Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Speaker පද්ධතියක් මිල දී ගැනීමේදී සලකා බැලිය යුතු දේවල්

හෙඩ්සෙට් එකකට සීමා වෙන්නේ නැතිව සද්දෙට සින්දු අහන්න නම් හොඳ ස්පීකර් සෙට් එකක් තියෙන්නට අවශ්‍ය යි. බොහෝ දෙනෙක් බේස් ශබ්දවලට කැමති නිසා පපුවට වදින්න තරම් බේස් තිබෙන sound system එකකට හීන මවනවා. නමුත් මිල සහ තෝරාගැනීමේ දී බලන්නට සිදුවන සාධකවල පුළුල් බව නිසා ඔබටත් එය ගැටළුවක් වුණා නම් මේ ලිපියෙන් ඒ සඳහා සහයෝගයක් ලැබේවි.

Stereo, 2.1, සහ Surround ලෙස කියන ඒවායේ වෙනස

ස්පීකර් ගැන කතා කරද්දී විවිධ නම් දකින්නට ලැබෙනවා. අවශ්‍යතාව අනුව වඩාත් ගැලපෙන දේ තෝරා ගන්නට පහසුම ක්‍රමය මේ වචන ගැන දැනගැනීම යි.

Stereo ස්පීකර් යුවළක් (aolcdn.com)

Stereo ස්පීකර්වල තිබෙන්නේ වම සහ දකුණ ලෙස ස්පීකර් යුගලයක් තිබෙනවා. “2.1” කියන්නේ ස්පීකර් යුවළට අමතරව subwoofer එකකුත් අඩංගු කිරීම යි.

Subwoofer එකෙන් සිදුවන්නේ 100Hz ප්‍රමාණයට අඩු bass ශබ්ද තරංග පරාසයන් නිකුත් කිරීම යි. හොඳ සබ් එකකින් ෆිල්ම්වල පුපුරන ශබ්ද සහ කික් ඩ්‍රම්, බේස් ගිටාර්, විශාල ප්‍රමාණයේ වයලීනයක් වැනි ‘ඩබල් බේස්’ වැනි සංගීත භාණ්ඩවල ශබ්ද හොඳින් ඉස්මතු කරවනවා. ඇතැම් ස්ටීරියෝ ස්පීකර්වලට සබ් එකක් නොමැතිවම ගුණාත්මක ශබ්ද ලබා දෙන්නට පුළුවන්. ඒ, low-mid සහ 1KHz අගයට වඩා අඩු ශබ්ද නිපදවීමට එම වූෆර්වලට ඇති හැකියාවන් නිසා යි. තනි ස්පීකර් හෝ කුඩා ස්ටීරියෝ යුගලයන් ලබාදෙන බේස් ශබ්ද බොහොම අඩු යි.  

“2.1” ශබ්ද පද්ධතියක් (pbtech.co.nz)

Surround Sound කියන්නේ ස්පීකර් 5ත් 7ත් අතර ප්‍රමාණයක් සහ subwoofer එකක් තිබීම යි. එහි ස්ටීරියෝ යුගලයක්, subwoofer එකක් සහ ෆිල්ම්වල කතාබහ කරන දේවල් ලබාදෙන channel නමැති ස්පීකරයක් මැදින් තිබෙනවා. එහි ඇති අපට පසුපසින් තබන Sattelite ස්පීකර්වලින් ඇසෙන්නේ ෆිල්ම් එකේ බාහිරින් හෙවත් කැමරාවට පසුපසින් ඇති ශබ්ද යි.

කුඩා ප්‍රමාණයේ Surround sound පද්ධතියක් (abt.com)

ඔබ නිතර ෆිල්ම් බලන්නට කැමති කෙනෙක් නම්, පරිගණකය හෝ රූපවාහිනිය තබා ඇති කාමරයේ හොඳින් ඉඩ තිබෙනවා නම්, ස්පීකර් වෙත යන වයර් ගොනුවලින් බිම ඇහිරීම (කාපට් එකක් දාලා එහි යට සැඟවිය හැකියි) ගැටළුවක් නොවේ නම් Surround sound පද්ධතියක් ඔබට වඩාත් ගැලපේවි. සාමාන්‍යයෙන් පරිගණකයට සබඳන Surround sound පද්ධති තිබෙන්නේ Gaming සඳහා යි. ඒවායේ ඇතැමක හෙඩ්සෙට් එකක් පවා ලැබෙනවා. බේස් ගැන වැඩිපුර වද වෙන්නේ නැත්නම් දැරිය හැකි මිලකට 2.1 පද්ධතියක් ලබා ගත හැකියි. නැතහොත්, stereo යුගලයකින් ශේප් වෙන්නත් පුළුවන්.

