ශ්‍රී ලංකාවේ සැටලයිට් එකට මොකද වුණේ?

මේ ලිපිය ඔබ වෙත ගෙන එන්නේ ඩයලොග් වෙතිනි.

වර්ෂ 2012 කියන්නේ ප්‍ර‍වෘත්තිවල මෙන් ම සමාජ මාධ්‍යවලත් විහිළු තහළුත් එක්ක “අපේ රටේ සැටලයිට් එකක්” ගැන කථාවුණු අවුරුද්දක්. මේ සැටලයිට් එක පෘථිවි කක්ෂයට ඇතුලත්ව තිබුණත් කාලයෙන් කාලයට මාතෘකාවල එල්ලෙන අපේ ‘වවුල් මාතෘකා’ සමාජ ජාල ක්‍රමයත් එක්ක දැන් එය අපේ කතාබහ කක්ෂයෙන් මිදිලා බොහෝ ඈතට ඇදිලා ගිහින්. ඉතින් අද අපේ ලැහැස්තිය ඒ ගැන කථා කරන්නයි.

මෙම ChinaSat 12 කෘත්‍රීම චන්ද්‍රිකාව, දත්ත හුවමාරු කිරීම මූලික කරගත් සන්නිවේදන චන්ද්‍රිකාවක්. එම නිසා එය භූ ස්ථාවර කක්ෂයක, එනම් පෘථිවි සමකයට කිලෝ මීටර් 35,786ක් ඉහළින් පෘථීවි පරිභ්‍රමණයට සමාන වේගයකින් භ්‍රමණය වෙමින් නිශ්චිත රටවල් කලාපයක සන්නිවේදනය සඳහා සහාය වෙනවා.

මෙවන් චන්ද්‍රිකා වලට ඉතා විශාල ප්‍රමාණයක දත්ත හුවමාරු කිරීමේ ධාරිතාවයක් තිබෙනවා. ඉතින් මෙන්න මේ ධාරිතාවය චන්ද්‍රිකාව නිශ්පාදිත ආයතනය විසින් වෙනත් සමාගම් වලට විකුණනවා. එවිට දුරකථන ජාල සමාගම් ආදියට එය භාවිතා කරමින් තමන්ගේ හැකියාවන් පුළුල් කරගන්නට හෝ ධාරිතාව නැවත විකිණීම සඳහා යොදා ගන්නට පුළුවන්.

එහිදී කිසියම් සමාගමක් විසින් වැඩි ධාරිතා ප්‍රමාණයක් මිලදී ගතහොත් ඇතැම් චන්ද්‍රිකා නිශ්පාදන සමාගම් අදාල චන්ද්‍රිකාව නම් කිරීමේදී ඊට එම පාරිභෝගික සමාගම විසින් ලබාදෙන නමක් ද අතිරේක නම් අතරට එක් කරන්නට කටයුතු කරනවා.

එවිට සන්නිවේදන ධාරිතාව මිලදී ගත් සමාගමට තමන්ගේ වෙළඳ ප්‍රචාරණය සඳහා එය භාවිතා කරන්නට හැකි වීම විශේෂ වාසියක් වෙනවා. සුප්‍රීම් සැට් (SupremeSat) කියන්නේත් එවන් ලංකාවේ ද ව්‍යාපාර කටයුතු කරන සන්නිවේදන ආයතනයක්. ඔවුන් China Satcom නිශ්පාදන සමාගමේ ChinaSat 12 චන්ද්‍රිකාවෙන් සැලකිය යුතු සන්නිවේදන ධාරිතාවක් ලබාගත් නිසා එම චන්ද්‍රිකාව SupremeSat 1 ලෙස ද නම් ලැබුවා. මෙන්න මේ විධියට තමයි ලංකාවටත් චන්ද්‍රිකාවක් ලැබුණේ.

අවුරුදු 15ක ආයුකාලයක් ඇති මෙය මේ වනවිටත් ලංකාවේ සන්නිවේදන කටයුතු සඳහා විශාල දායකත්වයක් සපයමින් අපිට ඉහළ අහසේ රැඳී සිටිනවා.

මුලාශ්‍රය: TechTrack 

කවරයේ පින්තුරය: digitaltrends

Related Articles

Exit mobile version