NFC හෙවත් Near Field Communication යනු කෙටි සංඛ්‍යාත රේඩියෝ තරංග සඳහා සම්මතයකි. ඇතැම් NFC චිප්වලට තවත් NFC උපාංගයක් වෙත තොරතුරු යැවීම හා ලබාගැනීම කළ හැකි අතර, මුදල් ගනුදෙනු කිරීම් දක්වාම එහි හැකියාවන් ප්‍රමාණය දිවෙයි. මෙම රැහැන් රහිත තාක්ෂණය ක්‍රමයෙන් දැන් දෛනික ජීවිතයට ළඟා වෙමින් පවතී.
NFCවල පදනම්ව ඇත්තේ එයට පෙර තිබුණු RFID තාක්ෂණය මත යි. 1983 මැයි 17 වනදා චාර්ල්ස් වෝල්ටන් විසින් RFID සඳහා පේටන්ට් බලපත හිමිකර ගනු ලැබීය. ISO/IEC සම්මතයක් ලෙස NFC පිළිගැනුණේ 2003 දී යි. 2004 දී නොකියා, ෆිලිප්ස්, සහ සෝනි සමාගම් එක්ව NFC සංසදයක් පිහිටුවා ගත් අතර, දැන් ඊට ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කරන සමාගම්, සහ බැංකු ඇතුළු ආයතන රැසක් එක්ව තිබේ.
භාවිත අවස්ථා
NFC පහසුකම සහිත ස්මාර්ට් දුරකතන විශාල ප්‍රමාණයක් දැනටමත් වෙළඳපොළ තිබේ. සුපිරි වෙළඳසැල්වලින් භාණ්ඩ මිල දී ගත්පසු මෙරට තවමත් නොහැකි වුවත්, වෙනත් රටවල තමන්ගේ දුරකතනය ගෙවුම් යන්ත්‍රය වෙත ළං කළ විට (ඇතැම්විට PIN අංකයක් ද ඇතුළත් කරන්නට සිදුවේ) බැංකු ගිණුමෙන් ගෙවීම සිදුවෙයි. මේ නිසා ක්‍රෙඩිට්/ඩෙබිට්/ලෝයල්ටි කාඩ්පත් අමතක වීම ඔවුන්ට ගැටළුවක් නොවේ.
මෙරට ඇති ඇතැම් බැංකු කාඩ්පත්වල ද “)))” ආකාරයේ ලකුණකින් ස්පර්ශ කිරීමකින් තොරව ගෙවිය හැකි බව දක්වා තිබේ. කාඩ්පතේ නිෂ්පාදන ස්වභාවය අනුව ඇතැම් විට ඔබ සතු එවන් කාඩ්පත් සතුව ද NFC හෝ RFID තාක්ෂණය තිබෙනවා විය හැකිය.
දුරකතනයට බැංකු කාඩ්පත් ඇතුළත් කර ගෙවීමට නම් ඊට සහාය දක්වන App එකක් තිබිය යුතු වේ. Google Wallet, Samsung Pay වැනි සේවාවන් මෙම ලිපිය ලියන අවස්ථාව වන විටත් නොමැති හෙයින් ඔබේ දුරකථනය සතුව කෙතරම් විශේෂාංග තිබුණ ද ඉන් වැඩක් ගත නොහැකි වෙයි. උදාහරණයක් ලෙස, Note 10 දුරකථනයට NFC නොමැති ගෙවුම් යන්ත්‍ර වෙත ද ගෙවීම් කළ හැකි පරිදි සකසා තිබුණ ද Samsung Pay නැති නිසා එය නිශ්ඵල වී තිබේ.
NFC මඟින් හැරිය හැකි ස්මාර්ට් දොරගුළු නිෂ්පාදන තිබේ. එවිට යතුරු සොයමින් කල් ගත නොකොට දුරකතනය අගුළ වෙත ළං කර විවෘත කරගත හැක. එසේම, වෙනත් රටවල වෙළඳ ප්‍රචාරණ සඳහා ද NFC තාක්ෂණය යොදාගන්නා අතර, අලවා ඇති දැන්වීමක් වෙත දුරකතනය ළං කළ විට ඒ ගැන වැඩි විස්තර ලබාගත හැකි වේ.
ඔබට ද ඉතා අඩු මිලකට ගත හැකි Program කළ හැකි NFC ටැග්වලින් කළ හැකි දෑ බොහොම යි. උදාහරණයක් ලෙස ඇඳ සමීපයේ තබන ලද එවන් ටැග් එකකට රාත්‍රියේ දී දුරකතනය ළං කළ විට ස්වයංක්‍රීයව Ringtone ඉවත්ව Mute වීම, ස්මාර්ට් විදුලි බුබුළු තිබේ නම් ඒවා අක්‍රීය වීම ආදි වැඩ කටයුතු රාශියක් ක්ෂණයකින් කළ හැකියි. නැතහොත්, ක්ෂණිකව දුරකතන අංකයක් වෙත ඇමතුමක් ගැනීම, හදිසි පණිවිඩයක් යැවීම වැනි දෑ කළ හැකිය.
ඔබේ දුරකතනය සතුව NFC තිබෙනවා නම් වෙනත් NFC සහිත දුරකතන සමග දත්ත සංසරණය කිරීමට අවස්ථාව තිබේ. Android දුරකතන සඳහා Android Beam යොදාගත හැකි අතර, ඉන් දුරකතන දෙක එකිනෙක මත ආසන්නයෙන් හෝ එක මත එක තැබූ විට Contacts, Links වැනි සුළු දෑ යැවීමටත්, Bluetooth/WiFi Direct සඳහා Pair කර ගැනීමටත් හැකියාව තිබේ.
