අනතුරක් සිදුවෙන අවස්ථාවේ ඇතුළත සිටින ඔබවත්, පිටත සිටින පුද්ගලයන්වත් තුවාල සිදු වීමෙන් හෝ ආබාධයකට ලක් වීමෙන් වළක්වා ගන්න අලුත් වාහනවල තිබෙන ආරක්ෂක විශේෂාංග ගැන අපි මීට පෙර ලිපියකින් කතා බහ කළා. ඒ විදිහේ ආරක්ෂක විශේෂාංග හැඳින්වෙන්නේ සක්‍රීය නොවන ආරක්ෂක විශේෂාංග, එහෙමත් නැති නම් Passive Safety Features කියලයි. එයාර් බෑග්, සීට් බෙල්ට් ඇතුළු බොහෝ අංග අයත් වෙන්නේ ඒ වර්ගයට යි.
කොහොම නමුත් ලෙඩට බෙහෙත් දෙනවාට වඩා ලෙඩෙන් පරිස්සම් වෙන එක හොඳයි කියනවා වගේ අනතුරක් වෙන එකෙන් වළක්වා ගන්නා ගන්නත් අද වාහනවල විශේෂාංග ගණනාවක් තිබෙනවා. මේවා හඳුන්වන්නේ සක්‍රීය ආරක්ෂක විශේෂාංග, එහෙමත් නැතිනම් Active Safety Features කියලයි. මේ ඒවායින් වැදගත් ම විශේෂාංග කිහිපයක් ගැන යි.
ABS හෙවත් Anti Lock Brakes
අනතුරක් වෙන්න යනකොට වාහනයේ රියදුරාගේ මුල්ම ප්‍රතික්‍රියාව වේගයෙන් බ්‍රේක් ගහන එක වුණත් බ්‍රේක් පද්ධතිය හදලා තියෙන විදිහ නිසා එවිට රෝද එකක් හෝ කිහිපයක් සිරවෙන්න පුළුවන්. මේක රෝදයට අගුළු වැටීමකට සමාන නිසා, මේක බ්‍රේක් ලොක් වීමක් විදිහට හැඳින්වෙනවා. රෝදයක් ලොක් වුණා ම එය කැරකීමකින් තොරව පාර දිගේ ඇදී යන එක බරපතල අනතුරුවලට හේතුවක්. විශේෂයෙන් ම ඉදිරිපස රෝදයක් ලොක් වුණොත් වාහනය කිසිසේත් හසුරුවා ගන්න බැරි වෙනවා.
එක සැරේ බ්‍රේක් ගැසීම වෙනුවට වරින් වර තද කරන්න කියලා රියදුරෙක්ට උපදෙස් ලැබුණෙත් මේ නිසා ම යි. නමුත් අනතුරක දී ඒවා මතක් වෙන්නේ කාට ද? මේ නිසා රෝදයක් ලොක් වෙන්න ආසන්න වෙද්දී ඒවාට යෙදෙන බ්‍රේක් බලය වරින් වර ඉවත් කරන පද්ධතියක් තමයි ABS කියන්නේ. පෙඩලයෙන් කරනකොට Pump කිරීම කියලා හඳුන්වන මේ වැඩේ මිනිසෙකුට කිසිසේත් කරන්න බැරි තත්පරයකට 30 වාරයක් වගේ වේගයකින් කරන්න ABS පද්ධතියක් සමත්.
ඒ නිසා ABS තියෙන වාහනයක නම් අනතුරක දී වැඩිය බය නොවී “ලෑල්ලට ම” බ්‍රේක් පාගන එකේ ගැටලුවක් නැහැ.
පාලනය පහසු කරන Electronic Stability Control (ESC)
අපි හොඳින් එළවන්න දන්නවා කියලා හිතුවට සමහර අවස්ථාවල දී අපි පැඩල්වලින්, සුක්කානමෙන් වාහනයට ලබා දෙන විධානය ඒ විදිහටම ඉටු නොවෙන්න පුළුවන්. විශේෂයෙන් ම ටිකක් ජවයෙන් වැඩි එන්ජිමක් නම් එකවර රේස් කිරීමෙන් රෝද එකතැන කරකැවී වාහනයේ පාලනය සම්පූර්ණයෙන් ම අකර්මණ්‍ය වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ ම ඇතැම් අවස්ථාවල වේගයෙන් හැරවීම, ගියර් භාවිතයේ වැරදි නිසා රෝදවලට එකවර විශාල බලයක් යැවීම, පාරේ හෝ ටයර්වල තත්ත්වය නිසා ඩිෆරන්ශල් එක වැරදියට ක්‍රියාත්මක වීම වගේ අවස්ථාවල දී වාහනය සම්පූර්ණයෙන් ම පාලනයෙන් ගිලිහී ලිස්සා යාම, එකතැන කරකැවීම, පෙරළීම වගේ ගැටලු රාශියක් ඇති වෙන්න පුළුවන්.
