ඡායාරූප කලාවේ නවතම පරිච්ඡේදයක් සනිටුහන් කරන ඉන්ස්ටග්‍රෑම් සේවාව කාලතුවක්කු ආකාරයේ DSLR කැමරා පාවිච්චි කරන අයටම ඡායාරූප කලාව සීමා නොකොට, කුඩා ප්‍රමාණයේ දුරකතනයක් තිබෙන කෙනෙක්ට පවා තමන්ගේ ඡායාරූපකරණ හැකියාවන් ලොවට පෙන්වන්නට අවස්ථාව සලසා දුන්නා. නමුත් ඡායාරූපකරණ හැකියාව තිබුණාටම හෝ සමාජ ජාලයක් වශයෙන් භාවිත කළාටම ඉන්ස්ටග්‍රෑම්හි උපරිම ප්‍රයෝජනය ලබා ගන්නට හැකියාව නැහැ.
Instagram Stories නිසි ආකාරව භාවිත කරන හැටි ගැන අප මීට පෙර ගෙන ආ ලිපියකින් ඔබව දැනුවත් කළා.
හොඳම ඡායාරූප තෝරාගන්න
හොඳ ඉන්ස්ටග්‍රෑම් ශිල්පියෙක් වෙන්නට නම් හොඳ ඡායාරූප එකතුවක් තිබෙන්නට ඕන. ඒ සඳහා දකින දකින හැම දේකම ෆොටෝස් හෝ සෙල්ෆිම දාන්නේ නැතිව පාලනයකින් යුතුව ෆොටෝ ගැලරියෙන් හොඳ ඡායාරූපයක් තෝරාගත යුතු වෙනවා. ඔබ පෞද්ගලික ජීවිතයට අදාල ඡායාරූප සහිත ගිණුමක් පවත්වාගෙන යනවා නම් ඡායාරූප හැකියාවන් පෙන්වන්නට වෙනත් ගිණුමක් භාවිත කිරීම වඩාත් උචිතයි. එවිට ඡායාරූප නරඹන අයගේ රසඥතාවයට සහ ඔබේ පෞද්ගලිකත්වයට බාධාවක් නොවන ආකාරයට වැඩ දෙකම කරගන්නට පුළුවන්.
ඡායාරූප ගැනීමේදී ද සුවිශේෂී මාතෘකාවක් තෝරාගෙන කරනවා නම් වඩාත් හොඳයි. උදාහරණයක් වශයෙන් ඔබ නිතර ගමන් බිමන් යන කෙනෙක් නම් පරිසරය සම්බන්ධ ඡායාරූපත් නිතර නිවස හෝ ඔෆිස් එක වැඩි අභ්‍යන්තරයක සිටිනවා නම් ක්ෂුද්‍ර පරිමාණ ඡායාරූප කලාවට (miniature photography) යොමු විය හැකියි. මේවා අතරට වෙනත් මාතෘකාවකට අදාලව වෙනත් ඡායාරූප ඇතුලත් කරමින් ප්‍රතිචාර අත්හදා බැලීම කළ හැකි වන අතර ඕනෑවට වඩා විවිධාංගීකරණය වීම ඔබේ ඡායාරූපවලට ඇලුම් කරන අයට බාධාවක් විය හැකියි.
