Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පොත් කියවන අලුත් ක්‍රමය – eBook Reader

පොත් කියවීම බොහෝ දෙනෙක්ගේ විනෝදාංශයක්. තවත් සමහර දෙනෙක්ට ඒක අවශ්‍යතාවයක්. තමන්ගේ පාළුව, කාන්සිය නැතිකරගන්න, ඇත්ත ලෝකෙන් ඈත්වෙලා වෙනත් ලෝකෙකට හිතින් හෝ ගිහින් එන්න, දැනුම වැඩි දියුණු කරගන්න, වෙනත් මිනිස්සුන්ගේ සිතුවිලි ගැන දැනගන්න වගේ නොයෙක් හේතු වෙනුවෙන් මිනිසුන් පොත් කියවනවා. අවුරුදු දහස් ගණනක් තිස්සේ ලෝකේ හැම පැත්තකම එක වගේ තිබුණ පොත් ලිවීම සහ පොත් කියවීම කියන ක්‍රියාකාරකම්, තොරතුරු තාක්ෂණයේ දියුණුවත් එක්කම අද දවසට ගැලපෙන විදියට වෙනස් වෙලා තියෙනවා. අද අපි සාකච්ඡා කරන්නේ පොත් කියවන අලුත් විදිය හෙවත් eBook Reader පිළිබඳවයි.

මුලින්ම සඳහන් කළයුතු කරුණු කීපයක් තිබෙනවා. මුද්‍රිත පොතක ඉලෙක්ට්‍රොනික පිටපත එහෙමත් නැතිනම් අපි හැමෝම දන්න ebook එක මුලින්ම ලෝකෙට හඳුන්වා දීලා තියෙන්නේ 1970 දශකයේදීයි. ඒ 1971 වසරේදී ඇමරිකානු ජාතික ලේඛක මයිකල් හාට් විසින්. ඔහු ඇමරිකාවේ ඉලිනොයිස් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ව සිටි අවධියේදී පළවෙනි eText එක නිර්මාණය කරලා බෙදාහැරලා තියෙනවා. ඉන් අනතුරුව ඔහු විසින් Project Gutenberg හෙවත් ලොව පළමු ඩිජිටල් පුස්තකාලය ආරම්භ කරන්නේ ලෝකයේ ලේඛන කලාව වෙනස්ම මානයකට ගෙනයමින්. ඔහුගේ අරමුණ වුණේ 20වන ශතවර්ශය අවසන් වනවිට ලෝකයේ ඒ වනතෙක් ලියවී තිබුණ වඩාත්ම වැදගත් පොත් 10,000ක් ඉලෙක්ට්‍රොනික ආකාරයෙන් සකස් කර ඕනෑම කෙනෙකුගේ පරිශීලනය පිණිස පළකිරීමයි. ඒ අරමුණ ඊට බොහෝ කාලයකට පෙර ජයගන්නට හැකිවූ බවට ඉතිහාසය සාක්ෂි දරනවා.

ebook සංකල්පය ලොවට හඳුන්වා දුන් මයිකල් හාට් telegraph.co.uk

ඒ වගේම මුලින්ම eBook Reader උපාංගයක් ලෝකයට හඳුන්වා දුන්නේ ආසන්න වශයෙන් අදින් වසර 20කට පෙර එනම් 1998 වසරේදීයි. ඒ අනුව ගන්නා විට eBook Reader සංකල්පය අලුත්ම කියලා කියන්න සාපේක්ෂව අපහසුයි. නමුත් වසර දහස් ගණනක් තිස්සේ විකාශනය වූ ක්‍රමවේදයට පරිභාහිර ක්‍රමයක් වසර 20කට පෙර එළිදැක්වීම සහ තවමත් ඒ නව ක්‍රමය තවමත් ජනප්‍රිය වෙමින් පැවතීම යන කරුණු පිළිබඳව සැළකීමේදී eBook Reader සංකල්පය අලුත් කියන මතයට එකඟ වෙන්න අපි හැමෝටම පුළුවන් වේවි.