වෘත්තීය රියදුරෙක්ට මේවායින් බොහොමයක් වහා ම නිවැරදි කරගන්න හැකියාව තිබුණත්, වැඩි දෙනෙක්ට එය හසුරුවා ගැනීම අපහසු යි. මේ නිසා අපි පැඩල්වලින්, සුක්කානමෙන් ලබා දෙන විධාන ඒ විදිහට ම ක්‍රියාත්මක නොකර ඒ වෙලාවේ වාහනයේ තත්ත්වය, රෝදවලට දැනෙන විදිහට පාරේ තත්ත්වය, වාහනයේ වේගය, වාංගු වීම වගේ දේවල් විවිධ ඉලෙක්ට්‍රොනික සංවේදකවලින් හඳුනාගෙන වාහනයේ පාලනය ගිලිහෙන්නේ නැති මට්ටමට පමණක් ක්‍රියාත්මක කරන පද්ධතියක් තමයි Electronic Stability Control එක. මෙය විවිධ නිෂ්පාදකයන් විවිධ නම්වලින් හඳුන්වනවා වගේ ම, ඒවා ප්‍රායෝගික ව ක්‍රියා කරන විදිහත් වාහනයෙන් වාහනයට වෙනස් වෙන්න පුළුවන්.
ආරක්ෂාවට ඉතා හොඳ වුණත් ධාවනයෙන් වින්දනයක් ලබන්න කැමති අයට මේක සමහර විට කරදරයක් වෙන්න ඉඩ තියෙනවා. මේ නිසා ESC එක ක්‍රියාත්මක වන ප්‍රමාණය අඩු කිරීම හෝ සම්පූර්ණයෙන් නවතා දමන්නත් බොහෝ වාහනවල පහසුව සලසා තිබෙනවා.
ටයර් පොළොවෙන් එසවීම වළක්වන සස්පෙන්ෂන් පද්ධතිය
හොඳ වාහනයක් මුහුණ දෙන්න ඉඩ තිබෙන ඕනෑම මාර්ග තත්ත්වයක දීත්, සාමාන්‍ය වේගයන් සහ වංගුවල දීත් ටයර් සියල්ල ම මාර්ගයේ ස්පර්ශ වී තිබීමට හැකි වීම ගැන නිෂ්පාදකයන් උනන්දු වෙනවා. අනතුරක් වළක්වා ගන්න නම් මෙය අතිශයින් ම වැදගත්. මොකද මොන තරම් දක්ෂ රියදුරෙක්ට වුණත්, පොළොවේ නොගැටෙන ටයර්වලින් වාහනය පාලනය කරන්න හැකියාවක් නැහැ.
මේ නිසා ඒ හැම අවස්ථාවක ම ටයර් පොළොවේ ස්පර්ශ වී තිබෙන විදිහට වාහනයේ චැසිය සහ සස්පෙන්ෂන් පද්ධතිය නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. උසස් වාහන බොහොමයක සස්පෙන්ෂන් පද්ධතිය මාර්ග තත්ත්වය අනුව, වේගය අනුව, වාංගු වීම අනුව වාහනය ඉතා ම ස්ථාවරවත්, රෝද සියල්ලම පොළොවේ ස්පර්ශ වන විදිහටත් පවත්වා ගන්න සුදුසු විදිහට වෙනස් කෙරෙනවා. මේ විදිහට සක්‍රීය ව වාහනයේ ස්ථාවර බවට උදව් වෙන චැසියක් සහ සස්පෙන්ෂන් පද්ධතියක් තිබීම අනතුරකින් ආරක්ෂා වෙන්න ඉතා ම වැදගත්.
ඒ විතරක් ද, සස්පෙන්ෂන් හොඳයි නම් හොඳ සුවපහසුවෙන් යන්න ලැබීමත් වෙහෙස නිසා අනතුරු සිදුවීම වළක්වන්නත් හේතු වෙනවා.
