ඇලපාත මුදලි සහ ගජමන් නෝනා අතර හුවමාරු වූ බව කියන ගෘංගාර කවි රාශියක් අපට අසන්නට ලැබෙනවා. මාතර යුගයේ ප්‍රකට කිවිඳිය වූ ගජමන් නෝනා සහ ඇලපාත මුදලි අතර අනියම් ප්‍රේමයක් පැවතුණා.
ඇලපාත මුදලි තැනූ වලව්ව අදත් රත්නපුරයේ දකින්නට ලැබෙනවා. ඓතිහාසික තොරතුරු අනුව ඇලපාත මුදලිගේ චරිතය ගොඩනැඟීම ගැටලුසහගත යි. ඒ ගැන වැඩිපුර තොරතුරු සඳහන් වන්නේ ජනප්‍රවාද ලෙසිනු යි.
කවියට හපන් ඇලපාත හාමුදුරුවෝ
රත්නපුර නවදුන් කෝරළේ ඇලපාත ගමේ ප්‍රභූ පවුලක 1772 දී උපන් දරුවෙක් ළමා කාලයේම සාසනයට පුජා කෙරුණා. මේ දරුවා මහණ කෙරුණේ සපුගොඩ ඉලන්ගංගොඩ පුරාණ විහාරයේ යි. මුද්දුව සහ කුට්ටාපිටියේ රතනජෝති නාහිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් ඇලපාත ධම්මරතන නමින් මේ දරුවා පැවිදි දිවියට ඇතුළත් වුණා.
ටික කලකට පසු මේ දරුවා කරතොට ධම්මාරාම නාහිමිගෙන් වැඩිදුර ඉගෙනීමට මාතර වේරගම්පිට පන්සලට පිටත් කෙරුණා. ඇලපාත ධම්මරතන හාමුදුරුවෝ සාමණේර කාලයේ සිටම කවි තැනීමට හපන්කමක් දැක්වූවා. පසුව මේ හිමියෝ පැල්මඩුල්ල පුරාණ විහාරයේ සහ කරන්ගොඩ පොත්ගුල් රජමහා විහාරයේත් වැඩවාසය කර තිබෙනවා.
මේ හිමියන් කරතොට හාමුදුරුවන්ගෙන් කාව්‍ය ශාස්ත්‍රය සහ භාෂාව ඉගෙන ගන්නා කාලයේම දෝන ඉසබෙලා කොර්නේලියා හෙවත් ගජමන් නෝනා නම් යෞවනිය පිරිමියකු සේ වෙස් වලාගෙන කරතොට හාමුදුරුවන්ගෙන් කවි තැනීම ඉගෙන ගනිමින් සිටියා.
ඒ අතර ම එවකට ඉංග්‍රිසි ආණ්ඩුවේ මාතර ප්‍රදේශය බාර නිලධාරියා වු ජෝන් ඩොයිලි ද කරතොට ධම්මාරාම හිමිගෙන් සිංහල ඉගෙන ගැනීමට පැමිණියා. මේ නිසා ඩොයිලි සහ තරුණ ධම්මරතන හිමි අතර මිතුරුකමක් පැන නැඟුණා.
උපැවිදි වෙයි
සිංහල, පාලි සහ ව්‍යාකරණය ඉගෙන ගත් ධම්මරතන හාමුදුරුවෝ ක්‍රමයෙන් ගිහි ජීවිතයට ඇලුම් කරන්නට වූණා. ටික කාලෙකට පසුව ධම්මරතන හාමුදුරුවෝ උපැවිදි වුණා. එසේ උපැවිදි වුණූ දවසේ ම ක්‍රිස්තියානි ආගම වැලඳගෙන තිබෙනවා. ඩොයිලි ඇතුළු ඉංග්‍රීසි ආණ්ඩුවේ ඉහළ නිලධාරින් ඇසුරු කළ නිසා උගතකු වූ ඔහුට මුදලි පදවියක් ද ලබාදී අලුත්කුරු කෝරළේ දිසාව පදවියට පත්කර තිබෙනවා. අලුත්කුරු කෝරළේට අයත් වන්නේ කොළඹට නුදුරු මෝදර, රාගම සහ කඳාන ප්‍රදේශ යි.