Rocket eBook – ලොව පළමු eBook Reader උපාංගය computerhistory.org

මොකක්ද මේ eBook Reader

Sony මගින් එළිදැක්වූ පළමු e Ink ebook Reader උපාංගය the-ebook-reader.com

eBook Reader කියන්නේ ebooks කියවන්නම නිර්මාණය කරලා තියෙන ඉලෙක්ට්‍රොනික් උපකරණයක්. ඒක ප්‍රමාණයෙන් ඔබේ smart phone එකට වඩා තරමක් විශාල, ටැබ් එකට වඩා කුඩා ඒ උපකරණ දෙකම හා සමාන පෙනුමින් යුත් එකක්. ඒ වගේම smart phone එක හෝ ටැබ් එකට වඩා විශාල කාලයක් බැටරි බලය රඳාපවතින ආකාරයට තමයි eBook Reader නිපදවලා තියෙන්නේ. මෙහි තිරයත් සුවිශේෂයි. එය නිර්මාණය කරලා තියෙන්නේ smart phone හෝ ටැබ්වල අඩංගු LED ආකාරයේ තිරයක් සහිතව නෙමේ. දීප්තිමත් එළියක් නොදෙන, පොතක අකුරු මුද්‍රණය කර ඇති ආකාරයට සමානම හැඟීමක් ලබාදෙන තිරයකින් eBook Reader සමන්විත වෙනවා. මේ විශේෂ ආකාර තිරය හඳුන්වන්නේ e-Ink Display (Electronic Ink) නමින්. ඒ වගේම වර්ථමානයේ වෙළඳපොළේ ඇති eBook Reader බොහෝමයක් Wi-Fi හෝ 3G/4G ආකාරයෙන් අන්තර්ජාලයට සම්බන්ධවීමේ හැකියාව සහිතයි. මේ නිසා ඔබට අවශ්‍ය පොතක් ඉතා පහසුවෙන් අන්තර්ජාලයෙන් බාගත කරගන්නත් පුළුවනි. ඒ වගේම තිරයේ දීප්තිය අවශ්‍ය ප්‍රමාණයට වෙනස් කරගැනීම, ඔබ සතුව ඇති ebook එකක් වෙනත් eBook Reader එකක් සමඟ බෙදා ගැනීම වැනි අතිරේක විශේෂාංගත් සපිරි eBook Reader විවිධ මිලගණන් යටතේ මිලදී ගන්නට ඔබට පුළුවනි.

eBook Reader භාවිතයේ ඇති වාසි

1. පහසුව

engadget.com

eBook Reader ජනප්‍රිය වීමට මූලිකම හේතුව තමයි ඒ මඟින් ඇතිකරන පහසුව. ඔබට පොත් 1000ක් වුවත් ඔබගේ eBook Reader එක තුළ තැන්පත් කරගෙන එහා මෙහා ගෙනියන්න පුළුවනි. සාමාන්‍ය පොත් කීපයක් නිතර එහා මෙහා ගෙනයෑමට සිදුවෙන එකම වෙලාවකට කොච්චර කරදරයක් ද කියලා ඔබ දන්නවා. නිවාඩුවකට ඈත පළාතකට යනවිට, කාර්යාලයට/පාසලට/විශ්ව විද්‍යාලයට යන අතර මගදී කියවන්න, විදේශ ගතවෙන අවස්ථාවකදී ගුවන් යානයේ සිට කියවන්න වගේ මේ ඕනෑම වෙලාවකදී වඩාත් පහසුවෙන් ඔබ කැමතිම පොත කියවන්න eBook Reader හරහා පුළුවනි. ප්‍රමාණයෙන් විශාල, අධික බරකින් යුත් පොත් ගැන ඔබ තවදුරටත් වද විය යුතුම නැහැ. ඒ වගේම එක පොතක් සම්පූර්ණයෙන් කියවලා අවසන් නොකර වෙනත් පොතක් කියවන්න වුනත් ඔබට පුළුවනි. ඔබ කැමතිම පොත්වලින් එදා දවසේ රැගෙන යන්නේ කුමක්ද කියලා තව දුරටත් වධවෙන්න අවශ්‍යතාවයක් eBook Reader තියෙනකම් ඇතිවෙන්නේ නැහැ.

