“ඩ්‍රෝන්”. මේ ලිපිය මීට අවුරුදු කිහිපයකට කලින් ලියන්න හිතුවා නම් පටන් ගන්න වෙන්නේම ඩ්‍රෝන් කියන්නේ මොනවද කියලා නිර්වචනය කරලයි. නමුත් අද වෙනකොට ඩ්‍රෝන් කියන්නේ මොනවාද කියන එක ඕනෑම කෙනෙක් දන්නවා. ලෝකය පුරාම මෑත කාලයේදී ජනප්‍රිය වුණු ඩ්‍රෝන් දැන් ලංකාව පුරාමත් නිතරම දකින්න පුළුවන්. විනෝදාංශයක් විදිහට ඩ්‍රෝන් පියාසර කරවන එක දියුණු රටවල් බොහොමයක දකින්න පුළුවන් දෙයක්. නමුත් මේකට තවමත් ටිකක් අත දිග හැරලා වියදම් කරන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳ තත්වයේ පුංචි ඩ්‍රෝන් එකක් වුණත් රුපියල් 10,000කට වඩා මිලෙන් වැඩියි. සාමාන්‍යයෙන් විනෝදාංශයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් මේ “පැරට් බීබොප්” ඩ්‍රෝන් එක වගේ හොඳ ඩ්‍රෝන් එකක් නම් රුපියල් පනස් දාහක් විතර වෙනවා. එතැනින් එහාට ගිහිල්ලා ඡායාරූප ශිල්පීන්ට එහෙම පාවිච්චි කරන්න මිල රුපියල් ලක්ෂ ගණන් වල වෘත්තීයමය ඩ්‍රෝන් පවා මිලට ගන්න පුළුවන්.
තව කෙනෙක්ගේ පෞද්ගලිකත්වය විනාශ වෙන විදිහට ඩ්‍රෝන් පාවිච්චි කරන එක වැරදි වැඩක් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. නමුත් අපි නොහිතන දේවල් නිසාත් මේ ඩ්‍රෝන් කරදරයක් වෙන වෙලාවල් තියෙනවා. ලෝකය පුරා පාක් වල ඩ්‍රෝන් නිසා බල්ලන් කුලප්පු වෙන අවස්ථා, ගුවන් තොටුපළවල් ළඟ පාවිච්චිය නිසා ගුවන් ගමන් වලට බාධා වෙන අවස්ථා එහෙමත් දැක ගන්න පුළුවන්.
එක පාරක් ඇමරිකාවේ ධවල මන්දිරයේ උද්‍යානයට පවා ඩ්‍රෝන් එකක් කඩාගෙන වැටිලා තියෙනවා. ඉතින් මේ දේවල් නිසා ඩ්‍රෝන් පාවිච්චිය වැඩි දෙනෙක්ගේ අවධානයට ලක් වෙන අවස්ථා බොහොමයි.
ඩ්‍රෝන් පාවිච්චි වෙන අලුත්ම වැඩේ තමයි සෙල්ෆි ගන්න එක. මීට ටික කාලෙකට කලින් ආරම්භ වුණු සෙල්ෆි උන්මාදය තවමත් අඩු වෙලා නම් නැහැ. සෙල්ෆි ස්ටික් වගේ දේවල් වලින් ටිකක් ඈතින් ඉඳන් ෆොටෝ ගන්න ලැබුණත් දැන් ඩ්‍රෝන් නිසා සෙල්ෆි ගහන වැඩේ හිතන්නත් අමාරු තැන් වල ඉඳලා කර ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. සමහරුන්ට නම් ඉතින් ඩ්‍රෝන් අරහං. ඩ්‍රෝන් දැක්කත් බය වෙන, කලබල වෙන අය වගේම කේන්තියට අතට අහු වෙන දේකින් දමලා ගහන අය ඕන තරම්.