තම ශිෂ්‍යයා උපැවිදි වීම නිසා කලකිරීමට පත් කරතොට ධම්මාරාම හිමි කවියකින් ඔහුගෙන් ඒ ගැන ප්‍රශ්න කර තිබෙනවා:
දියට සකා තුම පද සුන් අයට දෙකා
නොවැද නිකා ගෙන දෙන සඟ සමඟ සුකා
නොම සලකා කෙළියට වත් සිතන එකා
තණ නොම කා බිම වැද බත් කන ගොනෙකා
අවුරුදු දහයක කාලයක් අලුත්කුරු කෝරළේ දිසාව ලෙස සේවය කළ ඇලපාත මුදලි හෙවත් ජයතිලක ගුණරත්න තෙන්නකෝන් මුදියන්සේ විශාල ධනයක් උපයාගෙන ආපසු රත්නපුරයට පැමිණියා. ඇලපාත රටේ රාළ සහ ඇලපාත බස්නායක නිලමේ යනුවෙන් ද ඔහු ගැන ඩොයිලිගේ දිනපොතේ සඳහන් වෙනවා.
ඇලපාතගේ දේපල
ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලනය යටතේ සබරගමුව දිසාවේ කොඩිතුවක්කු නිලමේ තනතුරට ඔහුගේ වැඩිමහල් සහෝදරයා පත්කර තිබෙනවා. ඔහුගේ බාල සහෝදරයා ඇලපාත බස්නායක නිලමේ නමින් හඳුන්වනවා. ඔහු බලන්ගොඩ බොල්තුඹේ සමන් දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කර තිබෙනවා.
ඇලපාත රටේරාළ හෙවත් හයවැනි ඇලපාතට බලිබත්ගොඩ පිහිටි අක්කර 10ක විශාලත්වයකින් යුතු ඉඩම හිමිවුණා. ඔහු රත්නපුර කුකුළු කෝරළේ දෙල්ගොඩ ගමේ ප්‍රභූ පවුලක රූමත් තරුණියක් සමඟ විවාහ වි තිබෙනවා. මෙම විවාහයෙන් ඇලපාතට දූවරු තිදෙනෙක් සහ පුතකු ලැබී තිබෙනවා. ඩොයිලි සඳහන් කරන්නේ එම දරුවන්ට අමතර ව තවත් පිරිමි දරුවෙක් හදාගත් බව යි. ඔහු දිවි ගෙවූ මහ වලව්ව අදත් දකින්නට ලැබෙනවා. එය ඇලපාත පරපුරේ වර්තමාන පරපුරට අයත්ව පවතිනවා. පසුකාලීන අලුත්වැඩියාවන්ට ලක්වුණු එය ඕලන්ද ගෘහ නිර්මාණ ලක්ෂණවලින් යුක්ත යි.
ගජමන් නෝනා
දරුවන් සිව්දෙනෙකුගේ අම්මා කෙනෙක් වන නමුදු ගජමන් නෝනා සුරුපී කාන්තාවක් වුණා. ඇගේ කවි නිසා සමාජයේ කැපීපෙනෙන තැනක් ද හිමිව තිබුණා. සැමියා මියගොස් සිටි නිසා ඇය ගතකළේ දුෂ්කර ජීවිතයක්. මේ අතර ගජමන් නෝනා ශෝක මාලය නම් කවි එකතුව ලියනවා. ගජමන් නෝනා ලියූ විවිධ පද්‍ය අතර පොතක් ලෙස සැකසුණු එකම නිර්මාණය මේ ශෝක මාලය බව පැවසෙනවා. එය ආචාර්ය බන්දුසේන ගුණසේකර සංස්කරණය කර ගජමන් නෝනාගේ දැඩිතර ශෝක මාලය නමින් පළකර තිබෙනවා.
ඇලපාත මුදලිට ශෝක මාලය කියවන්න අවස්ථාව හිමිවෙනවා. ( සමහර කතාවල කියවෙන්නේ ඔහු පැවිදිවී සිටි කාලයේ මේ කවි පොත කියවන්න ලැබුණූ බවයි) ඔහු ඒ කවිවලින් විශාල ප්‍ර බෝධයක් ලැබුණූ බව සඳහන් වෙනවා. යෞවන වයසේ පැවිදී වී සිටි කාලයේ කරතොට හාමුදුරුවන්ගෙන් ශිල්ප ලබද්දී, තමන් සමග ශිල්ප ලත් කොමල ‘කොලු පැංචා’ මේ ගජමන් නෝනා බව මේ වනවිට ඇලපාත මුදලි දැන සිටියා. ගජමන් නෝනා ඇලපාතට වඩා අවුරුදු 27ක් වයස කාන්තාවක් වුණා.
