අපි කැමති වුණත් නැතත් ලෝකයම අද වෙනකොට පුනර්ජනනීය බලශක්තිය පැත්තට හැරෙමිනුයි ඉන්නේ. කාලයක් තිස්සේ ගල් අඟුරු, බොර තෙල් සහ ස්වභාවික වායුව වගේ පොසිල ඉන්ධන මත යැපුණු අපි දැන් ඒවායේ මිල ඉහළ පහළ යාම, අධික කාබන්ඩයොක්සයිඩ් විමෝචනය නිසා ඇති වන කාලගුණික විපර්යාස, පරිසර දූෂණය වගේම නුදුරු අනාගතයේම ඒ සම්පත් ක්ෂය වී යාමේ අවදානම ගැන හිතලා සීමාවක් නැතිව ඇති තරම් ලබාගන්න පුළුවන්, පරිසර හානිය ඉතා අඩු බලශක්ති ප්‍රභවවලට යොමු වීම වඩාත් ඉක්මන් වෙලා තියෙනවා. කාලයක් තිස්සේ තෙල් නැතිව අතරමඟ නවතින දෙයක් බවට පත් වී තිබුණු වාහනත් දැන් විදුලි බලයෙන් ධාවනය වීම විද්‍යා ප්‍රබන්ධයක් කියන තැනේ සිට සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා.
මේ නිසා අනාගතයේ ඇති විය හැකි විශාලතම තරගවලින් එකක් විදිහට පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය සිතන්න පුළුවන්. අපි ජීවත් වෙන පෘථිවිය විශාල කාලයක් පුරාවට මනුෂ්‍යය වාසයට සුදුසු ලෙස පවත්වා ගන්නත් මෙය ලොකු දායකත්වයක් සපයාවි. කොහොම නමුත් මේ වන විට ඊට අදාළවම තවත් වේගයෙන් දියුණු වන ක්ෂේත්‍රයක් විදිහට බලශක්තිය ගබඩා කිරීම පැහැදිලිවම හඳුනාගන්න පුළුවන්.
හැමදාම නෑ, හැම තැනම නෑ
පුනර්ජනනීය බලශක්තිය ගැන කතා කරනකොට කොයි පැත්තෙන් බැලුවත් ඉදිරියෙන්ම ඉන්නේ සූර්යයා යි. අතීතයේ සිටම ගලා යන ජලය භාවිතයෙන් දිය රෝද කරකැවීමෙන් සහ සුළං බලයෙන් පංකා කරකවා බලශක්තිය ලබාගැනීම සිදුවෙලා තියෙනවා. විශේෂයෙන්ම ධාන්‍ය ඇඹරීම, ජලය ඉහළට පොම්ප කිරීම ආදිය සඳහා ශක්තිය ලබාගන්න මේ ක්‍රම දෙක ප්‍රයෝජනවත් වුණා. ඒ වගේම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පවා ගොඩ නැගුණේ සුළං බලයෙන් යාත්‍රාකළ නැව් මඟින් බවත් අමතක කරන්න හොඳ නැහැ.
එකපාරටම නොපෙනුණත් මේ දෙකේ දී ම සිදුවෙන්නේ සූර්යයාගෙන් අසීමිතව ලැබෙන බලශක්තිය ප්‍රයෝජනයට ගැනීම යි. වාෂ්ප වන ජලය ඉහළ ප්‍රදේශවලට වැසි ලෙස වැටීමත්, වායුගෝලයේ විවිධ ස්ථානවල උෂ්ණත්වයේ වෙනස්කම නිසා පීඩන වෙනස්කම් ඇති වී සුළං හට ගැනීමත් සූර්ය ශක්තිය නිසා සිදුවෙන දේවල්. හැබැයි ඒ නිසාම පෘථිවිය පරිභ්‍රමණය වෙනකොට සූර්යයා තැනින් තැනට මාරු වීමත් එක්ක මේ ශක්ති ප්‍රභව එකකින්වත් ඒකාකාරීව ශක්තිය ලබාගන්න හැකියාවක් නැහැ.
ඒ වගේම නිතරම හොඳ මට්ටමකින් ශක්තිය ලබාගන්නටත් අවශ්‍යතා බොහොමයක් සම්පූර්ණ විය යුතුම යි. ඒ වගේ තැන් ලෝකයේ තියෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්. ඒ වගේ ස්ථානවලිනුත් බොහොමයක් ඇත්තෙන්ම බලශක්තිය වැඩිපුර අවශ්‍ය නගර ප්‍රදේශවලින් ඉතාම බැහැර තිබෙන නිසා ප්‍රායෝගිකව ඵලක් නැති වෙන්නත් පුළුවන්.
