Terminatorලා බිහි වන අනාගතය අපි හිතනවාට වඩා ළඟ ද?

කුරිරු රොබෝවරු මිනිසුන් මැරීම කියන සංකල්පය අපිට ඒ තරම් අලුත් දෙයක් නෙවෙයි. Terminator පළමු චිත්‍රපටයේ ඉඳලාම මේ ගැන විශාල කතා බහක් ඇති වුණා. හොලිවුඩයේ ප්‍රධාන චිත්‍රපට කර්මාන්තයට මේක ඉතා හොඳ මාතෘකාවක් වුණත්, කාලය ගතවීමත් එක්ක සැබෑ ලෝකයේ තත්ත්වය ඊට වඩා වෙනස් බව කාට කාටත් තේරෙන්න ගත්තා.

නමුත් මේ වන විට ඒ ගැන ඇත්තටම වද වෙන්න කාලය ඇවිත්. 80 – 90 කාලේ චිත්‍රපටවල දැකපු දේවල්වල යි සැබෑ ලෝකයේ යි ලොකු වෙනසක් තිබුණත් අද එහෙම නැහැ. මෑත කාලීන චිත්‍රපටයක තියෙන Jarvis වගේ කෘත්‍රීම බුද්ධියක් සහ Google Assistant වගේ සැබෑ ලෝකයේ තාක්ෂණයක් සංසන්දනය කළොත් මේක පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. Knight Rider එකේ KITTගේ ප්‍රතිචාර දැක්වීම් සහ ඒ කාලේ තිබුණු ප්‍රාථමික මට්ටමේ chat botලා අතර වගේ විශාල වෙනසක් මෙතැන නැහැ නේද?

අද වන විට කෘත්‍රීම බුද්ධියේ ඇති වන මේ සුවිශාල දියුණුව වැරදි පැත්තට යොමු වීමේ බරපතල අවදානමක් තියෙන බව යි පෙනෙන්නේ.

විනාශකාරී රොබෝවෙකුගේ වැදගත්ම අවශ්‍යතාව

විනාශකාරී රොබෝවෙක් හදන එක මහා අපහසු දෙයක් නෙවෙයි. මොකද අද වන විට ලෝහ, ප්ලාස්ටික්, කාබන් ෆයිබර් ඇතුළුව ද්‍රව්‍ය විද්‍යාවේ ඇති වෙලා තියෙන දියුණුවත් එක්ක ඕනෑම ප්‍රමාණයක, ඕනෑම හැඩයක, ඕනෑම යාන්ත්‍රික හැකියාවක් තියෙන රොබෝ කෙනෙක් හදන එක ඒ තරම් අපහසු දෙයක් නෙවෙයි. නමුත් ඒ හැකියාවන් තනිව ක්‍රියාත්මක කරගන්න තරම් බුද්ධිමත් යන්ත්‍රයක් හදන එක තමයි ලොකුම ප්‍රශ්නය වුණේ.

මේක අනිත් ක්ෂේත්‍රවලටත් අදාළ යි. අද මගී ගුවන් යානා, ප්‍රහාරක ගුවන් යානා, කොටින්ම වාහන දිහා වුණත් බැලුවාම යාන්ත්‍රික අංශයෙන් පවතින දියුණුව මොන තරම් ද? දක්ෂ ගුවන් නියමුවෙක්ට, ධාවකයෙකුට ඒවායින් කළ හැකි දේවල් මොන තරම් අපූරු ද? නමුත් ඒ හැසිරවීම සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කරන එක නම් මෑතක් වන තුරුම තිබුණේ හරිම ප්‍රාථමික මට්ටමක.

අතිශයින් දියුණු යානයක් වුණත් නියමුවා නැතිනම් වැඩක් නැහැ නේද? (nationalinterest.org)

යුධ කටයුතු නිසා ඇති වන දියුණුව

යුධ කටයුතු නිසා රොබෝ තාක්ෂණයේ දියුණුවටත් විශාල තල්ලුවක් ලැබෙනවා. මේකට ප්‍රධාන හේතුවක් තමයි රාජ්‍ය අනුග්‍රහය සහ ඇති තරම් සම්පත් ලැබෙන එක. තමන්ගේ නිවසේ තිබෙන වාහනය නිවැරදිව ධාවනය කරන්න පුළුවන් රෝබෝවෙකුට කෝටි ගාණක් ගෙවන්න කිසිම සිවිල් වැසියෙක් උනන්දු නොවුණත් එය දෙවරක් නොහිතා මිල දී ගන්න බලවත් රටවල හමුදා සැදී පැහැදී බලාගෙන ඉන්නවා.