රියදුරාට අනතුරු හඟවන සහ පාලනය සියතට ගන්නා පද්ධති
දිගු වෙලාවක් වාහන ධාවනය කරනකොට තමන්ගේ ඇස්වලින් දකින සමහර දේවල් වැදගත් තොරතුරක් විදිහට තේරුම් ගන්න තියෙන හැකියාව අඩු වෙලා යන්න පුළුවන්. මේ වගේ අවස්ථාවල රියදුරාට අනතුරු හැඟවීම තමයි මේ පද්ධතිවල රාජකාරිය වෙන්නේ.
බොහෝ අනතුරුවලට හේතුවක් තමයි ප්‍රතික්‍රියා වේගය මදි වීම. යමක් දැකලා එයට පියවරක් ගන්න වෙලා ගියොත් අනතුරක බරපතලකම බොහෝ වැඩි වෙන්න පුළුවන්. විශේෂයෙන් ම වාහනයක් ඉදිරියෙන් කෙනෙක් පාර පැන්නොත්, වෙනත් වාහනයක් හරහට දැම්මොත්, ඉදිරිපස වාහනය වේගයෙන් බ්‍රේක් කළොත් අපි ම පමා කරන මොහොතක් පාසා අනතුර මොනතරම් බරපතල වෙනවා ද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ වගේ අවස්ථා රේඩාර් පද්ධතියක් මඟින් හඳුනාගෙන රියදුරාට අනතුරු හඟවන ආලෝක හෝ හඬ සංඥා නිකුත් කරන්නත්, හැකි තරම් ඉක්මණින් වේගය අඩු කරන්න සුදුසු විදිහට බ්‍රේක් පද්ධතිය සූදානම් කරන්නත්, ඇතැම් විට ක්ෂණයකින් ඉබේම බ්‍රේක් යොදන්නත් මේ පද්ධති කටයුතු කරනවා.
ඉක්මන් පියවරක් නොගත්තොත් අනතුරු සිදුවෙන්න ඉඩ තියෙන පාරේ ඉරිවලින් පිටතට වාහනය ඇදී යාම, නිදි කිරා වැටීම, මාර්ගයෙන් දෑස් ඉවතට ගැනීම හෝ සුක්කානමෙන් දෑත් ඉවතට ගැනීම වගේ අවස්ථාවල දැනුම් දීමත් මේ පද්ධතිවලට අයත්. රියදුරාගේ ඇස් වැසීගෙන යනවා නම්, පාරේ ඉරිවලින් පිටතට ඇදෙනවා නම් සුක්කානම හෝ රියදුරු අසුන කම්පනය (vibrate) කිරීම, අනතුරු එළි, හෝ හඬ සංඥා නිකුත් කිරීම මෙහි දී සිදුවෙනවා.
අද වන විට ඇතැම් වාහන සමාගම් මේ අවස්ථාවල සුක්කානම නිවැරදි කරමින් මාර්ගයේ ඉරි අතර පවත්වා ගැනීම, වාහනය පසකට ගෙන නැවත්වීම, හදිසි ඇමතුම් අංශවලට පණිවිඩ නිකුත් කිරීම වගේ ඉහළ මට්ටමේ ක්‍රියා පවා අත්හදා බලමින් සිටිනවා. මීට අමතර ව සම්පූර්ණයෙන් ම ස්වයංක්‍රීය ව ධාවනය වන වාහනත් අනතුරු සිදුවීමේ අවදානම අඩු කරන්න අනාගතයේ දී හේතු වේවි.
හොඳ වාහනයක් මිල දී ගැනීමෙන් මොන තරම් ආරක්ෂාවක් ලැබෙනවා වුණත් අපේ රටේ තිබෙන බදුත් එක්ක බොහෝ දෙනෙකුට සිදු වී තිබෙන්නේ මේ කිසිවක් නැති හෝ මේවා බිහි වන්නටත් පෙර සෑදූ පැරණි වාහන අධික මිලකට ලබාගන්න යි. රටේ අනතුරු, විශේෂයෙන් ම තුවාල හෝ ජීවිත හානි සිදුවන රිය අනතුරු සැලකිය යුතු ප්‍රමාණයකටත් එය හේතු වෙන බව ප්‍රතික්ෂේප කරන්න බැහැ.