අද ලෝකයේ බොහෝ තාක්ෂණයන් වේගයෙන් දියුණු වෙමින් පවතිනවා. ඇත්තටම මීට අවුරුදු 20කට පෙර තාක්ෂණික උපාංග සහ අද ඒ වෙනුවට පවතින උපාංග අතර වෙනස බැලුවාම අහසයි පොළොවයි වගේ. අපි බොහෝ දෙනා උනන්දු පරිගණක, ස්මාට්ෆෝන්, ඇප් වගේ වගේ තාක්ෂණික දේවල් වගේම අපි ඒ තරම් ගණන් ගන්නේ නැති තාක්ෂණික යෙදීම්වලත් පසුගිය කාලයේ අති විශාල දියුණුවක් ඇති වී තිබෙනවා. ඉතින් සාමාන්‍යයෙන් බොහෝ විට තාක්ෂණය ගැන උනන්දු අය පවා සාමාන්‍යයෙන් අමතක කරන දෙයක් ගැනයි අද කතා කෙරෙන්නේ.
කෘත්‍රීම අවයව ගැන අපි නොහිතන්න පැහැදිලි හේතුවක් තියෙනවා. ඒ තමයි අත් පා හොඳින් තියෙන අපි ඒවා අපිට කවදාවත් අවශ්‍ය යැයි නොසිතන එක යි. නමුත් ඒවා නැතිව ඉපදුණු හෝ යම් අනතුරක් නිසා හෝ රෝගී තත්ත්වයක් නිසා හෝ ජීවත්වෙන්න කැමති නම් අකමැත්තෙන් වුණත් ඒවායින් එකක් හෝ කිහිපයක් නැති ජීවිතයකට හැඩ ගැහෙන්න ඕනෑම කෙනෙකුට සිද්ධ වෙන්න පුළුවන්. නිකමට හිතන්න, ඔබේ අතක් ඔබට අහිමි වුණා නම් ඔබ දැනට කරන රැකියාව, අධ්‍යාපනය, හා එදිනෙදා කටයුතු කරගන්න හැකියාවක් පවතිනවා ද?
අන්න ඒ වගේ තත්ත්වයකට පත්වෙන අයට නම් මේ තාක්ෂණයන් මහමෙරක් තරම් වටිනවා. ඉතින් එහෙම දෙයක් කිසි කෙනෙකුට නොවේවා කියලා පතන ගමන්ම ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න වුණු කෙනෙක් වෙනුවෙන් පවතින විසඳුම් පුළුල් වෙමින් පවතින හැටිත් දැන කියා ගනිමු.
අපි මෙහි දී කතා කරන්නේ බාහිර අවයව ගැන පමණ යි. මීළඟ ලිපියකින් අභ්‍යන්තර අවයව සහ චලනය හැර වෙනත් දේට උදව් වන කෘත්‍රීම අවයව ගැන කතාකරමු.
කෘත්‍රීම අවයව කියන්නේ අලුත් දෙයක් නෙවෙ යි.
මිනිසුන්ට විවිධ හේතු නිසා අවයව අහිමි වීම කියන්නේ අලුත් දෙයක් නෙවෙ යි. ඇත්තටම අතීතයේ තිබුණු යුද්ධ, පාලන ක්‍රම, ස්වභාව ධර්මය ගැන නොදැනුවත්කම ඇතුළු හේතු බොහොමයක් නිසා අද කාලයට වඩා ඉතා ඉහළ ප්‍රතිශතයකට අවයව අහිමිවීම් එක්ක දිවි ගෙවන්න සිදු වූ බවට සාක්ෂි ඕන තරම්. අතීතයේ තාක්ෂණය දියුණු වී නොතිබුණත් යම් ආකාරයකින් එයට විකල්පයක් සොයා ගන්න ඒ මිනිසුන් කටයුතු කරලා තිබුණා.
විවිධ අනතුරු නිසා ගාත්‍රයක් අහිමි වුණත් තමන්ගේ රැකියාව, එදිනෙදා කටයුතු දිගටම කරගෙන යන්න වඩාත්ම පහසු වෙන ආකාරයේ කෘත්‍රීම අවයවයන් ඔවුන් සකසා ගත්තා. පසුකාලීනවත් අවයවයක් නැති බව සඟවන්න, හෝ එයින් ඇති වන අසමබරතාව අඩු කර ගැනීම වෙනුවෙන් කෘත්‍රීම අවයව යොදා ගැනුණා.
සාපේක්ෂව මිලෙන් අඩු නිසාම වර්තමානයේදීත් අපේ රටේ නම් වැඩිපුර භාවිත වෙන්නේ මේ වගේ යාන්ත්‍රික නොවන කෘත්‍රීම අවයව යි. වැඩි ප්‍රයෝජනයක් නැති වගේම ක්‍රියාකාරීත්වය අතින් අතීතයේ තිබූ අවයවවලට වඩා මේවා සක්‍රීය නොවන (passive) අවයව ලෙස සැළකෙනවා. නමුත් බොහෝ රටවල වර්තමානයේදීත් දැකගන්න ලැබෙන දෙයක් තමයි යාන්ත්‍රිකව සිරුරේ ක්‍රියාවන්ට උදව්වක් වෙන්න හැකියාව පවතින සක්‍රීය (active) කෘත්‍රීම අවයව. මිලෙන් ඉතා අධික මේවා ලාභදායීව හදන්න ත්‍රිමාණ මුද්‍රණය, එහෙමත් නැතිනම් 3D printing හරහා අද හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා.