මේ විදිහට හැමදාම නැති, හැම තැනම නැති පුනර්ජනනීය බලශක්තියට මාරු වීමත් එක්ක බලශක්තිය ගබඩා කර තබාගන්න ලොකු අවශ්‍යතාවක් තියෙනවා. මොකද ශක්ති ප්‍රභවවලට අවශ්‍ය වෙලාවට වෙනුවට අපිට අවශ්‍ය වෙලාවට ශක්තිය ලබාගැනීම ඉතාම වැදගත්.
ශක්තිය ගබඩා කිරීම අලුත් දෙයක් නෙවෙයි
ශක්තිය ගබඩා කරනවා කිව්වාම බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ විදුලිය ගබඩා කරන බැටරි ගැන වුණත් ඇත්තටම එහෙම නැහැ. පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය උත්පාදනය කිරීමේ මුල්ම ක්‍රමය වුණු ජල විදුලි නිෂ්පාදනයටත් බලශක්තිය ගබඩා කිරීම අත්‍යවශ්‍ය වුණා. ගලාගෙන යන ගඟකින් කෙළින්ම විදුලිය උත්පාදනය වෙනුවට විශාල බැමි බැඳලා ජලාශ නිර්මාණය කරලා ජලය සතු ශක්තිය ගබඩා කරගත්තේ මේ නිසා යි. ජලාශයේ විශාල ජල ප්‍රමාණයක් තියෙද්දී ගඟේ ගලන වතුර ප්‍රමාණයේ අඩු වැඩි වීම් නිසා ඇති වන බලපෑම පාලනය කරගැනීම තමයි මෙහි අරමුණ වුණේ. මේ ක්‍රමයට හදපු ජල විදුලි බලාගාර නිසා මුල්වරට ඒකාකාරීව විදුලිය සපයන්න හැකි වුණා.
අදටත් ප්‍රමාණාත්මකව වගේම වඩාත්ම ලාභදායී විදිහට විශාලතම ශක්තියක් ගබඩා කළ හැකි ක්‍රමය වන්නේ මෙය යි. වෙන එකක් තබා අද වන විට වෙනත් බලාගාරවල හදන විදුලියෙන් වැඩි කොටසක් භාවිත නොවන දහවල් කාලවල මේ ජලාශවලට ජලය පොම්ප කරමින් ශක්තිය ගබඩා කරගන්නා ක්‍රම පවා අද වන විට ක්‍රියාත්මකව තියෙනවා.
මීට අමතරව සම්පීඩ්‍ය තරලයක් විදිහට ශක්තිය ගබඩා කරන ඇකියුමිලේටර, තාපය විදිහට ශක්තිය ගබඩා කරන ද්‍රවීකරණය කළ ලවණ ගබඩා, යාන්ත්‍රික ශක්තිය ගබඩා කරන දුණු සහ භ්‍රමක ඇතුළු ක්‍රම ගණනාවක් තිබෙනවා. කෙසේ නමුත් අද වන විට වැඩි දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙන්නේ රසායනික ශක්තිය විදිහට එය බැටරි තුළ ගබඩා කිරීම ගැන යි.
බැටරි භාවිතයේ වාසි සහ ඒවායේ අනාගත ඉල්ලුම
ඍජුවම විදුලිය විදිහට ශක්තිය ලබාගන්න පුළුවන් විදිහට ශක්තිය ගබඩා වෙන නිසා බැටරිවලට අතීතයේ ඉඳලාම ලොකු සැලකිල්ලක් තිබුණා. වචනාර්ථය විදිහට බැලුවොත් ශක්තිය ගබඩා කරන ඕනෑම උපාංගයක් බැටරියක් වුණත් සාමාන්‍යයෙන් බැටරි කියා හඳුන්වන්නේ රසායනික ශක්තිය විදිහට විදුලි බලය ගබඩා කරන බැටරිවලට යි. විශේෂයෙන්ම අද වන විට වැඩිම පෙළඹවීමක් තියෙන පුනර්ජනනීය බලශක්ති ක්‍රම දෙක වන පනේල භාවිත වන සූර්ය බලාගාර සහ අවරපෙති භාවිත වන සුළං බලාගාරවල බලශක්තිය ගබඩා කරන්න බැටරි භාවිතය ගැන විශාල උනන්දුවක් තිබෙනවා.