ඩ්‍රෝන් පාවිච්චිය වැඩි වුණේ බොහොම ළඟකදී නිසා මේවා පාවිච්චි කරන්න ඕනේ කොහොමද, ඒවා නියාමනය වෙන්න ඕනේ කොහොමද කියන එක තවමත් සංවාදයට ලක් වෙන දෙයක්. නමුත් බොහෝ රජයන් මේක ගැන හිතන්න පටන් අරගෙන තියෙනවා. විශේෂයෙන්ම පොදු ස්ථාන වල මේවා පාවිච්චිය සීමා කරන්න අපේ රටේ පවා දැනටමත් නීති නිර්මාණය වෙන්න පටන් අරන්. මේ අවුරුද්දේ පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAA එක) රට තුළ ඩ්‍රෝන් ළඟ තබා ගැනීමේදී වගේම පාවිච්චි කිරීමේදීත් අනුගමනය කරන්න අවශ්‍ය නීති රෙගුලාසි පද්ධතියක් ප්‍රකාශයට පත් කළා. ඒ නිසා දැන් ඔබට ශ්‍රී ලංකාව තුළ ඩ්‍රෝන් අනුගමනය කළ යුතු විදිහ ගැන පැහැදිලි නීති පද්ධතියක් තියෙනවා. මේකේ තියෙන වැදගත් කාරණා සේරම වගේ කෙටියෙන් විස්තර කරන්නයි මේ ලිපියෙන් උත්සාහ කරන්නේ.
මේ නීති බලපාන්නේ මොනවාටද?
“ඩ්‍රෝන්” කියන නිර්වචනයට අයත් වෙන දේවල් දැනටමත් විග්‍රහ කරලා තියෙනවා. දුරස්ථ පාලකයකින් ක්‍රියා කළ හැකි අහස් යානා, ආකෘති අහස් යානා වගේම පියාසර කළ හැකි හැම දෙයක්ම වගේ 2010 වර්ෂයේ අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනතේ 80 වැනි පරිච්ඡේදය යටතේ නියාමනය වෙනවා. මේ පනතේ කියලා තියෙන දේ සරලව කිව්වොත් මෙහෙමයි. “මිනිසුන් රහිත ගුවන් යානා ශ්‍රී ලංකාව තුළ පියාසර කරවන්න කලින් සිවිල් ගුවන් සේවා අධිකාරියේ (CAA එකේ) අවසරය ලබා ගැනීම අත්‍යාවශ්‍යයි.” නමුත් යම් සීමාවන්ට යටත්ව මේ නීතියේ ලිහිල් තැන් තියෙනවා.
ඩ්‍රෝන් එකේ විශාලත්වය
ඔබට බර කිලෝග්‍රෑම් 25ක උපරිමයකට වඩා අඩු ඩ්‍රෝන් පියාසර කරවන්න හැම අවස්ථාවකම අවසරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඊට වඩා බරින් වැඩි ඩ්‍රෝන් යවන්න නම් CAA එකෙන් සුවිශේෂී අවසරයක් ලබා ගන්නම සිදු වෙනවා. ඒ අවසරය ලබා ගන්න ඉල්ලුම් කරද්දී අහස් යානා පියාසර කරවන්න තියෙන හැකියාව, අදාළ ඩ්‍රෝන් එක පියාසර කරවන්න සුදුසු මට්ටමක තිබීම (Airworthiness), ඒ වගේ උපකරණ ළඟ තබා ගන්න අවශ්‍ය සුදුසුකම් වගේ හැම නීතිමය අවශ්‍යතාවක්ම තහවුරු කරන්නත් අවශ්‍යයි. ඒ වගේම කිලෝග්‍රෑම් 1 සිට 25 දක්වා ඩ්‍රෝන් වුණත් ලියාපදිංචි ආයතනයක් යටතේ හරි, CAA එකේ අධ්‍යක්ෂකවරයාගේ අනුදැනුම යටතේ හරි විතරයි පාවිච්චි කරන්න පුළුවන්. නමුත් බරින් කිලෝග්‍රෑම් එකකට වඩා අඩු ඩ්‍රෝන් විනෝදාංශය සඳහා හරි, අධ්‍යාපන අවශ්‍යතා සඳහා හරි විශේෂ අවසරයක් නැතිව වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මේ නිසා සාමාන්‍ය කෙනෙක්ට ලංකාව තුල පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ කිලෝග්‍රෑම් එකකට වඩා බරින් අඩු ඩ්‍රෝන් විතරයි.