ඒ වගේම තමයි ඔබට අවශ්‍ය පොතක් සොයාගැනීමට ඇති පහසුව. තවදුරටත් ඔබ පොත් සාප්පු හෝ පුස්තකාලයේ ගතකිරීමට ඇති කාලය මේ නිසා ඉතා අවම වෙනවා. ඔබගේ eBook Reader උපාංගය හරහා අන්තර්ජාලයට පිවිස ඔබ කැමතිම පොත් ඉතා කෙටි කාලයකින් සොයාගන්නටත්, ඉතා අඩු වේලාවකින් ඒවා ඔබේ eBook Reader උපාංගයට බාගත කරගන්නටත් ඔබට මෙයින් හැකියාව ලැබෙනවා. කාර්ය බහුල ජීවිතයක් ගෙවනා ඔබට කාලවේලාව ඉතිරි කරගෙන ඔබේ ප්‍රියතම විනෝදාංශයේ නියැලෙන්න මේ මගින් ලැබෙන පිටිවහල අතිමහත් එකක්.

2. මිලෙන් අඩුවීම

ඕනෑම පොතක මුද්‍රිත ප්‍රකාශනයට වඩා එහි ebook එක මිලෙන් අඩුයි. ඊට හේතුව මුද්‍රණ වියදම, කඩදාසි වියදම, ශ්‍රමික වියදම යනාදී දේවල් නැත්තටම නැති වීම. මේ නිසා සාමාන්‍ය එක පොතක් මිලදී ගන්න වැය කරන මුදලින් ඔබට ebooks කීපයක්ම මිලදී ගන්නට පුළුවනි. ඔබ පොත් කියවන්න ඇබ්බැහි වෙච්ච කෙනෙක්නම්, අඩු මිලට පොත් විශාල ප්‍රමාණයක් ලබාගන්න පුළුවන් වීම කොච්චර වාසියක්ද කියන දේ ගැන හොඳ අවබෝධයක් ඇති.

3. භාවිතයේ පහසුව

store.inkbook.eu

eBook Reader එකක තියෙන තවත් ප්‍රධානතම වාසියක් තමයි එය භාවිතා කරන්න ඉතාම පහසු වීම. උදාහරණයක් විදියට ගත්තොතින් ආහාර ගන්නා අතරවාරයේ පොතක් කියවන එක කොපමණ අපහසුද කියලා අපි ඕනෙම කෙනෙක් දන්නවා. නමුත් eBook Reader එකක් එක්ක දැන් ඒක ඉතා සුළු දෙයක්. ඒ වගේම බසයේ/දුම්රියේ හිටගෙන ගමන් කරන අවස්ථාවකදී වුවත් වඩාත් පහසුවෙන් ඔබට eBook Reader භාවිතයෙන් කියවන්න පුළුවනි. බසයක/දුම්රියක හිටගෙන යනවිට පොතක පිටුවක් පෙරලලා ඊලඟ පිටුව කියවන එක කොපමණ අපහසු අත්දැකීමක්ද කියලා ආයේ අලුතෙන් මතක් කරන්න ඕනේ නැහැනේ.

digitalworldguru.com

ඒ වගේම පොතේ අකුරුවල ප්‍රමාණය අඩු වැඩි කරගැනීමට හැකිවීම, තිරයේ දීප්තිය අඩු වැඩි කරගැනීම වගේ විශේෂාංගත් eBook Reader නිසා පොත් කියවීම පහසුවීමට තවත් ලොකු දායකත්වයක් දක්වනවා. ඔබට අවශ්‍ය ඡේදයක් හෝ වාක්‍යයක් පහසුවෙන් සොයාගන්න හැකිවීම, පොතට හානියක් සිදුනොකර අවශ්‍ය කොටසක් highlight කරගන්නට හැකිවීම, ඉතා පහසුවෙන් පොතකින් කොටසක් පිටපත් කරගන්නට/උපුටා ගැනීමට හැකිවීම වගේ පහසුකම් රාශියක් eBook Reader සතුයි. මේ නිසා විනෝදයට පොත් කියවීම වගේම අධ්‍යාපනික අවශ්‍යතා වඩාත් පහසුවෙන් ඉටුකරගැනීම සඳහා eBook Reader මගින් ලබාදෙන සේවය අතිමහත්.