හොඳින් හෑෂ්ටැග් භාවිත කරන්න
හෑෂ් ලකුණ දුරකතනවල විශේෂ සේවා අංක ඇමතීමට යොදා ගැනුණ ද ඒවා අන්තර්ජාල සේවා සහ සමාජ ජාල වෙත පැමිණීමේදී විවිධ මාතෘකා ගොනුකාරකයක් ලෙස භාවිතයට ගැනුණා. ඒ අනුව ෆේස්බුක්, ට්විටර් මෙන්ම ඉන්ස්ටග්රෑම්හිත් විවිධ අය පළකරන දේවල් ප්‍රවර්ග (category) කරන්නට ඒවා යොදා ගැනෙනවා. ඒ අනුව ඔබ මල් වර්ගවල ඡායාරූප පළ කරනවා නම් #Flowers ලෙස හෑෂ්ටැග් එක යෙදුවාම වෙන අයත් එය යොදා පළ කළ ඡායාරූප සමඟ ඔබේ ඡායාරූපයත් ගොනු වෙනවා. එවිට එම හෑෂ්ටැග් එක ඔස්සේ පැමිණ මල්වල ඡායාරූප බලන අයට ද ඔබේ ඡායාරූපය හමුවී, එයින් ඔබේ ගිණුම දැක ඔබේ අනෙකුත් පළ කිරීම්වලට කැමති වෙනවා වගේම ඔබව ෆලෝ කරන්නටත් පෙළඹේවි.
නමුත් පමණට වඩා හෑෂ්ටැග් භාවිත කිරීමෙන් ඡායාරූපය පිළිබඳව දක්වන කෙටි විස්තරය දිගු වීමෙන් එය අයුතු ලෙස බලපාන බැවින් හැකිතාක් අත්‍යාවශ්‍ය හෑෂ්ටැග් උපරිම 5ක් පමණවත් යොදා ගැනීම ප්‍රමාණවත්.
දිනපතා ඡායාරූප පළ කරන්න
අපව නොදන්නා කෙනෙක්ට ෆලෝ කරන්න හේතු ලබා දිය යුත්තේ අප විසින්මයි. ඒකට ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ලින්ක් එක හෝ username එක හැම තැනම දාලා මාව ෆලෝ කරන්න කියලා පින්සෙණ්ඩු වෙනවාට වඩා වැඩ පෙන්නලා ඒවා හරහා රැස් කරගත් නියම රසිකයන් පිරිසක් ගොඩනගා ගැනීමයි වැදගත් වන්නේ. මේ සඳහා හොඳ ඡායාරූප එකතුවක් ඔබ සතුව තිබිය යුතු වන අතර ලබාගන්නා ලද followersලා දිගටම පවත්වා ගැනීම ද කළ යුතු වෙනවා. එය කිරීමට පහසුම ක්‍රමය දිනකට අවම වශයෙන් එකක් හෝ උපරිම දෙකක් වශයෙන් හොඳම ඡායාරූප පළ කිරීමයි. එවිට ඔවුන්ට ඔබ පිළිබඳව සජීවී හැඟීමක් ඇති වන අතර නිතර නිතර ඒවා බලන්නට, ඇතැම්විට දිනපතා පැමිණ ඔබ ඡායාරූපයක් දමා ඇත්දැයි බලන්නට පටන් ගන්නා තරමට පත් වෙනවා. එසේම කල් ගත වීමේදී වඩාත් හොඳ ඡායාරූප එකතුවක් ඔබ සතු වන නිසා අලුතින්ම ඔබේ ගිණුම බලන කෙනෙක්ට වුණත් නිතැතින්ම ෆලෝ කරන්නට සිත් දෙනවා.
අන්තර්සබඳතාවක් ඇති කරගන්න
ඉන්ස්ටග්‍රෑම් ගිණුමකට සත්‍යවත් බවක්, සජීවී බවක් සහ එය පසුපස සත්‍ය පුද්ගලයෙක් සිටිනවාය යන නැවුම් බව ලබා දීමට නම් ඉඳහිට හෝ ඡායාරූපවලට ලැබෙන ප්‍රතිචාර වලට පිළිතුරු දීම, ස්තුති කිරීම සිදු කළ යුතු වෙනවා. එවිට පෞද්ගලිකවම ඔබ වටා පිරිසක් ගොඩ නැගෙන අතර ඔවුන් ඔබව හඳුනන බවට වෙනත් අයටත් පුරසාරම් කියමින් ඔබට තවත් රසික පිරිසක් ගෙන ඒවි. මෙසේ පිළිතුරු දීමේදී ඔබේ දුරකතනයේ වර්ගය, ඡායාරූප ගන්නා ආකාරය වැනි දේවල් විමසූවත් කිසිදු පැකිලීමකින් තොරව පිළිතුරු දීම වැදගත් වන අතර අනවශ්‍ය ලෙස පෞද්ගලිකත්වයට හානිවන ආකාරයේ හෝ ඔබව නොමඟ යවමින් බලා සිටින අනෙක් අයට නාටකයක් මවා දෙන ආකාරයේ ජවනිකාවකට සැරසෙන බව දැනෙනවා නම් ඉන් ඉවත්වී යාමටත් සූක්ෂ්ම විය යුතුයි.