සක්‍රීය කෘත්‍රීම අවයවවල ක්‍රියාකාරීත්වය.
සක්‍රීය කෘත්‍රීම අවයව කියන්නේ යම් ආකාරයකින් එය සවි කරගෙන හැකි පුද්ගලයාට පාලනය කළ හැකි, හැඩය සහ උපයෝගීතාව වෙනස් කළ හැකි කෘත්‍රීම අවයව යි. මෙය අඬුවකට සමාන විදිහට යමක් අල්ලා ගන්න හැකි කෘත්‍රීම අතක සිට, මොළයෙන් එන ස්නායු පණිවිඩ හරහා සාමාන්‍ය අතකට ඉතා සමාන ආකාරයෙන් ක්‍රියාත්මක විය හැකි අති සංකීර්ණ අවයව දක්වා විශාල පරාසයක පවතිනවා.
ප්‍රධාන වශයෙන්ම මේවායේ දී යාන්ත්‍රික පැත්තේ වැඩකටයුතු වලට බලය සපයන්නේ විදුලි මෝටර්වලින්. ඉතා කුඩා, කාර්යක්ෂමතාව ඉහළ, රත් වීම අඩු, කාලයක් යන තුරු වැඩ කළ හැකි, හොඳ ජවයක් ලබා ගත හැකි මෝටර් මේ සඳහා භාවිත වෙනවා. ඒ වගේම යම් වට ප්‍රමාණයක් හෝ වටයකින් කොටසක් කරකැවී නිශ්චිත කෝණයකින් නවතින්න තිබෙන හැකියාවත් මෙහි දී ඉතාම වැදගත්. ඉතින් මේ සඳහා Stepper මෝටර්, එහෙමත් නැතිනම් Servo මෝටර් යොදා ගැනෙනවා. තරමක් සරල හෝ ඉතාම සංකීර්ණ ලීවර, දඬු, කේබල් සහ තවත් යාන්ත්‍රික උපාංග පාවිච්චි කරමින් මෝටර්වල කැරකීමේ වෙනස්කම් යාන්ත්‍රික චලනවලට පරිවර්තනය කෙරෙනවා. අපහසුවකින් තොරව අවයවය තුළ රැඳවිය හැකි, ප්‍රමාණයෙන් කුඩා, බරෙන් අඩු නමුත් හොඳ ජවයක් ලබා ගත හැකි, දිගු කලක් එක දිගට ශක්තිය ලබා ගත හැකි උසස් ලිතියම් අයන බැටරි මේ සඳහා ශක්තිය සපයා දෙනවා.
මොළයෙන් ස්නායු හරහා ඍජුවම හෝ, සිරුරේ මාංශ පේශිවල වෙනස්කම් හරහා හෝ කෘත්‍රීම අවයවය සවිකරගෙන සිටින පුද්ගලයාට අවශ්‍ය දේ හඳුනා ගැනීම මෙහි අනෙක් කොටසයි. නිකමට ඔබේ අතේ ඇඟිලි චලනය කරමින් බාහුවේ වැලමිටට පහළ කොටසේ මාංශපේශි වෙනස්වන හැටි බලන්න. මෙවැනි චලන හරහා විධාන ලබාගෙන අවශ්‍ය ලෙස විවිධ මෝටර් ක්‍රියා කරවන්න මේ කෘත්‍රීම අවයවවල කුඩා පාලන ඒකකයක් සහ මෘදුකාංග අඩංගුයි. එතැනින් එහාට ගිහින් මිල අධික අවයවවල සිරුරේ විවිධ ස්නායු හරහා ලැබෙන විද්‍යුත් සංඥා නිවැරදිව චලනවලට පරිවර්තනය කළ හැකි දියුණු මෘදුකාංගත්, මේ සියල්ල සාර්ථකව සිදු කරන්න ඉතාම සංවේදී සංවේදකත් අඩංගු යි.
මිලෙන් ඉතා අධික, ස්නායු හරහා ක්‍රියාත්මක වන කෘත්‍රීම අවයව පාලනය කරන්න නම් විශේෂ පුහුණුවක් අවශ්‍ය නෑ. නමුත් මාංශ පේශි වෙනස්කම් හරහා ක්‍රියාත්මක වන අවයව සඳහා අලුතෙන් බැකෝ යන්ත්‍රයක් ක්‍රියා කරවන්න ඉගෙන ගන්නවා වගේ මාංශ පේශි වෙනස් කරන්න යම් පුහුණුවක් ලබා ගැනීම අවශ්‍ය යි.