4. වෙනත් විශේෂතා

cnet.com

වතුරට අසුවීම නිසා, ගිනි ගැනීම, කාවුන් හෝ මීයන් විසින් විනාශ කිරීම වැනි දේවල් නිසා පොත් විනාශවීම බොහොම සුලභ දෙයක්. ඒ ආකාරයට විනාශ වූ පොතක් නැවත ප්‍රතිසංස්කරණය කිරීමත් බොහෝ වියදම් සහිත සහ කල්ගතවෙන කරදරකාරී වැඩක්. නමුත් eBook Reader නිසා ඒ අවධානම සහමුලින්ම නැතිව යනවා. ඒ වගේම ඔබගේ පොත් එකතුව ආරක්ෂිතව තබාගැනීමට පොත් රාක්ක, අල්මාරි වෙනුවෙනුත් ඔබට යම් ආයෝජනයක් කිරීමට සිදුවෙනවා. eBook Reader හේතුවෙන් ඒ ආකාර ආයෝජනයන් වෙනුවෙන් ඔබට මුදල් වැයකිරීමට සිදුවන්නේත් නැහැ. මෙයත් සාපේක්ෂව විශාල වාසියක්.

ඉතා දක්ෂ රචකයන් විශාල ප්‍රමාණයක් තමන්ගේ ලේඛන සහ නිර්මාණ අන්තර්ජාලය තුළ වෙබ් අඩවි, බ්ලොග් අඩවි හෝ සමාජජාල යනාදියේ පළකිරීම නිරන්තරයෙන්ම අපේ ඇස ගැටෙන දෙයක්. ඔවුන් බොහෝ දෙනෙක් ඒ නිර්මාණ පොතක් ලෙස පළනොකරන්නේ ඒ සඳහා ඉහළ වියදමක් කිරීමට සිදුවීම නිසයි. නමුත් ebook ලෙස තමන්ගේ නිර්මාණයන් බෙදාහැරීම සිදුකිරීම බොහෝ යුරෝපීය ආධුනික ලේඛකයන් විසින් සිදුකරනවා. මිනිසුන් සාමාන්‍ය පොත් වෙනුවට eBook Reader හරහා පොත් කියවන්නට වැඩි වශයෙන් පෙළඹීම ඊට හේතුවයි. මේ අනුව යමින් ලෝ ප්‍රකට ලේඛකයෙක් වන පාවුලෝ කොයියෝ පවා තමන්ගේ පොත් ebooks ලෙස අන්තර්ජාලයට එකතුකිරීම සිදුකරනවා. මේ හරහා පොත් ප්‍රකාශකයන්ගේ ඒකාධිකාරය බිඳ දමා කතුවරුන්ට වඩාත් පහසුවෙන් තමන්ගේ නිර්මාණයන් ජනතාව අතරට ගෙනයෑමට හැකියාව ලැබෙනවා.

තමන් කියවන්නේ කුමක්ද යන වග අන්‍යයන්ට දැනගැනීමට නොහැකිවීම, eBook Reader භාවිතා කිරීමට බොහෝ පිරිසක් පෙළඹවූ තවත් විශේෂ හේතුවක් ලෙස දක්වන්නට පුළුවනි. පුද්ගලයින් කියවන පොතේ පිටකවරය දෙස බලා ඒ පුද්ගලයා පිළිබඳ විනිශ්චයන් දීම අපේ සමාජයේ බොහෝ විට සිදුවන දෙයක්. කාමෝද්දීපන හෝ වැඩිහිටියන් වෙනුවෙන් වූ ප්‍රකාශනයන් කියවීම දෙස තවමත් අපේ සමාජය බලන්නේ වපරැසින්. මේ නිසා කිසිවෙකුගේ දෝෂ දර්ශනයට හෝ විනිශ්චයකට ලක් නොවී තමන්ට අවශ්‍ය දෙයක් කියවීමට eBook Reader හරහා ලබා දෙන අවස්ථාව ඉතා වැදගත් කියන එකයි අපේ අදහස.