අපි කැමති වුණත් අකමැති වුණත් ඒක තමයි නීතිය. කිලෝග්‍රෑම් එකකට වඩා බරින් වැඩි ඕනෑම ඩ්‍රෝන් එකක් මත සිවිල් ගුවන් සේවා අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා නිකුත් කරන ස්ටිකර් එකක් අලවා තිබිය යුතුයි. මේකේ අදාළ ඩ්‍රෝන් එකේ අයිතිකරුවාගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය, ඩ්‍රෝන් එක පාවිච්චි කරන්නේ මොකටද කියන එක සහ ඩ්‍රෝන් එක ගැන අනෙකුත් විස්තරත් පැහැදිලිව සඳහන් වෙනවා. මේ නිසා එක පාරක් අවසර ලබා ගත්තාට පස්සේ ඒ ඩ්‍රෝන් එකට අමතර වෙනසක් සිදු කරනවා නම් (කොටස් එකතු කිරීම වගේ දෙයක්) ඒ සඳහාත් CAA එකේ විශේෂ අවසරය නැවතත් ලබා ගන්න සිදු වෙනවා.
ඩ්‍රෝන් පියාසර කරවන්න පුළුවන් තැන්
කිලෝග්‍රෑම් එකකට වඩා බරින් වැඩි ඩ්‍රෝන් පියාසර කරවන්න පුළුවන් තමන්ට අයත් ඉඩම් ප්‍රදේශයක හරි, විශේෂ අවසරයක් තියෙන ගුවන් කලාපයක (approved aerodromes) හරි විතරයි. ඊට පිට තැනකදී අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ අවසරයක් නැතිව කිසිම තැනකදී කිලෝග්‍රෑම් එකකට වැඩි ඩ්‍රෝන් පියාසර කරන්න බැහැ. CAA එකේ බලයලත් නිලධාරියෙක්ගේ අධීක්ෂණය යටතේ නම් ඩ්‍රෝන් පියාසර කරවන්න ටිකක් ලේසියෙන් අවසර ගන්න පුළුවන්.
ලියාපදිංචි ගුවන් කලාපයක ඉඳලා කිලෝමීටර් 8ක සීමාවක් ඉක්මවලා ඩ්‍රෝන් පියාසර කරවන්නත් අවසර නැහැ. ඒ වගේම මහජනතාව රැස් වෙලා ඉන්න ස්ථාන, මහා මාර්ග, දුම්රිය මාර්ග වලට ඉහළින් හරි, විවෘත විදුලි රැහැන්, සන්නිවේදන කුළුණු, ජාතික උද්‍යාන සහ වෙනත් ආරක්‍ෂිත ප්‍රදේශ ආසන්නයේ හරි ඩ්‍රෝන් පියාසර කරවන්න නම් ඒ සඳහාත් කලින් අවසර ලබා ගෙන තියෙන්න අවශ්‍යයි.
තවත් කෙනෙකුට අයත් ඉඩමක් ඇතුලේ ඔවුන්ගේ අවසරය නැතිව ඩ්‍රෝන් පියාසර කරවන්නත් සම්පුර්ණයෙන්ම තහනම්. ඊට අමතරව ඩ්‍රෝන් එකක් පියාසර කිරීම නිසා අනතුරක් ඇති වෙන්න ඉඩ තියෙන අවස්ථාවකදීත් ඒ සඳහා අවසර නැහැ. මේ මොනම අවස්ථාවක වුණත් පොළොවෙන් අඩි 400කට වඩා ඉහළින් ඩ්‍රෝන් පියාසර කරවන්න නම් ඒ සඳහාත් විශේෂ අවසරයක් වෙනමම ලබා ගත යුතුයි.
ඩ්‍රෝන් යොදා ගෙන කරන්න අවසර තියෙන දේවල්
Who needs bottle girls? @MarqueeLV has drones. http://t.co/CGgfIZuXS8 pic.twitter.com/poqscFDjeo
— Dancing Astronaut (@dancingastro) June 9, 2014
ඩ්‍රෝන් එකක් කිසිම ව්‍යාපාරික හෝ වෙනත් වාණිජ කටයුත්තක් සඳහා හරි, අහසේ ඉහළ ඉඳලා සිදු කරන වෙනත් කටයුත්තක් සඳහා හරි පාවිච්චි කරන්න නම් ඒකටත් CAA එකේ සාමාන්‍යාධිකාරීවරයාගේ අවසරය ගන්න සිදු වෙනවා. මේ සඳහා යම් ගාස්තුවක් ගෙවා ලිඛිත අවසර පත්‍රයක් ලබා ගන්න අවශ්‍යයි. ඔබේ අවශ්‍යතාවය අනුව තමයි ගෙවන්න සිදු වෙන ගාස්තුව තීරණය වෙන්නේ.