යොදා ගන්නා අමුද්‍රව්‍ය සහ 3D printing වලින් ලැබෙන පහසුව
අතීතයේ නම් බොහෝ විට මේ සඳහා යොදා ගත්තේ පහසුවෙන් සොයා ගත හැකි, ශක්තිමත්, බරෙන් අඩු ලී සහ සතුන්ගේ අස්ථි වැනි දේවල්. නමුත් පසුකාලීනව ඒ සඳහා බරෙන් අඩු, ශක්තිමත් ටයිටේනියම් සහ මිශ්‍ර ඇලුමිනියම් ඇතුළු ලෝහ වර්ගත්, විශේෂ ප්ලාස්ටික් වර්ග හා ෆයිබර් ග්ලාස් වැනි දේ යොදා ගැනුණා. මේ වන විට වැඩි වශයෙන් කාබන් ෆයිබර් සහ වෙනත් සංයුක්ත ද්‍රව්‍ය (composites) පාවිච්චි වෙනවා. කොහොම නමුත් කෘත්‍රීම අවයවවල මේ අමුද්‍රව්‍ය පාවිච්චි කරන එක මිල අධික වැඩක්. එයට යම් පිළිතුරක් 3D printing වලින් ලැබෙන්න ලොකු ඉඩකඩක් තිබෙනවා. දැනටමත් එය යථාර්ථයක් වෙලා.
3D printing වලදී සිදු වෙන්නේ අපි දන්නා සාමාන්‍ය ප්‍රින්ටරයකින් මුද්‍රණය කරනවා වගේ තුනී ලේයර් විශාල ගණනක් එකමත එක මුද්‍රණය කිරීමෙන් ත්‍රිමාණ වස්තුවක් සාදා ගැනීම යි. අද වන විට මෙය බොහෝ දුරට ලාභදායී දෙයක් වී තිබෙනවා. යාන්ත්‍රිකව යමක් සාදන්න අවශ්‍ය ලියවන පට්ටල් (lathe), මෙහෙලුම් යන්ත්‍ර (milling machine) හා ඇඹරුම් යන්ත්‍ර (grinder) ඇතුළු යන්ත්‍ර විශාල ගණනක් හෝ අච්චු භාවිතයක් නැතිව මෙමගින් ඉතා පහසුවෙන් කැමති හැඩයක් සකසා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, පරිගණක සහයෙන් සිදු කරන CAD නිර්මාණ වුණත් ඍජුවම මුද්‍රණය කරන්න පුළුවන් නිසා මෙය මිල අතින් ඉතාම විශාල වාසියක් සහිත ක්‍රමයක්.
මේ නිසා ඉදිරි කාලයේ මේ අවයවවල මිල ඉතා අවම වෙන්න ඉඩක් පවතිනවා.
අනාගතයේ සුපිරි මිනිසුන් බිහි වේවි ද?
මේ සියල්ල නිසා සැබෑ අවශ්‍යතාවක් ඇති ආබාධිත පුද්ගලයන්ට සහ අංශබාගය වැනි රෝග ඇති අයට අනාගතයේ සක්‍රීය කෘත්‍රීම අවයව අඩු මිලට ලබා ගන්න හොඳ අවස්ථාවක් ලැබේවි. තාක්ෂණික දියුණුව හරහා සාමාන්‍ය මනුෂ්‍ය අවයවවලටත් වඩා හොඳින් ක්‍රියා කළ හැකි අවයව අනාගතයේ බිහි වෙන්නත් පුළුවන්. නිකමට හිතන්න, කෘත්‍රීම පාද දෙකකින් ලෝකයේ වේගවත්ම මිනිසා අභිබවා යන්න පුළුවන් ධාවකයෙක් ගැන. මේ නිසාම සැබෑ ආබාධයක් නැතිව හිතාමතාම ආබාධයට ලක් වෙලා හෝ තියෙන අවයවවලට පිටතින් වුණත් කෘත්‍රීම අවයව ඇති කරගන්න ප්‍රවණතාවකුත් අනාගතයේ ඇති වෙන්න ඉඩක් තිබෙනවා. හැකියාවෙන් ඉතා ඉහළ මොවුන් අද ප්‍රබන්ධවල දකින්න ලැබෙන සුපිරි මිනිසුන් වගේ සාමාන්‍ය මිනිසුන්ට කළ නොහැකි දේවල් පවා කරන්න සමත් වේවි.
මේ සියල්ලත් එක්ක ඉදිරි කාලයේ දී විවිධ නීති රීති, රෙගුලාසි බිහි වෙන්න වගේම විවිධ ප්‍රශ්න ඇති වෙන්නත් ලොකු ඉඩකඩක් තිබෙනවා. ටික කාලයකට පෙර මේවා ප්‍රබන්ධ පමණක් බව හිතුණත් අද වන විට නම් එය ඒ තරම් ඈතක නෙවෙයි කියලා හිතන්න හේතු බොහොම යි.
කවරයේ රූපය : geek.com