ක්‍රියාකරන ආකාරය
NFC සහිත උපාංගවලට සෙ.මී. 4ක් පමණ දුර සිට දත්ත හුවමාරු කරගැනීමට හැකියාව තිබේ. එසේම, NFC ටැග් ක්‍රියා කිරීමට විදුලි බලය අවශ්‍ය නොවේ. එසේ වන්නේ කෙසේ ද? මේ සියල්ල පසුපස සිටින්නේ චුම්බකත්වය සහ විදුලියේ අපූරු ක්‍රියාකාරීත්වය යි.
මෙම භෞතික විද්‍යාත්මක සංසිද්ධිය ප්‍රේරතා ඈඳුම (Inductive Coupling) නමින් හඳුන්වනු ලැබේ. විදුලිය සපයන ලද දඟරයකට, තවත් දඟරයක් ළං කළ විට ඉලෙක්ට්‍රෝන පැනීමෙන් ඒ වෙත ද බලය ලැබීම මෙහි දී සිදුවෙයි. විද්‍යා ප්‍රදර්ශනවල දී මේසයේ මතුපිට ආසන්නයට (සැඟවූ දඟරයක් සහිත) විදුලි බුබුළක් ගෙන ආ විට, එය දැල්වෙන ආකාරය ඔබ දැක ඇති. එහි දී මේසය යටින් බලය සැපයූ දඟරයක් තබනු ලබන අතර, මේසය නමැති බාධකය තිබීම විද්‍යුත් ප්‍රේරණයට බාධාවක් නොවේ.
NFC තාක්ෂණයේ දී ද NFC ටැග්වලට දුරකතනය ළං කළ විට ඒවාට විදුලිය ලැබී, සක්‍රීය වී තමා සතු දත්ත දුරකතනයට ලබා දෙයි.
RFID සහ NFC අතර වෙනස
RFID හෙවත් රේඩියෝ සංඛ්‍යාත අනන්‍යකරණය (Radio Frequency Identification) සහිත උපාංගවලට ක්‍රියා කළ හැක්කේ ටැගයක් ලෙස, Reader එක ලෙස හෝ ඇන්ටෙනාව ලෙස එකම ආකාරයකින් පමණි. උදා: සේවක අවසරපත්‍රය (ටැග් එක) දොරටුවලට ළං කළ විට, එහි ඇති Reader එකෙන් ඇතුළු වන පුද්ගලයා පිළිබඳ දත්ත සටහන් කර, අගුළු හරියි.
RFID උපාංගවලට (859-960 MHz ඒවාට) මීටර් 10ක් තරම් දුර ඇති වස්තුවක් වුවත් හඳුනාගත හැකියි. එබැවින් මෙම තාක්ෂණය බොහෝ විට ගබඩා තුළ ඇති භාණ්ඩ Track කිරීමට ද යොදා ගැනේ.
RFID මත පදනම් වූ තාක්ෂණයක් වන NFC ක්‍රියා කරන්නේ මෙගාහර්ට්ස් 13.56 ක සංඛ්‍යාතයකින් පමණි. මේ උපාංගවලට දත්ත ලබාගැනීම මෙන්ම දත්ත යැවීම ද කළ හැකිය. උදා: Program කළ හැකි NFC ටැග්වලට අපිට ඕනෑම අවස්ථාවක දී ඉන් සිදුවන දේ වෙනස් කිරීම, එහි පණිඩිවයක් ගබඩා කිරීම වැනි දෑ කළ හැකි අතර, පසු අවස්ථාවක ඒවා නැවත කියවීමට ද හැකියාව තිබේ.
QR කේත මේ වෙනුවට යොදාගත හැකි නොවේ ද?
NFC ටැග්වල මිල ඉතා අඩු නමුත්, එය ද ඉතිරි කරගෙන ඔබට නිවසේ දී ම මුද්‍රණය කරගත හැකි QR කේත භාවිතා කළ නොහැකිදැ යි ඔබට සිතෙන්නට ඇත. එහෙත්, මේ දෙකෙහි වාසි සහ අවාසි තිබේ.
QR කේත යනු බාර්කෝඩ් විශේෂයකි. එනම්, එයට ලබාදෙන දත්තයක් NFCවල මෙන් නැවත වෙනස් කරන්නට නොහැකි ය. එනිසා එවා යළි යළිත් භාවිතයට ගත නොහැකි බැවින් ඉවතලන්නට සිදු වේ. එහි ඇති වාසියක් නම්, NFC නැති දුරකතනයකට පවා කැමරාවෙන් QR කේත කියැවිය හැකි වීම යි. එයම අවාසියක් බවට පත් වන්නේ, පරිශීලකයාට සෑම විටම කැමරාව/ App එක විවෘත කරන්නට සිදුවීම යි.
“තැනේ හැටියට ඇණේ”යැ යි ආප්තෝපදේශයක් තිබේ. ඔබ මීළඟට කරන නිර්මාණයට වඩාත් උචිත NFC ද, QR ද යන්න අවස්ථානුකූලව තීරණය කළ යුතු වේ. නිවස automate කිරීමට නම් NFC වඩාත් උචිත ය. Leaflet එකකට හොඳ QR ය. එහෙත්, ඉලක්කගත පරිශීලකයාට වඩාත් පහසු ක්‍රමය සපයා දීම ඔබ සතු වගකීමක් වේ.