හමුදා අංශයෙන් ඇති තරම් සම්පත් ඇතිව කෙරෙන පර්යේෂණ නිසාම දැනටමත් ඒ වගේ උපාංග බොහොමයක් සටන් භූමියේ යොදාගන්න මට්ටමට දියුණු වී තිබෙනවා. මේ ක්ෂේත්‍රයේ තියෙන අතිශය රහසිගත බව නිසාම තවමත් හෙළි නොවූ බොහෝ දේ නිර්මාණය කර තිබෙන බවත් අපිට හිතන්න පුළුවන්. නමුත් මේ කියන්න යන දේවල් දිහා බැලුවත් අනාගතයේ මොන තරම් භයානක දේවල් හදන්න පුළුවන් වේවි ද කියන එක ගැන හොඳ අදහසක් ලැබේවි.

ගොඩබිම

කිලෝමීටර් ගණනක් ඈත සිටින පුද්ගලයන් ස්වයංක්‍රීයව ඉලක්ක කළ හැකි DoDAAM super aegis II (bencosfordqa.blogspot.com)

රුසියාවේ Uran-9 යුධ ටැංකිය මෙතැන දී විශේෂ යි. යුධ භූමියේ කටයුතු විශාල ප්‍රමාණයක් ස්වයංක්‍රීයව සිදු කරන්න වගේම අවශ්‍ය නම් ඈත සිට මෙහෙයවීමේ හැකියාවෙනුත් මෙය සමන්විත යි. ක්ෂණිකව ඉලක්ක හඳුනාගන්න, ගමන් කරන භූමියේ වෙනස්කම් සහ සුළඟ ආදිය ගැන සලකා නිවැරදිව ඉලක්කය ගන්න, යුද බිමේ නිසි මං සොයාගන්න වගේ බොහෝ දේ Uran-9 යුධ ටැංකියට ස්වයංක්‍රීයවම පුළුවන්.

උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර යුධ මුක්ත කලාපයේ ස්වයංක්‍රීය ගිනි අවි ගණනාවක් ක්‍රියාත්මක යි. කිලෝමීටර ගණනාවක් ඈත සිටින මිනිසුන් ස්නයිපර්වරයෙක් තරමටම නිවැරදිව ඉලක්ක කරන්න මේවා සමත්. කෙටි කාලයක් තුළ ඉලක්ක විශාල ප්‍රමාණයක් විනාශ කරන්න මේවාට තියෙන හැකියාව කිසිදු මිනිසෙකුට නැහැ.

තුවාල වූ සොල්දාදුවන් රැගෙන එන්න, යුධ වාහන පදවන්න, බෝම්බ නිෂ්ක්‍රීය කරන්න, භයානක තැන්වලට ක්‍රියාන්විතයේ යොදවන්න ස්වයංක්‍රීය රොබෝවන් ලෝකයේ බොහෝ රටවල් දැනටමත් නිර්මාණය කර තිබෙන බව කියවෙනවා.

සමුදුර

පූර්ණ ස්වයංක්‍රීය නෞකාවක් වන Sea Hunter (diegobraghi.blogspot.com)

ලෝක බලවතුන් නාවිකයන් සිය ගණනක් සහිත යුධ නැව් ලෝකයේ විවිධ ප්‍රදේශවල ස්ථානගත කර තිබෙන්නේ තමන්ගේ ආරක්ෂක අවශ්‍යතාවන් සඳහා යි. ඔවුන්ට ආහාර ලබාදෙන්න, ඒවා පිසින්න, වැටුප් ගෙවන්න වගේ කටයුතු රාශියක් පවතින නිසා දිනකට ඒ වෙනුවෙන් වැය වන මුදල ඉතා විශාල යි. ඒ වෙනුවට රොබෝවරු යෙදවීම මඟින් අතිවිශාල මුදලක් ඉතිරි කර ගත හැකි යි. උදාහරණයක් විදිහට ඇමරිකාවේ Destroyer වර්ගයේ නෞකාවක් ක්‍රියාන්විතයේ යොදවන්න දිනකට වැය කෙරෙන ඩොලර් 700,000 වෙනුවට එය ඩොලර් 15,000ක් පමණ දක්වා අවම කරගන්න හැකි වේවියැ යි ගණන් බලා තිබෙනවා.

ඇමෙරිකන් හමුදාවේ පර්යේෂණ අංශයක් වන DARPA එක 2016 දී Sea Hunter නමැති සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය සබ්මැරීන නාශක නෞකාවක් පර්යේෂණ ගමනක් සඳහා මුහුදට මුදාහැරියා. එය මේ වසරේ ක්‍රියාන්විතයට එක්වෙන්න නියමිත යි.