මෑතකාලීනව බැටරි තාක්ෂණයේ, විශේෂයෙන්ම ලිතියම් අයන බැටරි තාක්ෂණයේ ඇති වූ දියුණුව මෙයට ප්‍රධාන හේතුවක්. අතිවිශාල ශක්ති ප්‍රමාණයක් ගබඩා කළ හැකි වගේම විශාල ජවයක් ලබා ගත හැකි සුවිසල් ලිතියම් අයන බැටරි කියන්නේ අද වන විට හීනයක් නෙවෙයි. මෙගා වොට් 100ක් තරම් (වික්ටෝරියා බලාගාරයේ ධාරිතාවයෙන් භාගයකට ආසන්න අගයක්) විශාල ශක්තියක් ලබා දිය හැකි බැටරියක් දැනටමත් දකුණු දිග ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මකව තියෙනවා.
කොහොම නමුත් දරන්න වෙන වියදම නම් තවමත් ටිකක් ඉහළ යි. බැටරිවල වියදම වේගයෙන් පහළ බසිමින් තිබුණත් තවමත් ඒවා ලාභදායීව භාවිත කරන්න හැකි මට්ටමට ඇවිත් නැහැ. මේ වන විටත් සුළං සහ සූර්ය බලාගාර භාවිතය වේගයෙන් ඉහළ යමින් තිබුණත් ඒවා බොහෝ විට භාවිත වන්නේ අනෙක් බලාගාරවල බරපැන අඩු කිරීම වෙනුවෙන් විතරයි. සම්පූර්ණයෙන්ම ඒවා වෙත මාරු වෙන්න තියෙන එක බාධාවක් විදිහටත් බැටරිවල මිල අධික වීම සලකන්න පුළුවන්. මොකද සුළං හමන්නේ නැතිකොට, ඉර පායන්නේ නැති රාත්‍රී කාලයට විදුලිය ලබාදෙන්න නම් සුළං හා හිරු එළිය ඇති විට ලැබෙන ශක්තිය ගබඩා කරගැනීම අත්‍යවශ්‍ය නිසා යි.
අලුත් ක්‍රමයක් හොයා ගත්තොත් ඉක්මණින් පොහොසත් වෙන්න පුළුවන්
මේ ගැටලුවට ස්ථිර විසඳුමක් හොයාගන්න දැනටමත් ලොව පුරාම විශාල තරගයක් තියෙනවා. ලිතියම් අයන බැටරිවල ගබඩා කළ හැකි ශක්ති ප්‍රමාණය ඉහළ නංවන්න, ඒවා වඩා අඩු මිලකට නිෂ්පාදනය කළ හැකි ක්‍රම හොයන්න, අලුත්ම විදිහේ බැටරි නිර්මාණය කළ හැකි රසායනික ප්‍රතික්‍රියා සොයාගන්න, වගේම බැටරි නොවන වෙනත් විදුලි ගබඩා ක්‍රම (සුපිරි ධාරිත්‍රක වගේ) සහ පහසුවෙන් විදුලිය බවට හරවන්න පුළුවන් වෙනත් බලශක්තිය ගබඩා කරන ක්‍රම සොයාගන්නත් බොහෝ දෙනෙක් උත්සාහ ගන්නවා.
ඒ වෙනුවෙන් සුවිශාල ආයෝජන කරමින් පර්යේෂණ පවත්වන්නත් වැඩි දෙනෙක් යොමු වෙලා ඉන්නේ. මේ අංශයේ සැබෑ පෙරළියක් කළ හැකි යමක් සොයාගන්න පුළුවන් වුණොත් ලැබෙන්න නියමිත ආර්ථික වාසිය ගැනත් දන්නා නිසාම යි. මොකද, එවැන්නක තියෙන ආර්ථික වටිනාකම හිතාගන්න බැරි තරම්. යම් කෙනෙකුට ඉතා සාර්ථක සහ කාර්යක්ෂම ක්‍රමයක් හොයාගන්න පුළුවන් වුණොත් ඔහුට හෝ ඇයට බොහෝ විට ලොව ඉහළම ධනවතෙක් වෙන්න හොඳ හැකියාවක් තිබෙන බවත් අමතක කරන්න එපා.
ශ්‍රී ලංකාවේ නව සොයාගැනීම් අංශයෙන් බරපතල අඩුවක් තියෙන එකේ මේ පිළිබඳව ඔබටත් යම් උනන්දුවක් තිබෙනවා නම් පොඩියට හරි උත්සාහයක් අරගෙන බලන්න. සමහර විට බලශක්තිය ගබඩා කිරීමේ පෙරළියක් ඇති කරන තැනැත්තා ශ්‍රී ලාංකිකයෙක් වෙන්නත් සුළු ඉඩක් හරි තියේවි.
කවරයේ රූපය : ew-online.de