එසේම ඔබ වෙනත් ඉන්ස්ටග්රෑමර්ස්ලාගේ ඡායාරූප ද අධ්‍යයනය කරන අතරතුරේ ඒවාට ද කමෙන්ට් එක් කිරීමෙන් තවත් ජනකායක් සමඟ සබඳතා ඇති කරගත හැකියි. ඔබ ඔබේ කැටගරියට අදාල ඡායාරූපවලට කමෙන්ට් කළ විට එය වටා එක්ව සිටින, එම ඡායාරූපවලට ඇළුම් කරන අය ඔබේ ගිණුම වෙත පිවිස එහි ද ඊට සමාන රසකින් යුතු ඡායාරූප තිබෙන බව දැක ඔබ වටා ද රොක් වෙනවා. එනිසා වෙනත් අය සතු පිරිසකුත් ඔබේ නිර්මාණ රසවිඳින තත්ත්වයට පත් කරගැනීමට ඉන් අවස්ථාව සැලසෙනවා.
අවබෝධයක් ලබමින් අභියෝගයක් වෙන්න
ඔබ කිසියම් මාතෘකාවක් අනුව ඡායාරූප පළ කිරීමේදී ඒ හා සමාන ඡායාරූප ද එම හෑෂ්ටැග් එකේම තිබෙනවා. මේ නිසා නිරතුරුව එම හෑෂ්ටැග් එක සතුව ඇති ඡායාරූප, නම් දැරූ ඉන්ස්ටග්රෑමර්ස්ලාගේ ඡායාරූප ආදිය හොඳින් අධ්‍යයනය කරමින් ඒවායේ ඇති දේවල් ඉගෙන ගන්නා අතරේම ඊට අලුත් යමක් ද එක් කරමින් ඔබට නව, හොඳ නිර්මාණයක් කළ හැකි නම් අලුත් රැල්ලක් ඇති කරන්නට හෝ වැඩි පිරිසකගේ අවධානයට පාත්‍රවන්නට හැකියාව ලැබෙනවා. මේ හරහා ඔබේ හැකියාවන් ඔප් නංවා ගනිමින් ඒවා නවමු ආකාරයකින් එළිදැක්වීමට අවස්ථාව ලැබෙන්නේ ඔබ සතුව සැඟව තිබුණු හැකියාව ඉදිරිපත් කරන ආකාරය සතුව තිබූ දුර්වලතාවන් ද මගහරවා ගනිමින්.
ඉන්ස්ටග්‍රෑම් වටා මේ වන විට සංස්කෘතියක් ද ගොඩනැගී ඇති අතර විවිධ අයගේ ජීවිතය වෙනස්ම ආකාරයට සමාජ ගත කරන මාධ්‍යයක් වශයෙන් ද එය යොදාගනු ලබනවා. මේ ගැන වඩාත් හොඳින් නූතන රැල්ලට යන සමාජ තත්ත්වය ද උපහාසයට ලක් කරමින් සකසා ඇති Ingrid goes west (2017) සිනමා කෘතිය බලන්නට ද අප ඔබට ආරාධනා කරනවා.
කවරයේ ඡායාරූපය: dailymail.co.uk