මේක තමයි වැඩි දෙනෙක් අකමැතිම නීති රෙගුලාසිය. මොකද මාධ්‍ය කටයුතු සඳහා හරි, විනෝදය සඳහා හරි කියලා පුළුල් වපසරියක අවසරයක් ලබා ගන්න විදිහක් නැහැ. ඔබ කරන්න යන දේ නිශ්චිතවම කියලා ඒ වෙනුවෙන් අවසරයක් ගන්නම වෙනවා. ඒ වගේම ඒකට ගෙවන්න ඕන ගාස්තුව තීරණය කරන වැඩෙත් CAA එක අතේමයි තියෙන්නේ. ඩ්‍රෝන් එකකින් ඉහළ අහසේ ඉඳලා යමක් බිමට දමන්නත් කිසිම අවසරයක් ලබා දෙන්නේ නැහැ. ඒ වගේම ඩ්‍රෝන් එකකින් යමක් එල්ලාගෙන යන එක වගේම බැනර් එකක් වගේ දෙයක් ප්‍රදර්ශනය කරන එකත් විශේෂ අවසරයක් ලබා ගන්නේ නැතිව කරන්න තහනම්.
ඩ්‍රෝන් එකක් එක්ක කටයුතු කළ යුතු විදිහ
ඩ්‍රෝන් එකක් අතට ගත්ත ගමන් රහස් ඔත්තු සේවාවක යෙදෙන්න හිතාගෙන ඉන්නවා නම් ඒ අදහස අත අරින්න. ශ්‍රී ලංකාව ඇතුලේ (නීතියට අනුව නම් ශ්‍රී ලංකා ගුවන් කලාපය ඇතුලේ) ඩ්‍රෝන් එකක් පාවිච්චි කළ යුතු විදිහක් තියෙනවා. පළවෙනිම දේ තමයි ඩ්‍රෝන් එක හැම වෙලාවකම ඔබට දැක ගන්න පුළුවන් විය යුතුයි. කැමරා එකක් තිබුණා කියලා ඔබට ඇස් දෙකෙන් දකින්න බැරි තැනකට ඩ්‍රෝන් එක පියාසර කරවන්න අවසරයක් නැහැ. ඒ වගේම ඔබ ඩ්‍රෝන් පියාසර කරවන වටපිටාවත් හොඳින් දැකිය හැකි තත්වයක තියෙන්න අවශ්‍යයි. ඉතින් ඩ්‍රෝන් එකක් අරගෙන රහස් පරීක්ෂකයෙක් වෙන්න හරි, කාගේ හරි හොර අල්ලන්න හරි හිතාගෙන ඉන්නවා නම් ඒ අදහස දැන්ම අත්හරින්න.
ඇස් දෙකෙන් දකින්න පුළුවන් කිව්වාට දුරදක්නයකින් විතරක් පෙනෙන දුරකට ඩ්‍රෝන් යවන්නත් තහනම්. (කන්නාඩි දාල හිටියට නම් අවුලක් නැහැ) ඒ වගේම උස ගොඩනැගිල්ලක් උඩ ඉඳලා හරි, වෙනත් උස් තැනකට වෙලා හරි, ඩ්‍රෝන් එක නොපෙනෙන විදිහේ කාලගුණයක් තියෙන වෙලාවක හරි ඩ්‍රෝන් පියාසර කරවන්න තහනම්. රාත්‍රී කාලයේ ඩ්‍රෝන් පියාසර කරවන්න අවසර තියෙන්නේ අදාළ ප්‍රදේශය හොඳින් පෙනෙන විදිහට ආලෝකමත් කරලා තියෙනවා නම් විතරයි.
ඒ වගේම ඔබ බීමතින් හෝ වෙනත් මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරලා ඉන්න ඉන්න අවස්ථාවක වුණත් ඩ්‍රෝන් පියාසර කරවන්න තහනම්. ඩ්‍රෝන් එකක් පියාසර කරවන කෙනෙක් “සමාජයීය වගකීම් ගැන හොඳ අවබෝධයකින් සිටිය හැකි තත්වයක” ඉන්න අවශ්‍ය වීමයි මේකට හේතුව. (සමහර විට ඒ නිසා අපේ ගොඩක් දේශපාලකයන්ටත් ඩ්‍රෝන් පාවිච්චි කරන්න තහනම් ඇති!) ඒ වගේම ඩ්‍රෝන් පාවිච්චි කරලා රේස් තරඟ පවත්වන එකත් විශේෂ අවසරයක් නැතිව කරන්න බැහැ.
