YouTube වටා වීඩියෝ නිර්මාණකරුවන් එක්රොක් වෙද්දී ඉන්ස්ටග්‍රෑම් තුළ ද හුදෙක් එදිනෙදා ගන්නා ඡායාරූප වෙනුවට කලාත්මකව ගිණුම පවත්වා ගනිමින් Facebook එකේ page එකක් මෙන් හැමගේම අවධානය දිනා ගන්නා ආකාරයේ සිත්ගන්නාසුළු ගිණුම් ද දකින්නට ලැබෙනවා. මේවායේ Likes, Comments, Followers වල තිබෙන ලොකු ඉලක්කම් දැක්කාම අපිටත් හිතෙනවා අනේ මෙහෙම ඇත්නම් කියලා. ඒක කරගන්නේ කොහොමද? ඔබේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට නව යුගයක් ගෙන එන ලිපියකුයි මේ කියවන්නේ.
හොඳම ඡායාරූප විතරක් එක් කරන්න
ඔබ වැඩිපුරම කැමති ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් බැලුවොත් දකින්න ලැබෙන දෙයක් තමයි, එහි තිබෙන හැම ඡායාරූපයක්ම perfect බව. එදිනෙදා ගන්නා හැම පින්තූරයම යාළුවන්ට පේන්න දාන්න වෙනම ගිණුමකුත්, රසික පිරිසක් හදාගන්න හොඳම ඒ්වා පළ කරන්න තව ගිණුමකුත් පවත්වා ගන්න පුළුවන් නම් අපේ ඒවාටත් ඒ පෙනුම ලබා ගන්න පුළුවන්.
ඡායාරූපයක් post කරන්න කලින්, අපි රසිකයෙක් බවට පත්වෙලා ඒ දෙස ටිකක් උනන්දුවෙන් බලන්නට අවශ්‍යයි. මේ ෆොටෝ එක මම කැමතිම account එකෙන් දාපු එකක් නම් මම මේකට කොහොම ප්‍රතිචාර දක්වාවි ද? අන්න ඒ ප්රශ්නය හැම එකක්ම post කරන්න කලින් අහන්න පුළුවන් නම් ඊළඟ පියවර කුමක්ද යන්න තනිවම අවබෝධ කරගන්න පුළුවන් වෙනවා.
මෙයට උදාහරණයක් ලෙස @glossier ගිණුම නිරීක්ෂණය කරන්න. ඔවුන් විවිධ ආකාරයේ ඡායාරූප පළ කර ඇති නිසා එහි ඡායාරූපවල කිසිදු සමාන බවක් නැතිවීමෙන් අනවශ්‍ය කලබලකාරී/අදහස් විසිරුණු ගතියක් දිස් වෙනවා.
නිතර ඡායාරූප පළ කරන්න එපා
අලුතෙන් ගිණුමක් පටන් ගත්තාම අපිට විනාඩියෙන් විනාඩියට මොනවා හරි පින්තූරයක් Instagram දාන්න හිතෙනවා. නමුත් එසේ කිරීමෙන් සිදුවන්නේ අපිව follow කරන අයගේ feed එක අපේ ඒවායෙන්ම පිරී ගොස් ඔවුන්ට අපව එපාවී Mute කිරීම හෝ unfollow කරදැමීම පමණයි. දිනකට එකක් හෝ උපරිම තුනක් පමණ අගයකට සීමාවෙමින් post කරන්න පුළුවන් නම් එය කාටවත් කරදරයක් වන්නේ නැහැ.
එක් වරම අපේ ඡායාරූප රැසක් දිස් වෙනවාට වඩා දිනය පුරා විවිධ වේලාවන්හිදී කිහිපයක් පෙන්වීම හරහා වැඩි ආකර්ෂණයක් ඡායාරූප වෙතට ලබා ගන්නට හැකියාව ලැබෙනවා. එසේම එකම දේ ගැන ඡායාරූප කිහිපයක් පළ කරන්නට අවශ්‍ය නම්, multiple images ආකාරයෙන් තනි post එකකම ඒ සියල්ල අඩංගු කරලන්න. හැකිනම්, Instagram Stories වලින් ඒ ඡායාරූපවල behind the scenes ආකාරයේ එකකුත් post කරන්න.