eBook Reader භාවිතයේ ඇති අවාසි

1. මිනිස්සු තවමත් කැමති කඩදාසි පොත්වලට

telegraph.co.uk

පොතක් කියන්නේ පොතක්. පොතක් අතට අරගෙන කියවද්දි එන හැඟීම eBook Reader එකකින් කවදාවත් එන්නේ නැහැ. බොහෝ පොත් කියවන්නන් විසින් eBook Reader ප්‍රතික්ෂේප කරන මූලිකම හේතුව තමයි ඒ. පොතක පිටුවලින් එන තීන්ත සුවඳ, අතින් පිටු පෙරලද්දි දැනෙන හැඟීම, පොතක් අතේ තියාගෙන ඉන්නකොට ලැබෙන අත්දැකීම වගේ ආධ්‍යාත්මික දේවල් eBook Reader හරහා ලබාගන්න බැහැ කියලයි ඔවුන් බොහෝ දෙනෙක් පවසන්නේ. ඒ කතාවෙත් යම්කිසි සත්‍යතාවයක් තියෙන බවත් සඳහන් කරන්නට අවශ්‍යයි.

2. පොත් හුවමාරු කරගැනීමේ අපහසුතා

පොත් කියවන බොහෝ දෙනෙක් පොත් හුවමාරු කරගැනීමත් සිදුකරනවා. සමහරවිට ඔබත් ඔබේ මිතුරෙකුගේ නිවසට ගියාම එහි තිබෙන පොතක් දැක්කොත් ඉල්ලගෙන ඇවිත් කියවන කෙනෙක් වෙන්න ඇති. eBook Reader හරහා පොත් හුවමාරු කරගැනීමේ යම් යම් අපහසුතා තිබීම හේතුවෙන් හොඳ පොතක් කියවා අතින් අත යවන්න නොහැකියාවක් තියෙනවා. වර්ථමානයේ අලුතෙන්ම වෙළඳපොළට පැමිණෙන eBook Readerවල පොත් හුවමාරු කරගැනීමේ පහසුකම අන්තර්ගත වුවත් ඒවාගේත් යම් යම් තාක්ෂණික සීමාවන් තිබෙන බවත් සඳහන් කරන්නට අවශ්‍යයි.

3. හැම පොතකම eBook එකක් නැහැ

goodereader.com

බොහෝ පොත්වල ඉලෙක්ට්‍රොනික පිටපත් ලබාගන්න තිබුණත්, ඒ වගේ කීපගුණයක පොත්වල ඉලෙක්ට්‍රොනික පිටපත් තවමත් නිකුත් වෙලා නැහැ. උදාහරණයක් විදියට සිංහල භාෂාවෙන් නිකුත්වෙලා තියෙන ඉලෙක්ට්‍රොනික් පිටපත් ඇති පොත් සංඛ්‍යාව ඉතා අල්පයි. මෙය විශාල ප්‍රශ්නයක්. ඒ වගේම සමහර අධ්‍යාපනික ග්‍රන්ථ ප්‍රකාශකයන් ප්‍රතිපත්තියක් විදියට තමන්ගේ පොත්වල ඉලෙක්ට්‍රොනික පිටපත් නිකුත් කරන්නේ නැහැ. මේ නිසා වෙන විකල්ප නොමැතිවීම හේතුවෙන්ම බොහෝ දෙනෙකුට සාමාන්‍ය පොත්ම මිලදී ගැනීමට සිදුවෙනවා.