සාරාංශයක්
ඩ්‍රෝන් පිළිබඳව ශ්‍රී ලංකාවේ තියෙන නීතිය බොහොම පැහැදිලියි. ඩ්‍රෝන් පාවිච්චි කරන එක මේවා නිසා හිසරදයක් වෙලා තිබුණත් කරන්න දෙයක් නැහැ. විශාල ප්‍රමාණයේ හැම ඩ්‍රෝන් එකක්ම ලියාපදිංචි කරන්න සිදු වෙන එක කරදරයක් තමයි, ඒත් මේ විදිහේ නීතියක් තියෙන්නේ අපේ රටේ විතරක් නෙවෙයි. ඇමරිකාවේ පවා ඩ්‍රෝන් පියාසර කරන්න නම් ඒවා ෆෙඩරල් ගුවන් සේවා ඒජන්සිය, නැතිනම් FAA එක යටතේ ලියාපදිංචි කරන්න සිදු වෙනවා. නමුත් FAA එකේ ඩ්‍රෝන් ලියාපදිංචිය අන්තර්ජාලය හරහාම කරගන්න පුළුවන් නිසා ලංකාවේ ක්‍රමයට වඩා නම් බොහෝ දුරට පහසු බවත් කියන්න වෙනවා. සාමාන්‍ය කෙනෙක්ට අපේ CAA එකෙන් ඩ්‍රෝන් එකක් ලියාපදිංචි කරවා ගන්න එක සෑහෙන අමාරුයි.
ඉතින් ලංකාවේ ඒ විදිහට ලියාපදිංචි කරපු ඩ්‍රෝන් තියෙන්නේ සුළු ප්‍රමාණයක් විතරයි. ඉදිරි කාලයේදී වුණත් ඩ්‍රෝන් පිලිබඳ නීති රීති දැඩි වෙයි කියලා මිසක් ලිහිල් වෙයි කියලා නම් කොහොමටවත් හිතන්න බැහැ. විශේෂයෙන්ම මේ වගේ සිද්ධීන් ගැන වාර්තා වෙද්දී ඩ්‍රෝන් තව තවත් නීති වලින් හිර කරන්න වෙයි කියලා කාට වුණත් හිතේවි.
එක අතකට ඩ්‍රෝන් ගැන හොයලා බලලා ඒවාට අදාළ නීති රෙගුලාසි පනවන එක ඇත්තටම හොඳයි කියලත් හිතන්න පුළුවන්. ඒවා මගින් ඩ්‍රෝන් වල තියෙන සුවිශාල ප්‍රයෝජන නිසි පරිදි යොදා ගන්න හොඳ උනන්දුවක් ඇති වෙනවා. දැනටමත් ලෝකය පුරාම ඩ්‍රෝන් යොදා ගෙන මාධ්‍ය කටයුතු, ආපදා කළමනාකරණය, කෘෂිකර්ම කටයුතු සහ මිනුම් කටයුතු වගේ දේවල් වඩාත් සාර්ථකව කෙරෙන අවස්ථා දකින්න පුළුවන්. විශේෂයෙන්ම සත්ව චර්යා රූපගත කරන එක වගේ දේවල් වලදී මිනිසුන් ඉන්න විශාල හෙලිකොප්ටර් වෙනුවට ඩ්‍රෝන් යොදාගෙන ඒ වගේ සිය දහස් ගුණයක අඩු වියදමකින් අදාළ වැඩේ කරගන්න හැකියාව ලැබිලා තියෙනවා.
ඉතින් ඔබත් ඩ්‍රෝන් එකක් මිලට ගන්න හිතනවා නම් හරි, ඩ්‍රෝන් එකක් පාවිච්චි කරනවා නම් හරි මේ වගේ නීති ගැන හොඳින් දැනුවත් වෙලා ඉන්න. ඩ්‍රෝන් එක නිසා කරදරයේ වැටෙන්නේ නැතිව ඒකෙන් හොඳ විනෝදයක් ලබන්නත්, ඔබට අවශ්‍ය දේවල් පහසුවෙන් කර ගන්නත් ඒක වැදගත් වේවි. ඔබේ මිතුරන් එහෙමත් මේ වගේ ඩ්‍රෝන් පාවිච්චි කරනවා නම් ඔවුන්ටත් මේ ලිපිය share කරන්න අමතක කරන්න එපා.
පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ
කවරයේ පින්තුරය: exchangewire.com