ආකර්ෂණය කරගත යුතු පිරිස තෝරාගන්න
Instagram වෙත පිවිසෙන අයට විවිධ ආකාරයේ ආශාවන්, අවශ්‍යතාවයන් තිබෙනවා. ඒ දේවල් තමන්ගේ feed එකේ දකින්නට ලැබෙන තරමටයි ඔවුන් ප්‍රිය කරන්නේ. මේ නිසා නිර්මාණකරුවෙක් වශයෙන් ඉන් තමාට අවශ්‍ය කුමන ආකාරයේ අයදැයි තීරණය කළ විට ඔවුන්ට වඩාත් ගැලපෙන ඡායාරූප පළ කරන්නට අවස්ථාව ලැබෙනවා.
චාරිකාවල නිරත වන කෙනෙක්ට ලංකාව පුරා හෝ ලෝකය පුරා හමුවන ලස්සන ස්ථාන: දිය ඇලි, මාර්ගයේ ඇති ස්ථාන හා සතුන් සම්බන්ධ අහඹු ඡායාරූප, මුහුදු වෙරළ ආදියේ ඡායාරූප පළ කරමින් ඒ වෙනුවෙන් ප්‍රිය කරන තවත් අයව තමන්ගේ ගිණුම වෙත එක්රොක් කරගන්නට පුළුවන්. ආහාරවලට ප්‍රිය කරන කෙනෙක්ට තමන් අලුතෙන් හදන්නට උත්සාහ කළ කෑමක්, අවන්හලකට ගොස් ලබා ගත් ආහාර හෝ ඇතැම්විට ප්‍රදර්ශනයට තබා ඇති ආහාරවල ඡායාරූප, මාර්ගයේ ඇති කුඩා අවන්හල්වල ඇති ආහාර ආදී පුළුල් පරාසයක දේවල් ඉදිරිපත් කරන්නට පුළුවන්. චාරිකාවල නියුතු වන අයට ලැබෙන තවත් අවස්ථාවක් තමයි ඒ යද්දී ගන්නට සිදුවන ආහාරවල ඡායාරූප වුණත් මඳ වශයෙන් තමන්ගේ feed එකට මුසු කරන්නට හැකිවීම.
මාතෘකාවක් පදනම් කරගත් ගිණුමකට උදාහරණයක් වශයෙන් @charitywater වෙත පිවිසී බලන්න. ඔවුන් ලොව ජලය නැති පෙදෙස්වලට ජලය සොයාදීම සම්බන්ධව කටයුතු කරමින් ඊට අදාල ඡායාරූප පමණක් ම පළකරන්නේ followersලා 382k ප්‍රමාණයකට හිමිකම් කියමින්.
ඡායාරූප ගංගාවේ අනන්‍යතාව
පළ කරන ඡායාරූප ඇසට සෞම්‍ය, අවස්ථානෝචිත filters යොදන ලද එකක් වීම බොහොම වැදගත් වෙනවා. ඒ ඡායාරූපවල එකම වර්ණ විහිදීමක්, අඳුරු බවක්, ඡායාරූපෙය් තිබෙන දේවල්වල ඇති පැහැදිලි බව වැනි හේතු ඔබ වෙනුවෙන් අනන්‍යතාවයක් ගොඩනගා දෙන්නට සමත් වෙනවා. එවිට කාලයක් ගත වෙද්දී ඡායාරූප සිය දහස් ගණනක feed එකක scroll කරද්දී ඒ ඔබේ ඡායාරූපයක් බවට follow කරන අයට වැටහෙනවා.
මෙහිදී ඔබ filters වලට සීමාවිය යුතු නැහැ. අවස්ථානෝචිතව ඒවායේ වර්ණ සංකලනය කරගැනීමයි වැදගත් වන්නේ. @canva ගිණුම මෙයට උදාහරණ වශයෙන් දක්වන්නට පුළුවන්. එහි තිබෙන ඡායාරූපවල එකම අනන්‍යතාවක් දකින්නට ඇති අතර කිසිදු ඡායාරූපයක් වර්ණ හරහා ඇසට අපහසුතාවක් දනවන්නේ නැහැ.