රුසියාව සහ චීනය ඇතුළු බොහෝ රටවල් ස්වයංක්‍රීය නෞකා දැනටමත් අත්හදා බලන බවට වාර්තා තිබෙනවා.

අහස

MQ 9 ඩ්‍රෝන් එකක්. (aiirsource.com)

දුරස්ථව පාලනය කෙරෙන ඩ්‍රෝන් භාවිතයෙන් ප්‍රහාර එල්ල කිරීම දැනට බොහෝ කාලයක සිට සිදුවන දෙයක්. මුල්ම කාලයේ පියාසර කිරීම, ස්ථානගත කිරීම, කැමරා හැසිරවීම, ආයුධ හැසිරවීම වගේ හැම දෙයක්ම පාලනය කරන්න විවිධ පුද්ගලයන් අවශ්‍ය වුණත් අද වන විට මෙයින් බොහෝ අංශ සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය වී තිබෙනවා. ඇමරිකාවට අයත් MQ-9 Reaper ඩ්‍රෝන් එකකට ගුවන් ගත වී, කිලෝමීටර් දහස් ගණනක් ඈත ප්‍රදේශයක් වෙත පියාසර කර, වටපිටාව හඳුනාගෙන, අදාළ ඉලක්කය ගැනීමත්, ආපසු පැමිණ ගොඩ බැස්වීම දක්වා සියලු දේත් සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව සිදු කරන්න හැකියාව තිබෙනවා. ඉලක්කය නිවැරදි නම් ප්‍රහාරය එල්ල කිරීමේ බොත්තම එබීම පමණ යි අවශ්‍යය. එයත් ස්වයංක්‍රීය කර නැත්තේ රෙගුලාසි ගැටලු නිසා මිස නොහැකියාව නිසා නෙවෙයි.

ඔවුන්ගේම Perdix නැමැති කුඩා ඩ්‍රෝන් එක එකවර රංචුවක් මෙන් යම් ප්‍රහාරයක් එල්ල කරන්නට සමත්. විශාල මිසයිලයක් එල්ල කිරීම වෙනුවට රංචුවක් ලෙස සතුරන් විශාල ප්‍රමාණයක් එකිනෙකා විනාශ කිරීම වගේ සංකීර්ණ ක්‍රියාවලියක් සිදු කළ හැකි ඩ්‍රෝන් විශාල ප්‍රමාණයක් එකවර යොදාගැනීම යි මෙහි අරමුණ. විධානය දුන් සැණින් ඩ්‍රෝන් සියල්ලම සමග සන්නිවේදනයේ යෙදෙමින් ස්වයංක්‍රීයවම ප්‍රහාරය දියත් කරන්න Perdix ඩ්‍රෝන්වලට හැකි බව කියවෙනවා.

වෙනත් රටවල් බහුතරයකුත් මීට සමාන තාක්ෂණයන් දැනටමත් දියුණු කර ඇති බවට සැකයක් නැහැ.

ඉතින් Terminatorලා සැබෑවක් වේවි ද?

vox-cdn.com

2025 වන විට ඇමරිකන් හමුදාව සතුව සෙබළුන් ගණනටත් වඩා වැඩි ස්වයංක්‍රීය රොබෝවන් පිරිසක් සිටීමට ඉඩ තිබෙන බව යි කියවෙන්නේ. සොල්දාදුවෙක් වෙනුවෙන් වැය කළ යුතු සම්පත් ප්‍රමාණයත් එක්ක බැලුවාම රොබෝවෙක් ඉතාම ලාභදායී නිසාත්, මිනිස් ජීවිත කැප කරන්න අවශ්‍ය නැති නිසාත් තවත් රටවල් බොහොමයක මීට සමාන තත්ත්වයක් ඇති වීම වළක්වන්න බැහැ.

මේ නිසා අනාගත ගැටුම් බොහොමයක දී සිදු වන මිනිස් මරණ, මිනිස් බුද්ධියක තීරණයක් නිසා සිදු වූ ඒවා වෙනුවට කෘත්‍රීම බුද්ධියක තීරණයක් නිසා සිදු වූ ඒවා බවට පත්වෙන්නට ඉඩක් තිබෙනවා. මේ නිසා අපි හිතනවාට වඩා ඉතාම ඉක්මණින් terminatorහි බොහෝ දේ සැබෑ විය හැකි බව තමයි බොහෝ දෙනෙකුගේ විශ්වාසය. අපි මොන තරම් අකමැති වුණත් අනෙකාට වඩා ඉදිරියෙන් ඉන්න ලෝක බලවතුන් අතර තිබෙන තරගය නිසා එවැන්නක් සිදු වීම කිසිසේත් වළක්වන්න නොහැකි වේවි.

කවරයේ රූපය : metro.co.uk

Related Articles

Exit mobile version