අමතර විශේෂාංග

ඍජුව USB සබැඳිය හැකි සහ දුරස්ථ පාලකයක් ද සහිත පද්ධතියක් (computeruniverse.net)

ස්පීකර් පද්ධතියකින් ශබ්දයට අමතරව තවත් විශේෂාංග ලැබෙනවා. එහි Bass, Treble ශබ්ද පාලකයක් තිබෙනවා නම් ඒවා පහසුවෙන් ඔබේ රුචිකත්වය අනුව වෙනස් කරගන්නට පුළුවන්. Mute කරන්නට හැකියාවක් තිබෙනවා නම් තවත් පහසුවක් වෙනවා. පරිගණකයට සම්බන්ධ කරන ඒවායේ USB port තිබෙන නිසා, ඊට අමතරව Aux ජැක් එකක් ඇත්නම් එයට MP3 වැනි වෙනත් ප්ලේයරයක් වුවත් සම්බන්ධ කිරීමට අවස්ථාව හිමි වෙනවා. පරිගණකයේ USB port සංඛ්‍යාව සීමිත නම් එහිදී ද අමතර 3.5mm ජැක් එකක් තිබීම වාසි සහගත යි. තවත් ඒවායේ රිමෝට් එකක් ද ලැබෙනවා.

හොඳ ශබ්දයන් ද සමග මෙවන් අමතර විශේෂාංග ලැබීමේ දී එය නිෂ්පාදකයා මෙන්ම නිෂ්පාදනය අනුව තීරණය වෙනවා. ස්මාර්ට් නොවන රූපවාහිනී සඳහා මෙම අමතර පාලකයන් තිබීම පහසුවක්. පරිගණකයට ගන්නවා නම් එය ආසන්නයේ ම ස්පීකර් තබනවා නිසා මෙම සැකසුම් පරිගණක මෘදුකාංග හරහාම කරගන්නට පුළුවන්.

තබන ස්ථානය හා භාවිතය

නිසි පරිදි ස්ථානගත කිරීමට ඉඩ තිබිය යුතුයි (shopify.com)

මිලදී ගැනීමෙන් පසු ස්පීකර් පද්ධතිය තබන ස්ථානය ගැන සැලකීමෙන් ද තෝරා ගත යුතු ස්පීකර් වර්ගය තීරණය කළ හැකියි. ඉතා කුඩා කාමරයක් හෝ කාර්යයාලය තුළ පෞද්ගලික භාවිතය සඳහා අති විශාල ස්පීකර් පද්ධතියක් අවශ්‍ය වන්නේ නැහැ. ඉඩ ඇහිරීම පමණක් නොව, සාමාන්‍යයෙන් බාහිර ශබ්ද අඩු කුඩා කාමරයක තැබූ ස්පීකරයක් Equalizer එකෙන් අවශ්‍ය පරිදි සකසා ගත් විට සැලකිය යුතු ගුණාත්මක බවක් අවට නිවෙස් වල හෝ රැකියා ස්ථානයේ එහා මේසයේ ඉන්නා කෙනාට කරදරයක් ‍නොවී ලබා ගන්නට පුළුවන්. නිවසක තබනවා නම් එහි පෙනුම, කාමර‍යේ ප්‍රමාණයට ගැලපෙන සේ ශබ්දයන් ගොඩ නැගෙන බව, පරිගණකයට සබඳනවා නම් ශබ්ද විකෘති වීම් අවම බව ආදී දේ සැලකිල්ලට ගැනීමට සිදු වෙනවා.

එසේම, භාවිතයට ගැනීමේ දී හුදෙක් YouTube වීඩියෝ, පොඩ්කාස්ට්, අන්තර්ජාල රේඩියෝ වැනි දෑ play කරනවා නම් ඒ සඳහා සාමාන්‍ය Stereo speaker ප්‍රමාණවත් වෙනවා. සාමාන්‍ය ගීත ශ්‍රවණයකට 2.1 ප්‍රමාණවත් වන අතර සිනමා ශාලා අත්දැකීමක් ලැබීමට නම් Surround sound අවශ්‍ය වෙනවා.

විවිධ හැඩවල බ්ලූටූත් ස්පීකර් (themasterswitch.com)

රැහැන් රහිත (Wireless) ස්පීකර් සාමාන්‍යයෙන් මිලෙන් අධික යි සහ එම මිලටම ඇති රැහැන් සහිත එකකට වඩා ගුණාත්මක බවින් අඩු වීමට ඇති ඉඩකඩ වැඩියි. ඔබ නිතර පරිගණකය එහා මෙහා ගෙනියනවා නම් ස්පීකර් පද්ධතියේ වයර් ගැලවීමට සිදුවීමේ ගැටළුවට මුහුණ පානවා නම් පමණක් Wireless ස්පීකරයක් වෙත යොමු විය හැකියි.

ඔබ දැනට පාවිච්චි කරපු හොඳම Audio system එක මොකක්ද?

කවරය: crutchfieldonline.com

Related Articles