ශෝක මාලය කියවීමෙන් ටිකින් ටික ගජමන් නෝනා කෙරෙහි ඇලපාතගේ සිතේ ප්‍රේමයක් ලියලනවා. ඇලපාත හසුනක් පිළියෙල කර කවිත් සමඟ ඒ හසුන ගජමන් නෝනාට යවනවා. මේ එහි තිබූ කවියක්:
රතිරුති ළඟ ලියනි අප අසන පැනැකිය
නැති විය බාල කාලේ සිට රති කෙලිය
ඇතිවිය දැන් මෙමට සිල් රැකපු අවදිය
රති සැප විඳින හැටි මට කියව ළඳලිය
මේ කවිය දුටු ගජමන් නෝනා ඇගේ ඊළඟ හසුන්පතින් ඒ සඳහා පිළිතුරු යවනවා:
වහා තිබූ සළුව උනමින් කර අහකා
රහා පෙම අමුතු බොජුනකි බුදින ලකා
පැහා නොව හඬන කොවුලිඳු හැඩ වලකා
කහා කොටන වැනි ඉඳගෙන මිරිස් කකා
ඇලපාත – ගජමන් නෝනා ප්‍රේමය
ඇලපාත හාමුදුරුවෝ තම සිවුරු හැර ගිහි ජීවිතයට පැමිණියේ ගජමන් නෝනාගේ ගෘංගාර කවි පිළිතුරු නිසා බවත් සමහර ජනප්‍රවාදවල කියවෙනවා. ඇලපාත මුදලි කෙසේ හෝ ගජමන් නෝනා සමඟ අනියම් සම්බන්ධයක් පවත්වාගන්නට නිතර උත්සාහ කර තිබෙනවා. සැමියා මිය යාමේ ශෝකයෙන් සිටි ගජමන් නෝනා එයට මුලදී ඉඩ දී නැහැ. සැමියාගේ මරණයෙන් අවුරුදු හයකට පසුව ගජමන් නෝනා ඇලපාත මුදලි සමඟ පෙමින් බැඳෙනවා. ඉන්පසුව ඇලපාත මුදලි ගජමන් නෝනා සොයාගෙන නිතර පැමිණෙනවා.
ඇලපාත මුදලි සමග තහනම් ප්‍රේමයේ රස පහස භුක්ති විඳීමට ඇය පටන් ගන්නවා. අවුරුදු කීපයකින් පසුව ගජමන් නෝනාගේ රූසිරිය වැහැරී යන්නට වූ විට ඇලපාත මුදලි ඇය හැරදමා ගමට ගොස් පවුල් ජීවිතයක් ආරම්භ කළ බවයි පැවසෙන්නේ. ඉන් පසුව ගජමන් නෝනා ආර්ථික වශයෙන් ද විශාල ගැටලුවලට මුහුණ පානවා. කලකිරීමට පත් ගජමන් නෝනා සියතින් පිහියෙන් ගෙල සිඳගෙන මරණයට පත්වූ බව කියවෙනවා. ඇය සියදිවි නසා ගත්තේ 1814. 12. 15 දින බව රත්නපුර දිස්ත්‍රික්කයේ වලව් පෙළපත් කිහිපයක් කෘතියේ එච්. එම්. ජයන්ත විජේරත්න සඳහන් කරනවා. කිවිඳියගේ මළගමට ඇලපාත මුදලි පැමිණෙන අතර අවමඟුලේ කටයුතු සිදු වන්නේ ඔහුගේ මූලිකත්වයෙන්.
ඇලපාතගේ මරණය
ඇලපාත මුදලි සහ සබරගමුව පාලනය කළ ඇහැලේපොල අදිකාරම අතර පෞද්ගලික හේතු නිසා විසරකයක් හටගත් බව පැවසෙනවා. මේ නිසා ඇලපාත නිලමේ දේපල ඇහැලේපොළ පවරාගනීවි යයි බියෙන් පසුවූ බව ජෝන් ඩෙයිලිගේ සටහන්වලින් පේනවා. ජෝන් ඩොයිලිගේ දිනපොතට අනුව 1816 මැයි 4 දා බටුගෙදර දී ඇලපාත උණ රෝගයෙන් ඔත්පල වෙනවා. දින කිහිපයකට පසුව ඇලපාත මහ වලව්වට ගෙන යාමෙන් පසු ඔහු මරණයට පත් වෙනවා.
මියයනවිට ඔහුගේ වයස අවුරුදු 36ක් පමණයි. ඔහුගේ අවසන් කටයුතු වලව්ව අසල විහාරයකදී සිදුකර තිබෙනවා. භෂ්මාවශේෂ තැන්පත් කර සොහොන් කොතක් ද ඉදිකර තිබෙන බව ඩොයිලි සඳහන් කරනවා. තවත් ජනප්‍රවාදවල සඳහන් වන්නේ ඇහැලේපොළ වෙනත් කෙනකු ලවා වස දී ඇලපාත මරණයට පත්කළ බව යි.