැකිවීම ද මෙයට එක්ව ඇති අතර අලුත් ඔරලෝසු මුහුණත් රැසක් ලබා දී තිබෙනවා. California Dial, ඩිජිටල් හා වර්ණ සංකලන මුහුණත් මෙන්ම සූර්යයා පැය 24 තුළ ගමන් කරන ආකාරය දක්වන නව මුහුණතක් ද මෙයට අයත් වෙනවා.
ඔබ සිටින පරිසරයේ තිබෙන ශබ්ද මට්ටම අනුව එය කණට අහිතකර නම් ඒ බව දැනුම් දී ඔබේ ශ්‍රවණ සෞඛ්‍යය දිගු කාලයක් හොඳින් පවත්වාගන්නට අවශ්‍ය සහාය Watch OS 6 මඟින් ලැබෙන අතර, ඉන් අදහස් වන්නේ ඔබේ සෑමදේම අසා සිටින බව නොවන බවත්, පෞද්ගලිකත්වය හැමවිටම ආරක්ෂා කරන බවත්, අන්තර්ජාලයට දත්ත නොයවා උපාංගය හරහාම මේ දේවල් සිදුවන බවත් ඔවුන් WWDC19හි දී පෙන්වා දුන්නා.
කාන්තාවන්ට තමන්ගේ ඔසප් චක්‍රය සටහන් කරගැනීමට පහසුකමකුත්, ප්‍රති නිර්මාණිත Health app එකකුත් දැන් ලැබෙනවා.
AirPods සහ HomePod වෙතට ගීත එක් කිරීමට පහසුකමක්
ඔබ iPhone එකෙන් ශ්‍රවණය කරමින් සිටින ගීතයක් දැන් Airpod එකෙන් අසන්නට අවශ්‍ය වුණොත් කළ යුත්තේ දුරකතනය ඒ වෙතට ළං කිරීම පමණ යි. මේ ආකාරයට ම මිතුරකුගේ දුරකතනයට මෙන්ම නිවසේ ඇති HomePod එකට ද ඔබ දැන් අසමින් සිටින ගීතය යැවීමට කළ යුත්තේ උපාංග එකිනෙක ළං කිරීම පමණ යි.
නිවසින් බැහැර යද්දී HomePod එකෙන් වාදනය වන ගීතය දුරකතනය මඟින් අසමින් ගමන් කරන්නට අවශ්‍ය නම් දුරකතනය ඒ වෙත ළං කිරීම පමණ යි කළ යුත්තේ. එවිට දුරකතනයට ඒ ගීතය ලැබෙන අතර, HomePod එකෙහි වාදනය වීම ද නවතිනවා. එවිට ඔබට ඒ සින්දුව දුරකතනය මඟින් රැගෙන යන්නාක් මෙන් මෙම නව විශේෂාංගය සමග නවමු අත්දැකීමක් ලබන්නට හැකියි.
WWDC19 දී හඳුන්වා දුන් අමතක කළ නොහැකි විශේෂාංගයක් තමයි නවතම MacOS Catalina කියන්නේ. එහි දැන් iTunes වෙනුවට TV, Podcast සහ Music ලෙස Apps තුනකුයි තිබෙන්නේ. තවමත් එම මෙහෙයුම් පද්ධතිය මුල් අවධියේ තිබෙන නිසා නිකුත් වූවාට පසු සවිස්තරව ඔබ වෙත ගෙන එන්නම්.