හෑෂ්ටැග් පාවිච්චිය
බොහෝ දෙනෙක් caption එකේ වචනයක්, වචනයක් ගානේ # ලකුණ යොදමින් අකුරු නිල්පාට කරගැනීමේ ආසාවෙන් post කළත් ඇත්තටම #Hashtag කියන්නේ ඡායාරූප group කරන්නට පුළුවන් ක්‍රමවේදයක්. උදාහරණයක් වශයෙන් #lka යන්න යොදා ශ්‍රී ලංකාවේ ඡායාරූපයක් පළ කරන්න පුළුවන්. එවිට එයම යෙදූ වෙනත් ඡායාරූපයක් බලමින් සිටි කෙනෙක් එම ඡායාරූපයේ තිබූ හෑෂ්ටැග් එක හරහා ඔබ පළ කරපු ඡායාරූපයක් නරඹා ඔබේ ගිණුම follow කරන්නටත් පුළුවන්.
නමුත් වඳුරාට දැලිපිහිය අහුවුණා වගේ caption එක පුරාම හෑෂ්ටැග් වපුරනවා වෙනුවට වඩාත්ම සුදුසු ඒවා පමණක් යොදා ගැනීමත්, #instalove #view වැනි පොදු ඒවා යොදමින් ඉඩ නාස්ති කිරීමෙහිත් තේරුමක් නැහැ. හෑෂ්ටැග් වැඩිවන විට follow කරන අයට feed එක තුළ දකින්නට ලැබෙන අකුරු ප්‍රමාණය වැඩි වීමෙන් අපහසුතාවක් ඇති වෙනවා වගේම අනවශ්‍ය ලෙස ඒවා භාවිතය වළකන්නට Instagram විසින් ම හෑෂ්ටැග් ප්‍රමාණය එක් ඡායාරූපයකට 30ක් දක්වා සීමා කර තිබෙනවා.
අනෙක් අයව ඇසුරු කරන්න
ඡායාරූප පළ කිරීම පමණක් නොව, Instagram කියන්නේ සමාජ ජාලයක් නිසා අනෙක් අය සමඟ අන්තර්සබඳතා ඇති කරගන්නා තරමට තමන්ගේ ගිණුමට, ඔබට වටිනාකමක් එකතු වෙනවා. අනෙක් අයට ඔබව Follow කරන්නට ඉඩදී ඔබේ ගිණුමේ Follower අගය 0 තබාගැනීම ලොකු කමක් සේ සලකන්නේ නැතිව අනෙක් අයගේ ඡායාරූපත් ඔබේ feed එක පුරා ගලා හැලෙන්නට ඉඩ දීම ඔවුන්ට අවශ්‍ය කුමක්ද යන්න දැනගැනීමට ද උපකාරී වෙනවා. ඒ දකින දේවල් වලට Comment කරමින් ඒ ඡායාරූපයේ තිබෙන ස්ථානයක්, ආහාරයක් හෝ වෙනයම්ම දෙයක් ගැන ඔබේ දැනුමත් ඒ හරහා එකතු කරන්න.
දකින සෑම එකකම Wow nice! වැනි කොපි කර paste කරන එකම වාක්‍යයක් වෙනුවට ඒ ගැන යමක් වැඩිදුර එක් කරන්න. ඔබව Follow නොකරන වෙනත් රටවල අයගේ ප්‍රසිද්ධ ගිණුම්වල පවා හැකි අයුරින් ඔබේ අදහස් දක්වන්න. එවිට ඒ comments කියවන අය අතුරින් ද ඔබ හා සබඳතා ගොඩනැගීමක් මෙන්ම ගිණුම අනෙක් රටවල අය අතරද ප්‍රසිද්ධයට පත්වීමට හා Follower ප්‍රමාණය ඉහළ යාමට හේතුවක් වෙනවා.
හොඳයි, මේ ක්‍රමවේදයන් නිසි ආකාරයට “Instagram එකේ follow කළා” නම් ඔබටත් සෙල්ෆි අරගෙන ඒවා Sponsored ලෙස යවන්නට මුදල් වැය කරන්නේ නැතිවම තමන්ගේ ගිණුම ප්‍රසිද්ධ එකක් බවට පත් කරගන්න අවස්ථාව ලැබේවි. අපිට කියන්න.. ඔබ Instagram එකේ වැඩිපුරම කැමති ගිණුම මොකක්ද?
කවරයේ ඡායාරූපය: vox-cdn.com