4. රූප සටහන් හරි ආකාරව දර්ශනය නොවීම

techadvisor.co.uk

eBook Readerවල අකුරු පෙන්වන්නේ කළු සුදු ආකාරයට. ඒ වගේම බොහෝ eBook Readerවල රූප සටහන් සහ ඡායාරූපත් දිස්වන්නේ කළු සුදු ආකාරයටයි. මේ නිසා වර්ණ ඡායාරූපවලින් ලබාදෙන තොරතුරු සහ හැඟීම, විචිත්‍රත්වය වගේ දේවල් eBook Reader එකක් සමඟින් නොලැබී යාමට තියෙන ඉඩ ඉතා විශාලයි. සංචාරක තොරතුරු අඩංගු පොත්, අධ්‍යාපනික පොත්, සඟරා ආදී සාමාන්‍ය පොතක ඇති වටිනාකම eBook Reader එකක් හරහා ලබාගැනීමට නොහැකි වීම සිදුවෙනවා. එයත් eBook Reader එකක ඇති විශාල අවාසියක් කියන එකයි අපේ අදහස.

5. තවත් නොයෙක් හේතු

තමන් පොත පත ඇසුරු කරන, බොහෝ පොත් කියවන පුද්ගලයෙක් බවට අන්‍යයන්ට පෙන්වන්න මේ සමාජයේ ජිවත්වන සමහර මිනිස්සු හරි කැමතියි. ඒ වගේ චරිත සාමාන්‍ය ජීවිතයේදී හෝ සමාජ ජාල ඔස්සේ ඔබත් දැක ඇති. eBook Reader නිසා මේ ආකාරයට තමන් විශාල ලෙස කියවන්නෙක් හෝ තමන් සතුව විශාල පොත් එකතුවක් තිබෙන බවට අන්‍යයන් ඉඳිරියේ පාරම්බාන හැකියාව දියවෙලා ගොස් තිබෙනවා. නිකමට හිතන්න, ඔබ සතුව ඇති පොත් 100ම තිබෙන්නේ ඔබගේ eBook Reader එක තුළනම්, පොත් රාක්කයේ හෝ අල්මාරියේ ඡායාරූපයක් සමාජ මාධ්‍යයක පලකිරීමේ හැකියාව ඔබට ලැබෙන්නේ නැහැ.

engadget.com

eBook Reader එකත් ඉලෙක්ට්‍රොනික් උපාංගයක්. මේ නිසා යම් යම් දෝෂ හේතුවෙන් එය ක්‍රියා විරහිත වීමේ අවධානමකුත් තියෙනවා. ඔබ eBook Readerඑකට අන්තර්ගත කරගත් පොත්වල පිටපතක් වෙන කොතැනකවත් සුරක්ෂිතව තබාගෙන නැතිනම්, යම් කිසි හේතුවක් නිසා ඔබේ eBook Reader උපාංගය ක්‍රියා විරහිත වූවෝතින් ඒ තුල වූ සියළු පොත් ඔබට අහිමි වී යාමේ විශාල අවධානමක් තිබෙනවා. නමුත් ඔබ සතුව ඇති සාම්ප්‍රදායක පොත් එකතුව අති විශාල ආපදා තත්ත්වයකදී හැර වෙනත් ලෙසකට සම්පූර්ණයෙන්ම විනාශ වී යන්නේ නැහැ නේද. මේ නිසා ඔබ සතුව ඇති ebook සියල්ල වෙනත් පරිගණකයක හෝ උපාංගයක backup කරගැනීමටත් ඔබට සිදුවෙනවා. මෙයත් යම් තරමකට අවාසි සහගත දෙයක් විදියටයි අපි දකින්නේ.

සාම්ප්‍රදායික/ඉලෙක්ට්‍රොනික කොයි ආකාරයෙන් වුනත්, පොත් කියවීම ඉතාම හොඳ පුරුද්දක්. ඔබ මෙතෙක් කල් කියෙව්වේ සාම්ප්‍රදායික කඩදාසි පොත් නම්, eBook Reader එකක් භාවිතාවෙන් පොත් කියවන්න පුරුදුවෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඒ හරහා ඔබගේ පොත් කියවීමේ විනෝදාංශය වෙනස්ම තලයකට ගෙනයාමට හැකිවෙන බව නොඅනුමානයි.

කවරයේ ඡායාරූපය: bestproducts.com

Related Articles